කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ඕනෑම තරගයකදී මගේ උපරිමයෙන් ක්‍රීඩා කරනවා

ඕනෑම තරගයකදී මගේ උපරිමයෙන් ක්‍රීඩා කරනවා

ලසිත් මාලිංග

කි‍්‍රකට් පිටියේදී ඔහු වඩාත්ම කැපී පෙනෙන්නේ හිසකේ විලාසිතාව නිසාවෙනි. එසේම වෙනත් කිසිම පන්දු යවන්නකුට නොමැති සුවිශේෂී පන්දුයැවීමේ ඉරියව්ව නිසාවෙන්ද ඔහු පහසුවෙන්ම අනෙක් ක්‍රීඩකයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකිවෙයි.

ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ කරමින් ආක්‍රමණශීලී ලෙස පන්දු යවන ඔහු, 2004 ජූලි 01 දා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග කරමින් ටෙස්ට් වරම් ලැබීය. එහිදී ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරු ඩැරල් ලීමන් ලකුණු 57 කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවා ගත්තේ සිය ප්‍රබලම අවිය වූ යෝකර් පන්දුවක් යවමින්.

එසේ ඇරැඹි ගමනේ පළමු තරගයේදීම කඩුලු 6 ක් දවාගන්නට සමත් වුණු ඔහුගේ කඩුලු දඩයමේදී ඉතාමත් කෙටි කලකින් ටෙස්ට් සහ එක්දින කඩුලු සියය බැගින් ලබා ගන්නට සමත් විය.

මේ දිනවල සිදුවන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ටෙස්ට් තරග ත්‍රිත්වය සඳහා නම් නොකිරීම හේතුවෙන් ක්‍රිකට් ලෝලීන් අතර කතාබහට ලක්වූ ඔහු එක් දින තරග සඳහා පුහුණුවීම් කරන අතර වාරයේ රසඳුන පාඨක ඔබ වෙනුවෙන් මා සමඟ කතා බහකට එක්වුණා. සහෝදර ක්‍රිකට් ක්‍රීඩකයින් මාලී ලෙසින් හඳුන්වන ලසිත් මාලිංග දැන් මා ඉදිරියේ.

පසුගියදා නිමාවුණු ඕස්ට්‍රේලියානු සංචාරයේ ඇන්ජලෝ මැතිව්ස් සමඟ තරගයක් ජයග්‍රහණය කරා රැගෙන යමින් සිය මංගල එක් දින අර්ධ ශතකය ලබාගත් ඒ සුවිශේෂී ඉනිම අපට මෙන්ම ඔහුට ද අමරණීයයි.

පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේ ඒ අමතක නොවන ඉනිම ගැන කතා කරමු.

බැට්කරන්න යනකොට හිතුවෙ නෑ දිනන්න පුළුවන් වෙයි කියලා.ඒත් අනෙක් අන්තයේ හිටියෙ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු ඉතා හොඳ පිතිකරුවෙක්. ඉතින් මට පහරවල් ගහන්න පුළුවන් විදියට ආව පන්දු වලට මම පහර දුන්න. මගේ වාසනාවට මම ගහපු හැම පහරක්ම වගේ හොඳින් පිත්තේ වැදුණා. ඒ වෙනකොට ටික ටික ලකුණු වැඩිවුණා. ඇන්ජි ඇවිත් කිව්ව ඔහොම ගහගෙන යං අපිට මැච් එක දිනන්න පුළුවන් වගේ කියල.

කොහොම හරි අවසානයේ තරගය ජයගන්න පුළුවන් වුණා. මමත් ලකුණු 50 ක් ගත්තා.

ලසිත් මේ දවස්වල පිතිකරුවකු ලෙස පුහුණු වෙනවද?

මම පිතිකරුවකු ලෙස පුහුණුවෙන්න ලොකු විශේෂත්වයක් දක්වන්නේ නැහැ. මොකද මම කණ්ඩායමේ ඉන්නෙ පන්දු යවන්නෙක් විදිහට. කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වෙන්නෙ කඩුලු. මම හොඳින් පන්දු යවන්නෙ නැත්නං පිතිකරුවෙක් වුණා කියල මාව කණ්ඩායමේ තියා ගන්න එකක් නෑ.

ඉතින් මම හිතාගෙන ඉන්න එකම දේ හොඳින් පන්දු යවල කණ්ඩායම බලාපොරොත්තු වන දේ ඉටුකරල දෙන්න. ඒත් සමහර අවස්ථාවල මගෙන් ලකුණු 5 ක් 10 ක් හෝ අවශ්‍ය වුණු වෙලාවක ඒ දෙය ඉටුකරල දෙන්න සුදුසු මට්ටමක පිතිකරණය තියාගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

ඔබ කොදෙව් සංචාරයේ ටෙස්ට් තරගවලට නම් කරල තිබුණෙ නෑ.

දැනට වසර කිහිපයකට පෙර මගේ පාදයේ ආබාධයක් ඇතිවුණා. ඒ වෙලාවෙ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් යංග් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් කිව්වෙ මේ වගේ ආබාධයක් හොඳ කරන්න බෑ. එහෙම හොඳ වෙන්නෙත් නෑ. මින් ඉදිරියට ක්‍රීඩා කරන්න බැරිවෙනව කියල. වාසනාවකට මට ඒ දේ සිදු වුණේ නෑ.

පසුගිය මාසෙ යළිත් ඕස්ට්‍රේලියා සංචාරයට ගිය වෙලාවෙ ඕස්ට්‍රේලියාවෙ ඩේවිඩ් යංග් වෛද්‍යතුමා හම්බ වුණා. එයාටත් හිතාගන්න බෑ කොහොමද හොඳ වුණේ කියල. ඔහු කියන්නෙ මම ගොඩක් වාසනාවන්තයි. මේ වගේ අසනීපයකට මුහුණ දුන්නු කෙනකුගේ ක්‍රීඩා ජීවිතය බොහෝ දුරට එතැනින් අවසන් වෙනවලු. ඒත් මට එහෙම වුණේ නෑ. මට මේ ආබාධය නිසා අවුරුදු 3 ක් විතර ග්‍රවුන්ඩ් එකකට වත් බහින්න පුළුවන් වුණේ නෑ. ඒත් ඊට පස්සෙ මම ආයෙත් ක්‍රිකට් පිටියට ආවා. අවුරුද්දට වැඩි කාලයක් ක්‍රීඩා කළා.

මට දැන් ආයෙත් ටික ටික ඒ දණහිසේ වේදනාවක් එනවා. මේ නිසා කොදෙව් ටෙස්ට් තරගාවලියට මම ක්‍රීඩා කළේ නෑ. ඒත් මගේ ශාරීරික යෝග්‍යතාව හොඳින් හදාගෙන ආයෙමත් ඉදිරියේදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ අපේ එක්දින කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පුවක්. ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ පැවැත්වෙන කොදෙව් එක්දින තරගාවලිය කොහොම වේවිද?

තවම ඒ සඳහා කණ්ඩායම තෝරල නෑ. එම කණ්ඩායමේ මම හිටියොත් එම තරගාවලිය ජයග්‍රහණය කරන්න මගේ උපරිම හැකියාව පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.

අනිත් කරුණ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව මම දැන්ම හිතන්නෙ නෑ. මට ඒ හැම තරගාවලියක්ම තවත් එක් තරගාවලියක් පමණයි. එහිදී මම මගේ උපරිමයෙන් ක්‍රීඩා කරනවා.

ඔබේ පන්දු යැවීමේ රටාවට විදෙස් රටවල ක්‍රීඩකයින් හුරුවෙලා හිටියොත් මොකක්ද ඔබේ තුරුම්පුව.

මම හිතන්නෙ ඒ හැම ක්‍රීඩකයෙක්ම එදා ඉඳලම වීඩියෝ බලල මට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඇති. මම මේ දක්වා ටෙස්ට් තරග 30 ක් ක්‍රීඩා කරල කඩුලු 101 ක් ලබාගෙන තිබෙනවා. එක් දින තරග 67 කදී කඩුලු 108 ක් ලබාගෙන තිබෙනවා. ඉතින් මගේ පන්දුවලට ඔවුන් හුරුවෙලා නම් මේ වෙනකොට කඩුලු සියය බැගින් ලබාගන්න පුළුවන් වෙන්නෙ කොහොමද?

එහෙම හුරුවෙලා හිටියත් මට ප්‍රශ්නයක් නෑ. තරගයකදී පන්දු යවන්න ඉස්සෙල්ල මම කැප්ටන්ගෙන් අහනවා මම මොකක්ද කරන්න ඕන කියල. එහෙම නොවුණත් මම නිතරම බලාපොරොත්තු වෙන්නෙ විකට් ගන්න. ඉතින් මම ගොඩක් කැමතියි එහෙම ප්‍රෙෂර් එකේ බෝල් කරන්න. කවුරු පුරුදු වුණත් මම බෝල් කරන්නෙ මට ඕන විදිහට. මම අද මෙතන ඉන්නෙ පන්දුවෙන් මට ඕන දේ කළ නිසා. ඒ නිසා ඉදිරියේදීත් මම ඒ දේම කරයි.

ලසිත් මාලිංග මොනවගේ ක්‍රීඩකයෙක්ද?

මම කැමැතියි මගේ පාඩුවේ තනියම ඉන්න. තරගයකට ගියත් කණ්ඩායම වෙනුවෙන් මගේ හැකියාව උපරිමයෙන් දීලා මගේ යුතුකම ඉටුකරල පැත්තකට වෙලා ඉන්න තමයි කැමැති. මොකද මම ගමෙන් ආපු ක්‍රීඩකයෙක්. වැඩිය සද්ද බද්ද නැතුව මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්න ඒ වගේම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ දේ මට ඕන විදියට කරන්න.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්

2007 ලෝක කුසලානයෙන් පස්සෙ මම ක්ලෝගාඩ් ආයතනයේ නාම නියෝජිතයෙක් වශයෙන් කටයුතු කළා. ඇය ටානියා මට හම්බවුණේ එහි වැඩකට හික්කඩුවට ගිය වෙලාවකදි. කතා බහ කරල අපි පෙම්වතුන් වුණා. දැන් ඇය මගේ බිරිඳ.

විවාහ ජීවිතයේ ඉදිරිය

ලොකු බලාපොරොත්තු නෑ. එන හැම ප්‍රශ්නයක්ම හොඳින් සමාදානයෙන් බේරගෙන ගොඩක් ඉවසීමෙන් අම්මල තාත්තල අයියල මල්ලිල හොඳින් බලාගෙන ඉන්න එක තමයි.

ඔබ නිහඬ කෙනෙක්. කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයන් සමඟ ඔබේ බැඳීම.

හැමෝම මාත් එක්ක ගොඩක් හිතවත්. මම විතරක් නෙමේ කණ්ඩායමේ අපි කිසිම කෙනෙක් කාත් එක්කවත් කිසිම තරහක් නෑ. හැමෝම හොඳ සමගියෙන් ඉන්නේ. ඒ බැඳීම ගැන හිතාගන්නවත් බෑ. එක එක පළාත්වලින් ආපු එක එක ක්ලබ් නියෝජනය කරන ක්‍රීඩකයින් ඉන්නෙ. එක එක අදහස් තියෙන්නෙ.

නමුත් කණ්ඩායමක් විදිහට ගත්තම හැමෝම එකිනෙකාට උදව් කරගනිමින් ගොඩක් සහයෝගයෙන් ඉන්නෙ. අපේ ජයග්‍රහණ හැම එකකට ඒ සමගිය ගොඩක් හේතුවුණා කියලයි මම හිතන්නෙ. ඒ නිසා මම ගොඩක් සතුටුයි මේ වගේ කණ්ඩායමක් නියෝජනය කරන්න ලැබීම ගැන.

ඔබ ගමෙන් ආව කෙනෙක්. කොහොමද ගමත් එක්ක දැන් සම්බන්ධය.

දැන් ගමත් එක්ක තියෙන සම්බන්ධය ගොඩක් අඩුයි. ඒ කියන්නෙ තරහක්වත් මොකවත් නෙමෙයි. මම ගමට යැවෙන්නෙ නැති නිසා. මොකද මගේ පුහුණුවීම් කටයුතු, මගේ කකුලෙ ආබාධයට ප්‍රතිකාර, ජිම් මේ වගේ හැමදෙයක්ම තියෙන්නෙ කොළඹ.

අනිත් කාරණාව තමයි ගමේ මාත් එක්ක එකට සෙල්ලම් කළ, මගේ යාළුවො ගොඩක් දෙනෙක් දැන් රැකියාවලට ගිහින්. සමහරු ගමේ ඇත්තෙම නෑ. නමුත් හැකි හැම වෙලාවෙම ගමේ යන්න ආසයි. ඒ ගියාම ඔවුන් හිටියොත් අපි මුණ ගැහෙනවා.

ඔබගේ ජීවිතයේ විවේකය ගත වෙන්නෙ කොහොමද?

මම විවාහකයි. ඒ නිසා විවේකයක් ලැබෙන හැම වෙලාවෙම බලන්නෙ ගෙදරට වෙලා ඉන්න. ඒත් වයිෆ් කැමැති ගොඩක් එහෙ මෙහෙ එළියට යන්න. විවේක කාලය අපි දෙන්න කතාවෙලා සරලව ගෙවාගෙන යනවා.

බිරිඳ ඔබේ ක්‍රිකට් ලෝලියෙක්ද?

අපි හම්බ වෙනකොට එයා ක්‍රිකට් ගැන දන්නෙ නැහැ. නමුත් දැන් ආසයි මැච් බලන්න. එයා මුලින්ම ආසාවෙන් බැලුවේ IPL මැච්. ටික ටික දැන් ක්‍රිකට්වලට ආසයි.

නමුත් මම කියල තියෙන්නෙ වැඩිය ක්‍රිකට් ගැන හොයල බලන්න එපා. එහෙම වුණොත් මට ගෙදරත් කෝච් කෙනෙක් ඉන්නවා වගේ. එතකොට කරදරයි. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ යළිත් අපේ රටට ගෙන එන්නට සුපුරුදු දස්කම් දක්වන්නට හැකිවේවා රසඳුන සුබ පැතුම්.