කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

හොඳ ළමයා වගෙ රූම් එකට ගිහින් රෙස්ට් කරන්නකො

හොඳ ළමයා වගෙ රූම් එකට ගිහින් රෙස්ට් කරන්නකො

“මං මේ වගේ සීන් එකක් කරන්න බලාපොරොත්තු වුණේ නැහැ සර්.. ඇයි මාව මෙහෙම රැවැට්ටුවේ?”

”මෝඩ කතා කියන්න එපා අපර්ණා... මේ වගේ සීන්ස් තිබුණොත් තමයි ෆිල්ම් එක දුවන්නෙ.. ඔයාට මේවා තේරෙන්නෙ නැහැ ඒකයි මේ..?”

”මං කොහොමද දෙය්යනේ දැන් අම්මාගෙයි.. තාත්තාගෙයි මුහුණ බලන්නෙ? අපේ තාත්තා වහ කාලා මැරෙයි සර්..”

”හරි.. හරි.. දැන් ඕවා ගැන හිතන්න ඕනෙ නැහැ. ඔයා හොඳ ළමයා වගෙ රූම් එකට ගිහින් ටිකක් රෙස්ට් කරන්නකො. තව ටිකකින් අපි ඊළඟ ටේක් එකට යමු.. ඕ.කේ..”

එසේ කී වංශනාථ ඇගේ පිටට සෙමින් තට්ටු කර ඉවතට ගියේ ඊළඟ දර්ශනයට සූදානම් වෙනු සඳහාය. මේ වනතුරු අපර්ණා සිතාගෙන සිටියේ චිත්‍රපට ලෝකය ඉතා සුන්දර.. විකසිත වූ එකකැයි කියාය. එහෙත් එම සිහින සිතුවිල්ල ඒ වන විට ඇගේ දෙපා පාමුල බිඳ වැටෙමින් තිබිණ. පියාගේ බලවත් විරෝධය නොතකා තමා මේ චිත්‍රපටයේ රඟපාන්නට තීන්දු කළේ මෙවැනි තත්ත්වයකට මුහුණ පාන්නටදැයි ඇය තමාගෙන්ම ප්‍රශ්න කළාය.

වේශ නිරූපණ ශිල්පි මඩපාත ඇය අසලට ආවේ ඇය මෙවන් සිතුවිලි ගොඩක අතරමංව සිටියදීය. ඔහු ඇය අසලින් වාඩිවී මද ලෙස සිනාසුණේය.

”ඔය දරුවා වැදගත් පවුලක ළමයෙක් විත්තිය මට පේනවා. අද කාලෙ චිත්‍රපටි නිළියක් වෙන එක නරක දෙයක් නෙවෙයි... හැබැයි කල්පනාවෙන් වැඩ කරන්න ඕනැ.. චිත්‍රපටි ෆීල්ඩ් එක හරි අමුතුයි.. තේරුණා නේද?”

”අංකල් කියන දේ මට තේරෙනවා... මං දැන් පරක්කු වුණා වැඩියි..”

”එහෙමම කියන්න එපා.. හැබැයි පිටපතේ නැති දර්ශන රූගතකරන එකනම් වැරැදියි... ඒත් එහෙම දේවල් සිද්ධ වෙනවා.. ඔයා වගේ තරුණ ගැහැනු ළමයි රඟපාන්න තියෙන ආසාවටයි මේවට සම්බන්ධ වෙන්නෙ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.. අද කරපු සීන් එක රඟපෑමක් විතරයි කියලා හිත හදාගන්න බලන්න.”

දයාබර පියකු මෙන් තමන්ගේ හිත සනසන්නට වෙර දරන වේශනිරූපණ ශිල්පියා දෙස අපර්ණා හිස ඔසවා බැලුවේ ඔහු කෙරෙහි උපන් දයාර්ද්‍ර බැල්මෙනි.

”ඊළඟ සීන් එක ගැන හිතෙන කොටත් මගෙ මුළු ඇඟම වෙව්ලුම්කනවා අංකල්... මන් හරිම අමාරුවක වැටුණෙ..”

”අදින් පස්සේ ඔයාගෙ ෂූටින් ඉවරයිනේද?”

”ඔව්.. අංකල්..”

”අපි හිතන තරම් චිත්‍රපටි ලෝකෙ සුන්දර නැහැ දරුවා.. රඟපාන්න ඇවිත් මුළු ජීවිතේම කාලකණ්ණි කරගත්තු ලස්සන තරුණ ගැහැනු ළමයි මේ රටේ අනන්තවත් ඉන්නවා.. දැන් ඉතින් හිත හදාගෙන ඊළඟ සීන් එකට ලෑස්ති වෙන්න.. මං යනවා..”

ඔහු පුටුවෙන් නැගිට හෝටලයේ බරාදය දෙසට පියවර තබමින් කීවේ සන්සුන් ස්වරයෙනි. ඒ සමඟම වාගේ ඇගේ ජංගම දුරකථනය නාදවන්නට විය. ඇමතුම ආවේ සුරේෂ්ගෙනි. තමා ගතින් මෙන්ම සිතින්ද අසරණ වූ මොහොතක සුරේෂ් කතා කිරීම ඇගේ හිතට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය.

දින හවස් වරුවේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඩග්ලස් දැරණියගලගේ සුවිසල් මැදුරට සිය මොටෝරියෙන් වැඩියේ තවත් දායක මහත්මයකු ද සමඟය. උන්වහන්සේ එහි වඩින බව කල්ඇතිව දැනුම් දී තිබූ නිසා ඩග්ලස් සියලු වැඩකටයුතුවලින් මිදී උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නිවෙසේ රැඳී සිටියේය.

මූලික සතුටු සාමීචියෙන් පසුව උන්වහන්සේ පැමිණි කාරණය ඩග්ලස් දැරණියගල හමුවේ දිග හැරියේ බැරෑරුම් හඬිනි.

”මං මේ ඔබතුමා බැහැදකින්ට පැමිණියේ වැදගත් කාරණාවකට. මේ වැඩේ කරන්න පුළුවන් අපේ දැරණියගල මහත්තයට විතරයි..”

උන්වහන්සේ සැප පුටුවේ හරිබරි ගැසෙමින් නළල රැළිගැන්නූහ.

”කරන්න පුළුවන් දෙයක් නම් මම කරන්නම් අපේ හාමුදුරුවනේ..”

”අපේ පන්සලේ නව සංඝාවාසයට මුල් ගල තැබීමේ උත්සවය ලබන මාසෙ විතර කරන්ඩයි මගෙ කල්පනාව.. මට ඒකට අපේ ඇමැතිතුමාව ගෙන්වලා දෙන්ඩ මහත්තයාට බැරිකමක් නැහැනෙ?”

”අපේ ඇමතිතුමා කිව්වෙ?”

”බතලගොඩ ඇමතිතුමා මිසක් වෙන කව්ද? උන්නැහෙටනෙ ගිය පාර ඡන්දෙදිත් අපි උදව් පදව් කළේ... මං හිතන්නෙ දැරණියගල මහත්තයා ආරාධනා කළොත් උන්නැහැ නෑවිත් ඉන්න එකක් නැහැ.”

”එහෙනම් මාත් එක්කම නායක හාමුදුරුවොත් ගිහින් උන්නැහැට ආරාධනා කරමු. මං ඒකට වෙලාවක් ඉල්ලා ගන්නම්... අපේ ඉල්ලීමකට ඇමතිතුමා නොසලකා ඉන්නෙ නැහැ.. මට ඒක විශ්වාසයි.”

”අන්න බොහොම හොඳයි... එහෙම තමා වෙන්න ඕනැ. අනිත් එක මේ උත්සවේ මහ ඉහළින් කෙරෙන්නත් ඕනැ... දැරණියගල මහත්තයා..

ඔබතුමාට පුළුවන්නෙ විය හියදම් පැත්තත් බලා ගන්න..”

”මාත් උදව් කරන්නම්.. මේ දවස්වල මං චිත්‍රපටියක වැඩට හිරවෙලයි ඉන්නෙ.. ලක්‍ෂ පනහක හැටක වැඩක් හාමුදුරුවනේ...”

”මටත් ආරංචියි ඔය ගැන... හොඳ වැඩකට නම් මහත්තයෝ කීයක් ගියත් මොකද? ආදර්ශමත් චිත්‍රපටියකින් පුළුවන් මේ සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න...”

”එහෙමයි...”

”කෝ අපේ නෝන මහත්තයා.. බංගලාවෙ නැතෙයි?”

උන්වහන්සේ ගේ තුළට එබෙමින් සිවුරු පොට සකසාගත්හ.

”එයා දුවත් එක්ක සාප්පු ගිහිල්ලා හාමුදුරුවනේ..”

මැගිහාමි ගෞරව පූර්ව ලෙස පිළිගැන්වූ ගිලන්පස පානය කළ උන්වහන්සේ ආපසු යාමට සැරසුණේ තෘප්තිමත් හැඟීමෙන් යුතුවය.

”ඉඩ තිබුණ වෙලාවක පන්සල පැත්තෙත් ඇවිත් යන්න එන්න ඕනැ අපෙ මහත්තයා... වැඩ රාජකාරි තිබුණයි කියලා පන්සල අමතක කරන්න හොඳ නැහැ..”

”වෙලාවක් නැති කමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ අපෙ හාමුදුරුවනේ.. දැන් හෙට උදේම ෂුටින්වලට අනුරාධපුරේ යන්න ඕනැ... අපිත් දැන් මැෂින්වල කරකැවෙන දැති රෝද වාගෙ වෙලා හාමුදුරුවනේ...”

”සල්ලිත් හම්බ කරන්න ඕනැ තමයි... ඒත් ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේ... දැරණියගල මහත්තයා නම් සල්ලි මත්තෙම නැහෙන කෙනෙක් නොවන විත්තිය මං දන්නවා..”

උන්වහන්සේගේ වචනවලට ඩග්ලස් දැරණියගල කට කොනකින් සිනාසුණේය. සල්ලි උපයනු සඳහා තමා කරනු ලබන කූට ව්‍යාපාර ගැන දන්නේ තමා පමණක් නොවේදැයි ඔහු, තමාගෙන්ම ප්‍රශ්න කළේය.

”එහෙනම් මහත්තයා අපි ගොහින් එන්නම්..”

සිවුර සකසා ගනිමින් පුටුවෙන් නැගිට්ට උන්වහන්සේ අඩියක් පෙරට තබත්ම ඩග්ලස් දැරණියගල දෑත් එක්කොට උන්වහන්සේට වැඳ නමස්කාර කළේය.

”සුවපත් වේවා”

”අපේ අමද්‍යප සමිතියත් ළඟදි රැස් කළොත් හොඳයි මහත්තයා”

හදිසියේ යමක් සිහියට නැඟුණ කලෙක මෙන් උන්වහන්සේ කීවේ ඩග්ලස්ගේ මුහුණ දෙස එක එල්ලේ බලමිනි.

”කෝ ඒකටත් මේ වැඩ හින්දා මට වෙලාවක් නැහැනෙ හාමුදුරුවනේ...”

”එහෙම කියලා බැහැ මහත්තයා... අපි මේ රට හදන්න ඕනැ..”

මතට තිත තියන්නම ඕනැ තේරුණැයි?”

”එහෙමයි.. ඒක අපේ යුතුකමනෙ” හිතට විරුද්ධව වුණත් ඔහු ඒ වචන ටික කියා දැම්මේය.

හාමුදුරුවෝ වැඩි වාහනය ආපසු ගෙඋයනින් පිටත්ව යන තුරුම ඩග්ලස් දැරණියගල බලාසිටියේ වික්ෂිප්ත වූ හදිනි. උන්වහන්සේගේ පැමිණීම ඔහුගේ හිතට දැනුණේ මහා වදයක් ලෙසිනි. සුදු රෙදි හැඳි ගුණවත් ව්‍යාපාරිකයෙකු ලෙස සමාජයේ පෙනී සිටීමට වෙර දරන තමා කෙතරම් කපටි වංචනික පුද්ගලයෙක් ද යන හැඟීම ඒ වනවිට ඔහුගේ හිත යට දිය සුළියක් මෙන් කැකෑරෙමින් තිබුණේය.

පන්සලේ ලොකු හාමුදුරුවන් තුළ තමා කෙරෙහි පවතින ගෞරවය හා විශ්වාසය කෙසේ හෝ ආරක්‍ෂා කර ගත යුතු යැයි හාන්සි පුටුවේ දිග හැදෙමින් ඔහු කල්පනා කළේය. සමාජයේ සුදු කඩතුරාවට මුවාවී තමා කරන.. කියන දේවල් හාමුදුරුවෝ හරියාකාරව දනී නම් උන්වහන්සේ තමාගේ මුහුණවත් බලනු නැතැයි ඔහුට සිතෙන්නට විය. චිත්‍රපටි නිළි කුසුම්රානි සමඟ පවත්වාගෙන යන අයුතු සම්බන්ධය තවමත් ලෝකයාට රහසක් බව ඔහු දනී. ඒ ගැන බිරිය සේරාගේ සිතේ පවතින්නේද අවිනිශ්චිත සැකයක් පමණි. දින ගණනාවකින් කුසුම්රානිගේ පි‍්‍රය ඇසුර ලබන්නට නොලැබීමද ඔහුගේ හිතට ගෙන දුන්නේ තරමක අසහනයකි.

ඔහුගේ ජංගම දුරකථනය නාදවන්නට වූයේ ඔහු මෙවන් සිතුවිලි සයුරක නිමග්නව සිටියදීය.

ඇමතුම ලැබුණේ අවන්හලේ කලමනාකරුගෙනි. ඔහු කතා කළ තාලයෙන්ම ඩග්ලස් දැරණියගලට කාරණයේ බරපතළකම වහා හැඟී ගියේය.

”තටමන්නෙ නැතුව කියනවා අයිසෙ... මොකද වුණේ?”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා