කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ලංකාවට ආ චෙකෝෆ් නුවර වැව වටේ ඇවිද්දා

ලංකාවට ආ චෙකෝෆ් නුවර වැව වටේ ඇවිද්දා

චෙකෝෆ් ලංකා ගමනයේ 120 වැනි සංවත්සරය

ලොව මහා ජාතීන් අතර සෝවියට් රුසියාවට ඇත්තේ ප්‍රබල තැනෙකි. ඒ ඔවුන් සතුව පවතින යුද ශක්තිය මෙන්ම අසීමිත මිනිස් ශක්තිය නිසයි. එහෙත් මේ සියල්ලම අභිබවමින් ගිය ඔවුනගේ සාහිත්‍ය නිර්මාණ ශක්තිය අපේ රටේ බාල තරුණ මහලු කා අතරත් අතිශයින් ජනපි‍්‍රය වී තිබේ.

එදා මෙදාර තුර දශක ගණනාවක් පුරා රුසියානු ළමා කතා, කෙටිකතා, නවකතා මෙන්ම නාට්‍ය නිර්මාණ ද ශ්‍රී ලාංකේය පාඨකයින් ආදරයෙන් වැළඳගෙන ඇත්තේ ඒවායෙහි පවතින අපූර්ව රසවින්දනයත් ඒ තුළින් මතු කෙරෙන මහා ගැඹුරත් නිසාවෙනි.

මේ මහා රුසියානු සාහිත්‍යය නිර්මාණ බිහිකළ රුසියාවේ විසූ පුෂ්කින්, ගොගොල්, තුර්ගේනිෆ්, දොස්තයෙවිස්කි, තෝල්ස්තෝයි, චෙකෝෆ්, ගෝර්කි සහ බූනින් වැනි ලේඛකයින් අපේ රටේ ද ජනපි‍්‍රය වී ඇති අතර මේ අතරින් ශ්‍රී ලංකාවට පැමිණි අන්තෝන් චේකෆ් (ඇන්ටන් චෙකෝෆ්) වඩාත් වැඩි ගෞරවාදරයකින් යුතුව කතා කළ හැකි ලේඛකයෙකි.

මේ වසරේ අන්තෝන් චේකෆ් හා බැඳුණු අතිශයින් හෘදයාංගම සංසිද්ධීන් දෙකක්ම යෙදී ඇති අතර ඒ ඔහුගේ 150 වැනි ජන්ම සංවත්සරය හා ඔහුගේ ලංකා ගමනේ 120 වැනි සංවත්සරයයි.

චේකෆ් ගේ ජීවිතයේ එක් සොඳුරු පරිච්ඡේදයක ශ්‍රී ලංකාව සහ ලංකා ගමන පිළිබඳව අපූර්ව සටහන් රැසක්ම වෙයි. මෙය සැබැවින්ම ශ්‍රී‍්‍ර ලංකාවට ගෞරවයකි. ආඩම්බරයකි.

චේකෆ් ගේ 150 වැනි ජන්ම සංවත්සරය සහ ඔහුගේ ලංකා ගමනේ 120 වැනි සංවත්සරයට සහභාගි වීම පිණිස පැමිණි රුසියාවේ ප්‍රාචීන විද්‍යාඥයකු වන ආචාර්ය දිමිත්‍රි කපුස්තීන් මහතා මුණ ගැසීමට ලැබීම භාග්‍යයකි. මොස්කව් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධිධරයකු වන මොහු අන්තෝන් චේකෆ් පිළිබඳව සුවිශේෂී අධ්‍යයනයක යෙදෙන්නකු ද වෙයි. එසේම මොස්කව් ’znavie sila’ සඟරාවේ ලේඛකයකු ලෙසද කටයුතු කරයි.

”2010 වසර නම් කරල තියෙන්නෙ චේකෆ් වර්ෂය ලෙසයි. එහෙත් ඔහුගේ ජන්ම සංවත්සරය සමඟ ඔහුගේ පැමිණීම සමරන ලෝකයේ එකම රට ලංකාවයි. මේ නිසා චේකෆ්ව අධ්‍යයනය කරන්නෙකු ලෙස මම මෙහි ගත කරන දින කිහිපය හරිම ආස්වාදයකින් ගතකරනවා. ඊට හේතුව චේකෆ් ශ්‍රී ලංකාව පිළිබඳව ලියා ඇති කියා ඇති දේවල් නැවත මෙහි ප්‍රතිබිම්බනය වීමයි.”

ආචාර්ය දිමිත්‍රි කපුස්තීන් කතාබහ එලෙසින් අරඹයි.

යුනෙස්කෝ දත්තවලට අනුව චේකෆ්ගේ නිර්මාණ භාෂා 112 කට පරිවර්තනය වී තිබෙනවා. මේ වන විට ලෝකයේ වැඩිපුරම ප්‍රකාශයට පැමිනුණු ලේඛකයා වන්නේත් ඔහු.

ග්‍රාමීය රෝහලක රජයේ වැටුප් ලබන වෛද්‍යවරයකු ලෙස සේවය කළ චේකෆ්, එම යුගයට සාපේක්‍ෂව තිබූ නවීනතම වෛද්‍ය ක්‍රම භාවිතා කළා. ඔහු සමඟ වෛද්‍ය විද්‍යාලවලින් පිටවූ ඔහුගේ සමකාලීන මිතුරන් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස උසස් උපාධිය ලබා ගන්න නිබන්ධන සකස් කරද්දී, චේකෆ් ද රුසියාවේ වෛද්‍ය කර්මය මාතෘකා කරගනිමින් කරුණු එකතු කිරීමට කටයුතු කරනවා.

චේකෆ් ගත් ඡායාරූපයක්

ඔහුගේ ලංකා ගමන සිදුවන්නේ මේ හේතුවෙන්. ඔහුගේ මූලික ඉලක්කය වන්නේ සක්හලින් දූපතයි. ඒ අනුව ඔහු ඉතාමත් විශාල ලෙස මෙම සංචාරයට සූදානම් වී තිබෙනවා. ගමනට මාස 3 කට පෙර නිවෙසට වී විශේෂ පොත් අධ්‍යයනය කර තිබෙනවා.

සැලසුමට අනුව සුහද නැව් සමාගමට අයත් කොප්පරා ප්‍රවාහනය කළ පීටර්ස්බර්ග් නම් දුම් නැවෙන් ඔහුගේ සංචාරය මීට වසර 120 ට පෙර ආරම්භ වෙනවා. ඔහුගේ ඉලක්කය වී තිබෙන්නේ වරායන් 11 ට ගොඩ බැසීමයි. එහෙත් එයින් ප්‍රධානතම සහ වැදගත්ම කරුණ වූයේ සාර් රජ සමයේ බරපතළ දඬුවම් ලබා පිටුවහලට නියම වුණු සිරකරුවන් රඳවා සිටි සක්හලින් දූපතයි. එහිදී වෛද්‍ය විද්‍යාව උදෙසා ශාස්ත්‍රාලීය අධ්‍යයනයක් කිරීම සඳහා එහි තුන්මසක් පමණ අතිදුෂ්කර ජීවිතයක් ගත කළේය. එහිදී ඔහු දුටුඉතා භයංකර දර්ශන සමඟ සිරකරුවන් විඳි දුක් ගැහැට තරුණ චේකෆ් ගේ සිත සසල කළේය.

ඉන්පසු හොංකොං, සිංගප්පූරුව හරහා 1890 නොවැම්බර් 22 දා පෙරවරු 10.00 ට කොළඹ වරායට සේන්දු විය.

මේ දක්වා ලොව පුරා පැතිර තිබුණේ ඔහු ශ්‍රී ලංකාවේ දින 5 ක් ගත කළා කියලා. එහෙත් දැන් ඒ කතා සියල්ල පැරැණියි. මේ වනවිට පීටර්ස්බර්ග් දුම් නැවේ ලොග් පොත හමුවෙලා තිබෙනවා. එහි ඇති විස්තර අනුව ඔවුන් 22 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ වරායට ගොඩ බැස 24 වැනිදා රාත්‍රී 8.00 ට යළි පිටත් වී තිබෙනවා.

මේ අනුව ඉතාමත් විශ්වාසයෙන් පැවසිය හැක්කේ චේකෆ් ලංකාවේ ගතකර තිබෙන්නේ රාත්‍රී 2 ක් සමඟ දින තුනක් පමණයි. මේ බව සනාථ කෙරෙන තවත් වැදගත් ලියවිල්ලක් මීට සති 3 කට පෙර ජාතික ලේඛනාගාරයෙන් හමුවී තිබෙනවා. ඒ තමයි 1890 ටයිම්ස් ඔෆ් සිලෝන් (Times of Ceylon) පුවත්පතේ පළවී තිබූ පිටර්ස්බර්ග් නැවේ වරායට සේන්දුවීම සහ රඳවා තබා ගැනීම ගැන පලවී තිබෙන වාර්තාව.

ආචාර්ය දිමිත්‍රි කපුස්තීන්

චේකෆ් මෙහි නවාතැන් ගත් රාත්‍රී දෙකෙන් එකක් එනම් නොවැම්බර් 22 වැනිදා මහනුවර ක්වීන්ස් හෝටලයේ ගත කර තිබෙනවා. ඔහු දුම්රියෙන් නුවරට ගොස් නුවර වැව වටේ ඇවිදින්නට ගොස් තිබේ. එහිදී ගැලවීමේ හමුදාවේ පෙරහරක් දුටු බවත් හින්දු සාය හැඳගත් ගැහැනු බෙරය, එකෝඩියනය හා සිතාරය වයමින් ගමන් කර ඇති අතර, කළු තරුණයන් හා රතු හැට්ටයක් හැඳගත් කාපිරියෙක්ද ඒ පෙරහරෙහි දුටු බව සඳහන් කර ඔහු ලියූ ලිපි හමුවී තිබෙනවා.

ඇත්තෙන්ම චේකෆ් මහනුවර ගිය බවත් ඔහු ක්වීන්ස් හෝටලයේ නතර වූ බවත් අපට 100% විශ්වාසය තියන්න පුළුවන්. මෙයින් ප්‍රධානම සාක්‍ෂිය තමයි මහනුවර ක්වීන්ස් හෝටලයේ බාර් එකේ බිල්පත. මේ ලියවිල්ලට අනුව චේකෆ් සමඟ තවත් අයෙක් 22 දා රාත්‍රියේ සහ 23 දා පෙරවරුවේ මත්පැන් පානය කර බිත්තර සමඟ තවත් යම් දෙයක් අනුභව කර තේ බී ඇති බව සනාථ වෙනවා. මේ අනෙක් පුද්ගලයා කවරෙක්ද යන්න පිළිබඳව විස්තර නැතත් එය ඉතා හොඳ සොයා ගැනීමක්. මේ බිල්පතේ එදා වටිනාකම රුපියල් 22.75 ක්.

කෙසේ වෙතත් චේකෆ් කොළඹ නගරයේ බොහෝ තැන්වල සැරිසරා ඇති අතර, දෙහිවල සත්වෝද්‍යානයට ගොස් මුගටින් පිළිබඳව විස්තර අසා උන් මිලදී ගත් බවත්, උන් වෙසෙසින් ඔහුගේ සිත්ගත් බවත් සඳහන්.

එසේම විජ්ජාකාරයන් දැක ඇති අතර, ඇස්වැනි සලකුණු තිබෙන සර්පයින් දුටු බවත් සඳහන් කර තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ඔහු නගරයේ සංචාරය කර බොහෝ මිනිසුන් එක්ක කතා බහ කර තිබෙන බවයි.

චේකෆ් ලංකාවේ සිටි දෙවැනි රාත්‍රිය (23) ගතකළේ කොළඹ වරාය ආසන්නයේම ඇති ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ (GOH) බවයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. එහෙත් තවම ඒ බව තහවුරු කරන කිසිදු ලියවිල්ලක් අපට හමුවී නැහැ. ඔහුගේ ලේඛනවල කොතැනකවත් ඒ පිළිබඳව සඳහන් වන්නෙත් නැහැ.

මේ නිසා අන්තෝන් චේකෆ්ගේ ජීවන චරිතයේ මේ පිටුව 100% විවෘත කරගෙන නැහැ. මෙය සොයා ගන්න පුළුවන් වුණොත් එය සැබෑම සොයාගැනීමක් වේවි.

කෙසේ වෙතත් ඔහු එම රාත්‍රිය නවාතැන් ගත් බවට අනුමාන කළ හැකි ස්ථාන 4 ක් ගැන සිතිය හැකියි. පළමුවැන්න GOH හෝටලය. දෙවැන්න ගාලු මුවදොර හෝටලය (Galle face Hotel) තුන්වැන්න ඔහුගේ ඡායාරූප එකතුවේ ඇති ස්ථානය. සිව්වැන්න පීටර්ස්බර්ග් නැව. කෙසේ වෙතත් ඉතාමත් ඉක්මනින් එය සොයාගන්නට අප වෙහෙස ගන්නවා.

සක්හලින් දූපතේ ඔහු ලැබූ කටුක අත්දැකීම් ගොන්නත් ශ්‍රී ලංකාවේ ඔහු ගතකළ ජීවිතයත් අතර ඉතා පැහැදිලි වෙනසක් දකින ඔහු ඒ බව සටහන් කර ඇත්තේ් සක්හලින් දූපත නරකාදියක් ලෙසටත් ලංකාව සුන්දර පාරාදීසයක් (ස්වර්ගයක්) ලෙසටත්ය.

මේ නැව් ගමනේදී නැවේ මියගිය පුද්ගලයකුගේ මිනිය මුහුදට වීසි කරන අවස්ථාව චේකෆ්ගේ මනසේ අඳින ලද සිතුවම, ‘ගුසෙෆ්’ නම් කෙටි කතාවෙන් නිරූපණය වෙනවා. ඔහු මේ කෙටිකතාව ලියන්නට පටන් ගන්නේ කොළඹදී. කතාව ලියන අතරතුර ඔහු සිය ප්‍රකාශකයාට දන්වා යවන්නේ එම පොතෙහි 1890 නොවැ 24 කොළඹදී ලෙසින් එහි සඳහන් කරන ලෙසිනි.

මෙයින් පැහැදිලි වන්නේ ඔහු කොළඹට (ලංකාවට) බෙහෙවින් ආදරය කළ බවයි. ඒ බව ඔහු යළිත් ලංකාවට ඒමට සැලසුම් කිරීමෙන් පෙනී යනවා. එසේම ලංකාවේදී තඹ පැහැ සිරුරු ඇති කාන්තාවන් අපමණ දුටු බවත් ඔවුන් හා ඇසුරේ සතුටු වුණු බවත් ඔහුගේම අත් අකුරින් සඳහන් කර තිබීමෙන් ද පැහැදිලි වෙනවා.

චේකෆ් නවාතැන් ගත් මහනුවර ක්වීන්ස් හෝටලය එදා

ආචාර්ය දිමිත්‍රි චේකෆ් පිළිබඳව දිගහරින මේ කතාබහට හෝරා ගණනාවක් ගෙවී ගොසිනි. එහෙත් කතා බහේ කෙළවරක් නැත. ඇසෙන සෑම තොරතුරක්ම වැදගත්ය. රසවත්ය. නැවුම්ය. ඒ තොරතුරු සියල්ලම සටහන් කරන්නට ඉඩකඩ ගැටලුවකි. එහෙයින් සටහන නිමා කරන්නට විශේෂ තැන් කිහිපයක් ගැන පමණක් ලියමි. එයින් පමණක් අන්තෝන් චේකෆ් නම් වූ මේ අසාමාන්‍ය ලේඛයා පිළිබඳව වටහා ගත හැකි බව මම විශ්වාස කරමි.

”චේකෆ් ඔහුගේ සමකාලිනයකු වූ බූනින් සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගියේය. බූනින් ලේඛන කටයුතුවල ආරම්භක යුගය වූ අතර, චේකෆ් ඒ වන විටත් ලෝක ප්‍රකට ලේඛකයකු බවට පත්වී සිටියේය. එහිදී චේකෆ් මිය යෑමට වසරකට පමණ පෙර සිදුවූ සංවාදයක් මෙලෙසින් සටහන් වෙයි.

චේකෆ් – මම මියගියාට පස්සෙ අවුරුදු 7 ක් යනකම් මගේ කතා කියවයි.

බූනින් – පිස්සුද, උඹ මහා ලේඛකයෙක්. පරපුරු ගණනාවක්ම ඉස්සරහට උඹේ කතා කියවයි.

චේකෆ් – මම හිතන්නෙ නෑ. ඕනම නං අවුරුදු 7 1/2 ක් කියවයි.

එහෙත් අද වනතුරුත් කිසිවකුටවත් සිතාගන්නට නොහැක්කේ චේකෆ් එය විහිළුවකට කියුවක්ද, ඔහුගේ ලේඛන පිළිබඳව විශ්වාසයක් නොමැති කමින් කියූවක්ද යන්නයි.

එහෙත් එය මේ කිසිවක් නොව එය ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ නිහතමානීකම පමණක්ම වෙයි. ගෙවී ගිය සියවස මෙන්ම තවත් බොහෝ කාලයක් රුසියාවේ මතුනොව ලෝකයේ ඊළඟ හැම අලුත් පරම්පරාවක්ම අන්තෝන් චේකෆ් නම් වූ මේ අසහාය ලේඛකයා දෙස අලුත් විදිහකින් අලුත් ප්‍රවේශයකින් බලාවි.

එය හරියට කපා ඔප දැමූ මැණිකක් විවිධ පැතිවලින් විවිධ ආකාරයට දිලිසෙනවා සේය.

ආචාර්ය දිමිත්‍රි කපුස්තින් සිය කතාවට නැවතුම තැබුවේ චේකෆ් ගැන තවත් බොහෝ දේ අනාගතයට කතා කරන්නට ඉඩ තබමිනි.
 

විශේෂ ස්තූතිය – රුසියානු සාහිත්‍ය කවයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධපි‍්‍රය රාමනායක සහ ලේඛක රන්ජන දේවමිත්‍ර සේනාසිංහ මහත්වරුන්ට.


චෙකෝෆ් ගේ ලංකා ගමන ගැන පොතක් එළිදකී

රුසියානු සාහිත්‍යධර ඇන්ටන් චෙකෝෆ්ගේ ඓතිහාසික ලංකා සංචාරය පාදක කරගෙන රන්ජන දේවමිත්‍ර සේනාසිංහ පරිවර්තනය කොට සම්පාදනය කළ ‘ඇන්ටන් චෙකෝෆ් ලංකා ගමන - තොරතුරු විමසුම’ නම් වූ විශේෂ ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි.

ද්මිත්‍රී කපුස්කින්, විලදිස්ලාෆ් බුකානෆ්, ඕල්ගා ඉයෙලාගිනා ලියූ ලිපිවල සිංහල පරිවර්තන ද චෙකෝෆ් ගේ ‘ලංකා ගමනය ප්‍රතිනිර්මාණය කිරීමේ තවත් ප්‍රයත්නයක්’ යන මැයෙන් රන්ජන දේවමිත්‍ර සේනාසිංහ ලියූ විශේෂ ලිපියක් ද මෙයට ඇතුළත්ය.

ඒ හැරුණු කොට චෙකෝෆ් ලංකාවේ සිටියදී ලිවීම ආරම්භ කළ ‘ගුසෙෆ්’ නම් වූ කෙටිකතාවේ සිංහල පරිවර්තනය ද මෙයට සංග්‍රහ වී ඇත.

‘ඇන්ටන් චෙකෝෆ් ලංකා ගමන - තොරතුරු විමසුම’ මරදානේ සූරිය ප්‍රකාශනයකි. ඒ හැරුණුකොට එස්.කරුණාතිලක හා මල්රේණු කස්තුරිරත්න සංස්කරණය කළ චෙකෝෆ් හා ඔහුගේ ලංකා ගමන පිළිබඳව වූ පොත් පිංචක් ද එළිදැක ඇත.

මේ කෘති දෙක ම ප්‍රකාශනයට පත්ව ඇත්තේ චෙකෝෆ්ගේ 150 වැනි ජන්ම සංවත්සරය හා ඔහුගේ ලංකා සංචාරයේ 120 වැනි සැමරුම නිමිත්තෙනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා