මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ඒ කාලේ නළු නිළියන්ගේ ගෙවල්වල අපි දවස් ගණන් ගත කරනවා

ඒ කාලේ නළු නිළියන්ගේ ගෙවල්වල අපි දවස් ගණන් ගත කරනවා

 - අර්නස්ට් වඩුගේ

කලා ක්ෂේත්‍රයෙහි පනස් වසරක් රැඳී සිටීමට හැකි වීම කලාකරුවකු ලබන සැබෑම වාසනාවකි. මෙරට පුවත්පත් කලාව, සිනමා කලාව තුළ ඔහුගේ නම ද එලෙස වසර පනහක් පුරාවට ඉදිරියෙන්ම රැඳී පවතින්නකි. අර්නස්ට් කුමාර් වඩුගේ නමැති ඒ දැවැන්ත මාධ්‍යවේදියා, කලාකරුවා ඔහුගේ පනස් වසරක කලා දිවිය ඔස්සේ ලැබු අත්දැකීම් ඇසුරෙන් රචනා කළ අලුත්ම නවකතාව ‘නිළියකගේ විවාහය’ පසුගිය දා දොරට වැඩියේය. ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ සමඟ ඔහුගේ කලා දිවිය පිළිබඳ යෙදෙන මේ කතාබහ වෙන්වනුයේ ද ඒ නිමිත්තෙනි.

* ඔබේ අලුත්ම නවකතාව ‘නිළියකගේ විවාහය’ ගැන මුලින්ම කතා කරමු.

‘නිළියකගේ විවාහය’ මගේ පනස් වසරක කලා දිවිය වෙනුවෙන් මගේ ආදරණීය රසික සමූහයාට පිදෙන නවකතාවක්. මගේ පනස් වසරක සිනමා පත්‍රකලා දිවියේදී මා දුටු... මා අත්විඳි... අත්දැකීම් පසුබිම් කරගෙනයි මේ කෘතිය රචනා කර තිබෙන්නේ.

* ඔබේ කලා දිවියට පනස් වසරක්. එය දිගු කාලයක් නේද?

ඔව්. එදා සිනමා හල්වල ගැලරි පෝලිමේ පැය ගණන් රස්තියාදු වෙලා ශත පනස් පහක් ගෙවලා දෙමළ, හින්දි, ඉංග්‍රීසි ආදි චිත්‍රපට නරඹපු තද සිනමා රසිකයෙක් මම. පස්සෙ කාලෙක ඒ රසිකයාම ඒ සිනමා ශාලාවලම විශේෂ ආරාධිත අමුත්තෙක් විදිහට සිනමා උත්සවවලට සහභාගි වුණා. ඒ විදිහට මම ආපු මාවත හරිම පුදුම සහගතයි. විස්මයජනකයි.

ඔබේ මාධ්‍ය ජීවිතයේ ඇරැඹුම කොතැන ද?

මගේ වෘත්තීය පත්‍රකලා ජීවිතය ඇරැඹෙන්නේ ලේක්හවුස් පත්තර මහ ගෙදර ‘සරසවිය’ පුවත්පතෙන්. ඒ 1965 වර්ෂයේ. මම මුලින්ම මගේම කියා රැකියාවකින් මාසික වේතනයක් ලෙස රු. 325 ක් ලැබුවේ ලේක්හවුස් ආයතනයෙන්්‍.

සරසවියේ ගෙවුණු ඒ මාධ්‍ය ජීවිතය මොන වගේ ද?

මට මතකයි ඒ කාලේ සරසවිය කර්තෘ මණ්ඩලය සැදුම් ලැබුවේ පුංචි කර්තෘ මණ්ඩලයකින්. විමලසිරි පෙරේරා තමයි එහි ප්‍රධාන කර්තෘ. මගේ පත්‍රකලා ජීවිතය සරසවියක් වන තරමට මට පත්‍ර කලාව අවබෝධ කරගන්නට විමලසිරි පෙරේරා මහත්තයත් නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහත්තයත් ඉඩ සලසා දුන්නා.

ඔබ ‘කලා’ සඟරාවෙත් කලක් සේවය කළා නේද?

ඔව්. ‘සරසවිය’ පුවත්පතට සම්බන්ධ වන විට මගේ නම තරමක් දුරට රටේ ජනප්‍රියව තිබුණා. මොකද, ‘කලා’ සඟරාවේ මැද පිටුව පුරා මම සම්පාදනය කරන පුණ්‍යා හීන්දෙණියගේ විශේෂාංගයක් එයට හේතු වුණා. ‘කලා’ සඟරාව සංස්කරණය කළේ ආරියරත්න කහවිට. කොහොමහරි 1980 දී විතර මම ‘සරසවිය’ පුවත්පතින් සමුගන්නා විට මගේ නම රටේ ජනප්‍රියත්වයට පත් වී තිබුණා.

ලේක්හවුස් ආයතනයෙන් සමුගත් පසු ඔබේ මාධ්‍ය ජීවිතයේ නැවත ඇරැඹුම සිදුවූයේ කොහොම ද?

ලේක්හවුස් ආයතනයෙන් සමුගත්තට පස්සේ මම සුළු කාලයක් ආතර් යූ. අමරසේනයන්ගේ සිනමා පුවත්පත්වලට ඉඳ හිටලා ලිපි ලිව්වා. මෙහෙම ඉන්න විට මා මිත්‍ර බන්දුල පද්මකුමාර මහත්තයා ‘සමාධි ප්‍රකාශන’ පුවත්පත් ආයතනය ආරම්භ කළා. එයින් ‘සරසි’ නමින් සිනමා පත්‍රයක් ආරම්භ කරන්නට යත්දී එතුමා මට එහි විශේෂාංග කර්තෘ ධුරය භාරගන්නා ලෙස ආරාධනා කළා. ඒත් එක්කම බන්දුල පද්මකුමාර මහත්තයා ලංකාවේ මුල්ම සංගීත පුවත්පත වූ ‘සත්සර’ ආරම්භ කළා. එහිත් ආරම්භක විශේෂාංග කර්තෘ වුණේ මම. කොහොමින් හරි ‘සරසි’ සහ ‘සත්සර’ අතිශයින්ම රසික ජනාදරය පාත්‍ර වුණු පුවත්පත් වුණා.

* ලංකාවේ කීර්තිමත් කලාකරුවන්ගේ ‘ජීවිත කතා’ රචනා කරමින් පාඨකයාට තිළිණ කරන්නට ඔබට මේ ඔස්සේ අවස්ථාව හිමි වුණා නේද?

මෙහෙමයි, ‘සරසි’ ආරම්භ කළේ ගීතා කුමාරසිංහගේ ජීවිත කතාව කොටස් වශයෙන් පළ කරමින්. ‘සත්සර’ මංගල කලාපයේ සිටම අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ සත්‍ය ජීවිත කතාව ඔහු සමඟ සාකච්ඡා කොට කොටස් වශයෙන් සම්පාදනය කළා. මට මතකයි ජෝතිපාල කිසිම ලැජ්ජාවකින් හෝ අදිමදි කිරීමකින් තොරව ඔහුගේ ජීවිත කතාව මා සමඟ හෙළිදරව් කළ හැටි.

ජෝතිපාලගේ දිවිමඟ ගැන ඔබට හිතෙන්නේ කුමක් ද?

ජෝති ආපු මාවත අතිශයින්ම කටුක අමිහිරි මාවතක්. වෙන කෙනෙක් නම් සියදිවි නසා ගන්න අවස්ථාවලට පවා ඔහු මුහුණ දී තිබුණා. මට මතකයි ජෝතිපාල ඔහුගේ ජීවිත කතාව පත්තරේ යන විට මට පැවසු දෙයක්. මචං වඩු... අද මට මං දන්න නර්ස් කෙනෙක් හම්බ වුණා. එයාගෙ මිතුරියක් ඔයා ලියන මගේ ජීවිත කතාව කියවා අඬනවලු... මේ වගේ බොහෝ දෑ ජෝති මා සමඟ පවසා තිබුණා. පසු කලෙක ඒ ජීවිත කතාව තමයි ‘අමරණීය ජෝති’, ‘හදවත රත්තරන්’ වැනි ග්‍රන්ථ ඔස්සේ එළිදැක්වූයේ.

පනස් වසරක කලා දිවියේ ඔබේ වටිනාම සම්පත ‘ප්‍රීතිරාජ් ප්‍රකාශන’ සහ ‘රස ප්‍රකාශන’ පුවත්පත් ආයතනය නේද?

එය මම අවිවාදයෙන් පිළිගන්නවා. මෙවන් යුගයක මාධ්‍යවේදියකුට දැවැන්ත පත්‍ර ආයතනයක් බිහිකොට, වරකට පිටපත් ලක්ෂය ඉක්මවා අලෙවි වන පත්තර සමූහයක් පවත්වාගෙන යාමේ අති විරල වාසනාව මට හිමි වුණා. ප්‍රීතිරාජ් වීරරත්න සහ ගාමිණි කරුණාධාර මහතුන්ගේ හිමිකාරිත්වයෙන් මා විසින් බිහිකරනු ලැබු ‘රස’, ‘සුවඳ’, ‘බිරිඳ’, ‘සුමියුරු’, ‘ජීවිතය’, ‘සම්පත’, ‘කුමාරයා’, ‘ඈ’ ආදි පුවත්පත් ලංකාවේ මාහැඟි විප්ලවයක් කරන්නට සමත් වූ බව පැවසුවොත් එය සත්‍යයක්. ‘බිරිඳ’ සහ ‘සුවඳ’ වරකට පිටපත් ලක්ෂය ඉක්මවා අලෙවි වුණා.

බොහෝ ප්‍රවීණ නළු නිළියන් ඔබට පවුලේ කෙනෙකුට මෙන් සැලකු අවස්ථා තිබුණා නේද?

ඔව්. මගේ මුල්ම ප්‍රියතම නිළියන් දෙදෙනා වුණේ එවකට අති දැවැන්ත ප්‍රතිරූප ගොඩනඟාගෙන සිටි කාන්ති ගුණතුංග සහ පුණ්‍යා හීන්දෙනිය. අද වගේ නළු නිළියන්ට සමරු පොතක් දිගු කර නළු නිළියන් ඇසුරු කිරීම එකල සිදු වුණේ නැහැ. නළු නිළි නිවෙස්වලට තෑගිබෝග රැගෙන මම යනවා. සමහර දවස්වල ඒ ගෙවල්වල දින ගණන් ගත කරනවා. ඒ අය කවුරුත් මට පවුලේ කෙනෙකුට වගෙයි සැලකුවේ. මට මතකයි පුණ්‍යා හීන්දෙනියගේ මීරිගම නිවෙසට මම යනවා. සමහරදාට සවසට මීරිගම නගරය පුරා පුණ්‍යාගේ සහෝදර සහෝදරියන් සමඟ ඇවිද ගිය අයුරු අදත් මතක් වෙනවා.

ඔබ චිත්‍රපට කතා දෙබස්, තිර රචකයෙක් වගේ ම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කළ යුගයක් තිබුණා නේද?

දයානන්ද රොද්‍රිගු අධ්‍යක්ෂණය කළ ‘අනුෂා’ චිත්‍රපටයේ මම සහාය අධ්‍යක්ෂ, තිර රචක ලෙස කටයුතු කළා. ඊට අමතරව තවත් චිත්‍රපට රැසක, නිෂ්පාදන අධිකාරි ලෙස කටයුතු කරනු ලැබුවා. ඒ වගේම තවත් සංගම් රැසක ප්‍රධාන නිලතල දැරුවා.

ඔබේ පනස් වසරක කලා දිවිය දෙස හැරී බලත්දී ඔබ මුහුණ පෑ දෛවෝපගත සිදුවීම් එකක් දෙකක් මතක් කරමු ද?

මම ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සිප් සතර හදාරන කාලේ මගේ ඉංග්‍රිසි ගුරුවරයා වුණේ අද දැවැන්ත කීර්තිධර මාධ්‍යවේදියකු වන එඩ්වින් ආරියදාසයි. මහා කවියකු වූ වියතකු වූ අරිසෙන් අහුබුදු සිංහල භාෂා ගුරුවරයා වුණා. පසු කලෙක ඔවුන්ගේ ගෝලයා වූ මට මගේම සමීප මිතුරන් බවට ඔවුන් දෙපළම පත්වීම විශේෂත්වයක්. ලේක්හවුස් ආයතනයේ එඩ්වින් ආරියදාසත් මමත් ආසන්න මේසවලම අසුන්ගෙන සේවය කළා. මගේ ‘සම්පත’ පුවත්පතට අරිසෙන් අහුබුදු සූරීන් ලිපි ලිව්වා. මම රසිකයෙක් විදියට ජයවිලාල් විලේගොඩගේ ‘දිනමිණ’ සිනමා රඟමඬල පිටුවෙනුත් කරුණාසේන ජයලත්ගේ ‘ලංකාදීප’ චිත්‍රපට චක්‍රය පිටුවෙනුත් විවිධ සිනමා පැන ඇසුවා. එදා රසිකයාට පිළිතුරු දුන් ජයවිලාල් විලේගොඩ මම ලේක්හවුස් සිටියදී මගේ හොඳම මිත්‍රයකු වුණා. ඔහුගේ ඉතාම ජනප්‍රියව තිබු ‘දිනමිණ’ සිනමා පිටුව කලක් නතර කොට තිබී පසුව යළිත් ආරම්භ කිරීමට අදහස් කරගෙන ‘අර්නස්ට්! මේ යක්කු මං දැන් වැඩිය අඳුරන්නෙ නැහැ. මට ටිකක් උදව් කරන්න’ කියා මා සමඟ පැවැසුවා. අවාසනාවකට ඊට පසුව දින කීපයකින් ඔහු මියගියා.

මෙවැනිම තවත් සිදුවීමක් රුක්මණි දේවිය සම්බන්ධයෙන් මගේ හිතේ තිබෙනවා. මම කතාව දෙබස් හා තිර රචනය කළ ‘අනුෂා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා මම නිර්දේශ කළේ රුක්මණි දේවියයි. එහිදී රුක්මණී දේවියට දෙබස් පුහුණු කිරීම. මට එහි අධ්‍යක්ෂ දයානන්ද රොඩ්රිගු පැවැරුවා.

“දෙයියනේ රුක්මණී දේවියට දෙබස් පුහුණු කරන්න...” මාව කරකවා අතහැරියාක් මෙන් මට දැනුණා. මට එතැනදී දැනුණු චකිතය ඩේසි අක්කට (රුක්මණීට අපි කිව්වේ ඒ නම) තේරුණා.

අර්නස්ට් මල්ලී... මෙතැන රුක්මණී දේවිවත් ‘සරසවිය’ පත්තරේ අර්නස්ට් වඩුගේවත් නැහැ. මල්ලි ස්ක්‍රිප්ට් රයිටර්. ඇසිස්ටන් ඩිරෙක්ටර්. මිස්ටර් රොඩ්රිගු මල්ලිට පැවරුවෙ වගකීමක්. මං ඔයාලගෙ චිත්‍රපටයේ නිළියක් පමණි. බය නැතුව මට වරදින ඕන දෙයක් වුණත් මල්ලී මට කියල දෙන්න.” රුක්මණි ඉතාම ආදරෙන් පවසපු හැටි මට අද වගේම මතකයි. මෙවැනි සිදුවීම් රැසකින් මගේ ජීවිතයම පිරී තිබෙනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්