මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

- මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා

ජනවාරි 8 වැනිදා පැවැත්වෙන ජනාධිපති වරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ කොළඹ අරලියගහ මන්දිරයේදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත්වල නියෝජිතයන් හමු විය. මේ එහිදී නැඟුණු ඇතැම් ප්‍රශ්න හා ඊට ලැබුණු පිළිතුරු සමහරකි.

ඡන්දෙට තව දවස් කීපයයි තියෙන්නෙ. ඔබේ මැතිවරණ ව්‍යාපාරය ඉවර වෙන්නත් කිට්ටුයි. දීර්ඝ කාලයක් ඡන්ද කරල තියෙන පළපුරුද්ද අනුව මේ වෙනකොට දැනෙනව ඇතිනෙ හුළං හමන්නෙ කොයි පැත්තට ද කියල. කොහොමද සටන?

සටනක් ඇත්තෙම නෑ. රට පුරා යනකොට මට නම් පේන්නෙ නෑ සටනක් තියෙනව කියල. (සිනාසෙමින්) කොළඹට ආවම තමයි සටනක් ගැන අහන්න හම්බු වෙන්නෙ. 2010 දිවත් මට මෙච්චර හොඳ ප්‍රතිචාරයක් තිබුණෙ නෑ.

තව අවුරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දි ඔබ ඡන්දයක් පවත්වන්නෙ ඇයි?

ඒ බලයට කෑදරකමක් නැති නිසානෙ. අනික මේ විදියට ඡන්දයක් නොතිබ්බනම් මිනිස්සු ඡන්දෙ ගැනම කතා කරනවනෙ තව අවුරුදු දෙකක්. කවද්ද ඡන්දෙ කියල. එතකොට රටේ අස්ථාවර භාවයක් ඇති වෙනව. ආයෝජකයො පස්ස ගහනවා. මේ විදියට ඡන්දයක් පැවැත්වීමෙන් ඒ අස්ථාවර භාවය නැතිවෙලා ගියා.

පක්ෂ ගණනාවක් ඔබට විරුද්ධව පෙළ ගැහිල තියෙනව නේද?

ඔව් (හිනාවෙයි) ඒක පරාජිතයන්ගේ එකමුතුවක්නෙ. Cooperation of failures. ඒ නිසා ඒව ගැන එච්චර කලබල වෙන්න ඕන නෑ.

විපක්ෂය කියනව ඔබ රටපුරා මන්දිර හදනව කියල.

ඕව ඉස්සර ඉඳන්ම පතුරුවන කටකතානෙ. ඉස්සර අරක මගේ, මේක මගේ කිව්වෙ. ඊට පස්සෙ හැමෝම හදන ගෙවල් එක්කො නාමල්ගෙ නැත්නම් ගෝඨාභයගෙ කිව්ව. ඒව පත්තරවලත් දැම්ම, වෙබ්වලත් දැම්ම. දැන් කොහෙද මට මන්දිර තියෙන්නෙ කියන්න.

හැබැයි මම කඩා හැලෙන මන්දිර ප්‍රතිසංස්කරණය කරල නම් තියෙනව. මං එනකොට අරලියගහ මන්දිරෙත් ජරාවාස වෙලා තිබුණෙ. ජනාධිපති මන්දිරේ ජනාධිපතිනි පාවිච්චි කරපු කෑල්ල විතරයි හොඳට තිබුණෙ අනිත් ඔක්කොම නඩත්තුවක් නැතුව. මං ඉතින් ඉන්න තැන ලස්සනට, පිරිසිදුවට තියා ගන්නව. මොකෝ මං යනකොට ඕව අරගෙන යනව ද? අවුරුදු ගාණක් අතඇරල දාල තිබිච්ච රේස්කෝස් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කළෙත් මට ද?

ඔබේ වියදම දවසකට රුපියල් කෝටි ගාණක් කියනව.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ආයතන ගණනාවක් තියෙනව. මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා පදනම් ආයතනය, ICT ආයතනය වගේ. මේවා විශාල වියදමකින් පවත්වාගෙන යන ආයතන. ඒවයෙ කාර්ය මණ්ඩල ගෙවීම්, ආරක්ෂක වියදම් පවා මේ යටතටයි වැටෙන්නෙ ඒව ඔක්කොම එකතු කරල තුන්සිය හැටපහෙන් බෙදල තමයි මේ ගණන් කියන්නෙ.

ඇත්තටම කියනව නම් ඔය චෝදනා කරන්නෙ රටේ ජනාධිපතිව හම්බු වෙන එන මිනිස්සුන්ට කන්න වේලක් දීම ගැනයි.

වැරැදි කරපු අයට ඔබේ ආණ්ඩුව දඬුවම් දෙන්නෙ නෑ කියනව.

ඕකට ආසන්නම උදාහරණය නිශාන්ත මුතුහෙට්ටිගමනෙ. එයා නියෝජ්‍ය ඇමැතිවරයෙක් වෙලත් අත්අඩංගුවට ගත්ත. මේව කියන්නෙ හරියට යූඑන්පී කාලෙ වැරැදි කරපු අයට දඬුවම් දුන්න වගේ.

ඔබේ ආණ්ඩුවෙ ඉන්නෙ හොරුයි කියල කියනවනෙ.

ආණ්ඩුවෙ ඉන්න කම් හොරා කියනව. ඒ හොරාම ආණ්ඩුවෙන් ගිය ගමන් සුදනෙක් වෙනව. සුදනෙක් කියල කියා ගන්න හොඳම ක්‍රමය තමයි ඒක.

රාජ්‍ය මාධ්‍ය විශේෂයෙන්ම රූපවාහිනී හා අයි ටී එන් අපක්ෂපාතව කටයුතු කරන්නේ නෑ කියල විපක්ෂය චෝදනා කරනවා.

මාධ්‍ය ඔක්කොම ස්වාධීන විය යුතු තමයි. ඡන්දෙ කාලෙදි මැතිවරණ කොමසාරිස් තමයි ගයිඩ්ලයින්ස් දෙන්නෙ. ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට මට ඒක හසුරුවන්න බෑ. අනික් අතට රාජ්‍ය මාධ්‍ය විතරක් නෙවෙයි පෞද්ගලික මාධ්‍යත් ස්වාධීන වෙන්න ඕන නේද? සමහර චැනල්වලින් කරන්නෙ උදේ ඉඳන් රෑ වෙනතුරු මට මඩ ගහන එකනෙ.

මාධ්‍ය නිදහස නෑ කිව්වට මේ වැඩි දෙනාට අපේ කාලෙදියි ලයිසන් දීල තියෙන්නෙ. පෞද්ගලික මාධ්‍ය ස්වාධීන නම් අර අලුත්ම නෝට්ටුවලින් මිලියන් ගාණක පිටරට සල්ලි අහුවුණාම ඒකත් එළි කරන්න එපැයි. ඖෂධ පනත අතුරුදන් වුණේ මේ සල්ලි මල්ල නිසා ද දන්නෙත් නෑනෙ. මේක මාධ්‍ය කීයක ද ගියේ? හැබැයි අපේ එකෙක් කළා නම් ලොකුවට දායි.

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනව ඔබේ කැබිනට් මණ්ඩලය ඇතුළෙ විරුද්ධව මත දැක්වීමේ නිදහසක් තිබුණෙ නෑ කියල.

ඒ බොරු. එයා මුකුත් කතා කරේ නෑ. කවදාවත් කතා කරේ නෑ. එක වචනයක් කතා කරල නෑ. නැත්නම් හැමෝටම නිදහස තිබුණා කතා කරන්න. දැන් ඔය වාසුදේව, විමල්, ඩිව් වගේ අයගෙ කටවල් වහන්න පුළුවන් ද මට.

විරුද්ධ මත දැක්වීමට තිබුණු නිදහසට හොඳ උදාහරණයක් මතක් වෙනවා මට. දැන් ඔය යහපාලනය ගැන කතා කරන කෙනකුගෙ බිස්නස් කරන මල්ලි කෙනකුට බත්තරමුල්ලෙ වෝටර්ස් එජ් හෝටලය ළඟින් අක්කර දහයක් දෙන්න කැබිනට් පත්‍රිකාවක් දාල තිබුණා.

වාමාංශික අදහස් තියෙන ඇමැතිවරයෙක් ඒකෙ වැරැද්ද පෙන්නල කරුණු ගෙනහැර පෑවම ඒක අස්කරගන්න වුණා. කැබිනට් පත්‍රිකා හොඳට අධ්‍යයනය කරල එන ඇමැතිවරු ප්‍රතිපත්තිමය විරුද්ධ වීම් කරාම ඒව අස්කරගන්න සිද්ධ වෙනවා.

පහුගිය කාලෙ හොඳට අධ්‍යයනය කරන්නෙ නැතුව කැබිනට් පත්‍රිකා වැඩිම ගණනක් ඉදිරිපත් කෙරුණෙ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ නිසා ඒ අමාත්‍යාංශෙන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා වැඩි ගණනක් ඉල්ලා අස්කර ගන්න වුණා. මේ නිසා කැබිනට් ලේකම් අවවාදාත්මක ලිපියකුත් යැව්වා. එහෙම කට්ටිය තමයි දැන් කියන්නෙ කතා කරන්න නිදහස තිබුණෙ නෑ කියල. විවේචනාත්මකව කතා කරපු අය තාම ඉන්නව. කතා නොකරපු අය ගිහින් චෝදනා කරනව.

ඔබේ සහෝදරවරු කැබිනට් ඇමැතිවරුන්ගේ විෂය පථයන්ට ඇඟිලි ගහනවා කියල සිරිසේන මහත්මයා චෝදනා කරනව.

ඇමැතිවරුන්ගෙ ඒවට ඇඟිලි ගහන්න ගියා නම් සහෝදරවරුන්ට යන්න තමයි වෙන්නෙ. වැඩේ කියන්නෙ අවුරුදු දහයකට පස්සෙ ද ඕක දැක්කෙ. ඕන ඇමැතිවරයකුට තවත් ඇමැතිවරයෙක්ගෙ කැබිනට් පත්‍රිකාවක් ගැන නිරීක්ෂණ දක්වන්න නම් පුළුවන්. ඒක කවුරුවත් කාටවත් ඇඟිලි ගැහීමක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිව සිටියදී කාගෙවත් ඇඟිලි ගැහීමක් නැතුව කරපු වැඩක් ගැන මම කියන්නම්. ලංකාවට පිටරටින් ඖෂධයක් ගෙන්වන්න අනුමැතිය දෙන ක්‍රියා පරිපාටියෙන් බැහැරවයි ඔහු ඒක කරේ.

ඖෂධයක ප්‍රමිතිය වගේ දේවල් ගැන සොයා බලන කමිටුව ආදී කමිටුවල එකඟත්වය ඇතුවයි ඖෂධයක් ගෙන්වන්න අනුමැතිය දෙන්නෙ. ඒක තරමක් කල්ගත වන ක්‍රියාදාමයක් වුණත් එහෙම කරන්නෙ වැරැදි ඖෂධ ගෙන්වීම නවත්තන්නයි. ඒත් සිරිසේන ඇමැතිවරයා පී. දිසානායක කියන පුද්ගලයාගේ සමාගමට ඖෂධ 37 ක් ගෙන්වීමේ අනුමැතිය එක දවසින් දීල තියෙනව. සම්මත ක්‍රියා පරිපාටියෙන් බැහැරව වැඩ කරපු මේ වගේ උදවිය දැන් කියනව තමාගෙ වැඩවලට ඇඟිලි ගැහුව ය, තමන් බලයට පත්වුණොත් යහපාලනයක් ඇති කරනව ය කියල.

ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය විපක්ෂය දැඩි විවේචනයට ලක් කරනවා.

ඔව් එහෙම විවේචනය කරනව. ඒත් මං බාරගත්තෙ චන්ද්‍රිකාගෙ කාලෙදි සෘණ තත්ත්වෙට වැටුණු ආර්ථිකයක් කියල ඒගොල්ලො කියන්නෙ නෑ. ඒ තත්ත්වෙ තිබුණු රට ගොඩනඟන්න ශක්තිමත් අඩිතාලමක් ඕනනෙ. ඒකට තිබුණු ලොකුම බාධකේ තමයි යුද්දෙ. තිස් අවුරුද්දක් තිස්සෙ තිබුණු යුද්දෙ අපි නැවැත්තුවා. අපි හොඳින් ආර්ථිකයත් යුද්ධයත් කළමනාකරණය නොකළ නම් යුද්දෙ නවත්තන්න පුළුවන් ද? ඊට පස්සේ අපි යටිතල පහසුකම් ගැන හිතුවා. පාරවල්, රෝහල්, ඉස්කෝල, විදුලිය වාගේ.

ඔය කොළඹට වෙලා ඉන්න අය දන්නව ද ඒ කාලෙ ලයිට් තිබුණෙ කීයෙන් කී දෙනාට ද කියල. ගමේ රෝහලක මොනම පහසුකමක්වත් තිබුණ ද? පාරක යන්න පුළුවන්කම තිබුණ ද? ගමේ ඉස්කෝලෙකට එක ලැබ් එකක් තිබුණ ද? අපි ඒව ගොඩනඟාගෙන ආවා. දැන් පේන්න තියෙන දේවල් ඔක්කොම යුද්දෙන් පස්සෙ ගෙවිච්ච අවුරුදු පහේදි කරපුව. අද අපේ රට එදා තිබුණු තැනින් කොච්චර ඉස්සරහට ගිහිල්ල ද, ලෝකයේ අනිත් රටවල් අතරින් කොච්චර ඉස්සරහට ගිහිල්ල ද කියල සංඛ්‍යා ලේඛනවලින්ම බලාගන්න පුළුවන්.

ඒ සංඛ්‍යා ලේඛන ටිකක් කියන්න පුළුවන් ද?

අද අපි පත්තරවල පිටු දෙකක දැන්වීමකුත් දාල තියෙනව ඕව විස්තර සහිතව. 2005 දී දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 24, ඒක 2013 දී බිලියන 67 ක් වෙලා. 1978 - 2005 කාලෙදි විදේශ ආයෝජන තිබුණේ ඇ. ඩො. මිලියන 101.1 2006 - 2013 කාලෙදි ඒක ඇ. ඩො. මිලියන 901.6 ක් වුණා. ඒ වගේම 2005 විරැකියාව 7.5% ට තිබුණෙ 2013 දී ඒක 4.4% ට බැස්සා රුපියලේ අගය අඩුවීම 1978 - 2005 කාලෙදි තිබුණෙ 9.9% ට ඒක 2006 - 2013 කාලෙදි 3.3% කට බැස්සා.

2008 දී 23% ට තිබුණු උද්ධමනය 2013 දී 7% බැස්සා. 2005 දී රු. 161,330 ක තිබුණු ඒක පුද්ගල ආදායම 2013 රු. 426,400 කට නැග්ගා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධන වේගය 7.8% ක්. ඒක සාක් කලාපයේ සියලුම රටවල ආර්ථිකයේ වර්ධන වේගයට වැඩියි. එහෙම තියෙද්දියි මෙහේ ආර්ථිකය විවේචනයට ලක් කරන්නෙ.

සංවර්ධන කටයුතුවලින් දැවැන්ත පරිමාණයෙන් මුදල් ගසා කනව කියල චෝදනා කරනව.

ඔව්, එහෙම කියනව. එක වෙලාවකට කියනව ගිය වියදමෙන් 1/10 යි ඇත්ත වියදම කියල. තව වෙලාවකට කියනව ගිය වියදමෙන් සියේට පනහයි ඇත්ත වියදම කියල. තවත් වෙලාවකට කියනව ගිය වියදමෙන් 1/3 යි ඇත්ත වියදම කියල. මේ ගැන මම පුංචි උදාහරණයක් දෙන්නම්.

දැන් ඔය කරගෙන යන ගෝල්ෆේස් වෝටර් බ්‍රේක් ව්‍යාපෘතියෙ වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 440. මේ මුදලෙන් ඇ. ඩො. මි. 340 ක් අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් දීල තියෙනව.

ඇත්ත වියදම 1/10 නම් මේ ව්‍යාපෘතිය මිලියන 44 න් කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මිලියන 44 න් කරන්න පුළුවන් ව්‍යාපෘතියකට ආසියානු සංවර්ධන බැංකුව අපිට ඩොලර් මිලියන 340 ක් ණය දෙයි ද? මේ හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම සිරිත් පරිදි රජයේ ටෙන්ඩර් කොමිටිවලින් පාස් වෙලා ටෙක්නිකල් කොමිටිවලින් අනුමත වෙලා මිසක් වැඩ කරන්නෙ නෑ කියල රජයේ ව්‍යාපෘති ගැන දන්න අය දන්නව. ඒ කොමිටිවල ඉන්නෙ රජයේ සේවකයො. එතකොට මේ ඇඟිල්ල දික් කරන්නෙ රජයේ සේවකයන්ට. රජයේ සේවකයො හරියට මේ වැඩේ කරන නිසානෙ දයා ගමගේටත් ආණ්ඩුවෙ ටෙන්ඩර් හම්බු වෙන්නෙ.

සිරිසේන මහත්මයා වී වලට හොඳ මිලක් දෙනව කියනව.

ඔව්, ඒක එයාගෙ සහෝදරයා වෙනුවෙන් කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඔබේ ආණ්ඩුවෙන් කැඩිල යෑම පාඩුවක් නේද?

ඒ ගොල්ලො 2005 දීවත්, 2010 දීවත් ඡන්දවලදී මාත් එක්ක හිටියෙ නෑ. පස්සෙයි එකතු වුණේ. දැන් මේ වතාවෙ කැඩිල ගියේ නැ‍ඟෙනහිර පළාතෙ ස්වාධීන මුස්ලිම් කලාපයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට මම අකැමැති වීම නිසා. ඒ විදියට ජාතිවාදය අනුව කලාප වෙන් කිරීම අපි ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන්නෙ නෑ. ඒක නිසා ඒ ගොල්ලො ඒක දෙන්න කැමැති අය ළඟට ගියා.

දෙමළ ජාතික සන්ධානයට දේශපාලන විසඳුමක් දෙන්න ආණ්ඩුව අපොහොසත් වුණා නේද?

ඒ ගොල්ලන්ට අපිත් එක්ක කතා කරල දේශපාලන විසඳුමකට එන්න කිසිම වුවමනාවක් තිබුණෙ නෑ. ඒ ගොල්ලො ඇමෙරිකාවෙන් හරි ජිනීවාවලින් හරි ඇවිත් ඒ ගොල්ලන්ගෙ ඉල්ලීම් ඉෂ්ට කරල දෙන තුරු බලාගෙන ඉන්නව. එතකන් හිඟන්නගෙ තුවාලෙ වගේ ඕක තියාගෙන ඉන්නව.

දැන් අපි විසඳුමක් සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ඒ ගොල්ලො ඒකට ආවෙ නෑ. යූඑන්පිය සියල්ල විස‍ඳෙනව කියල හදිස්සියෙ 13 වැනි සංශෝධනය ගෙනල්ල අන්තිමේ මොකද වුණේ? ඒ වගේ විසඳුමක් දීල ඒ වැරැද්දම මටත් කරන්න ද කියන්නෙ?

දැන් ඒ ගොල්ලො විපක්ෂෙට සහයෝගය දෙනව.

ඒකට හේතුවක් ඇතිනෙ. මට නම් ඒ ගොල්ලන්ගෙ වැඩේ පුදුමයක් නෙවි. අනික ගිය පාර මට එහෙන් හම්බු වුණේ ඡන්ද 46,000 යි. හැබැයි මේ සැරේ ඊට වැඩියෙ ලැබෙයි.

මන්නාරමේ කතෝලික රදගුරුතුමා කියල තිබුණ ඔවුන්ට ඔබෙන් කරගන්න බැරිවෙච්ච දේවල් මෛත්‍රීපාල සිරිසේනගෙන් කරගන්න පුළුවන් කියල.

මන්නාරමේ රදගුරුතුමාට මගෙන් කරගන්න බැරි වුණේ රට බෙදා ගැනිල්ලයි. ඒක නම් ඉස්සරහටත් මගෙන් නම් කරගන්න හම්බුවෙන්නෙ නෑ.

ඔබේ මැතිවරණ ව්‍යාපාරෙට සහයෝගය ගන්න සල්මන් ඛාන්වත් ගෙනාව නේද?

(හයියෙන් හිනාවෙයි) ඒක විපක්ෂෙන් හදපු බොරුවක්. ඒ මනුස්සය එයා කරගෙන යන පුණ්‍ය කටයුත්තකට සහභාගි වෙන්නයි ආවෙ. ඒ වැඩේට එයා හැම අවුරුද්දෙම එනව. ඒ ආවම මාවත් හම්බු වෙලා යනව. මේකට තමයි විපක්ෂෙ ඔය කතාව ගෙතුවෙ.

දැන් ඔබ ඡන්දෙ දින්නම ඔය ගිය කට්ටිය ආපහු ආණ්ඩුවට එකතු වෙයි නේද? ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 බලය අරගන්න ඒ විදියට කට්ටිය එකතු කර ගනියි නේද?

ගිය එක්කෙනෙක්වත් ආපහු ගන්නෙ නෑ. 2/3 බලය ගන්න එහෙම කරන්නෙ මොකට ද? ආණ්ඩුවක් කරගෙන යන්න පාර්ලිමේන්තුවෙ සාමාන්‍ය බහුතරය තිබුණාම ඇති.

මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම පිළිබඳ නීතිය ඔබ වෙනස් කරන්න බලාපොරොත්තු වෙනව ද?

නෑ. ඒක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයනෙ. මේ ගොල්ලො ආපහු පාර්ලිමේන්තු ක්‍රමයට යන්න කතා කරන්නෙ ඒකනෙ. මන්ත්‍රීවරු සල්ලි දීල අරගෙන ආණ්ඩු වට්ටන්න පුළුවන් ක්‍රමේටනෙ.

උතුරේ විශාල සංවර්ධනයක් කරලත් ඔබට එහේ ඡන්ද පදනමක් නැත්තෙ ඇයි?

සංවර්ධනයක් කරාට අපිට උතුරෙ දේශපාලන ක්‍රියාදාමයක් තිබුණෙ නෑනෙ. ඒකයි. ඒ වුණාට දැන් අපිටත් උතුරෙ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරයෙක් ඉන්නවා. වන්නියෙ සිංහල මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා. උතුර කියන්නෙ අවුරුදු 30 ක් තිස්සෙ වෛරය ඇති කරපු ප්‍රදේශයක්.

ඒක තුනී කරන්න කලක් යනව. යුද්දෙන් පස්සෙ මම මුලදි එහේ ගියාට වැඩියෙ ප්‍රතිචාරයක් පසුගිය දා යාල් දේවියෙන් ගියාම තිබුණා. පහුගිය ටිකේ අපි එහේට රුපියල් බිලියන 400 ක් වියදම් කරල තියෙනව. ඒක මිනිස්සුන්ට දැනෙන බව දැන් මට එහේ ඉඳන් ටෙලිෆෝන් කරන අයගෙන් තේරෙනව.

ඔබේ අලුත් වැඩ පිළිවෙළ ලොව දිනන මග කියල නම් කරේ ඇයි?

එහෙම නම් කරේ අපි ලෝකයට යන්න ඕන නිසා. ලෝකය දිනන්න ඕන නිසා. ඒක නරක ද? ලෝකෙට යන්න අපි කරපු දේවල් රට දිහා බැලුවම පේනව. මම බලයට එනකොට පරිගණක සාක්ෂරතාව සියයට 3 යි තිබුණෙ. දැන් ඒක හැටට නැඟලා. තරුණ පරපුර අතරෙ නම් සියයට 80 ටත් වැඩියි. මේක වෙනසක් නෙවෙයි ද? අපි මහින්දෝදය විද්‍යාගාර 1000 ක් හැදුවෙත් ඒ විදියට හිතල. ගම්වලට විද්‍යාගාර ගෙන යෑම ඒ වගේ ලොකු දර්ශනයක් ඇතුව කරේ.

දැන් බලන්න මේ සැරේ ගණිත අංශෙන් රටෙන්ම පළමුවැනියා ආවෙ යාපනෙන්. ඒ අපි රට දිනන මග අනුගමනය කරල යුද්දෙ ඉවර කරපු නිසා. කවුරුත් කරන්න බෑ කියපු දෙයක් කරපු නිසා. අපි හිතුවෙ යුද්දෙ නවත්තන්න වුණාට සමහරු හිතුවෙ සුනාමි සහන මණ්ඩලය තුළින් එල් ටී ටී ඊ යට වැඩි බලයක් දෙන්න. ආණ්ඩුවටත් වැඩිය සුනාමි සහන මණ්ඩලය වටිනව කියපු අය තමයි දැන් වෙනසක් ගැන කතා කරන්නෙ.

නැවත වතාවක් බලයට පත්වුණාම ඔබ විශේෂයෙන් කරන්නට බලාපොරොත්තු වෙන එක දෙයක් සඳහන් කරන්න පුළුවන් ද?

ජනාධිපතිවරු හතර දෙනකුට ඉවර කරන්න බැරි වෙච්ච යුද්ධය මගේ පළමුවැනි වාර කාලයේදී ඉවර කළා. මේ රටේ කවදාවත් නොවෙච්ච සංවර්ධනයක් මගේ දෙවැනි වාර කාලයේදී ඇති කරා. ඒ සංවර්ධනය ඉදිරියට ගෙන යන ගමන් නීතියේ ආධිපත්‍ය මත පිහිටුවූ විනය ගරුක සමාජයක් ඇති කිරීමට ඊළඟ වාර කාලයේදී මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්