මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සංගීතයට බොරු කළේ කේමදාස මාස්ටර් ද? වික්ටර් ද...?

සංගීතයට බොරු කළේ කේමදාස මාස්ටර් ද? වික්ටර් ද...?

ලතා කේමදාසගෙන්

ආචාර්ය ‍වික්ටර් රත්නායකට පිළිතුරක්

“ආචාර්ය වික්ටර් රත්නායක දෙසැම්බර් 07 වැනිදා රසඳුනට පවසා තිබුණානේ මෙහෙම කාරණාවක්. ‘ප්‍රේමසිරි කේමදාස කළෙත් ඔය බොරුව තමා. අපිට මුකුත් නැහැ. ඒ නිසා සංගීතය ප්‍රවර්ධනය කළ යුතුයි. රසාස්වාදය ඇති කළ යුතුයි කියලා මෙහාට සිම්ෆනි ගෙනත් දැම්මා. ඒවා අපේ රටට ගැළපෙනව ද. ඒ රටවල ශීත දේශගුණය, භාෂාව, උච්චාරණය, පල්ලිවල ගීතිකා ආදිය අනුව හැදුණු ශෛලිය අපේකම වෙනවා ද. අපේ රුව ගුණ සුවඳ එතැන කෝ...?’ වික්ටර්ගේ එම ප්‍රකාශයෙන් ඉතා බරපතළ චෝදනාවක් සහ ප්‍රශ්නයක් නැසිගිය මගේ ස්වාමියාගේ (සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ) නමට එල්ල කර තිබෙන හෙයින් සහ වික්ටර් ‘රසඳුන'ට කළ එම ප්‍රකාශයෙන් නොනැවතී දෙසැම්බර් 11 වැනිදා ‘සරසවිය’ පත්‍රයෙන් ද ‘සංධ්වනි, ඔපෙරා අපේ රටට ගැළපෙන්නේ නෑ. කේමදාස මහත්මයාත් පොට වරද්දා ගත්තු තැන ඔන්න ‍ඔතැන කියලා මට හිතෙනවා’ ආදී ප්‍රකාශ කරමින් මගේ ස්වාමියා වරද්දා ගත්තු අපවත් නොදන්නා පොටක් ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇති හෙයින් ද වික්ටර්ට කරුණු කාරණා පහදා පිළිතුරු දීම පිණිස මට අවසර ඕනේ.”

එලෙස පවසමින් අප සමඟ මෙම කතාබහට එක්වුණේ සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ බිරිය ලතා කේමදාස ය. ඇය අපව ඇමතුවේ බිඳුණු ස්වරයකිනි. ඈ බෙහෙවින් වේදනාවට පත් වී සිටි අතර “මගේ මහත්මයා ජීවතුන් අතර සිටිද්දී නොකියා එකට වැඩ කරලා දැන් ජිවතුන් අතරේ නැතුවම ඔය විදිහට කියන එක හරිම වැරදියි. මාස්ටර් උන්නා නම් කවුරුවත් ඔහොම කතා කරන්නේ නැහැ. දැන් මාස්ටර් නැහැනේ. ඉතින් මාස්ටර් නැති වුණාට පස්සේ ඔහොම කියන්නේ තියෙන කුහකකමට මිස වෙන කිසි දේකට නෙමේ නේ. සංගීතයට කවදාවත් මාස්ටර් බොරුවක් කරලා නැහැ. ඒ වගේම මාස්ටර් සංගීත ක්ෂේත්‍රයේ කළ කිසිවක් එයාට වැරදිලත් නැහැ. මාස්ටර් නොකියපු, නොකරපු දේවල් කියලා ඇයි මේ ජීවතුන් අතර නැති එයාගේ නමට අසාධාරණ විදිහට මෙහෙම අපහාස කරන්නේ ඒ නිසා මට තවත් ඉවසන්න බැහැ. වික්ටර්ට පිළිතුරු නොදී ඉන්න මට බැහැ. මං නිහඬ උන්නොත් ඒක මගේ ස්වාමියාට කරන ද්‍රෝහිකමක් වෙනවානේ’ යැයි කියමින් සංවාදයට සැරසී එතෙක් ළයේ සිර කරගෙන සිටි සුසුමක් වාතලයට මුදා හැරියා ය.

“වික්ටර් එක්ක පෞද්ගලික කිසිඳු අමනාපයක් අපේ නැහැ. ඒත් ඉතින් හැමෝම මට දොස් කියනවා වික්ටර් මාස්ටර්ට අපහාස වෙන විදිහට කරලා තියෙන ප්‍රකාශ ගැන නිහඬව ඉන්නවා කියලා. පිටරටින් පවා දුරකතන ඇමතුම් එනවා, වික්ටර් කියා ඇති දේවල් ගැන අහලා. තවදුරටත් මං නිහඬව උන්නොත් ඒ අය හිතාවි වික්ටර් පවසා තියෙන ඒවා ඇත්තයි කියලා. එයාට පුළුවන් සින්දු කියන්න විතරයි නම් ඒවා කියාගෙන මේ අනම් මනම් කියුම් නොකියා කට පියාගෙන ඉන්න ඕනේ. එයා ඇරෙන්න මුළු රටම දන්නවා සංගීතයට කේමදාස මාස්ටර් බොරුවක් කළේ නැහැ කියලා. මේවාට උත්තර දෙන්න මටයි, දුවලා දෙන්නටයි අයිතියක් තියෙනවා.”

. වික්ටර් රත්නායකයන්ට පිළිතුරු දෙන්න ඔබට සංගීතය පිළිබඳ දැනුමක් තිබෙනවා ද?

“මගේ ස්වාමියා සමඟ අවුරුදු පණහක් විතර ජීවත් වෙච්ච මට වික්ටර්ට පිළිතුරු දෙන්න වෙනම සංගීතය ගැන දැනුමක් මොකට ද? තවත් අතකින් අපිට එයා කියා දුන්නු කරුණු, එයාගේ වැඩ කටයුතුවලදී එකට ඉඳලා ලබපු පළපුරුද්දෙන් මං ඉගෙන ගත්තු කරුණු මදි ද වික්ටර්ට උත්තර දෙන්න. එයයි මමයි මුලින්ම දැන හඳුනාගෙන ඇසුරු කළේ ස්කෝලේ ගිය කාලේ ඉඳලමයි. ආචාර්ය රෝහණ වීරසිංහත් වරක් කියා තිබුණා - ‘මාස්ටර්ට වැඩ කරන්න ගෙදරිනුත් විශාල සහයෝගයක් ලැබුණා’ කියලා. ඒ ඉතින් මගෙන්නේ. ඒ කාලේ සමහරදාට අපි සිය දෙනෙකුට කෑම බීම හදනවා අපේ ගෙදර. තවත් සමහරදාට ප්‍රසංග පවත්වලා සල්ලි නැතුව අපි පයින්ම ගෙදර ආපු දවස් ද තියෙනවා. තාම මතකයි අපි කාන්තා විද්‍යාලයේ ප්‍රසංගයක් කරලා රාජගිරියට පයින් ආවා ඒ කාලේ තිබුණු විදිහට ටැක්සියක එන්න වත් සල්ලි නැතුව. හැමදාම මාස්ටර් පස්සෙන් උන්නු ගෝලයෝත් අපි දෙන්නා එක්ක එදා පයින් ආවා. ඒ හැමතැනකදීම එයාට උන්නා මම. ඉතින් ඇයි මට බැරි වික්ටර්ට උත්තර දෙන්න.”

. වික්ටර් පවසා තියෙන්නේ ඔහුගේ අදහස්. ඊට තහනමක් නැහැ නේද...?

“මේ රටේ ඕනෑම පුද්ගලයකුට තමන්ගේ අදහස් පුවත්පතකට පවසන්නට තහනමක් නැහැ තමයි. ඒ බව මං දන්නවා. හැබැයි මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ කේමදාස මාස්ටර් වැනි කලාකරුවකුට අපහාස වෙන අයුරු පුහු, අමූලික බොරු ප්‍රකාශ කරන්න කාටවත්ම අයිතියක් නැහැ. විශේෂයෙන්ම තමන් චිත්‍රපට පසුබිම් ගායකයෙක් වෙද්දී මුලින් දායක වූ අයුරු පවා අමතක කර දමා ‘ප්‍රේමසිරි කේමදාස බොරු කාරයෙක්, පොට වරද්දා ගත්තෙක්’ වැනි හැඟීමක් ප්‍රසිද්ධියේ මේ සමාජයට ප්‍රකාශ කරන්න වික්ටර්ට කිසිම අයිතියක් නැහැ. මං කියන්නේ වික්ටර් මාස්ටර්ට විරුද්ධව ඔහොම කිව්වට එයාගේ චිත්‍රපට පසුබිම් ගීත ගායනා ජිවිතේ දී හොඳම ගායකයා විදිහට සම්මාන ලබලා තියෙන්නේ මගේ ස්වාමියා සංගීත අධ්‍යක්ෂණය කළ ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයේ සුජාතා අත්තනායක සමඟ ගායනා කරපු ‘ඈත හිමාලේ සීතල පවනේ’ ගීතයට පමණයි. ඒ 1969 දී සරසවි සම්මානය. ඉන්පසු චිත්‍රපට කොපමණ සංඛ්‍යාවක වික්ටර් ගීත කීයක් නම් ගායනා කර තිබෙනවා ද. ඒත් කෝ ඒ එකකට හරි සම්මානයක් ලැබුණා ද. කේමදාස මාස්ටර් බොරුකාරයෙක් නම් වික්ටර්ට ඒ සම්මානය වත් ලැබෙයි ද? හැබැයි ඉතින් දැන් හිතා බලද්දි මාස්ටර් පොට වරද්දා ගෙන තිබෙන්නේ නම් වික්ටර්ට ඒ සම්මානය ලබා ගන්න දායක වීමෙන් වෙන්න ඇතිනේ. ඇත්තටම මිනිහෙකුට කට තිබුණු පළියටම මුල අමතක කරලා ඔහොම කතා කරන්න පුළුවන් ද කියන එක ගැන මට පුදුමයි.”

. කේමදාස මාස්ටර් වික්ටර්ට ගයන්න තවත් ගීත නිර්මාණය කර දීමෙන් දායක වී තිබෙනවා ද...?

“නැතුව. චිත්‍රපටම හතක අටක විතර මාස්ටර් වික්ටර්ට ගායනා කරන්න ගීත හදා දී තියෙනවානේ. ‘හන්තානේ කතාව’ (විශාරද නන්දා මාලිනි සමඟ ‘සාරා සොඳුරු මල් පැටලී’) - ‘බයිසිකල් හොරා’ (ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟ “ජීවිත රෝදේ”) - ‘නාරිලතා’ (මිල්ටන් පෙරේරා සහ එම්. එස්. ප්‍රනාන්දු සමඟ ‘ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන’) - ‘මී මැස්සෝ’ (නන්දා සමඟ ‘රුං රුං රුං මී මැස්සෝ’ සහ වික්ටර් තනිව ගැයූ ‘ජීවන සුවඳක් දැනෙනවා’ ගීතයයි. ‘දිවි මැදුරේ සඳළු තලේ’ ගීතයයි) - ‘පූජිතයෝ’ (‘ජීවන ආශා සදයි වේදනා’) - ‘අපරාධය හා දඬුවම’ (“මිහිරෙන් මා දිනූ”) ඒ චිත්‍රපට අතරින් කිහිපයක්. තව මාස්ටර් තනු නිර්මාණයෙන් දායක වූ ගුවන් විදුලි ගීත කීයක් නම් වික්ටර් ගායනා කරලා තියෙනවා ද.

ඒ ඇත්ත නැත්ත ඕනෑම කෙනෙකුට වික්ටර්ගේම ‘මාරුතයේ මියුරුසර’ (කර්තෘ - ගීතනාත් කුඩලිගම) පොත බැලුවාම දැන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, වික්ටර් ගායනා කර ඇති මුල් යුගයේ ගීත අහද්දී කේමදාස මාස්ටර්ගේ ‘සිතිජය’ - ‘බැරි සිල්’ - ‘කැලෑ මල්’ ආදි ගීත නාටකවල වූ නාද රූප සංගීතය තුළින් නොමඳ ආභාසයක් ලබා ඇති බැව් පැහැදිලි වෙනවා. ඒ එකල වික්ටර් මාස්ටර්ව ඇසුරු කිරීමෙන් ලද අත්දැකීම් හරහා ලද ආභාසය වෙන්න ඕනේ. එය එසේම බැව් වික්ටර්ගේ ‘මාරුතයේ මියුරුසර’ පොතේ 198 පිටුවේ දෙවැනි ඡේදයේ සාක්ෂි දරනවා. මට මතක හැටියට මාස්ටර් සමඟ එයාගේ වාදක මණ්ඩලයේ වයලීන වාදකයෙකු හැටියටත් වික්ටර් වැඩ කරලා තියෙනවා චිත්‍රපට සංගීතවත් කරද්දී. එහෙව් මාස්ටර්ට තමයි අද වික්ටර් බොරුකාරයෙක් කියන්නේ. ඒකයි මං මුලදීම කිව්වෙ මේවා මේ කුහකකමට කියන කතා කියලා.”

‍. කෙළින්ම පවසනවා නම් ඔබ වික්ටර්ගේ කුහක ප්‍රකාශයක් ලෙස හඳුන්වන ප්‍රකාශය කුමක් ද...?

“බලන්න, වික්ටර් පවසනවානේ - ‘අපිට මුකුත් නැහැ’ කියා මාස්ටර් ප්‍රකාශ කළා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. කෙනෙක් නොකියූ දෙයක් කිව්වා කියා පවසන්නේ කුහකකමටයි. වික්ටර්ගේ ප්‍රකාශයේ කුහකකම වැඩියෙන්ම පැහැදිලි වෙන්නේ ‘සංගීතය ප්‍රවර්ධනය කළ යුතුයි, රසාස්වාදය ඇති කළ යුතුයි කියලා මේ රටට සිම්ෆනි ගෙනල්ලා දාලා මාස්ටර් බොරුවක් කළා’ යන අදහස ඒත්තු යන අයුරින් මේ ප්‍රකාශය කර තිබීමෙනුයි. එහෙනම් ඇයි එදා වික්ටර් මාස්ටර්ගේ චිත්‍රපට ගීත ගායනා කළේ...? මාස්ටර් සංගීතවත් කළ චිත්‍රපට වලට වාදකයෙක් ලෙස දායක වුණේ...? (එහෙම නම් වික්ටර්ගේ ජීවිතයේ සුවිශේෂ තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් වන ‘මාරුතයේ මියුරුසර’ ග්‍රන්ථයේ 276 පිටුවේ ‘බැරි සිල් ගීත නාටකය චිත්‍රපටයක් වෙද්දි’ මාතෘකාවෙන් පළ කර ඇති ඡායාරූපයේ මාස්ටර් සංගීතවත් කරද්දී වික්ටර් නන්දා මාලිනි සහ මිල්ටන් පෙරේරා සමඟ ගායනා කරන්නේ නැතුව බොරුවට රඟපෑමක් ද කර තියෙන්නේ.) මාස්ටර් බොරුවක් කළා නම් ඇයි එදා ඒ බව කෙළින්ම නොකිව්වේ...? ඒ සේරටම වඩා වික්ටර් කුහක ප්‍රශ්නයකුත් අහනවානේ. ‘යුරෝපීය රටවල ශීත දේශගුණය, භාෂාව, උච්චාරණය, පල්ලි වල ගීතිකා ශෛලිය අනුව හැදුණු සිම්ෆනි, ඔපෙරා ආදිය අපේකම ද’ කියලා. අපේකම නැති හින්දා ද මේ රටේ ප්‍රේක්ෂකයින් මාස්ටර්ගේ ‘මානස විල’ වාර සියයකට කිට්ටු වාර ගණනක් රස වින්දේ. අදත් ඔවුන් අහන්නේ නැවත ‘මානසවිල’ පවත්වන්නේ කවදද කියලයි. එහෙම අහන්නේ අපේකම නැතුව එය නිර්මාණය කළ හින්දා ද...? වික්ටර්ගේ ප්‍රශ්නය පුහු එකක් බව කුඩා දරුවෙකුට වුවත් තේරුම් ගන්න පුළුවන් කුහක අදහස් කිහිපයක්ම ඔහු මේ ප්‍රශ්නෙට ඈදා ගෙන තිබුණා.”

. එම අදහස් මොනවා ද...?

“සිම්ෆනි, ඔපෙරා ආදිය ශීත රටවල දේශගුණය, භාෂාව, උච්චාරණය සහ විශේෂයෙන්ම පල්ලිවල ගීතිකා ශෛලී අනුව නිර්මාණය වී ඇති නිසා අපේ රුව ගුණ සුවඳ (අපේකම) නැහැයි වැනි අදහස්. මොනතරම් නම් පටු අදහස් ද ඒ. කේමදාස මාස්ටර් වෑයම් කළේ ගීතයෙන් එහාට සංගීතයෙන් කළ හැකි මෙහෙවරක් ඉටු කරන්නයි. මාස්ටර් කිව්වේ අපිට තියෙන දේ සංරක්ෂණය කළ යුතුයි. හැබැයි අපි ජන ගායනයෙන්, සංගීතයෙන් තවත් ඉදිරියට, එහාට ගොස් මේ රටේ මිනිස්සුන්ගේ රසඥතාව වැඩි දියුණු කළ යුතුයි කියලයි. සංධ්වනි පවත්වන්න දේශගුණය ශීතල ද උෂ්ණ ද, පෙරදිග ද, අපරදිග ද, පල්ලි ද, පන්සල ද, කෝවිල ද කියා ප්‍රශ්නයක් නැහැ. එක එක තල වල ගායනා කරන්නත් පුළුවන්. භාෂාව සහ උච්චාරණය වෙනස් වෙන්න පුළුවන්. සංගීතය විශ්ව භාෂාවක්. මීට සියවසකට හමාරකට පෙරදීත් බටහිර සංගීත ලෝකයෙන් අපේ රටට ගෙන ආ ගීත නාටක, ප්‍රසංග පැවැතියා. ඒ අතර ලෝක ප්‍රකට ‘ඩොනෙට්සි’ වැනි ඔපෙරා ද තිබුණා. ඒ ආභාසය සහ පල්ලි වල ගීතිකා ශෛලීන්ගේ ආභාසය ලබා ගී ගැයූ සුනිල් සාන්ත, සී. ටී. ප්‍රනාන්දු වැනි ගායකයින් අදත් රසිකයින්ගේ මතකයේ ඉන්නවානේ. ඉතින් මෙතැනදී පල්ලිවල ගීතිකා ශෛලිය වික්ටර් අපේකම නොවේ කියනවානේ. එය මොනතරම් කුහක ප්‍රශ්නයක් ද. සංගීතය සමඟ කරන ගනුදෙනුවකදී අපේකම කියා සීමා පවුරු බැඳගෙන රසඥතාව පුළුල් කර ගන්න පුළුවන් ද...? ඒ විනාඩි හතරේ ගීතයේ සංගීතයට තිබුණු පිළිගැනීමනේ. ‘සංධ්වනි’ කියන්නේ විනාඩි හතරේ සින්දුවේ සංගීතයට නෙමේ. වික්ටර් සංගීතයට බොරු කළේ ...

අපේකම නැහැ කියන ඔය හැම ශෛලියක්ම මේ රටේ පවතින්න ඕනේ. එහෙම නැත්නම් අපි විශ්ව සංගීතය තුළ ළිං මැඩියන් වැනි වෙනවා.”

. ඔපෙරා, සංධ්වනි අපේ රටට නොගැළපෙන බවයි වික්ටර් පවසන්නේ...

“හුඟාක් ඔපෙරා ලියැවී තියෙන්නේ ඉතාලි භාෂාවෙන්. ඒත් අපිට ඒවා තේරෙනවා. ඒවා නිර්මාණය වෙන්නේ එහෙමයි. භාෂා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ඒවා රස විඳිද්දි, මාස්ටර්ගේ ‘කැලෑ මල්’ - ‘බැරි සිල්’ - ‘සිතිජය’ - ‘වර්ණදාසි’ - ‘අපේ රටේ රජතුමාට අං ඇවිල්ලා’ - ‘වැස්ස’ තව කොච්චර තිබුණා ද. ඒත් වික්ටර් කවදාවත් ආවේ නැහැ අපේ සංධ්වනියක් බලන්න. ඒ ඉතින් හිතේ කුමක් හෝ කහටක නිසානේ. එහෙම වික්ටර් කොහොම ද මාස්ටර්ගේ සංධ්වනි මේ රටට ගැළපෙන්නේ නැහැ කියන්නේ. මොකද ඒවා ගැන එයා විමර්ශනයක්, පරීක්ෂණයක් කරල ද? නැහැනේ. ඉතින් ඇත්තටම පොට වරද්දා ගෙන තියෙන්නේ වික්ටර්ම නේද.”

. වික්ටර් පොට වරද්දා ගෙන යනුවෙන් අදහස් කරන්නේ මාස්ටර්ගේ සංධ්වනි, ඔපෙරා ආදි නාද රූප ප්‍රසංග ආදියට ජනප්‍රසාදය ලැබී අප රට තුළ පැවැත්මක් ඇති නොවීම නිසා විය හැකියි නේද...?

“මොකද මාස්ටර්ගේ සංධ්වනි, ඔපෙරාවලට ජනප්‍රසාදය හිමි නොවුණේ ‘මානස විල’ පමණක්ම සිය වාරයකට ආසන්න වාර ගණනක් පවත්වන්න පුළුවන් වුණේ ජනප්‍රසාදය හිමි වූ නිසානේ. අපි ඒවා නතර කළේ ජනප්‍රසාදය හා පැවැත්මක් නොමැතිව නෙමේ. ඒ කාලේ මාස්ටර්ට ඒවාට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු හින්දයි. මාස්ටර් කිව්වේ - ‘මට තනියම කරන්න බැහැ. රජයේ අනුග්‍රහය ඕනේ’ කියලයි. මොකද සංධ්වනියක් කරද්දි විශාල වියදමක් දරන්න වෙනවා. වාදක මණ්ඩලයම ඉන්නවානේ පනහක් හැටක් විතර. ඉතින් පුහුණුවීම් ආදිය කරන්න ආවම වුණත් ගෙවන්න ඕනේ. අපේ රටේ වෙනම ඔපෙරා ශිල්පීන් නැහැනේ. හැම ශිල්පියෙක්ම වෙනත් වෘත්තීන්වල යෙදෙන අය නිසා අපට ඕන දිනයන්ට වේලාවන්ට ඔවුන් ගන්න බැහැ. හරියට ඕනෑකම තිබ්බා තව සංධ්වනි ලියන්න. ඒත් පසුව අතහැර දැම්මා රාජ්‍ය අනුග්‍රහය ලැබුණානම් අද මේ රටේ ඔපෙරා ශිල්පින් මෙන්ම සංධ්වනී, ඔපෙරා කලා ක්ෂේත්‍රයක් තියෙනවා. මාස්ටර්ට එදා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම මේ රටේ කලාකරුවන්ගේ මේනම රසිකයින්ගේ ද අභාග්‍යයක්. මාස්ටර් ඒවා නතර කළේ පොට වරද්දා ගෙන නොවේ, රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු නිසයි. සංධ්වනි, ඔපෙරා වැනි උසස් රසඥතාවයෙන් යුතු නාද රූප ප්‍රසංග නැතුව පොට වැරදුණේ මාස්ටර්ට නෙමෙයි, මේ රටේ කලාවටයි, වික්ටර්ට එය තේරුම් ගන්න නොහැකි වීම ගැන කනගාටුයි.”

. අවසාන වශයෙන් මේ පිළිබඳව ඔබට පවසන්න ඇත්තේ කුමක් ද...?

“කේමදාස මාස්ටර් කවදාවත් බොරුවක් කළේ නැහැ. මේ රටේ සංගීත රසිකයින්ව කවදාවත් රවට්ටලා නැහැ. මාස්ටර් සංගීතයෙන් මහ පෙරළියක් කළා. වික්ටර් මොනව ද කළේ? මේ ළඟකදී සිංහල සින්දු හින්දියෙන් කිව්වාලු. ඇත්තටම එය පෙරළියක් ද? නැත්නම් දියුණු වීමක් ද? ‘ස’ ප්‍රසංගය නැවැත්තුවා කියලා දැන් තාමත් ඒ සින්දු කිය කියා වෙන ප්‍රසංග පවත්වනවා. වික්ටර් නරක ගායකයෙක් කියලා කියනවා නෙමේ මං මේ. එහෙම බැලුවාම කේමදාස මාස්ටර් ද වික්ටර් ද පොට වරද්දාගෙන සංගීතයට බොරු කරලා තියෙන්නේ. වික්ටර්ට තිබුණා මුල අමතක නොකර හිතලා බලලා කියන්න ඕනෑ දෙයක් කියන්න. එසේ නැතිව ‘ප්‍රේමසිරි කේමදාස බොරුකළා, පොට වරද්දා ගත්තා’ වගේ ප්‍රකාශ කිරීමෙන් පෙන්නුම් කර තියෙන්නෙ වික්ටර්ගේ කුහකකමයි. අන්තිමට වික්ටර්ට මතක් කර දීමට තියෙන්නේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සමඟ ගයන්න මගේ ස්වාමියා වික්ටර්ට හදලා දුන්නු මේ ගී පද කිහිපයයි. තවදුරටත් එදා මාස්ටර් කී ලෙසම විනාඩි හතරේ සින්දුවෙන් එහාට සංධ්වනි, ඔපෙරා නාද රූප ප්‍රසංග තුළින් අපි රසඥතාවයෙන් දියුණුවට යා යුතුව ඇති බවත් මතක් කර දෙන්න කැමැතියි.”

කටු කොහොලින් පිරුණු ලොවින්
කිඩාරමින් වැසුණු ලොවින්
පාළු මුඩුම වියළි ලොවින්
එක පිම්මෙන් පියා සලා
අලුත් ලොවට යමු ඉගිලී...!

(පද - සුනිල් ආරියරත්න)


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්