කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
අපේ ගෙදර මල්වත්ත බලන්න

අපේ ගෙදර මල්වත්ත බලන්න

‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

මෙවර අපේ කතා නායකයා ලංකාවේ දැනට පවතින විශාලතම ස්වේච්ඡා සේවා ආයතනය වන ‘සර්වෝදය’ ව්‍යාපාරයෙහි නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඒ.ටී. ආරියරත්න මහතා. උණවටුණේ සිංහල මිශ්‍ර පාසලෙන්, ගාල්ල බොනවිස්ටා සහ ගාල්ල මහින්ද විද්‍යාලවලින් පාසල් අධ්‍යාපනය ලත් හෙතෙම පාසල් වියේ පටන් ම සමාජයීය සංවර්ධන කටයුතු උදෙසා විශේෂයෙන් කැපවී කටයුතු කළේ ය.

ගාල්ල වරාය අසලින් දිවෙන ගාලු - මාතර මහා මාර්ගයෙහි දකුණු පැත්තෙන් පිහිටි රූමස්සල කඳු වැටිය පසුබිම් කොටගත් සුන්දර උණවටුන ගම්මානය ඔහු උපන් ගමයි. ගාලු මාතර කෙළින් පාරේ මද දුරක් ගිය විට හමුවන වංගුව ළඟින් වම් පසට විහිදුණු කුඩා පාරෙහි පසෙක අඩි තුන්සියයක් පමණ උස කඳු ගැටයකි. එහි මුහුණට නැගි කල පාර අවසානයේ පඩි පෙළකි. ඒ පඩිපෙළ තනා ඇත්තේ පීල්ලෙගොඩ චෛත්‍යාලංකාර විහාරයට ගොඩවනු සඳහා ය.

ඒ පඩි පෙළ පාමුලින් වමට හැරුණු තැනම පිහිටියේ ඔහු උපන් නිවසයි. ඒ පන්සල පහළ ගෙදරයි. පන්සල පහළ ගෙදර විසූ ගෘහමූලිකයා අහංගමගේ හෙන්ද්‍රික් ජිනදාස. ඔහු ගේ පියා රැකියාව විදිහට කළේ උඩරට සිල්ලර වෙළෙඳාම. අම්මා වැලිගම පැලෑනේ රෝස්ලිනා ගජධීර ආරච්චි. ඈ රැකියාවක් කළේ නෑ. ගමේ කවුරුත් ජිනදාස ලියන මහත්තයා යන නමින් හැඳින්වූ ඔහු ගේ පියා පන්සලේ ප්‍රධාන දායකයා.

ජිනදාස ලියන මහත්තයා සහ රොස්ලිනා යුවළට දරුවො හය දෙනයි. වැඩිමල් දියණියන් දෙදෙනාට පස්සේ උපන්නෙ පුතෙක්. ඒ නවසිය තිස් එකේ නොවැම්බර් මාසෙ පස් වැනිදා. පවුලට සතුට අරන් උපන් පුතාට ඔවුන් ‘අහංගමගේ ටියුඩර් ආරියරත්න’ යන නම තිව්වා. ටියුඩර්ට බාල මල්ලියි නංගිලා දෙන්නයි.

යංතම් වැටි වැටී ඇවිදින කාලෙ දණ ගාගෙන පන්සලට ගියාම ලොකු හාමුදුරුවො පුංචි දරුවා ඔසොවලා වාඩි කරවන්නේ උන්වහන්සේ ගේ හාංසි පුටුවෙ ඇන්ද උඩ. ආරියරත්නට අවුරුදු තුන ලැබුවාම නායක අහංගම සුමනජෝති හාමුදුරුවන් තමන් විසින් ම හදාපු නැකතකට ආරියරත්නට අකුරු කියෙව්වා. එදා පටන් ම පුංචි වුණත් හාමුදුරුවන් පවා මවිතයට පත් කරමින් ගාථා ශ්ලෝක බොහොම සුළු වෙලාවකින් කට පාඩම් කරගත්තා. නම් පොත, වදන් කවි පොත, බුද්ධ ගජ්ජයය, ගණ දෙවි හෑල්ල, පන්සලේ දී ඔහු කියවපු පොත් පත්.

“අපේ අක්කා ඒ වන විට උණවටුණේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙ ඉගෙන ගත්තා. වයස හරියන්නත් කලින් මමත් අක්කගේ අතේ එල්ලිලා පාසලට ගියා. අක්කාගේ පන්තියට වෙලා හිටිය. එඩ්වින් ආරියදාස මහත්තයා එදා අපේ අක්කගේ පන්තියේ උගත් ශිෂ්‍යයෙක්. අක්කගේ පන්තියෙ හිටි මට කල වයස ආවම පොතට නම ඇතුළත් කළා.

පළවැනි ශ්‍රේණියට දාන්න ගියාම පාසලේ ගුරුතුමා වූ රාලහාමි මහත්තයා මගේ දැනුම පරීක්ෂා කරල බලල මේ ළමයට මේ පන්තියේ උගන්වන්න දෙයක් නෑ” කියල මා තුනේ පන්තියට ඇතුළු කළා. පාසල් යන්න පටන් ගත්තාම ම නිතරම පන්සලේ ගැවසෙන්න බැරි විට ලොකු දුකක්. ඒ නිසා නිතරම පන්සලට කතා කරන්න මගේ කාමරේ ඉඳන් පොඩි හාමුදුරුවන්ගේ කාමරේට නූලක් ඇදල ගිනි පෙට්ටි පියන් දෙකක් සවි කරල දුරකථනයක් හදා ගත්තා මට මතකයි” ඔහු කියයි.

ගමේ පාසලේ වැඩි කාලයක් ඉගෙන ගන්න ලැබුණේ නෑ. 1939 දී දෙවැනි ලෝක යුද්දෙ පටන් ගත්තා. පාසල් සුද්දන්ගෙත් කාපිරින්ගෙත් හමුදා කඳවුරු සඳහා යොදා ගත්තා. ඒ වනවිට තාත්තා බළංගොඩ මැද්දෙකන්දේ සිල්ලර බඩු තොග වෙළඳාම කළා. අපි හැමෝ ම මැද්දෙකන්දට ගියා. බළංගොඩ නගරයේ රාස්සගල පාරේ සැතැපුම් හතරක් පමණ ගිය විට හමුවෙන මැද්දෙ කන්ද කඳු හෙල්වලින් ගහන සුන්දර ගම්මානයක්. තාත්තා වෙළෙඳාම් කරන අතරේ ම හොඳට වගා කළා. අපේ ගෙවත්තේ බොහොම ලස්සනට මල් වවා තිබුණා.

මේ මල්වත්ත බලන්න බළංගොඩින් පිටස්තර පිරිස් පවා ආ හැටි මට මතකයි. මේ අමුත්තන් අතරේ මහවලතැන්නේ වලව්වේ බාන්ස් රත්වත්තේ රටේ මහත්තයාගේ දරුවොත් හිටියා. ඒ අතරේ හිටපු සිරිමාවෝ රත්වත්තේ තරුණිය මම මුලින් ම දුටුවේ එහෙමයි ආරියරත්න මහතා සිහි කරනවා.

මැද්දෙකන්ද සිංහල බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලොකු මහත්තයා ඇස්.ඒ. ද අල්විස් වීරසිරිවර්ධන මහත්තයා. තුනේ පන්තියෙ හිටපු මගෙන් අහපු ප්‍රශ්න සියල්ලටම මම හොඳටම පිළිතුරු දීපු නිසා සතුටු වුණු ලොකු මහත්තයා මා ඇතුළු කළේ පස්වැනි පන්තියට. ඒ පාසලේ සේරම ළමයි සීයක්වත් නෑ. සිංහල වගේ ම පාලි සංස්කෘත ගාථා ශ්ලෝක හොඳට දැන සිටි මා තුළ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට තිබුණේ ලොකු ආසාවක්.

ඒකට හේතුව ඒ කාලෙ හොඳ හොඳ පොත්පත් සියල්ල ඉංග්‍රීසියෙන් පළ කළ ඒවා වීම. පුංචිම කාලෙ පටන් මා කියවීමට ඉතාම කැමතියි. අදටත් මා පොත් පත් කියවන්න ඉතා ම කැමැතියි. ඉංග්‍රීසියෙන් ඉගෙන ගෙන හොඳ හොඳ පොත් කියවන්න සුද්දා වගේ බය නැතුව ලොකු ලොක්කො එක්ක කතා කරන්න පුංචි මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා. ලොකු මහත්තයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්.

මගේ උනන්දුව දැකලා ලොකු මහත්තයා මට උදව් කළා. ඒ වගේ ම මැද්දෙකන්දේ පන්සලේ වැඩහිටි වජිරපාල හාමුදුරුවොත් මට ඉංග්‍රීසි ඉගෙන ගන්නට උපකාර කළා. උඩරට නැටුමත් හොඳට ඉගෙන ගත්තා. ඒ පාසලේ හයේ හතේ පන්තිවලට ශිෂ්‍යයො නෑ. මම පහේ පන්තියෙන් සමත් වුණේ අටේ පන්තියට ඒ වෙන කොට මගේ අක්කත් අටේ මට හරි ආඩම්බරයි.

යුද්දෙ ඉවර වුණා. මැද්දෙ කන්දෙ හිටියා ඇති කියලා මට හිතුණා. මට ඕනෑ කළේ ගාල්ලෙ මහින්දෙට ඇතුළ් වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්නයි. මම තාත්තාට කිව්වා මට ආපහු ගමට යන්න ඕනෑ බව. අම්මාත් අනෙක් සහෝදර සහෝදරියොත් ගමට යන්න කැමති වුණේ නෑ. මම බලකල නිසා තාත්තා නැන්දලා සමඟ මා ගමට පිටත් කළා. උණවටුණේ පන්සල පහළ ගෙදරට ආයෙත් ආවා.

 මගේ කෑම බීම ටික ඥාති සහෝදරියක වන රෝසි අක්කා සපයා දුන්නා. අස්වීමේ සහතිකයක් අරගෙන මම ගාල්ලෙ බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පති පී.ඩබ්ලිව්. වීරසිංහ මහත්තයා හමු වෙන්නට ගියා. බොනවිස්ටාව ගෙවන පාසලක් වූ නිසා පහසුවෙන්, මා ඇතුළත් කරගත්තා. බොනවිස්ටාවෙ ඉගැන්වූ අල්විස් ගුරුතුමාත් අමරසිංහ නෝනත් මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න විශේෂයෙන් උපකාර කළා.

බොනවිස්ටාවේ දී මම බාල දක්ෂ ව්‍යාපාරෙට සම්බන්ධ වුණා. ගමේ පොදු වැඩවලට සහය වුණා. ගෙන් ගෙට ගිහින් සත දහය බැගින් එකතු කොට පෝයදාට පන්සලේ බුද්ධ පූජාවක් පැවැත්වූවා. ඉරිදා දහම් පාසලේ වැඩ පුළුල් කළා. දුප්පත් ළමයින්ට මම දන්නා හැටියට ඉංග්‍රීසි දැනුමත් ලබා දුන්නා.

ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න හයේ පන්තියට මහින්ද විද්‍යාලෙට ඇතුළත් වීමයි මගේ ඊළඟ ඉලක්කය වුණේ. ඉල්ලුම්පත්‍රයක් ගෙනත් එහි පියාගේ අස්සන යොදන තැන මමම අස්සන් කළා. ඇතුළත් වීමේ විභාගෙන් පළවැනියා. විදුහල්පති ඊ.ඒ. විජේසූරිය මහත්තයා හයේ පන්තියට මා ඇතුළත් කළා. උණවටුණේ නිවසේ සිට මහින්දෙට තිබූ සැතැපුම් පහ හැමදාම උදේට පයින් ගියා. ඇන්.කේ.බී ද සිල්වා මිත්‍රයා මා සමඟ මේ ගමනට එක් වුණා. අපි දෙන්නා පාන්දරට අවදි වෙලා හුළු අත්තක් පත්තු කරගෙන පාරට බහිනවා. බිමට එළිය වැටෙන කොට හුළු අත්ත නිවා දමනවා. අපි දුම්රියෙන් ආපසු ආවෙ. උදේ වරුවෙ දුම්රිය ගාස්තුව ඉතිරි කරගත්තා.

මගේ පන්ති භාර ගුරුතුමා ඒ.ද ඇස්. ජයවර්ධන, ඉංග්‍රීසි භාෂාව වර්ධනයට ඒ මහත්තයා වගේ ම මේජර් සයිමන් විජයරත්න මහත්තයාත් මට උපකාර කළා. මුලින් පන්තියේ කැඩිච්චි ඉංග්‍රීසියෙන් කතා කළේ මමත් තව ළමයෙකුත් දෙන්නෙකුත් පමණයි.

ඒත් ඊළඟ අවුරුද්දෙ ඉඳන් මම ඉංග්‍රිසි ප්‍රවීණතාවට හිමි තෑග්ගත් දිනා ගත්තා. පාසලෙන් අස්වෙනතුරුම පන්තියේ පළවැනියා. “ප්ලැනට්” නම් වූ විද්‍යාලයීය සඟරාවෙ සංස්කාරකවරයා ලෙස කටයුතු කළා. සිංහල ඉංගී‍්‍රසි විවාද කණ්ඩායම් දෙකම නියෝජනය කළා. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වයත් ලැබුණා.

“අනුන් හදන්න කලින් තමන් හැදෙන්න ඕනෑ ය” යන්න මට හුරු පුරුදු කළේ පාසලේ උප විදුහල්පතිව සිටි පීටර් දන්තනරායන මහත්තයා. විනී විතාරණ, ඒ. ඩී. ඇස්. ජයවික්‍රම, ඇම්. ඇස්. ජයවික්‍රම, ජී. ඒ. සිල්වා සහ ජී. ඒ. එච්. ඊ. ද සිල්වා යන ගුරුවරුන් මගේ හැකියාවන් හඳුනාගෙන මට මඟ පෙන්වූ ගුරුවරු. පාසලේ හැමදාම පළවැනියා වූ මට පාලි භාෂාවට හැර හැම විෂයකටම ප්‍රවීණතා ත්‍යාගය ලැබුණා.

අපේ ගමේ හිටියේ ධීවර කර්මාන්තයෙන් නැතිනම් කොහු කර්මාන්තයෙන් දිවි සරි කරගත්තු දුප්පත් මිනිස්සු අසරණ කොහුතලන කාන්තාවන්ගේ ශ්‍රමය මෝල් හිමියො සූරා කාපු හේතුවෙන් ඔවුන් හැමදාම දිළිඳු බවේ පතුළටම එරිලා හිටියා. මොවුන්ට වෙන අසාධාරණය දකින විට ඔවුන් ඒ දුකෙන් මුදවා ගන්නට ක්‍රමයක් සකස් කළ හැකිදැයි මා කල්පනා කළා. මම ගම්මු රැස් කළා. කොහු කාර්මිකයන්ගේ සමිතියක් ඇරැඹුවා.

නාරද්දේ වේදානන්ද හාමුදුරුවොත් මේ වැඩේට සහය වුණා. වැල්ලට රැස්වූ සමිතිය කඩිනමින් වැඩ ඇරැඹුවා. ආදායම සමිතිය හරහා ඔවුනොවුන් අතර බෙදී ගියා. මුදලාලිලාගෙන් මේකට විරෝධතා එල්ල වුණත් කොහු කාර්මිකයන් එකමුතු බවින් සටන ජය ගත්තා. ඔවුන්ගේ ආදායම වර්ධනය වුණා.”

“1952 දී අපේ පවුලටම බොහොම නරක දසාවක් ලැබුවා. ජ්‍යෙෂ්ඨ විභාගෙන් උසස් ප්‍රතිඵල ලැබු පොඩි අක්කා අසනීප වුණා. තාත්තා අතේ තියෙන තරම් වියදම් කරලා අක්කා සුවපත් කරගත්තා. ඒත් තාත්තා ලෙඩ ඇඳට වැටුණා. තාත්තා ලෙඩ ඇඳට වැටුණාම අපි සේරමත් වැටුණා.

ඒ වන විට පවුලම උණවටුණට ඇවිත්. අම්මා කොහු ලණු අඹරා උපයා ගත් මුදලෙන් ලෙඩාගෙ වියදමත් පවුලේ නඩත්තුවත් කරගෙන යන්න හැකි වුණේ නෑ. උඩරට වෙළෙඳාමෙ යෙදුණු බාප්පා මාසෙකට වරක් එවාපු රුපියල් තිහෙන් පවුලම එදා වේල ගැට ගසා ගත්තා. මගේ ඉගෙනීමටත් බාධා එල්ල වුණා. ශබ්දකෝෂයක් ගන්න රුපියල් දහයක් හොයා ගන්න බැරිව ගියා.

“මට විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගෙට පෙනී හිටින්න තිබුණෙත් ඒ අවුරුද්දෙමයි. මටත් හිටපු ගමන් ඉරුවාරදය වගේ රෝගයක් හැදුණා. ලියන්න ලැබුණේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්තරේට විතරයි. ඒ කාලෙ වියානාවෙන් ආපු දොස්තර මහත්තයෙක් හිටියා සේන්ස් නමින්.

ඔහුට පෙන්නුවාම කීවෙ අධික ලෙස මනස වෙහෙසවීම නොකළ යුතු බවයි. විභාගෙ අමතක කරල මොකක් හරි රැකියාවක් කරන්න හිතුවෙ ලොකු කලකිරීමකුත් එක්ක. ඒ අතරේ අහංගම සාරිපුත්ත විද්‍යාලෙ ගුරු පත්වීමක් ලැබුණේ ඔය අතරේ. ඒ ආරංචි වුණු මහින්දෙ විදුහල්පතිතුමා මහින්ද විදුහලේ තුනේ පන්තියට උගන්වන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒත් වැටුප් රහිතව.

මේ කාලෙ අපේ පවුලේ ආර්ථිකය හොඳටම පහළ ගියා. බොහොම හිතේ අමාරුවෙන් හිටි මං බොනවිස්ටාවෙ හිටපු විදුහල්පති ඩී. ඇම්. ඩබ්ලියු. වීරසිංහ මහත්තයා අහම්බෙන් හමු වෙලා තොරතුරු ඇහුවා. පහුවදා පටන්ම බොනවිස්ටාවේම ගුරුවරයකු ලෙස වැඩ බාර ගන්නැයි කීවා. බොනවිස්ටාව ක්‍රිස්තියානි පරිසරයක් සහිත පාසලක්, ඒත් මා එහි සිංහල බෞද්ධ ගති සිරිත් දරුවන්ට පුරුදු පුහුණු කරවන්නට උත්සාහ කළා.

අතරමඟ නතර වූ අධ්‍යාපන කටයුතු යළි අරඹන්නට සිතූ ආරියරත්න ප්‍රකට ආර්ථික විද්‍යා උපදේශකයකු වූ මාතර මහාචාර්ය ජී. සී. ෆ්‍රැන්සිස් පිල්ලේ මහතාගේ පන්තියකට ඇතුළු වී ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. ඉන්ටර් ආර්ට්ස් විභාග සඳහා ඉල්ලුම් පත්‍රයත් පිල්ලේ මහත්තයාම ගෙනත් දුන්නා. ඒ අතරේම මහරගම ගුරු විද්‍යාලෙ පුහුණුවටත් ඉල්ලුම් කළා.

මේ වන විට ගමේ පොදු වැඩ සඳහා විශාල දායකත්වයක් සැපයූ ආරියරත්න 1956 ජනවාරි පළවැනිදා මහරගම ගුරු පුහුණුවට ගියේ ගමේ වැඩ කටයුතු අඩපණ ;නාවන පරිදි කරගෙන යාමට ගමේ මිතුරන් කිහිප දෙනෙකුට පවරමින්. ගමේදී සමාජසේවා වැඩ වලට හොඳ පුරුද්දක් ලැබු ආරියරත්න ගුරු විද්‍යාලයේ සමාජ සේවා සංගමයක් ඇරැඹීමට පුරෝගාමී වුණා.

මඩිහේ පඤ්ඤාසීහ නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රධානත්වහෙන් පැවැති සංගමයේ සභාපති ධුරයට ඔහු පත් වුණේ නිතරගයෙන්. සමාජ සේවයට වගේම ක්‍රිකට් ක්‍රීඩාවටත් හපන් ආරියරත්න ගුරු විද්‍යාල කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්.

1957 දී ක්‍රිෂ්ණමූර්ති දේශන සියල්ලට කන් දීමෙන් “ආපසු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තොරව සමාජයට සේවය කිරීමට” ඔහු තුළ වු ඇල්ම තවත් වර්ධනය වුණා. 1958 ගුරු විද්‍යාලයෙන් පිටවූ ආරියරත්නට කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඇම්. ඩබ්ලියු. කරුණානන්ද මහතා හමු වීමෙන් අනතුරුව ප්‍රතිඵල පිටවීමටත් පෙරම නාලන්දාවේ ගුරු මණ්ඩලයට එක්වීමේ භාග්‍යය හිමි වුණා.

 කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ උපදේශකයකු ලෙස මෙරට පැමිණ සිටි ජපන් ජාතික විශේෂඥයකු හඳුනාගත් ආරියරත්නට ඔහු සමඟ මෝටර් රථයෙන් ඉන්දියාවට යෑමටත් එහිදී ගාන්ධි තුමා ගේ ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්නටත් අවස්ථාව උදා වුණා.

මේ සංචාරයේදී ජම්මු සහ කාශ්මීරය අතර රම්බාන් නම් ස්ථානයට යන පාර කැඩී තිබුණා. එම පාර පිළිසකර කරන ලද්දේ සිය කැමැත්තෙන්ම සංවිධානය වූ ප්‍රදේශවාසීන්. එම වැඩපිළිවෙළ “ශ්‍රම්දාන” නමින් හැඳින්වුණු අතර “ශ්‍රමදානය” පිළිබඳ සංකල්පය ආරියරත්නගේ සිතට පිවිසුණේ ඒ ආකාරයෙනි. ඉන්දියානු සංචාරයේදී ඔහුට හදිසියේ මුණ ගැසුණු ඒ. ආරියරත්නම් මහතාට කළ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙස ආරියරත්නට ආරියරත්නම් මහතාගේ නිවහන වූ මරදානේ දෙල්ගහයට ගෙදර පදිංචි වීමට අවස්ථාව උදා වුණා.

ප්‍රථම පන්තියේ පුහුණු සහතිකයක් ලබා ගෙන නාලන්දාවේ විද්‍යාව උගන්වන්නට ආපු ආරියරත්න මහත්තයා ගේ සමාජ සංවර්ධන සංකල්ප ළමයින් අතරට ගියේ බොහොම ජනපි‍්‍රය තාලෙට. නාලන්දාවෙ පැවැති සමාජ සේවා සංගමයේ උප සභාපති ධුරයට පත්වුණු ආරියරත්න ගුරුතුමා මුලින්ම කළේ ලංකාවේ දිළිඳු ගම්දනව් පුරා යමින් ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගැනීම. ඒ අනුව පාසලේ සිසුන් හා ගුරුවරුන් සමඟ ඒ ගම්වලට ගොස් කඳවුරු බැඳගෙන ගම්වල ජනතාවත් එක්ක ශ්‍රමදානයෙන් ගම්වලට අවශ්‍ය මං මාවත්, ළිං කැපීම, ප්‍රජා ශාලා ඉදිකිරීම වැනි පොදු වැඩ ඉටු කිරීම.

1958 වසරේ දී පළමු ශ්‍රමදාන කඳවුර බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ කනතොළුවේදී පැවැත්වුණා. නාලන්ද විද්‍යාලයේ සිසුන් සමඟ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් සීයක් පමණ ඊට සහභාගි වුණා. කුල මල, ජාති ආගම්, උස් පහත්කම් සියල්ල පසෙකලා හුදු මිනිසත්භාවයේ නාමයෙන් පැවැත්වුණු මේ ශ්‍රමදාන ව්‍යාපාරයෙහි කීර්තිය ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරෙන්නට ගත වුණේ සුළු කාලයක්. කනතොළුවේ කඳවුර නරඹන්ට පැමිණි විශේෂ අමුත්තන් අතර එවකට අගමැති ධුරය දැරූ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ සිරිමාවෝ මැතිනියත් සිටියා. ඈ පැමිණ සිටියේ අගමැතිතුමාගේ විශේෂ පණිවුඩයක් ද රැගෙන.

ශ්‍රමදාන ව්‍යාපාරය ව්‍යාප්ත වන විට ඉන්දියාවට ගොස් එරට භූදාන් ව්‍යාපාරයේ නායක ආචාර්ය විනෝබා හාවේ තුමා මුණ ගැසුණු ආරියරත්න මහතා එතුමාගෙන් ලැබු ආභාසය පසු කලෙක සර්වෝදය ව්‍යාපාරය ගොඩ නැංවීමේදී මහෝපකාරී වූ බව ආරියරත්න මහතා කියනවා.

1959 විද්‍යොදය පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත්කළ පසු පිරිවෙනේ වැඩ තාවකාලිකව කෙරුණේ නාලන්ද විද්‍යාලයේ. විද්‍යොදය පිරිවෙනේ හිටපු පරිවෙණාධිපති කළුකොඳයාවේ ප්‍රඥාසේකර හිමියන්ගේ ආරාධනාව පරිදි පාසලෙන් පසුව පිරිවෙනේ ඉගැන්වීමට ආරියරත්නට ඇරියුමක් ලැබුණා.

ඒ වන විට රැකියාවෙන් ලැබු මුළු පඩියම ශ්‍රමදාන ව්‍යාපාරයට කැප කළ ආරියරත්නට පිරිවෙනේ උගන්වලා ලැබුණු රුපියල් 200 ත් වැය කළේ ඊටමයි. ලංකාවේ විවිධ ප්‍රදේශවල කඳවුරු බැඳගෙන දේශන පවත්වමින් පවත්වාගෙන ආ ශ්‍රමදාන ව්‍යාපාරයට නවසිය හැටේ දශකය වන විට විවිධ සතුරු බලවේගත් ක්‍රියාත්මක වුණා. ඔය අතරේ ශ්‍රමදාන ව්‍යාපාරයට දේශපාලන මුහුණුවරක් දෙන්නත් ඇතැම් පිරිස් උත්සාහ කළා. ආරියරත්නට තමන්ගේ නිකලැල් සමාජ සේවා ව්‍යාපෘතිය දේශපාලනය ගාවා ගන්නට අවශ්‍ය වුණේ නෑ.

1960 දී ආරියරත්න යුග දිවියට ඇතුළත් වුණා. ඔහුගේ අතගත් මනාලිය මානාව කඳවුරට පැමිණි කුලියාපිටියේ නීතා ධම්මචාරී ඇල්පිටිය ආරච්චි මෙනෙවියයි. විවාපත් වූ නව යුවළ පදිංචි වූයේත් මරදානේ දෙල්ගහයට ගෙදරයි. ආරියරත්නගේ සමාජ වැඩ කටයුතුවලට ඉත සිතින්ම අතහිත දෙන පිය බිරිය නීතා එදා පටන් අද දක්වාම ඔහුගේ කටයුතුවලට සහාය වෙමින් අදත් ඔහුගේ සෙවනැල්ල මෙන් රැඳී සිටිනවා. ආරියරත්න යුවළට දරුවන් සය දෙනෙකි. වැඩිමල් දියනිය සාම්‍යා චාරිකා, දෙවැනි පුතා වින්‍යා ශාන්තිදාස් වෛද්‍යවරයෙක්.

 ඔහු අද සර්වෝදය ව්‍යාපාරයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරනවා. තෙවැනි පුතා කපිතාන් ජීවන් ධම්මික. සිව්වැන්නී දියණී සාමදීපා. පස්වැන්නා දියත් සමන්ත පුතා පරිගණක ඉන්ජිනේරුවරයෙක්. බාල දියනිය නිම්නා නයන්ති. දරුවන් හය දෙනාම උසස් අධ්‍යාපනය ලබා විවාපත් වෙලා. ආරියරත්න යුවළට මුනුුපුරන් පස් දෙනෙකුත් මිනිපිරියන් හය දෙනකුත් ලබා දීලා.

1964 දී ආරියරත්න මහත්තයා ගුරු වෘත්තියෙන් නිවාඩු ලබාගෙන විද්‍යොදය විශ්ව විද්‍යාලෙට ඇතුළත් වෙලා කලා උපාධියක් ලබා ගත්තා. පසු කලෙකදී ඔහුගේ ජාතික මෙහෙවර සලකා විද්‍යොදය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් පිලිපීනයේ අම්ලියෝ විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් පිරිනැමුවා. 1972 දී ශ්‍රමදාන ව්‍යාපාරය පාර්ලිමේන්තු පනතකින් සර්වෝදය ව්‍යාපාරය නමින් සංස්ථාපිත ආයතනයක් බවට පත් කළා.

1969 දී ප්‍රජා නායකත්වය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර උදෙසා පිලිපීන රජයෙන් රැමන් මැග්සයිසේ සම්මානයෙන් ඒ. ටී. ආරියරත්න මහතා පුදනු ලැබුවා. එදා මෙදා තුර ආචාර්ය ආරියරත්නයන් ගේ සර්වෝදය ව්‍යාපාරයත් ඔහු ගේ මෙහෙවරත් ලොව පුරා සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා. මෙරට හැම රජයකින්ම ඔහුගේ සමාජයීය මෙහෙවර උදෙසා සම්මාන පිරිනමා තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල්වලින් ලබා ගත් සම්මාන, ගෞරව නම්බුනාම රාශිය පිළිබඳ ලියන්නට වෙනම සටහනක් අවශ්‍ය වෙනවා.

අද ලංකාවේ උතුර - දකුණ සෑම අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති විශාලතම ස්වේච්ඡා සංවිධානය සර්වෝදය. එමඟින් සෘජුවම ජීවිකාව සලසා ගන්නා පිරිස 45,000 කට අධිකයි. ආසියාවේ මෙන්ම යුරෝපය මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවක සර්වෝදය ශාඛා පැතිර තිබෙනවා. මේ සියලු ආයතනයන්හි කටයුතු කෙරෙන්නේ එකම පවුලක් ලෙසින්. ඒ සාමකාමී පවුලේ ආදරණිය පියා ලෙස ආරියරත්න මහතාත් ආදරණිය අම්මා ලෙස ආරියරත්න මහත්මියත් කටයුතු කරන්නේ බොදු දහම අනුව යමින් මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යන ධර්මතාව අදහමින්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා