කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

වසන්ත උත්සවයට නුවරඑළිය දැන් සිටම සැරසෙන හැටි

වසන්ත උත්සවයට නුවරඑළිය දැන් සිටම සැරසෙන හැටි

පසුගිය දිනෙක මා නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයට ගිය අවස්ථාවේදී එහි එක් තැනක මල් පැළ තවාන් කරනු දක්නට ලැබිණි. ඒ පිළිබඳ විමසීමක් කිරීමේදී උද්‍යානයේ කංකානි ධූරය දරන කේ.ඒ.චන්ද්‍රකුමාර මහතා කියා සිටියේ 2011 අප්‍රේල් මස ඇරඹෙන නුවරඑළිය වසන්ත උත්සව සමයට පිපෙන්ට දැන් සිටම මල් පැළ තවාන් කරන බවය.

එදිනම සවස කෝපි කෝප්පයක් බීම සඳහා උද්‍යානයට මඳක් ඔබ්බෙන් පිහිටි නිහාරා හෝටලයට ගොඩවූ විට එහි කළමනාකරු වූ සුසාර සංජීවගෙන් මට දැනගන්ට ලැබුණේ දැන් සිටම (නොවැම්බර්) වසන්ත සැණකෙළියට සහභාගි වන සංචාරකයන් හෝටල් වෙන්කර ගැනීමට උත්සුක වන බවයි. උත්සව සමය ළංවෙත්ම හෝටල් ගාස්තු ද අනුක්‍රමයෙන් ඉහළ නඟී. දැන් සිටම වෙන්කරගතහොත් ගාස්තුව අඩුය.

නුවරඑළිය වසන්ත උත්සවය ඇරඹෙන්නේ අප්‍රේල් මස පළමුවැනිදා සිටය. අප්‍රේල් 30 වැනි දින එය නිමාව දකී. එම කාලයට නුවරඑළිය සමශීතෝෂ්ණ කාලගුණයකින් (වැඩි ශීතල ද නැති වැඩි ඌෂ්ණය ද නැති) යුක්ත වෙයි. ඒ වන විටත් මල්තුහින (හිම) නිසාවෙන් දැවීගිය ගහකොළ මල් අතුරිකිලි දමා විචිත්‍රවත් වන්ට පටන් ගනී.

ඩී.ජී.මහින්ද කුමාර

නුවරඑළිය අළලා පොත් කීපයක්ම ලියා ඇති ප්‍රවීණ ලේඛකයකු වන සිරිසේන දේවප්‍රිය මහතා පවසන පරිදි වසන්ත සැණකෙළිය ආරම්භ වන්නේ පෙරහරකිනි.

”හැම අවුරුද්දකම මාර්තු මාසය අගභාගයේදී චාරිත්‍රානුකූලව නුවරඑළියේ බෞද්ධ සංස්කෘතික මහ පෙරහරක් පැවැත්වෙනවා. මේ පෙරහර බඹරකැලේ ශ්‍රීී මහා විහාරස්ථානය අසලින් පටන් අරන් නුවරඑළිය නගරය කරා ගමන් කොට වීදි සංචාරයෙන් එය නිමවෙනවා. මේ පෙරහර ඉඟි කරන්නේ නුවරඑළියට වසන්තය උදාවුණු බවයි.” දේවප්‍රිය මහතා කියයි.

වසන්ත සැණකෙළියට මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ නුවරඑළිය නගර සභාවයි. දැන් සිට ම එහි සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව නුවරඑළිය නගර සභාව නියෝජනය කරමින් අප හා කතා කළ ප්‍රකාශකයෙක් කියා සිටී. එහි යටිතල පහසුකම් මේ වන විටත් සම්පාදනය වෙමින් පවතී.

නුවරඑළිය වසන්ත උත්සවයට සැලකිය යුතු ඉතිහාසයක් පවතී. එය ආරම්භවී ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදීය. මෙරට සිටි සුදු ජාතිකයෝ අප්‍රේල් මාසයේදී නුවරඑළියට පැමිණ කෙටි නිවාඩුවක් ගතකිරීම සම්ප්‍රදායයක් කර ගත්හ. එසේම එම නිවාඩුව වඩාත් අර්ථවත් කරගැනීම සඳහා ඔවුහු නොයෙක් විනෝදාත්මක ක්‍රියාකාරකම්වල යෙදුණාහ.

වසන්තයට මල් පිපෙන්නට තවාන් කරන පැළ

ඇන්ටන් සමන්ප්‍රිය

ප්‍රවීණ කලාකරුවකු මෙන්ම දක්ෂ පරිසර චාරිකා ලේඛකයකු වන කපිල කුමාර කාලිංග මිතුරා කියන ආකාරයට එකල නුවරඑළිය වසන්තය ‘වයිට් සීසන්’ හා ‘බ්ලැක් සීසන්’ යනුවෙන් දෙකොටසකට බෙදී තිබිණි. සුදු ජාතිකයන් නුවරඑළියේ නිවාඩු ගතකළේ පෙබරවාරි මාසයේදීය. එය

‘වයිට් සීසන්’ ලෙස හැඳින්විණි. ස්වදේශිකයන්ගේ වාරය වූයේ අප්‍රේල් මාසයයි. එහෙයින් එය ‘බ්ලැක් සීසන්’ යනුවෙන් හඳුන්වන ලදී.

එපමණක් ද නොවේ. සුදු ජාතිකයන් අගෝස්තු හා දෙසැම්බර් මාසවලදී ද නිවාඩු ගතකිරීම සඳහා නුවරඑළියට පැමිණ ඇත. ඒ වාර හඳුන්වා ඇත්තේ ’මිනි සීසන්’ යනුවෙනි.

නුවරඑළිය පිළිබඳ පුළුල් දැනුම් සම්භාරයකින් යුතු ප්‍රවීණ ලේඛක ෂෙල්ටන් හෙට්ටිආරච්චි මහතා කියන පරිදි එකල පාසල් වාර්ෂික නිවාඩුව යොදා ඇත්තේ මේ ‘සීසන්’ විධික්‍රමය සැලකිල්ලට ගනිමිනි. අදටත් එම නිවාඩුව එපරිදිම ක්‍රියාත්මක වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේදී වසන්ත උත්සවය වෙනුවෙන් ලක්ෂ 10ක පමණ සංචාරක පිරිසක් නුවරඑළියට පැමිණ ඇත. රටට සාමය උදාවීමත් සමඟම උතුරු නැඟෙනහිර පෙදෙස්වලින් දෙමළ හා මුස්ලිම් සංචාරකයන් ද විදේශීය සංචාරකයන් ද ඊට වඩා ප්‍රමාණයක් මෙවර වසන්ත උත්සවය සඳහා සහභාගි විය හැකි බව නුවරඑළිය නගර සභාවේ සේවය කරන එසේම ප්‍රවීණ ගායකයකු ද වන ඇන්ටන් සමන්ප්‍රිය මහතා විශ්වාසය පළකරයි. කවදත් මේ සංචාරකයන්ගෙන් 80%ක් මුස්ලිම් ජාතිකයන් බව පැවසේ.

නුවරඑළිය වසන්ත උත්සවය වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි. මෝටර් රථ ධාවන තරග, මෝටර් බයිසිකල් ධාවන තරග, මෝටර් බයිසිකල් කඳු තරණය, බෝට්ටු රේස්, අශ්ව රේස්, පෝනි රේස්, මල් ප්‍රදර්ශන හා සංගීත සංදර්ශන ඒ අතර ප්‍රධානය.

නුවරඑළිය සංචාරයේදී මට මුණගැසුණු එක් සුවිශේෂ පුද්ගලයකු වූයේ ඩී.ජී.මහින්ද කුමාර මහතාය. ඔහු නාගරික මන්ත්‍රීවරයෙකි. නුවරඑළිය නගර සභාවේ සංචාරක කටයුතු අංශයේ සභාපති ධූරය දරන ඔහු නුවරඑළිය හෝටල් සංගමයේ සභාපති තනතුර ද හොබවයි.

සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඔහුට කිසියම් චින්තනයක් පවතින බව ඔහු සමඟ කළ කතාබහේදී මට වැටහී ගියේය. ”නුවරඑළියට එන හුඟාක් අය ඒ සංචාරයෙන් නිසි ප්‍රයෝජනය ගන්නේ නැහැ.

ඊට එක හේතුවක් නුවරඑළිය හා ඒ අවට ප්‍රදේශවල නැරඹිය හැකි සුන්දර ස්ථාන ගැන ඔවුන් තුළ දැනුමක් නොමැතිවීම. පැය හයක් ඇතුළත කි.මී. 90ක් ආවරණය කෙරෙන දියඇලි 21ක් නැරඹිය හැකි වැඩපිළිවෙළක් අපි දැන් සකස් කරලා තියෙනවා. ඒක තමයි දකුණු ආසියාවේ තිබෙන දීර්ඝතම දියඇලි සංචාරය.

ලංකාවේ දෙවැනි උසම කන්ද වන කිරිගල්පොත්ත ඒ වගේම තුන්වැනි උසම කන්ද වන තොටුපළ හරිම සුන්දර ස්ථාන. සීසන් එකට නුවරඑළියට එන කවුරුත් අවාසනාවකට මේ තැන් බලන්න යන්නෙ නැහැ.

ඒ වගේම ජෛව විවිධත්වය අතින් නුවරඑළිය ප්‍රදේශය ඉතා වැදගත්. බොහෝ සංචාරකයන් එය හඳුනාගන්නේ නැහැ. කාලා බීලා නටන්න විතරක් නුවරඑළියට ඇවිත් වැඩක් ඇද්ද?

සුසාර සංජීව

වසන්ත උත්සව සමයට සාමාන්‍ය ජනතාවට නුවරඑළියට විත් විනෝදයක් ලැබිය හැකිද යන්න ප්‍රශ්නයකි. ඒ අධික හෝටල් ගාස්තු හා වෙනත් නවාතැන් ගාස්තු නිසාවෙනි.

එම වකවානුවට නුවරඑළිය නගරයේ ආහාරපානවල මිල ගණන් ද දෙගුණ තෙගුණ වෙයි. ෂෙල්ටන් හෙට්ටිආරච්චි මහතාට ඒ අරභයා තදබල විවේචනයක් ඇත.

”මේ උත්සවයේදී අපි ගොවීන්, කම්කරුවන්, සොල්දාදුවන්, ආබාධිත රණවිරුවන් දකින්නේ නැහැ. මේක දැන් මුදල් හදල් තියෙන අයගේ උත්සවයක් පමණක් වෙලා.”

මෙහිදී ෂෙල්ටන්ගේ යෝජනාව වන්නේ අවුරුද්දේ හැම මාසයක්ම නුවරඑළිය වසන්ත සමයක් ලෙස සලකා කටයුතු කළ යුතු බවය. එකල පැවතුණු මිනි සීසන් ක්‍රමය 2003 වසරේදී අත්හදා බැලූ බවත් එය සාර්ථක වූ බවත් මහින්ද කුමාර මහතාගෙන් මට දැනගන්ට ලැබිණි. අවම වශයෙන් ඒ ක්‍රමයවත් ඉදිරියේදී පවත්වාගෙන යන්නේ නම් මාස් පඩිකාරයන්ට ද නුවරඑළියට පැමිණ වසන්ත සිරි නැරඹිය හැකි වනු නොවේද?.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා