මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»


දේවකතා හා නිර්මාණකරණය

දේවකතා හා නිර්මාණකරණය

ෙලා්කයේ හටගැනීම, පැවැත්ම හා විනාශය පිළිබඳ මහසමයමෙහි සාකච්ඡා කෙරෙන බැවින් ලෝකය මැවීමට ශිව හවුල්වන අයුරු දැක්වෙන පුරාණ කතාවක් අවධානයට ගනිමු. නාරායන වේෂයෙන් විෂ්ණු දෙවියන් මුහුදු ජලය උඩ ශෙෂ නාග රාජයාගේ දරණය මත සැතපී සිටින විට නාගරාජයාගේ නාභියෙන් නෙළුම් මලක් පැන නැඟ ඒ මත මහා බ්‍රහ්මයා පහළ වන්නේ ය. ක්ෂණයෙන් ඔවුන් ඉදිරිපිට විශාල ගිනි ටැඹක් වැනි ශිව ලිංගයක් පෙනී ගියේ ය. සියලු ලෝක ගිනි ගත්තා වැනි ආලෝකයක් ඉන් විහිදුණි. මෙම ශිව ලිංගයේ දිග ප්‍රමාණය හඳුනාගත නොහැකි විය. මුල මැද අදෘශ්‍යමානය. එයින් නැගුණු ගිනි දැල් නාරායනයේ සිත අවුල් කළේ ය.

පසු ව බඹු හා නාරායන ගිනි ටැඹේ මුල, අග සෙවීමට කතිකා කොට නාරායන මුල සෙවීමට මුහුදු පත්ලටත් මහ බඹු අහසටත් ගිය ද ඔවුනට මුල අග සොයා ගත නොහැකි විය. සුදු උල් දළ, දිගු හොම්බක්, කෙටි පාද ඇති, ගැඹුරු හඬින් ගොරවන, ශක්ති සම්පන්න, වරාහ (ඌරු) අවතාර වේෂයක් ගෙන නාරායන මුහුදු පතුලට කිමිදුනි. මහා බ්‍රහ්මයා සුදු පාට තියුණු ඇස් ඇති, සෑම තැන ම පියාපත් ඇති, සිත හෝ වාතය හෝ පරදවා යා හැකි ශක්තියක් ඇති හංස වේෂයක් ගෙන අහසට නැඟුණි.

මෙම පුරාවෘතයෙන් කියැවෙන්නේ මුහුදේ ගැඹුර හා අභ්‍යවකාශයේ ඉම සෙවීමට මිනිසා තුළ පැවති උනන්දුව විය හැකියි. කෙසේ වුව මහා බ්‍රහ්මයා හා නාරායන නැවත මුණ ගැසී සිදු වූ දේ පිළිබඳ කතා කරමින් සිටින විට ඊශ්වර එම අවස්ථාවට පැමිණ ආචාර පවත්වනවාත් සමඟ ම “ඕම්” යන ශබ්දය පැතිර ගියේ ය. “ඕම්” යනු විශ්වය නිර්මාණය වූ විට ඇසුණු විශ්වයේ පළමු ශබ්දයයි. මේ සියල්ලෙන් පැහැදිලි වනුයේ විශ්වය බිහිවීමට පෙර අධ්‍යාත්මික ලෝකයේ බලය හා හැඩ රුව පැරැන්නන් විසින් පැහැදිලි කර ගන්නා ලද ආකාරය විය හැකියි.

මෙලෙස “ඕම්” කාරය නැඟුණු අතීතයේ සිදු වූ ලෝක විනාශයකින් පසුව ලෝක ධාතුව පුරා පැවැති ඇසට නොපෙනෙන පදාර්ථයෙන් විනාශ වීමෙන් පසු ශුන්‍යතාව විශ්ව ගර්භය පුරා පැතුරුණි. එවිට ලෝකය එක ම ජල ගෝලයක් නොහොත් සමුද්‍රයක් මෙන් විය. මහා බ්‍රහ්මයා නිද්‍රෝපගත ව බ්‍රහ්ම වර්ෂ දහසක් කල් ජල කඳ මත සිට රාත්‍රිය ගත වූ පසු තුන් ලොව මවන්නට ඇත්නම් යනුවෙන් සිතුවේ ය. බ්‍රහ්මයා සත්ත්ව, රජස් හා තමස් යන ගුණයන්ගෙන් යුතු අයෙකි. ඉන් සන්නිවේදනය කෙරෙන්නේ විශ්වයට සම්බන්ධ පදාර්ථයන් තුනකි. සත්ත්ව යනු ජීවය සංකේතය වන අතර රජස් අවකාශයට අදාළ අඳුර හා ආලෝකය සංකේතවත් කරයි. තමස් යනු පොළොව නමැති ඝනත්වයට අදාළ දූවිල්ලයි. විශ්ව භෞතික ශක්තීන් ලෙස මෙම පදාර්ථ පුරාණයේ සිට මිනිස් අවධානයේ පැවති බව දැක්වෙන මෙම සංකල්පය පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය කිරීම පිණිස මෙම නිර්මාණාත්මක වූ අධ්‍යාත්මික ආකෘතිය භාවිතව ඇති බවත් පෙනේ.

ඉන්දීය වෛදික යුගයේ දී ප්‍රබල සන්නිවේදන ක්‍රමෝපායක් ලෙස ස්වභාවිකත්වයේ වස්තු හා දර්ශන මූර්තිමත් කිරීමට සංකේත ලෙස භාවිත වන්නේ දෙවිවරුන්ය. ඒ අනුව ස්වභාව ධර්මය හා මිනිසා අතර පැවති අධ්‍යාත්මික සම්බන්ධතාව ඉතා විශිෂ්ට බව පැහැදිලි වේ. නිදසුනක් ලෙස අෂ්ට වසු දේවතාවුන් ලෙස ආප, ජලයටත් ධ්‍රැව, ධ්‍රැව තරුවටත් සෝම, සඳටත් ධර, පෘතුවියටත් අනිල, සුළඟටත් අනල, ගින්නටත් ප්‍රභාස, අරුණෝදයටත් ප්‍රත්‍යුෂ, ආලෝකයටත් සංකේතවත් ව සන්නිවේදනය කොට ඇත.

පුරාණ නිර්මාණාත්මක ප්‍රකාශනයන්හි විද්‍යාත්මක ස්වභාවයන් අවබෝධ කර ගැනීම පුරාණය හා වර්තමානය අතර ඇති සන්නිවේදන දුරස්ථභාවයන් නිසා අවහිර වී ඇත. අතීත දැනුම පුරාණෝක්ති හා දේව කතා යනාදියට මිශ්‍ර ව පවතී. පුරාණෝක්ති හෝ දේව කතා හෝ විද්‍යාත්මක අධ්‍යයන විෂයෙන් දුරස්ව, ඒවාට භෞතික අධ්‍යයන ප්‍රවේශයන් සමීප වීම නිසා සැබෑ ඓතිහාසික සාධක හා මිථ්‍යාවන් හඳුනාගැනීම අපහසු වී ඇත. ශිව තාණ්ඩව නර්තනය එයට එක් ප්‍රධාන නිදසුනකි. ශිව තාණ්ඩව සන්ධ්‍යා නර්තනය මඟින් අදහස් කෙරෙන්නේ ලෝක ධාතුවේ පවත්නා පොළොව, හිරු, සඳු, තාරකා හා ග්‍රහලෝක භ්‍රමණය වන බවයි. නිර්මාණශීලිත්වය හා විද්‍යාත්මක අවබෝධය අතර පැවති ප්‍රබල සංයෝගය මෙමඟින් පැහැදිලි වේ. ආදි කාලීන මිනිසා විද්‍යාව ද මිථ්‍යාව ද එක ම තලයක තබා ප්‍රබල සන්නිවේදන ක්‍රමෝපායක් ලෙස භාවිතයට ගෙන ඇත.

පුරාණෝක්ති, පුරාණ මිනිසාගේ පරිකල්පනය හා ඔහුගේ ස්මරණය පිළිබඳ කැඩපතක් බඳුය. අති පැරැණි පුරාණෝක්ති දෙස් දෙන්නේ හැඟීම් හා සංකල්ප ප්‍රකාශනයන් උදෙසා වර්තමානය හා නොසැස‍ඳෙන සංඥා, සංකේත, ප්‍රතිමාන හා කේත ප්‍රකාශනයක ප්‍රාථමික මිනිසා යෙදුණ බවයි. ඇතැම් විට චරිතයක් තුළ විශ්වය හා මිනිසා පිළිබඳ බොහෝ ගැඹුරු අර්ථ ගැබ් කෙරේ. බ්‍රහ්ම, ඊශ්වර, විෂ්ණු ආදී චරිත ගෙන බැලුව ද ඒ බව වැටහෙනු ඇත. අදෘශ්‍යමාන බලවේග මානව හා ද්‍රව්‍ය සංකේතවලට පරිවර්තනය කිරීමේ ඔවුන්ගේ භාවිතය අතිශයින්ම නිර්මාණශීලීය. එසේ ම සංකීර්ණය. පුරාණෝක්තිකරුවාගේ පුද්ගල අනුභූතීන් හා චර්යා ඉතා සියුම් සන්නිවේදනාර්ථ සපයයි.

ඉන්දීය දේව කතා සහ නූතන විද්‍යාත්මක මතවාද අතර සම්බන්ධතාව විමසන්නේ දේව කතාවල ඇති සත්‍යතාව තහවුරු කිරීමට නොව අතීත මානව චින්තනය තුළ ලෝකය හා අප අවට පරිසරය පිළිබඳ ව පැවති අවබෝධයේ තරම වටහා ගැනීමටයි. විශේෂයෙන් මෙහි ලා අරමුණු වන්නේ දාර්ශනික පදනමින් නිර්මාණාත්මක ලෙස සමාජානුයෝජනය උදෙසා ඉතිහාසය අතීත මිනිසා භාවිත කළ ආකාරය හඳුනා ගැනීමයි.

පුරාණෝක්ති හා දේව කතා යනාදිය හැදෑරීමෙන් මානව ඉතිහාසය මෙන් ම පුරාතන සන්නිවේදන විධික්‍රම පිළිබඳ බොහෝ තොරතුරු හඳුනාගත හැකි වේ. විශේෂයෙන් ග්‍රීක හා රෝම පුරාණෝක්ති හා ‍දේව කතා රාශියක් ම ඉන්දියානු පුරාණෝක්ති හා දේව කතාවලට නෑකම් කියන බව අධ්‍යයනවලන් හෙළි වී තිබේ.

අහසට අධිපති ඉන්දියානු හින්දු දෙවි දේවතාවුන් අතර එන ඉන්ද්‍රට සමාන වන්නේ ග්‍රීක හා ‍රෝම දෙවියන් අතර එන ජුපිටර් ෂියුස් නම් දෙවියායි. ජලයට අධිපති හින්දු වරුණ දෙවියාට සමාන ව ග්‍රීක රෝම දෙවියන් වන්නේ නැප්චූන් ය. ඔහු රථයෙන් මුහුද මත ගමන් ගනී. ඔහු එසේ ගමන් ගන්නා විට මහා මත්ස්‍යයෝ මහත්සේ සතුටට පත්වෙති. හින්දු සූර්ය දෙවියාට ග්‍රීක රෝම දේව වන්දනයේදි ඇපොලෝ සමාන වේ. ග්‍රීක රෝම දෙවිදේවතාවුන් අතර හෙෆිස්ටෝස් දෙවියාට ඉන්දියානු හින්දු දෙවියන් අතර එන විශ්වකර්ම සමාන වේ. හින්දු ලක්ෂ්මී ආලයට හා රූප සෞන්දර්යයට අධිපතිනියයි. වීනස් ග්‍රීක රෝම දේව වන්දනාවෙන් හමු වෙන දෙව්දුවයි. මෙලෙස කාමචේතනා ඇති කරන කාම දෙවිට ඊරෝස් ද සරස්වතීට මිනර්වා ද, යමට ප්ලූටෝ ද කුවේරට ප්ලුටස් ද ඊශ්වරට ඕසිරිස් ද සමානකම් දක්වන්නේ ය. බොහෝ දේවකතා ඇසුරින් හඳුනාගත හැකි වන්නේ කිසියම් ගුරුත්වාකර්ෂණ නියමයක් මත විශ්වයේ උපත සිදු වූ බවයි.

බ්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර යන දෙවිවරු තිදෙනා හින්දු ත්‍රීමූර්තිය ලෙස සැලකේ. බ්‍රහ්මයා ලෝකයේ මැවුම්කරුවාය. පැවැත්ම, ස්ථිරත්වය හා ආරක්ෂාව අයත් වන්නේ විෂ්ණු දෙවියාට ය. ලෝකය විනාශ කරන්නේ ඊශ්වරයා ය. ත්‍රිමූර්තිය එක ම ස්වයම්භූ මහා දෙවියෙකු ලෙස ද වෙන වෙන ම දෙවිවරු ලෙස ද වරින් වර ඇදහීමට පාත්‍ර වී ඇත. පසු කලෙක විෂ්ණු හා ඊශ්වර ඇදහිල්ල ජනප්‍රිය ව පැවතිණි. රෞද්‍ර ගති ඇති අයෙක් වුව ද සාමාන්‍ය ජනයා අතර ඊශ්වර වඩාත් වන්දනයට ලක් වූයේ පොදු ජනයාගේ වුවමනා එපාකම්වලට මැදිහත් වූ දෙවියෙකු බැවිණි. බ්‍රහ්මයා උගත්, වයෝවෘධ, තැන්පත් ගති ඇති, තාපසයෙක් බඳු අයෙකි. විෂ්ණු කරුණාවන්තය. යුක්තිගරුක හා රාජකීය ගතිපැවතුම් ඇති අයෙකි.

ශුන්‍ය ව තිබූ ලෝක ධාතුව තුළ බ්‍රහ්ම පදාර්ථය පහළ වී එහි තෘෂ්ණාව උපදී. සිත ඉපිද එක්තරා කලක් එම සිතෙහි මූල බීජය හුදකලාව පැවත පසු ව එයින් රෂ්මි ධාරාවක් අඳුර බිඳ බිහි විය. ලෝකයේ බිහිවීම පිළිබඳ මෙම අර්ථ ගැන්වීමෙන් ද පැහැදිලි කෙරෙන්නේ විශ්වයේ හා මිනිසාගේ බිහිවීම පිළිබඳ විශ්ලේෂණයකි.

ශිව හෙවත් ඊශ්වර දෙවියන් ඇදහීම හින්දූගේ ප්‍රධාන ආගමකි. පුරාණයේ ශිව අමුසොහොන්වල සැරිසරන මිනී හිස් මාලයක් බැඳි උමතු භූතයෙකි. ඇතැම් මානව කතා විශ්ලේෂකයින් පැහැදිලි කරන්නේ ශිව දෙවියන් වනගත ව සිට පසු ව මිනිසුන් අතර ඉපිද රුද්‍ර දෙවිඳු නමින් ප්‍රසිද්ධ වූ බවයි.

ශිව එක් එක් වකවානුවල විවිධ අර්ථගැන්වීම්වලට ලක් ව ඇත. භගවත් පුරාණයට අනුව ශිව අමුසොහොන්වල සිටි අපිරිසිදු චරිතයකි. සාම වේදයෙහි ශිව මහා බ්‍රහ්මයාට සමානය. ‘ශිව’ මංගල්‍යාර්ථ ධ්වනි ශබ්දයකි. ශිව භක්තිකයින්ට අනුව මහා බ්‍රහ්මයාත් ශිවගේ ම මූර්තියකි. ත්‍රිමූර්තිය විවිධ තැන සමාන වූ අර්ථයන්ගෙන් භාවිත වීම විශ්වයේ සියලු ක්‍රියාකාරිත්වයන් මොවුන් තිදෙනාට සමසේ බෙදී යන බව හැඟවීමක් වන අතර සියල්ල එක ම පදාර්ථයකින් බිහි වන්නේ ය යන්න හඟවන සන්නිවේදනාර්ථයක් ද විය හැකිය.

ශිව උද්‍යෝගයෙන් පවත්වන නටරාජා නර්තනය විශ්වයේ සවිඥානක හා අවිඥානක සියලු වස්තූන්හි චලනයක් පවත්නා බව පිළිගන්නා නිර්මාණාත්මක ප්‍රකාශනයකි. එම චලනය අතුල්‍යය. අසාමාන්‍යය. වියළි දරවල ගිනි ගන්නා ශක්තිය ඇතිවාක් මෙන් ම මල්වල සුවඳ ඇතිවාක් මෙන් ම නර්තනයේ චලනය ද සංකීර්ණය. සියලු සතුන් හා සියලු වස්තූන්හට චලනය වීමේ ශක්තියක් ඇති බව එමඟින් කියැවේ. ශක්තිය හා චලනය පිළිබඳ මතය නිර්මාණාත්මක ව හඳුනා ගනිමින් එය ප්‍රකාශ කළ ආකාරය අපගේ අවධානයට යොමු විය යුතු ය.

ශිව සතුටේ දීත් දුකේ දීත් නටයි. ස්වභාවිකත්වයේ චලන ලක්ෂණය ද එයයි. ශිව සතුරන් නසා උන්ගේ සිරුරු මත නටයි. ශිව නර්තනයේ ආරම්භය පිළිබඳ ස්කන්ධ පුරාණය දක්වන්නේ ශිව දාරුක වනයේ දී තවුසන් පිරිසකගේ දෘෂ්ටිවාදය මර්දනය කොට නර්තනය ආරම්භ කළ බවයි. ස්වභාවික සුළඟ, චලනය හා රිද්මය පිළිබඳ නව දාර්ශනික මතයක් ශිව නර්තනය ඔස්සේ සමාජය වෙත ගෙන එයි.

ශිව දෙවියන්ගේ අෂ්ට මූර්තියක් දැක්වේ. ලෝක විනාශයට පදනම් වන්නා වූ සාධක හඳුනා එය නිර්මාණාත්මක හා සංකේතාත්මකව ඉදිරිපත් කළ අයුරු අෂ්ට මූර්තියෙන් පැහැදිලි වේ. ජලය, ගින්න, යාගය, හිරු, සඳු, අහස, වාතය හා පෘථිවිය යන පදාර්ථයන්ගෙන් එකී මූර්තිය සංයුක්ත වන්නේ ය. විනාශයකට බලපාන සාධක ලෙස අෂ්ට මූර්තිය පෙන්වා දීම මගින් යටකී පදාර්ථ වටහා ගැනීමට මිනිසාට මඟ පෙන්වීමකි. පාරිසරික විද්‍යාවේ ආරම්භය එලෙස හඳුනාගත හැකිය.

කල්ප විනාශය සිදු වන්නේ ශිව දෙවියන්ගේ කල්පාන්ත වර්ෂාව, කල්පාන්ත වාතය හා කල්පාන්ත අග්නිය මඟිනි. එහෙත් එය ශිවගේ දුෂ්ටකමක් නොවේ. සක්‍රීය විශ්ව ගමනේ අනිවාර්ය සිදුවීමකි. විනාශය නැවත නිර්මාණය වීම යන සංකල්පය කෙරෙහි එල්ල වූවක් බව මෙමඟින් පෙනේ. ශිව නටරාජා චක්‍රය විශ්වයේ පුනරාගමනය පසක් කරන්නකි.

විෂ්ණු කරුණාව හා ශාන්තිය මුල් කොට බිහි වූ සංකල්පයකි. ඉන්දීය පුරාණයේ වෛෂ්ණව, සත්වත, භාගවත, පඤ්චරාත්‍ර හා ඒකාන්තික ධර්ම යන ගෝත්‍රික ආගම්වල විකාශනයෙන් විෂ්ණු ප්‍රබන්ධය බිහි වේ. විෂ්ණු ‍දේව ඇදහිල්ල සත්වන ගෝත්‍රයේ වාසුදේව තෘෂ්ණ විෂ්ණුගේ අවතාරයයි. ක්‍රි.පූ. 4 වන සියවසේ මෞර්ය රාජ චන්ද්‍රගුප්ත කල විෂ්ණු ඇදහිල්ල ස්ථාපිත විය.

විෂ්ණු ශබ්දයේ නිරුක්තියට අනුව ඉන් “ලෝකයට ඇතුළු වූ තැනැත්තා” යන අරුත උපදී. විෂ්ණු සූර්ය දේව ගණයට අයත් දෙවි කෙනෙක් ලෙස සලකා තිබේ. ලෝක ධාතුව වටා එකවර පියවර තුනකින් ගමන් කළ හැකි මොහු තම රශ්මි ධාරාවන්ගෙන් ලොව එළිය කරයි. ඒ හිරු එළිය, ගින්න හා සූර්ය මණ්ඩලය යන ත්‍රි ලක්ෂණයයි. එනම් හිරු උදාවීම, මුදුන් වීම හා බැසයාම යන ත්‍රිවිධ අවස්ථා විෂ්ණු මගින් සංකේතවත් කළ බව සිතිය හැකියි. කෙසේ වුව මිනිසුන්ගේ හා දෙවියන්ගේ ආරක්ෂාවට හා අභිවෘද්ධියට විෂ්ණු හිතැති දෙවියෙකි. ලෝකයේ පැවැත්ම ආරක්ෂාව හා ස්ථිතිය බාර වූ දෙවියා යි.‍

‍මේ අධ්‍යාත්මය විසින් ගොඩනඟන මහසොහොනා ගේ බිහිවීම පිළිබඳ නාට්‍ය සංඥාර්ථ සපයයි. බස්මා අසුර මිය ගිය අළු ගොඩින් මහසොහොනාගේ උපත යනු ඉන්දීය මිථ්‍යා පුරාණෝක්ති හා ජනශ්‍රැති විඥානය ඔස්සේ ම බිහිවන යක්ෂ සංකල්පයයි. ලාංකික ජන විඥානයේ පැලපදියම් ව ඇති යක්ෂ සංකල්පය ඉතා විශාල මනෝරූපයක් බව බලි තොවිල් වෙස්මුහුණු යනාදිය විමසීමෙන් ම පෙනේ. මහසොහොනා සියලු යක්ෂයන්ට අධිපති යක්ෂයා ලෙස සැලකීම එවක සමාජ සත්තාවේ ස්වරූපය තහවුරු කරයි.

මා මෙවැනි විශ්ලේෂණ මඟින් උත්සාහ කරනුයේ යටත්විජිත බලපෑම්වලින් දේශීය සංස්කෘතික පුනරුදය ප්‍රමුඛ කලා සම්ප්‍රදායන් නොමඟ යැවූ යටගියාව හැකි පමණ පාදා ගනිමින් ඒවා ඉහළට ඔසවා ඒ ඔස්සේ සම්භාව්‍ය කලා පරාසයක් කරා ගමන් කිරීමට ඇති මාර්ග හඳුනාගැනීමට ය. එමඟින් මෙරට නාට්‍ය ශාස්ත්‍ර අධ්‍යයන පිළිගත් මත හා නොදියුණු ක්‍රමෝපාය යනාදිය ප්‍රශ්න කිරීමට ද අවකාශ සලසා ගැනීමයි.


සාහිත්‍ය කාටූනය


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්