මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මේ රට දෙකඩ නොකරන ජනාධිපතිතුමා අපිට විශ්වාසයි

මේ රට දෙකඩ නොකරන ජනාධිපතිතුමා අපිට විශ්වාසයි

- අර්ජුන කමලනාත්

අර්ජුන කමලනාත් අපේ සිනමා ක්ෂේත්‍රයේ යම් යම් ගැටලු හා අර්බුද පිළිබඳ සෘජුව තම අදහස් ප්‍රකාශ කරන කලා ශිල්පියකු බව අමුතුවෙන් කිව යුතු නැත. ඒවා බොහෝ විට විවේචනාත්මක ස්වරූපයකින් යුක්ත ය. ඇතැම් විට පෞද්ගලික ආරාවුල් දක්වා එකී විවේචන දුරදිග ගිය අවස්ථා ද නැතුවා නොවේ.

කෙසේ වෙතත් අර්ජුන කමලනාත් යනු ජනප්‍රිය තරුවකි. චිත්‍රපට හතළිහකට වැඩි සංඛ්‍යාවක් සිය රංගනයෙන් හැඩ කළ ඔහු “ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ” චිත්‍රපටයෙන් අධ්‍යක්ෂවරයකු බවට ද පත් වීය.

බොහෝ කලාකරුවන් ගේ මෙන්ම වර්තමානයේ අර්ජුනගේ ක්‍රියාකාරකම් ද අප දකින්නේ දේශපාලන පොර පිටිය ඔස්සේ ය. එළඹෙන ජනාධිපතිවරණයේ දී ඔහු කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය උදෙසාය.

සිනමාව හා දේශපාලනය පිළිබඳ තම මතවාද ගෙන හැර පාමින් ඔහු අප හා සංවාදයකට එක්වූයේ මෙලෙසිනි.

ඔබේ කලා දිවියේ අලුත් තොරතුරු මොනවා ද?

මේ ජනවාරි මාසයේ තිරගත වෙන්න නියමිතයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටය. ඊළඟට ජයසේකර අපොන්සු ගේ ‘තරු සොබා’ ඇතුළු චිත්‍රපට පහක් පමණ තියෙනවා තිරගත වෙන්න. ඊට අමතරව ‘කවීත්‍රා’ කියලා ටෙලි නාට්‍යයකුත් කළා. ඒකත් විකාශය වෙයි.

‘මහරජ ගැමුණු’ ඔබේ සිනමා රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් කියා මට හිතෙනවා.

ඔව්... ඇත්තෙන්ම. මම එහි රඟපෑවේ ‘සුරනිමල’ කියන චරිතය. අපිව ලේබල් කරලා තියෙන්නේ වාණිජ නළුවෝ කියලානේ. ඉතින් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කිසිම බියක්, සැකක් නැතිව ඒ චරිතය මට බාර දුන්නා. මගෙ උපරීමයෙන් ඒක කළා. නමුත් ප්‍රේක්ෂකයෝ තමයි එහි හොඳ, නරක තීරණය කරන්න ඕනෑ. හැබැයි අධ්‍යක්ෂවරයානම් සන්තෝෂයි. ඒකෙ රවුල වවලා, කොණ්ඩ වවලා මටවත් මාව අඳුරගන්න බැහැ. අශ්වයෝ පිට යනවා, කඩු සටන් කරනවා. ඒක වෙනම අත්දැකීමක්. හැබැයි වාණිජ සිනමාවේ රඟපාපු, ක්‍රියාදාම චිත්‍රපට කරපු නළුවකුට ඔය මොන දේත්, එතරම් අභියෝගයක් නෙවෙයි කියලා මම ඔප්පු කළා.

නළුවෙක් හැටියට තවම ඔබ ජනප්‍රියයි කියා හිතනවා ද?

මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට තවම අර්ජුන් කමලනාත් එපා වෙලා නෑ.

ඒත් පසුගිය දා පැවැති “හිරු ගෝල්ඩන් අවෝඩ්ස්” සිනමා උලෙළේ ජනප්‍රිය නළුවන් අතර ඔබ හිටියේ පහළම තැනක...?

මම දන්නවා, ඒකේ ඇතුළේ වුණු දේවල්. ඒ නිසා ඒක ගැන කතා නොකර ඉම්මු. කෝටි ගණනක් වියදම් කරලා ඉන්දියානු නළු, නිළියන් මෙහෙට ගෙනල්ලා ඒ කරපු වැඩේ අන්තිමට අසාර්ථක වුණානේ. එතන ගිහින් ඩාන්ස් කරපු අපේ නළුවන් ගෙන් අහලා තිබුණනේ Who are You” කියලා. මමත් ඕවා දැක්කේ පත්තරවලින්. ඔය වියදම් කරපු කෝටි ගාණෙන් ඊට වඩා හොඳයි මෙහෙ සිනමා ශාලා ටිකක් හැදුවානම්. ඒක අසාර්ථක සිනමා උලෙළක්. මෙලෝ රහක් නැති වැඩක්.

අර්ජුන කමලනාත් ක්ෂේත්‍රයේ ප්‍රකටව ඉන්නේ කෙළින් කතා කරන කෙනෙකු විදිහට. ඒ වගේම ඔබ ප්‍රවීණයන්ට දොස් පවරන කලහකාරී චරිතයක් හැටියටත් ප්‍රසිද්ධයි. මේක ඇත්තටම ඔබේ ඉදිරි ගමනට බාධාවක් නෙවෙයි ද?

මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දාසයක් වෙනවා. ඒ දාසයේම හිටියේ ඔය විදිහට තමයි. ඉතින් තව අවුරුදු කීයක් ඉඳියි ද දන්නේ නෑ මේකේ. ඒ ඉන්න ටිකෙත් වෙනසක් වෙන්නේ නෑ. එහෙම වෙනසක් වෙනවා ඔය ඉන්න කට්ටිය හරියට වැඩ කරනවානම්. මම කවදාවත් ගාමිණී ෆොන්සේකාට බැනලා නෑනේ. විජය කුමාරතුංගට, සනත් ගුණතිලකට බැනලා නෑනේ. ජිවන්ට බැනලා නෑනේ. එතනින් උඩ ඉන්න සෙට් එකේ මම දොස් පවරන්නේ මේ ආණ්ඩුවලින් තනතුරු අරන් ක්ෂේත්‍රයට වැඩක් නොකරපු උන්ට විතරයි. එතකොට ප්‍රවීණයන්ට මම දොස් කියනවා කියන එක වැරැදියි.

වගකීමෙන් ද ඔබ ඔවැනි චෝදනා කරන්නෙ?

අද චිත්‍රපට, ටෙලි නාට්‍යය හදලා පෙන්නගන්න බෑ. එතකොට මේ අයට වගකීමක්, යුතුකමක් තියෙනවා නේද ඒ තනතුරුවල ඉඳගෙන මේවා ගැන සොයා බලන්න. වගකිවයුත්තන් දැනුම්වත් කරන්න. කලාකරුවෙක් දේශපාලනයට එන්න ඕනෑ කලාවට සේවයක් කරන්න බලාගෙනයි.

දැන් ඔබත් දේශපාලනය කරනවනේ...?

ඔව්... නමුත් තනතුරු නැහැනේ...

යම් දවසක තනතුරක් බලාගෙන නෙවෙයි ද. එතකොට ඔබ ඔය දේශපාලනයේ නියැළෙන්නේ...?

එහෙම තනතුරු ගන්න ඔය ඉන්න සෙට් එක අපිට ඉඩක් දෙන්නෙත් නැහැ. දැන් 2005 අවුරුද්දේ ඉඳන් මේ මෑතක් දක්වා එක පුද්ගලයෙක් තමයි අපේ සිනමාව පාලනය කළේ. චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරයාව ඔහු සත පහකට ගණන් ගත්තේ නෑ. කොපි 35 නීතිය ක්‍රියාත්මක කරපු වෙලාවේ ඔහු දාගත්ත කොපි 55 ක්. එතකොට ෂූටිං පටන් ගන්නේ රිලීස් ඩේට් එක එයාම කියලා. ඔක්කොම සයිලන්ට්. මොනවා හරි වුණාම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලියුමක් අරන් එනවා. ජනාධිපතිතුමාගේ ඕඩර්ස් කියනවා. දානවා. ජනාධිපතිතුමා දන්නෙත් නෑ.

ඒ පුද්ගලයා අපේ සිනමා ක්ෂේත්‍රයේ ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවයි ඔබ ඔය කියන්නෙ...?

පැහැදිලිවම. ඔහුට තිබුණ සම්බන්ධතා හා සිවිල් බලතල නිසා හැමෝම කට වහගෙන හිටියා. අන්තිමට මොකක්ද වුණේ? පැදුරටත් නොකියා යන්න ගියා. හරි. ඕවා හොඳ පාඩම්. ඉතින් මේ වගේ ප්‍රවීණයන්ට අපි බණින්නේ නැතිව වෙන මොනව ද කරන්නෙ?

කලක් ඔබ හිටපු චිත්‍රපට සංස්ථා සභාපතිවරයා සමඟ සමීපව කටයුතු කළා...?

ගොඩක් සමීපව හිටියා. පස්සේ මම ඔහුගෙන් අයින් වුණා.

ඇයි ඒ...?

මගේ “ඉගිල්ලෙන්න ඇයි දඟලන්නෙ” චිත්‍රපටය එනකොට ඔහු චිත්‍රපට සංස්ථාවේ එක්තරා නිලධාරිනියකට යටත් වුණානේ. ඒක කවුරුත් දන්න දෙයක්. මගේ චිත්‍රපටයටත් පහර දුන්නා. එතකොට මම අයින් වුණා. පස්සේ පස්සේ ඔහුත් එක්ක ක්ෂේත්‍රයේ ගොඩක් අය අමනාප වුණා. අර පී. ආර්. එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණ නිසා.

නැවතත් ජයන්ත ධර්මදාස මහතා සංස්ථා සභාපති ධූරයට පත්ව සිටිනවා...?

ඔහු ව්‍යාපාරික ඥානයකින් හෙබි යමක් කමක් කරන්න පුළුවන් පුද්ගලයෙක් නේ. දක්ෂයෙක්. ඉතින් ඔහුට අවබෝධයක් ඇති මේ ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන. මොකද මේ අයගෙන් සමහර දෙනෙක් තමයි ගිය පාර ඔහුව එළෙව්වේ. ඒ කට්ටියම අද ඔහු වටා රොක් වෙලා. චිත්‍රපට සංස්ථාව කියන්නේ ඇත්තට පුදුම කොමඩි තැනක්. එක්කෙනෙක් යනවා. එක්කෙනෙක් එනවා. එයා ගියාම අර කලින් කෙනාම ආපහු එනවා.

මම හිතනවා ධර්මදාස මහත්තයා යමක් කරයි කියලා. මේ ඔහුගේ තෙවැනි වාරය. ඔහුට දැන්නම් තේරෙන්න ඕනෑ මම ඉන්න ඕනෑ කා එක්ක ද අයින් කරන්න ඕනෑ කාව ද කියන එක. ප්‍රධානම කරුණ බෙදාහැරීම චිත්‍රපට සංස්ථාව යටතට ගන්න ඕනෑ. ශක්තිමත් නිලධාරී මණ්ඩලයක් හදාගෙන, සර්කිට් පහ සර්කිට් තුනක් කරලා නිසි ක්‍රමවේදයක් අනුව ගේම ගහනවානම් කිසි ප්‍රශ්නයක් නෑ එතුමාට හැමෝගෙම සහයෝගය ලැබේවි.

අද කලාකරුවෝ දෙපිලකට නෙවෙයි තුන් හතර පිලකට බෙදිලා. ඔබ ඇතුළු කලාකරුවන් පිරිසත් වෙනම කුලකයක ඉඳන් තමයි මෙවර මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග්‍රහණය පිණිස ඇපකැප වී ක්‍රියා කරන්නෙ...?

අද ඔය ඉන්න හුඟ දෙනෙක් 2005 දී හිටියේ නෑ. අපි තමයි හිටියේ. ඒත් එදා මේ තරම් අපිට ඥානය තිබුණේ නෑ. මම මේ කියන්නේ අවුරුදු දහයකට කලින්.

එතකොට ඔබ දේශපාලන දැක්ම අතින් නොමේරූ දරුවෙක්...?

එහෙම කියන්න බෑ. මොකද මම උසස් පෙළට කළේ දේශපාලන විද්‍යාව. 72 ජනරජ ව්‍යවස්ථාව, 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කට පාඩම් කාලේ ඔය. ඒ තිබුණ දේශපාලන ඇම්මත් එක්ක චන්ද්‍රිකාගේ ආණ්ඩුව එපා වෙලා මට තිබ්බේ. මම සිනමාවට ආවේ 1998 දී. ඒ වෙනකොට එල් ටී ටී ඊ ය අපේ රටට කරපු හානිය දැකලා මම හිටියේ ලොකු කම්පනයකින්, කලකිරීමකින්. ඒ වගේම මට තිබුණේ ලැජ්ජාවක්. මොකද අපිට ඇවිත් ගහලා යනවා. මේ තත්ත්වය දැකලා මම හමුදාවට බැ‍ඳෙන්න හැදුවා. පොලීසියට යන්න හැදුවා. මම පවුලේ එකම එකා හින්දා අම්මයි, තාත්තයි යන්න දුන්නේ නෑ. හැබැයි මේ ඇම්ම තිබ්බා. ඒත් දේශපාලනය ගැන මම සවිඥානක වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාට පසුව.

දේශපාලනය පවුල් පසුබිම ඔස්සේ ඔබට උරුම වූ දෙයක්...?

මගේ සීයා වීරසිංහ බුද්ධදාාස. එතුමා නේරු මහත්මා ගාන්ධි එක්ක එකට සිරබත් කාපු කෙනෙක්. ශාන්ති නිකේතනයේ ඉගෙන ගත්තේ. රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ හොඳම ගෝලයන් ගෙන් කෙනෙක්, තවම සහතික තියෙනවා. සීයා ඒ කාලේ බණ්ඩාරනායක මහත්මයාගේ දේශපාලන ගමන්මඟට තිරයෙන් පිටුපස ඉඳන් විශාල තල්ලුවක් දුන්න කෙනෙක්. එතුමා හිටපු විදුහල්පතිවරයෙක්. ඒ ආභාසය මටත් ලැබෙන්න ඇති. අපට තියෙන්නේ මේ රට විතරයි කියා එක පුංචි කාලේ ඉඳලම මගේ හිතට කාවද්දලයි තිබුණේ.

2005 වසරේ ඉඳන් ඔබ මහින්ද රාජපක්ෂ මැතිඳුන් වෙනුවෙන් වැඩ කළා කිව්වා...?

ඔව්... එතකොට මම අද තරම් ජනප්‍රිය නළුවෙක් නෙවෙයි. නමුත් මොරටුවේ මගේ ගමේ මම එතුමන් වෙනුවෙන් පෝස්ටර් ගැහුවා. මට පුළුවන් විදිහට මගෙ දේශපාලනේ මම කළා. අපි සමහර ප්‍රවීණ කලාකරුවන් ගෙන් Voice Cut ගන්න ගියාම ඔවුන් හැංගුණා. සමහරු හිටියේ එක්සත් ජාතික පක්ෂයේ. රනිල් එක්ක හිටියේ එහෙම. ප්‍රශ්නයක් නෑ ඒ අය පස්සේ උදවු කරන්න ආවා. 2005 දී වගේම 2010 දීත් අපි එතුමාට උදවු කළා.

ඔබ දේශපාලනයෙන් ටිකක් අයින් වෙලා නේද හිටියේ...?

ඇත්තටම. මම ඇතුළු කලාකරුවන් පිරිසක් ක්‍රියාකාරිව දේශපාලනයට සම්බන්ධ නොවෙන්නයි තීරණය කර තිබුණේ. ඒත් හදිසියේ ඇතිවුණු මේ දේශපාලන විපර්යාසය නිසා තමයි අපි ජනාධිපතිතුමන්ට සහාය දෙන්න ඉදිරිපත් වුණේ. මොකද මේ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තියෙන සංවර්ධන කටයුතු අඩාළ වෙන්න අපි ඉඩ දිය යුතු නැහැ. අද රටේ හැම තැනම මාර්ග හැදෙනවා. අධිවේගී මාර්ග හැදෙනවා. ගුවන් පාලම් ඉදිවෙනවා ශීඝ්‍ර සංවර්ධනයක්. තමන් බලයට පත් වුණොත් ‘Fort City’ ව්‍යාපෘතිය නවත්වනවා කියලා රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළානේ. එහෙම වුණොත් ඒවා හරි අපරාධ. සංචාරක ව්‍යාපාරයෙන්නම් මේ රට දියුණු කරන්න තියෙන්නේ අපි ඒක කරන්න ඕනෑ. හැමදාම සීගිරියයි, දළදා මාළිගාවයි, සිංහරාජ වනන්තරෙයි පෙන්වලා හරියන්නේ නැහැ.

මේ සියලු කරුණු සලකා බලලයි මෙවරත් ඔබ සුපුරුදු තීරණයටම එළඹියේ...?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට දෙකඩ කරන්නෙ නෑනේ. රාජ්‍ය දේපළ විකුණන්නේ නෑනේ. ඒක අපට විශ්වාසයි. විකුණපු ඒවත් ගන්නව. රක්ෂණ සංස්ථාව ගත්තා. ලාභ ලබනවා. ෂෙල් එක ගත්තා. ලාබ ලබනවා. එයාර් ලංකා ගත්තා. ලාබ නැතත් දැන් ඒක අපේ. රජයේ. මෙන්න මේ වගේ අනභිභවනීය දේවල් ටිකක් තියෙනවනේ. මේ ප්‍රතිලාභ අපට දැනෙනවා. මෙන්න මේ කරුණු සලකා බලලා අපි මෙවරත් තීරණය කළා ජනාධිපතිතුමාටම සහයෝගය දක්වන්න. ඔයා විශ්වාස කරන්න අසංක, සමහරු මේ තීරණය ගත්තේ අර්ජුන කමලනාත් නිසාමයි. මාත් එක්ක ඉතාම ළෙන්ගතු, සහෝදර කලාකරුවන් පිරිසක් එකාවන්ම මේ කාර්යය සඳහා පෙළගැසී සිටිනවා...

මෙය අලුත් කලා සංවිධානයක්...?

‘හෙළ බල කලා සංසදය’ යනුවෙනුයි අප මෙය නම් කර තිබෙන්නේ.

ඔබ සමඟ අත්වැල් බැඳ සිටින සෙසු කලා ශිල්පීන්, ශිල්පිනියන් ගැන මතක් කළොත්...?

කලා ශිල්පීන් හාර සිය දහ දෙනෙක් අප සංසදයේ සාමාජිකත්වය දරනවා. ඉදිරියේදී තවත් එකසිය ගණනක් මේකට බඳවා ගන්නවා. නම කිව්වාම, මූණ අඳුරන කට්ටිය මේකෙ ඉන්නේ. ඊට අමතරව කැමරා ශිල්පීන්, සහාය අධ්‍යක්ෂවරුන්, වේශ නිරූපණ ශිල්පීන් අපිත් එක්ක ඉන්නවා. ඔවුනුත් කලාකරුවොනේ. සුපිරිම කණ්ඩායමක් මොකක් හරි පදනමක් හදාගෙන ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳා ගන්නවා. එතනින් පල්ලෙහාට කිසි කෙනෙක් ගැන හිතන්නේ නෑ. නමුත් මේ කලාව කියන්නේ සුපිරි පැලැන්තියකට අයිති දෙයක් නෙවෙයි. අහිංසක, කිසිවක් කර කියාගන්න බැරි අසරණ කලාකරුවෝ ඕනෑතරම් ඉන්නවා. ඔවුන්ටත් පිළිසරණක් වෙන්නයි අපි “හෙළ බල කලා සන්ධානය” පිහිටුවා ගත්තේ.

කලා ක්ෂේත්‍රයේ තිබෙන ඔය කියන අර්බුද, ගැටලුවලට විසඳුම් සොයන්න ඔබට වඩා ප්‍රබල, ප්‍රවීණ කලාකරුවෝ මීට පෙර මැදිහත් වුණා. නමුත් ඇතැම් ප්‍රශ්න එතැනමයි. ඔබේ කලා සංසදයෙන් කිසියම් සාර්ථකත්වයක් ලබාගත හැකි වේයැයි සිතනවා ද...?

අපේ මහ සමුළුවට ගෙන්නුවේ ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමයි, විමල් වීරවංශ ඇමැතිතුමයි. අපේ යෝජනා සම්මත කරවා ගත්තේ ඒ දෙන්නවත් තියාගෙන. බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා එක්ක පැයකුත් විනාඩි පහළොවක් සාකච්ඡා කළා. හෙළ බල කලා සංසදය දීලා තියෙනවා යෝජනා දහයක්. එක යෝජනාවක් තමයි කොළඹ මහ ඉස්පිරිතාලේ වාට්ටුවක් වෙන්කරලා දෙන්න කලාකරුවෝ වෙනුවෙන්. එතනදි නළුවෝ, නිළියෝ, ගායක, ගායිකාවෝ සහ කලාවට සම්බන්ධ මාධ්‍යවේදීන් ඊට ඇතුළත් වෙනවා. ඒ එක යෝජනාවක් පමණයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්