මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි

* ඔබ වහන්සේගේ ගිහි නම මොකක්ද?

ගලතරගේ දොන් පේරැස්.

* උපන්නේ

1935 ඔක්තෝබර් 14. හැබැයි බෙල්ලන ශ්‍රී ඥානවිමල මහනායක හාමුදුරුවෝ මගේ වේලපත්කඩය බලලා කිව්වා, මම ඉපදීලා තියෙන්නේ ඊට දවස් කීපයකට කලින්ය කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද ඒ කාලේ උප්පැන්න ලියාපදිංචි කරන්න සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් විතර ප්‍රමාද වෙනවනේ.

ඔබ වහන්සේගේ ගම කොහෙද?

ඉත්තෑපාන. ඉත්තෑපාන කිව්වට අපේ ගමේ පොඩි පොඩි ගම්මණ්ඩි 18 ක් විතර තියෙනවා. ඉන් එකක් තමයි තොටපාත. ඔය තොටපාත තමයි මගේ උපන් ගම. ඉත්තෑපාන කියන්නේ එදා බොහෝම නොදියුණු දුෂ්කර ගමක්. පාරවල් හැදිල නැති, විදුලි බලය නැති ගමක්. හැබැයි එහෙම වුණාට අපේ ගම් හරිම සශ්‍රිකයි. ඒ අතින් කියන්න අඩුපාඩුවක් නැහැ. වී ටික තිබුණා; පොල් ටික තිබුණා. ගමේ ඉඩකඩම් බෙදලා නැහැ. ඒවා කාටත් අයිතියි. පොල් කඩනව නම් ඒ ඔක්කොම ටික ගමට බෙදලා දෙනවා. කොස් කැඩුවත් එහෙමයි. සාමූහික අයිතිය.

* ඒ කියන්නේ කිසියම් ආකාරයකට එදා ගම්වල තිබ්බේ කොමියුනිස්ට් සමාජයක්?

සම්පූර්ණයෙන් ම. දැන් නම් ඉතින් කම්බි ගහලා කොටු හදාගෙන.

* ඔබ වහන්සේගේ පියා කවුද?

ජී.ඩී. ජේම්ස් අප්පුහාමි. හොඳ ගොවියෙක්. අම්මා තාත්තාට කතා කළේ ‘මහයා’ කියලයි. ලොක්කා, මහ එක්කෙනා කියන එකයි ඒකේ තේරුම.‍

අම්මා?

මීගහපොළගේ දෝන ලැයිසා හාමි.

පවුලේ කීදෙනයිද?

මාත් එක්ක නව දෙනයි.‍ මම තමයි බාලයා. දැනට ජීවතුන් අතර ඉන්නේ එක්කෙනයි. ඒ මට වැඩිමහල් අක්කා.

* ඔබ වහන්සේ පාසල් ගියේ?

ඉත්තෑපාන මහා විද්‍යාලයට. ඒ කාලේ අපේ ගමට ලයිට් නොතිබුණු නිසා අපි පාඩම් ක‍ෙළ් කුප්පි ලාම්පු එළියෙන්.

පුංචි කාලයේ ඉඳන් ම ගමේ පන්සලත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන්න ඇති?

ඉත්තෑපානේ ශ්‍රී සුනන්දාරාමය තමයි අපේ ගමේ පන්සල. එහි නායක හාමුදුරුවෝ වුණේ පත්බේරියේ ඉන්ද්‍රානන්ද. මම දහම් පාසල් ශිෂ්‍යයෙක්. මුලදී ළමයි ගොඩක් ආවා. අන්තිමට මම විතරයි ඉතුරු වුණේ.

මහණ වෙන්න ඕනෑ කියලා ඔබ වහන්සේට හිතුණේ ඇයි?

තලවතුගොඩ ධම්මාලෝක හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවන්ගේ යාළුවෙක්. මොකද දෙන්නා විද්‍යෝදය පිරිවෙනේ එක පන්තියේ. ඒ නිසා ධම්මාලෝක හාමුදුරුවෝ ඉඳලා හිටලා අපේ පන්සලටත් වඩිනවා. විශේෂයෙන් වස් කාලෙට එහෙම. ඒ ආපු දවස්වලට උන්වහන්සේ අපේ දහම් පාසලේ උගන්වනව. ඉස්සර මට හොඳට කවි, ගාථා කියන්න පුළුවන්. මාව දැකපු උන්වහන්සේ කිව්වා, මේ ළමයා හොඳයි මහණ කරන්න කියලා. ඔය විදියට තමයි මහණ වෙන්න පසුබිමක් හැදුණේ.

‍‍ඔබ වහන්සේ මහණ වුණේ කවද්ද කොහෙද?

1950 දී. ඒ ගමේ නෙමෙයි කොළඹ. මම කොළඹ ඇවිත් හිටියේ පන්නිපිටිය දිගන පන්සලේ. (පැලැන්වත්ත දිගන සිරිධම්මකීර්ති මංගලාරාමයේ) ඔය පන්නිපිටිය ධර්මපාල විදුහල පිටුපස්සේ. මාව මහණ කළේ ඒ කාලේ හිටපු බොහෝම තේජවන්ත හාමුදුරු කෙනෙක් වුණු කිරුළපන ශ්‍රී විමල නායක හාමුදුරුවෝ.

ඔබ වහන්සේ විද්‍යාලංකාර සම්ප්‍රදායේ කීර්තිමත් චරිතයක්?

තලවතුගොඩ ධම්මාලෝක හාමුදුරුවෝ විද්‍යෝදය පාර්ශ්වයේ වුණාට උන්වහන්සේ අපිව ඇතුළු කළේ විද්‍යාලංකාරයට. ඒක විශේෂයක්. මට හිතාගන්න බැහැ, ඒකට හේතුව. සමහරවිට ඒ කාලේ විද්‍යාලංකාරයේ හිටියේ බොහෝ ම උගත් පඬිවරුන්. යක්කඩුවේ ප්‍රඥාරාම, කොටහේන පඤ්ඤාකිත්ති, බඹරැන්දේ සිරි සීවලී, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර, හැඬිපන්නිල පඤ්ඤාලෝක, නාත්තන්ඩියේ ප්‍රඥාකර, මහාචාර්ය වල්පොළ රාහුල වගේ හාමුදුරු‍වරු. ඒ අයගේ බුද්ධිමය පරිසරයේ තමයි අපි හැදුණේ වැඩුණේ. මම ඇවිල්ලා නතර වුණෙත් නාත්තන්ඩියේ ප්‍රඥාකර හාමුදුරුවන් හිටපු පරණ ගෙයි. අවුරුදු හතරක් පහක් විතර මං විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙන ගත්තා. ඊට පස්සේ විද්‍යෝදයටත් අවුරුදු දෙකක් ගියා.

* වල්පොළ රාහුල හාමුදුරුවෝ එහෙම ඒ කාලේ බොහෝම රැඩිකල්?

ඔව්. උන්වහන්සේ තද වාමාංශිකයා. රාහුල හාමුදුරුවෝ හිටියේ අන්තවාදී වමක. ඒ නිසා රට පිළිබඳ, සමාජය පිළිබඳ හිතන්නෙ නැතුව සමහරවිට අදහස් ප්‍රකාශ ක‍ළා ය කියාත් හිතෙනවා.

* ඔබ වහන්සේ ඉහත සඳහන් කළ ප්‍රඥාසම්පන්න යති පරපුර වගෙ පරපුරක් අද භික්ෂුන් අතරින් බිහි නොවන්නේ ඇයි?

එක පැත්තකින් පිරිවෙන් අධ්‍යාපනය බිඳ වැටුණා. තවත් පැත්තකින් ආරාමික පරිසරය කඩා වැටුණා. ඒ කාලේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු පවා සිංහල, පාළි, සංස්කෘත ගැන හරි බුදු දහම ගැන හරි යම් ගැටලුවක් මතු වුණාම හොයාගෙන එන්නේ පිරිවෙන්වල නායක හාමුදුරුවන්ව විශේෂයෙන් විද්‍යෝදය, විද්‍යාලංකාරයට. මොකද, ඒ තරම් ඥාන සම්භාරයක් උන්වහන්සේලා සතුව තිබුණා. පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත් වුණායින් පස්සේ ඒ ගැඹුරු අධ්‍යාපනය සම්ප‍ූර්ණයෙන් ම බිඳ වැටුණා. පිරිවෙන් කියන්නේ පොත් කියවන තැනක්. විශ්වවිද්‍යාල කියන්නේ පොත් නොකියවා විවේචනය කරන තැනක්. ඒ විවේචනය කරන ඇත්තෝ පොත කියවලා තියා දැකලාවත් නැහැ.

* ඔබ වහන්සේ‍ත් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ‍නේද?

‍ඔව්. පිරිවෙන් අධ්‍යාපනයෙන් පස්සේ මං විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලිව්වා. ඒ අනුව තමයි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට බැදුණේ. හැබැයි මම විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගත්ත දෙයක් තිබුණේ නැහැ. මොකද ඒ හැම දෙයක් ම මං පිරිවෙනේ ඉද්දි ඉගෙන ගෙන අවසන්ව තිබුණා.

* විශ්ව විද්‍යාලයේ ඔබ වහන්සේගේ සමකාලීනයන් කවුද?

වැලිමිටියාවේ කුසලධම්ම හාමුදුරුවෝ මගේ පන්තියේ. අපි වාඩි වුණෙත් එක තැන. දානේ වැළදුවෙත් එක තැන. ගිහියන් අතරින් මහාචාර්ය බන්දුසේන ගුණසේකර හිටියා. තව මැල් කියලා මහත්තයෙක් හිටියා. කවුද එයාගේ නම? අර ලේඛකයෙක් ඉන්නේ? සුනන්ද මහේන්ද්‍ර ද මැල්.

ඔබ වහන්සේ 56 පෙරළියේ කැපී පෙනෙන භික්ෂුවක්. කොහොමද දේශපාලනයට සම්බන්ධ වුණේ?

ඒක දේශපාලනයක් කියලා මම කියන්නේ නැහැ. බෞද්ධ භික්ෂුන් වහන්සේ වශයෙන් අපි එදා කළේ ජාතික අවශ්‍යතාවයක් ඉටු කිරීමක්. රටට, ජාතියට, ආගමට උවදුරක් වෙයි කියලා හිතලා තමයි අපි සියලු දෙනාම සටනට බැස්සේ. ඒක ජාතික ප්‍රශ්න පිළිබඳ බරපතළ උද්ඝෝෂණයක් තිබුණු කාලයක්නේ. ඒ කාලේ මම මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට සම්බන්ධ වෙලා හිටියා. බද්දේගම විමලවංශ තමයි නායක හාමුදුරුවෝ. උන්වහන්සේ එක්ක තමයි අපි ඔය දේශපාලන වැඩ කළේ.

* ඔබ වහන්සේ මැතිවරණ ව්‍යාපාරයටත් සහභාගි වුණා.

ඔව්. මාතලෙත්, මාවනැල්ලෙත් අපි ඡන්ද සටන මෙහෙයවූවා. මං මාතලේ රැස්වීම් 27 ක මූලාසනය දැරුවා. මාතලේට ඉල්ලුවේ නිමල් කරුණාතිලක මහත්තයා. මාතලේ කියන්නේ තනිකර යූ. එන්. පී. එකේ බර්නාඩ් අලුත්විහාරේලාගෙ බළකොටු. අපි ගෙන් ගෙට ගිහිල්ලා ඡන්දදායකයන් දැනුවත් කළා. මුලින් ඡන්දයක් ගැන කතා කළේ නැහැ. අපි කිව්වේ රට, ජාතිය, බුද්ධාගම විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා ඒවා බේරගන්න ඕනැ කියලයි. අපේ කතා අහන් හිටපු අය අන්තිමෙට කිව්වේ “අපිනම් හාමුදුරුවනේ අලුවිහාරේ මහත්තයාට තමයි ඡන්දේ දෙන්නේ” කියලයි. දැන් ඉතිං මොකද කරන්නෙ? අපි අපේ කතාව ටිකක් වෙනස් කළා. අපි නිමල් කරුණාතිලකට ඡන්දය දෙන්න ඕනැ විදියට කතා කළා. ඊට පස්සේ තමයි ‘ආ එහෙනං අපි ඒ මහත්තයාට ඡන්දෙ දෙමු’ කියලා කිව්වේ.

මං ආපහු කොළඹ එනකොට නිමල් කරුණාතිලක මහත්තයාට කිව්වා ඔබතුමා ස්ථිර වශයෙන්ම දිනනවා කියලා.

පනස් හයේ අලුත් ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ මන්ත්‍රීවරුන් පිළිගැනීමේ උත්සවයක් අපේ පිරිවෙන සංවිධානය කළා. ඒකට ඔය නිමල් කරුණාතිලක මහත්තය එහෙමත් ඇවිත් හිටියා. එතුමාගේ රැස්වීම් 27 ක මුලසුන දරපු මාව එතුමා අඳුන ගත්තෙ නැහැ. ඒ ටික දවසට එතුමට මාව අමතක වෙලා.

* දේශපාලනමය වශයෙන් ඔබ වහන්සේගේ පරමාදර්ශී චරිතය වුණේ කවුද?

විශ්ව විද්‍යාලයේ ඉද්දි අපි වැඩ කළේ පිලිප් ගුණවර්ධන මහත්තයට. අපේ හිටපු මාක්ස්වාදීන්ගෙන් රටේ ඉදිරි ගමන පිළිබඳ නිවැරැදි දැක්මක් තිබුණේ එතුමට විතරයි. එතුමා මේ රට මොකද්ද, සිංහල ජාතිය කියන්නේ කවුද, රටේ බුද්ධාගම පවතින්නේ මොන වගෙ තත්ත්වයක ද කියල දැනුවත් භාවයක් ඇතිවයි දේශපාලනය කළේ. ඒ වගේමයි අවංකකම හා එඩිතරකම. අනික මනුස්සකම පිරී ඉතිරි ගිය දේශපාලනඥයෙක්.

* මැතිවරණ වේදිකාවල පවා කතා කරපු ඔබ වහන්සේ ඇයි අද භික්ෂු දේශපාලනයට විරුද්ධ?

අපි එදා බලය අතට අරන් ආණ්ඩු කරන්න, රට පාලනය කරන්න ගියේ නැහැ. අපි අපේ වගකීම ඉටු කළා, එච්චරයි. මට මතකයි පනස් හයේ අපි දින්නට පස්සේ කොටගම වාචිස්සර හාමුදුරුවෝ කියනවා, “හා දැන් හරි අපේ වැඩේ ඉවරයි. මම ඉස්කෝලේ යනවා, ඔය ඇත්තොත් ඉගෙනීමේ වැඩ ආයේ පටන්ගන්න” කියලා. ඉන් එහාට දේවල් අපි බලාපොරොත්තු වුණේ නැහැ. අපි කළ යුත්තේ පාලකයන්ට උපදෙස්, අවවාද, අනුශාසනා දෙන එකයි.

* ඔබ වහන්සේ වරක් කියා තිබෙනවා භික්ෂුන්ට පක්ෂ දේශපාලනය තහනම් කළ යුතුයි කියලා.

ඔව්. මම ඒක අදත් කියනවා.

* ඔබ වහන්සේ කාලයක් ගුරු වෘත්තියෙත් හිටියා?

මං අවුරුදු ගාණක් පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ ඉගැන්වූවා. එහි පරිවේනාධිපතිවත් හිටියා. හොරණ විද්‍යාරත්නෙත් ඉගැන්වූවා.

* ඔබ වහන්සේ බොහෝම දක්ෂ ලේඛකයෙක්. කොහොම ද ලේඛන කලාවට සම්බන්ධ වුණේ?

පිරිවෙන්වල උගන්වන කාලේ තමයි මං ලියන්න පටන්ගත්තේ. මුලින්ම ලිව්වේ ‘රසවාහිනි’ සඟරාවට. පස්සේ කාලෙක ‘දිවයින’ පත්තරේට ‘පැවිදි පඬි මිණි පහන්’ කියන ලිපි මාලාව ලිව්වනේ.

* ‘පැවිදි පඬි මිණි පහන්’ ලියද්දි ඔබ වහන්සේට වයෝවෘද්ධ, ඥානවෘද්ධ හිමිවරුන් ගණනාවක් මුණගැහුණනේ. කොහොම ද ඒ අත්දැකීම්?

ඒ තරම් ප්‍රසිද්ධියක් නැති, ඒ වුණාට පුදුම පාණ්ඩිත්‍යයක් තියෙන ස්වාමින් වහන්සේ රටේ විවිධ ගම්පළාත්වල ඉන්නවා. උන්වහන්සේලා හරියට කැලෑවට හඳ පැයුවා වගේ. දැන් බලන්න හගුරන්කෙත ශ්‍රී විමල නායක හාමුදුරුවෝ. ත්‍රිපිටකය පිළිබඳ පුදුම දැනුමක් තියෙන හාමුදුරු කෙනෙක්. ඉතිං ඒ වගේ ඇත්තන් සමාජයට මතු කරලා ගන්නයි මට වුවමනා වුණේ. උන්වහන්සේ බණක් කිව්වත් වල්පල් කියන්නේ නැහැ. ධර්මය තමයි ප්‍රකාශ කරන්නේ.

* එහෙම වල්පල් කියන හාමුදුරුවනුත් අද ඉන්නව ද?

ධර්මය ගැන නොකියා රටේ නැති වල්පල් දොඩවන හාමුදුරුවරු ඉන්නවා. සමහරුන්ට මාතෘකාවක්වත් නැහැ. බණ කියනවා කියන්නේ ජනතාව හිනස්සන එක නෙමෙයි.

* ඔබ වහන්සේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් ගේ ජීවිත කතාවත් ලිව්වා.

මම ‘පැවිදි පඬි මිණි පහන්’ ලිපි මාලාව ලියද්දි ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ධර්මදූත සේවයට විදේශ රටවලට වැඩම කරලයි හිටියේ. උන්වහන්සේ ලංකාවට වැඩියම මට හිතුණා උන්වහන්සේගේ අත්දැකීම් ලියන්න ඕනැ කියලා. මේ පොත පුදුමාකාර විදියට ජනප්‍රිය වුණා. දැන් මේ පළවෙලා තියෙන්නේ එහි 20 වැනි මුද්‍රණය. මටත් පුදුමයි. මේ තරම් ජනප්‍රිය වුණු චරිත කතාවක් තවත් නැහැ.

* ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් කතරගම දෙවියන් දැක්කයි කියලත් ඔය පොතේ තියෙනවනේ. ඒවා ඇත්තක් වෙන්න පුළුවන් ද?

ඒ දේවල් අපි විශ්වාස කළත් නොකළත් ඒවා උන්වහන්සේ ආවට ගියාට කියපුවා කියලා බැහැර කරන්න බැහැ. ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් හිප්නටිසම් (මෝහන විද්‍යාව) වගෙ දේවල් බොහෝම ගැඹුරට දැනන් හිටපු කෙනෙක්. උන්වහන්සේ දෙවිවරුන්, අමනුෂ්‍යයන් එක්කත් කතාබහ කරලා තියෙනවා.

* ඔබ වහන්සේ පටු ආගමික භේදය ඉවතලා මර්සලිනු ජයකොඩි පියතුමාගේත් ජීවිත කතාව ලිව්වා. බෞද්ධ භික්ෂුවක් කතෝලික පූජකවරයකුගේ ජීවිත කතාව ලියු ලෝකයේ එකම දුර්ලභ අවස්ථාව ලෙස එය වාර්තාගතයි.

ජයකොඩි පියතුමා රට, ජාතිය, ආගම, සංස්කෘතිය, සොබාදහම ගැන කවි, ගීත ලියපු පියනමක්. සුදු ලෝගුවත්, අතරින් පතර තිබුණු සුදු කෙස් ටිකත් නොතිබුණනම් එතුමා ගුණයෙන් හා ශීලයෙන් පිරිපුන් වැඩිහිටි මහ තෙරුන් වහන්සේ නමක්ම තමයි. මට හිතුණා උන්වහන්සේගේ ජිවිත කතාව ලිව්වොත් හොඳයි කියලා. මට පොඩි චකිතයකුත් නොතිබුණා නෙමෙයි. මොකද, මං බෞද්ධ භික්ෂුවක්. උන්වහන්සේ කතෝලික පූජකවරයෙක්. මං මගේ අදහස මාපලගම විපුලසාර හාමුදුරුවන්ටයි මගේ කල්‍යාණ මිත්‍ර බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවන්ටයි කිව්වා. උන්වහන්සේලා කිව්වා “බොහෝම හොඳයි කරන්න පුළුවන්නම්” කියලා. ඉතිං මං මේකෙන් දිරි ගැන්වුණා. මං ගියා ජයකොඩි පියතුමා හම්බුවෙන්න. ගිහිල්ලා මගෙ අදහස කිව්වා.

උන්වහන්සේ පුටුවෙන් නැගිට්ටා. නැගිටලා මගේ අත්දෙක අල්ල ගත්තා. අල්ලගෙන කිව්වා “මේක ලෝක ඉතිහාසයට එකතු වන වැඩක්” කියලා.

* පසුගිය දා ඔබ වහන්සේට අවුරුදු 80 සපිරුණා. ඒ වගේම අලුත් පදවියකුත් ලැබුණා. මේ වගෙ අවස්ථාවක අතීතය දිහා ආපහු හැරිලා බලනකොට මොනව ද හිතෙන්නෙ?

මම සතුටු වෙනවා. ආරම්භය බැලුවත්, අධ්‍යාපනය බැලුවත්, අපි හිටපු ජාතික ව්‍යාපාර බැලුවත් රට, ජනතාව විශේෂයෙන් බෞද්ධයන් වෙනුවෙන් අපි අපේ කාර්යභාරය ඉටු කළා ය කියන අප්‍රමාණ සතුට මට තියෙනවා. පසුගිය දශක කීපයේ සිද්ධ වුණු සියලු ජාතික සටන්වල මම ඉදිරියෙන්ම හිටියනේ. ඉතිං ඒක ලොකු සතුටක්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්