මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»


විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

A - 3 ක් ලබා විභාගය ජයගත් පාසල් විවාද කණ්ඩායම් නායක නායිකාවෝ සත්දෙනෙක්

උසස් පෙළ ප්‍රතිඵල පිටවුණේ රටට තවත් බුද්ධිමත් හපනුන් පිරිසක් දායාද කරමිනි. රටම කතා කළේ ඔවුන් ගැනය. ඇගැයූවේ ද ඔව්හුම ය. මාස සති දින බවට පෙරළමින් උසස් පෙළ කඩඉමට මේ දරුවෝ ළගා වූයේ ජීවිතයේ තවත් කඩඉමක් පනින්නටය. උසස් අධ්‍යාපනයකට දොරගුළු විවර කරන්නට ය.

ඒ සාර්ථකත්වය කරා යන ගමනේදී දෙවරක් පාසල් ජීවිතය ජයගත් මේ වීර හපනුන් සිළුමිණ හරහා එළිදරව් කරන්නේ බාහිර ක්‍රියාකාරකම් හරහා උසස් පෙළ කඩඉම සාර්ථකව ජයගත් ආකාරය රටට කියාපාන්න ට ය.

තරිඳු, මධූෂ, රෂ්මි, කංචන, චතුර, හේලිත හා චමෝද්‍ය කොළඹ ජනප්‍රිය පාසල් හතරක ජාතික විවාද කණ්ඩායම්වල නායක නායිකාවෝ වෙති. මොවුහු අවසන් මහා තරග නියෝජනය කළ හුරු පුරුදු කණ්ඩායම් නායක නායිකාවෝ ද වූහ. නිරන්තරයෙන්ම විවාද ශූරතා හා අනුශූරතා පසුපස සිය කණ්ඩායමත් සමඟ හඹා ගිය මේ දරුවන් විභාගය ආසන්නයේදීත් පාඩමට වඩා කාලය කැප කළේ තම විවාද කණ්ඩායමේ ජයග්‍රහණ හරහා පාසල රජ කරවන්නටය.

උසස් පෙළ ප්‍රතිඵල පිටවූයේ විවාද කණ්ඩායම් ඉතිහාසයේ තවත් කඩඉමක් සනිටුහන් කරමිනි. නිතරම ශූරතා අනුශූරතා කිරුළ හිමිකර ගත් ප්‍රබලතම විවාද කණ්ඩායම් හතේ මෙම නායක නායිකාවන් උසස් පෙළ කඩඉම ද ජයගත්තේ සැම දෙනාම විශිෂ්ට සාමාර්ථ 3 ක් හිමිකර ගනිමිනි. විභාගයට පමණක් නොව බාහිර ක්‍රියාකාරකම්වලින් ද ජීවිතය ජය ගනිමින්, එයම විභාගයට දිරියක් කරගනිමින් ජීවිතය ජයගත් දරුවන්ගේ කතාවයි මේ.

කංචන ජයරත්න කොළඹ රාජකීය විදුහලේ විවාද කණ්ඩායමේ නායකයා විය. කංචන උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරා ‘ඒ’ සාමාර්ථ 3 ක් ලබාගත්තේ විවාද කිරීමෙන් ප්‍රගුණ කළ හැකියා නිසා ය.

“...මම 6 වසර සිටයි විවාද කළේ. සා/පෙළත් ‘ඒ’ සාමාර්ථ 9 ක් ලබාගත්තා. විවාද කියන්නේ අධ්‍යාපනයේම කොටසක්. විවාදයකට පෙර අපි හැම ක්ෂේත්‍රයක් ගැනම දැනුම්වත් විය යුතුයි. පොත්පත් කියවන්න, ප්‍රවෘත්ති බලන්න, අමතර තොරතුරු ලබාගත යුතුයි. ප්‍රශ්නයකට පිළිතුරු දිය යුත්තේ කොහොමද කියා මම ඉගෙන ගත්තේ විවාදයෙන්. මගේ තර්කන ශක්තිය ගොඩනැඟුණේ විවාද නිසා. විභාගයට සාර්ථකව පිළිතුරු ලියන්න, තර්කානුකූලව පිළිතුරු ලියන්න උදව් වූයේ විවාදයෙන් ලත් පන්නරය නිසායි...”

විවාදය ද විභාගය ද අතිශය තරගකාරීය. බොහෝ දෙනා විවාදය විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස සිතුවත් මේ දරුවන්ට විවාදය විභාගය හා සමාන විය. විවාදයෙන් ජයගත් ඔවුන්ට විභාගය ද අභියෝගයක් නොවීය. එස්. එම්. මධුෂ ලසංක ද සිල්වා කොළඹ නාලන්දා විදුහලේ විවාද කණ්ඩායම නියෝජනය කරන නායකයා ය. මධුෂ උසස් පෙළට හැදැරු බොහෝ විෂයන් ප්‍රායෝගිකව හැදැරූයේ විවාද තරග නිසාය.

“උසස් පෙළ හරිම තරගකාරියි. විවාදත් ඒ වගේමයි. පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල ව්‍යුහය වෙනස් වුණා. ප්‍රශ්න අසන ශෛලිය වෙනස් වුණා. තරමක අභියෝගයක්. ඒත් මම හැදැරූ ආර්ථික විද්‍යාව මෙන්ම ව්‍යාපාර අධ්‍යයන විෂය ප්‍රශ්න පත්‍රවල මේ වෙනස්වීම මට බලපෑවේ නැහැ. මේ විෂයන් දෙකෙන් අපේ විවාද ප්‍රශ්න ගොඩාක් සැකසුණු නිසා හැම විටම අමතර දැනුම ලබා ගත්තා. ගොඩාක් ළමයින්ට අමාරු වුණ ප්‍රශ්න මට පහසු වුණා. විවාද කිරීමත් එක්තරා පාඩම් කිරීමක්. විවාදයන්වලදී අපි ආර්ථික විද්‍යා, ව්‍යාපාර අධ්‍යයන විෂයන් සමඟ ප්‍රායෝගිකව අනුගත වුණා. බොහෝ දේ පාඩම් නොකර වාණිජ විෂය හදාරා මම ‘ඒ’ සාමාර්ථ 3 ක් ලබාගත්තේ විවාද නිසා...”

මේ දරුවන්ට පාඩම් කරන්නට කාලය තිබුණේ නැත. බොහෝ විවාද තරග පැවැතියේ සති අන්තයේ ය. මේ නිසා උසස් පෙළ උපකාරක පංති ද ඔවුනට අනන්තවත් මඟ හැරුණි. උසස් පෙළ කඩඉම ජයගත් මේ ප්‍රබලතම විවාද කණ්ඩායම් අතර සිටින නායක නායිකාවන් ගෙන් එකම නායිකාව රෂ්මි තිමිසරා බටගොඩ ය. කලා අංශයෙන් උසස් පෙළ හදාරා ‘ඒ’ සාමාර්ථ තුනක් ‍ගත් රෂ්මි නියෝජනය කළේ නුගේගොඩ අනුලා විදුහලේ විවාද කණ්ඩායමය. විභාගය ජයගන්නට මෙන්ම ජීවිතය ජයගන්නට ද රෂ්මිට පාර කියා දුන්නේ විවාදයයි.

“...විවාද කිරීමෙන් අපේ කණ්ඩායම් හැකියාව වර්ධනය වුණා. බය නැතිව කතා කරන්න පෞරුෂයක් ගොඩනැඟුණා. විභාගයේදී මම පාඩම් කළ දේ හොඳින් ග්‍රහණය කර ගත්තේ විවාදයෙන් ලද පන්නරයෙන්. 7 වසරේ සිටම මම පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කළා. උසස් පෙළ විභාගය ඔන්න මෙන්න කියා තිබියදීත් විවාදවලට ගියා. ආර්ථික විද්‍යාවේ සමහර සිද්ධාන්ත විවාද මාතෘකාවලට ආවා. සිංහල විෂයේ රචනා ලිවීම මට කවමදාවත් අමාරු වුණේ නැහැ. විවාදයෙන් ගොඩනැඟුණු තර්කන හැකියාව, ලබාගත් දැනුම, පුහුණුව සාර්ථක පිළිතුරක් කරා යාමට මම අත්වැලක් සැපයූවා. මම නීතිය හදාරා ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් කිරීමට අදහස් කරනවා. නීතිඥයෙක් වීමේ ආසාව මට ඇතිකළේ විවාදයයි.,"

පාසල් ජීවිතය සාර්ථකව ජයගන්නට නම් විභාගය සේම විෂය බාහිර දේ ද අවශ්‍යය. බොහෝ දරුවන් කට පාඩම් කර ලබා ගන්නා ජයග්‍රහණයට වඩා ස්ථිරසාර වන්නේ ඒ දැනුම ප්‍රායෝගිකව ලබාගතහොත් පමණි. එළඹි බාධා කොතෙකුත් තිබුණ ද තම කාර්ය හරිහැටි තේරුම් ගෙන උගත් පාසල් මාතාවට ජයග්‍රහණයක් ගෙන දෙන්නට මේ දරුවෝ සමත් විය.

තරිඳු දර්ශන වරාගොඩ නියෝජනය කළේ කැලණිය ශ්‍රී ධර්මලෝක විදුහලේ විවාද කණ්ඩායමයි. කලා අංශයෙන් උසස් පෙළ හදාරා ‘ඒ’ සාමාර්ථ 3 ක් ගත් දර්ශන සිය යුතුකම් මනාව ඉටුකළ කණ්ඩායම් නායකයෙකි.

“....... අපිට හැම සති අන්තයකම විවාද තරග තිබුණා. ඒ නිසා වැඩි කාලයක් ඒ සඳහා වැය වුණා. ඒත් ඒ කාලය අපිට අපතේ ගියේ නැහැ. විවාදයෙන් අපි කළේත් ඉගෙනීමක්. මගේ තාත්තා විභාගයට ආසන්නයේදී හදිසියේ මියගියා. මගේ පියාගේ ආදාහන කටයුතු කරන දවසේත් මම ‘සූවානි’ කියන විවාද තරගයට ගිහින් කතා කර පාසලට ජයග්‍රහණයක් ගෙන දුන්නා. ඒ වගේමයි උසස් පෙළින් මා ලද ජයග්‍රහණයත්...”

ජය පැරදුම සමව විඳ දරා ගැනීමේ හොඳ මානසිකත්වයක් ඔවුනට ගොඩනඟා දුන්නේ විවාදයයි. අද මේ දරුවන් තම ජයග්‍රහණයෙන් උදම් අනන්නේ ජය පරාජය ඔවුන්ට හුරු පුරුදු නිසාය. වාණිජ අංශයෙන් ‘ඒ’ සාමාර්ථ 3 ක් ගත් හේලිත ද සොයිසා නායකත්වය දුන්නේ කොළඹ තර්ස්ටන් විදුහලේ විවාද කණ්ඩායමය.

“....මට උසස් පෙළ මේ ජයග්‍රහණය ලබන්න ප්‍රධාන හේතුවක් වුණේ විවාද තරගයි. විවාදයෙන් අපි ගොඩාක් දේ ඉගෙන ගත්තා. නායකත්වයේ කාර්යභාරය වටහා ගත්තා. නර්තන හැකියාව ගොඩනඟා ගත්තා. හොඳ පිළිතුරක් ලියන්න අවශ්‍ය දැනුම ලබා ගත්තා. ගුරුවරු පවා තේරුම් ගත්තා. අනෙකුත් ළමයින්ට සාපේක්ෂව අපේ පිළිතුරුවල ගැළපීම හොඳ බව. මම සමස්ත ලංකා දක්ෂතම විවාදකයා වුණා හතර වතාවක්. ඒ වගේම සමස්ත ලංකා දක්ෂතම නායකයා වුණා වතාවක්. මම මේ ජයග්‍රහණය ලබන්න මගේ පවුලෙන් වගේම පාසලෙන් ද උපරීම සහයෝගය ලැබුණා...”

මේ නායක නායිකාවන් විවාදයන්ට මුල පිරුවේ පාසලට පියමං කළ දා ය. එදා සිට අද දක්වා ඔව්හු ආ ගමන්මඟ අභියෝගාත්මකය. සා/පෙළ මෙන්ම උසස් පෙළ ද ඔවුනට අභියෝග නොවී ය. විවාදයන් හරහා මෙන්ම විභාගයන් හරහා ද ඔවුහු පාසලට අත්කර දුන්නේ ජයග්‍රහණයන් ය.

චමෝද්‍ය මධුරංග කල්දේරා කොළඹ ලුම්බිණි විදුහලේ විවාද කණ්ඩායමේ නායකයා විය. වාණිජ අංශයෙන් උසස් පෙළ ‘ඒ’ සාමාර්ථ 3 ක් ගත් චමෝද්‍ය පවසන්නේ විවාද මෙන්ම අධ්‍යාපනය ද තමන්ට දෙකක් නොව එකක් වූ බවය.

“...අපි විභාගයට සූදානම් වන්න කලින්ම ඒ විෂය ගැන හදාරන්න ලැබුණේ විවාද නිසා. විෂය බාහිර කටයුතුවලට ගියහම අපිට පාඩම් කරන්න තිබු කාලය නැතිව ගියා. නමුත් ඒ ගිය කාලය අපතේ ගියේ නැහැ. විවාදවලට යන කාලය අපි අමතර දැනුම එකතු කරගත්තා. අනිකුත් ළමයි වගේ අපි කට පාඩම් කළේ නැහැ. ඇත්තෙන්ම විවාදයකට සහභාගි වෙනවා කියන්නේ විභාගයකට සූදානම් වීමේ තවත් ක්‍රමයක්. මගේ අනාගත අපේක්ෂාවන් කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමයි...”

විවාදයන් ක්‍රීඩාවට වඩා අධ්‍යාපනයට සමීපය. විවාදයේ මාතෘකා බොහෝ විට ලැබෙන්නේ විවාදය පැවැත්වීමට පැය භාගයකට පෙර නිසා විවාදකයා ඉතා හොඳ සූදානමකින් විවාදයට යා යුතුය. ඇත්තෙන්ම විභාගයට වඩා විවාදය මේ දරුවන්ට අභියෝගයක්.

වාණිජ අංශයෙන් ‘ඒ’ සාමාර්ථ තුනක් ලබාගත් කොළඹ මහානාම විදුහලේ චතුර සන්දීප එම පාසලේ විවාද කණ්ඩායමේ නායකයා විය. පාසල් ජීවිතයේ හොඳම අවදිය වූ උසස් පෙළ පාසල් සමය තමන් ඵලදායි ලෙස ගතකළ බව චතුර පවසයි.

“...අද විභාග රටාවට පොතේ දැනුම ප්‍රමාණවත් නැහැ. මට ප්‍රශ්න පත්‍රයට තාර්කිකව ලියන්න හැකියාව ලැබුණේ විවාද නිසායි. බොහෝ දෙනා හිතුවත් විවාදය වචන හරඹයක් පමණක් නොවෙයි. ඒ සඳහා මනස ද යෙදවිය යුතුයි. මම විවාද නිසා පංති පාඩු කරගත්තා. නමුත් පංති නිසා විවාද නැතිකර ගත්තේ නැහැ. එහෙම වුණා කියා මට පාඩුවක් වුණේත් නැහැ. අද මම විවාදයත් විභාගයත් ජයගත්තා. උසස් පෙළ පාසල් සමය අපේ හොඳම කාලය. සමහර ළමයි විභාගයට පාඩුවෙයි කියලා විෂය බාහිර දේවලට මේ කාලයේ යොමු වෙන්නේ නැහැ. ඒත් විවාදය යනු විෂය සමගාමි දෙයක්. මේ හරහා අපි ජීවිතය ජය ගත්තා වෙනවා...”

අද මේ දරුවෝ විවාදය මෙන්ම විභාගය ද ජයගෙන ඇත.

හෙට දිනයේ ඔව්හු පිවිසෙන්නේ තමන්ට නුහුරු නුපුරුදු සමාජයකටය. ඒ සමාජයේදී මුහුණ දීමට එන අභියෝගයන්ට ජය පැරදුමකින් තොරව මුහුණ දීමට මේ දරුවන්ට හැකිය. ඒ ඔව්හු විවාදය හරහා ගොඩනඟා ගත් පෞරුෂය නිසාය.


අ‍.පො.ස. උසස් පෙළ මුළු රටෙන් ම පළමු තැන ගත් සිසු දරුවෝ

පාසල් ජීවිතයේ තවත් දරු පිරිසකගේ කඩඉම සනිටුහන් කරමින් උසස් පෙළ ප්‍රතිඵල පසුගියදා පිටවිය. ඒ තවත් හපනුන් පිරිසක් බිහි කරමිනි.

ජීව විද්‍යා විෂය ධාරාව උසස් පෙළ විභාගයට හැදෑරූ මාතර සුජාතා මහා විදුහලේ එච්.ජී. හිරුෂි උදාරා ඉහළම සාමාර්ථය වාර්තා කරමින් ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා ය. මේ වසරේ ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ද දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් හිරුණිගේ අනාගත බලාපො‍රොත්තුව සිය මව, පියා, සහෝදරිය මෙන් වෛද්‍ය වෘත්තියට පිවිසීමයි.

මෙවර භෞතික විද්‍යා විෂය ධාරාවෙන් යාපනය හින්දු විදුහලේ පාක්‍යරාජ දරුකීසන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වූයේ එම විෂයට පෙනී සිටි 32640 ක් සිසුන් අභිබවමිනි. අධික ලෙස වෙහෙස මහන්සි නොවී විභාගයට සැහැල්ලු මනසකින් මුහුණ දුන් පාක්‍යරාජා මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් අපේක්ෂා කළේ නැත.

උසස් පෙළ වාණිජ විෂය ධාරාවට පෙනී සිටි සිසුනු 65073 ක් අභිබවමින් ඒ අංශයෙන් ඉහළම සාමාර්ථය වාර්තා කළේ ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ ය‍ු.ජී. පියුමි ධනංජනා ය. අධ්‍යාපනයට මෙන් ම ආගම දහමට පියුමි තුළ වූ විශේෂ උනන්දුව ඇයගේ මේ ජයග්‍රහණයට පහසුවක් වූ බව ඇගේ මව පවසන්නීය‍.

ජී.පී. ෂවිදි නෙත්සලා පතිරණ කොළඹ විශාඛා බාලිකා මහා විදුහලේ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරා ඉහළ ම සාමාර්ථය වාර්තා කර ඇත. කලා විෂය හදාරන සිසුන් 102511 ක් අභිබවමින් ෂවිදි මේ හැකියාවන් පෙන්වූයේ මුල සිට ම එවන් වූ සාමාර්ථයක් ගැනීමේ එකම අරමුණ ඇය තුළ වූ නිසා ය.‍

පොදු/ වෙනත් විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි කොළඹ මියුසියස් බාලිකා විදුහලේ නිපුනි ඩයස් නාගහවත්ත ඒ අංශයෙන් ඉහළම ප්‍රතිඵල වාර්තා කෙරීය.

අද දින සිය ජයග්‍රහණයෙන් උදම් වන ඒ දරුවන්ට ‘සිළුමිණ’ අපි සුබ පතමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්