මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


‘අමර‍දේව’ නොවුණා නම් මම ඩබ්ලිව්. ඩී. මේඝවර්ණ

‘අමර‍දේව’ නොවුණා නම් මම ඩබ්ලිව්. ඩී. මේඝවර්ණ

ආචාර්ය පණ්ඩිත් අමරදේව

සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළගල නැගෙන හිර

ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ මා අබියස හුදෙක්ම මගේ අති පෞද්ගලික ඉල්ලීමක් සපුරාලමින් ප්‍රේමකුමාර එපිටවෙලගේ ‘සැළලිහිණි සංදේශය’ මුද්‍රා නාට්‍යයේ එන කවියක් ගායනා කරති. ඒ ගායනය අතිශය මධුර ය. මනෝහර ය. එපිටවෙලගේ මුද්‍රා නාටකයට පාදක වන්නේ කෝට්ටේ යුගයේ ලියැවුණු රාහුල හිමියන්ගේ සුප්‍රකට ‘සැළලිහිණි සංදේශය’ කාව්‍ය කෘතියයි. මම මීට ඉහත මෙලෙස ම මේ ස්ථානයේදීම (අමරදේවයන්ගේ නිවෙසේ) පූර්වෝක්ත කව් ගායනය අසා ඇත්තෙමි. එදා ඊට වශීකෘත වූ නිසාමය, ඉන් සිත් රංජනය වූ නිසාමය මෙවර ද ඒ කවිය නැවත ගායනය කරන්නැයි මා අමරදේව සංගීතවේදියාණන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටියේ. අමරදේවයන් අතිශය නිහතමානීය. මෙබඳු අහිංසක ඉල්ලීමක් ඔහු කිසිදා පැහැර නොහරී. මා මගේ ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් අසා තිබුණ ද මා සිත් චමත්කාරයෙන් පුරවා ලූ මෙතරම් භාවරූපී ගායනයක් කිසිදා අසා නැති වග කිව යුතුය.

“ඔය කවි අහලා තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් කිව්වේ “මේ මනුස්සයට මෙච්චර ලස්සනට කවි කියන්න පුළුවන් නම් භාරතයට යවලා වැඩිදුර සංගීතය ඉගැන්වුවොත් මොහු මොනතරම් දක්ෂයෙක් වෙයි ද කියල.” ඒ අනුව එතුමයි, ඩී.බී. ධනපාල මහත්තයයි එකතුවෙලා ‘ලංකාදීප’ පත්‍රයෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කළා මාව ‘භාත්ඛණ්ඩෙ'ට යවන්න. ඒ 1950දී. මහාචාර්ය සරච්චන්ද්‍ර ම තමයි මගේ නමත් වෙනස් කළේ ‘අමරදේව’ කියලා. මගේ මුල් නම ඇල්බට්නේ. අපේ තාත්තා වඩුවෙක්. ක්‍රිස්තුන් වහන්සේගේ පියාත් වඩුවෙක්නේ.

එසේ කියමින් අමරදේවයෝ සිනාසෙති. එතුමාගේ ප්‍රිය භාර්යාව විමලාවෝ සුදු පැහැ සාරියකින් සැරසී පැමිණෙති.

අපි මේ පන්සල් ගියා. ඇයි අපේ පුතා ආවේ නැද්ද?”

ඇය අසයි. අමරදේවයන්ගේ අතිජාත පුත්‍ර රත්නය රංජන විවාහවී, පදිංචිව සිටින්නේ අමරදේවයන්ගේ නිවහනට මඳක් යාබදවය.

“තාම ‘සිළුමිණේ’ ද වැඩ කරන්නේ?”

කොහෙදෝ ලෝකයක සැරිසරමින් සිට අමරදේවයන් මගෙන් අසති.

“ඔව් සර්”

මම උත්තර දෙමි. මා මහාචාර්ය සරච්චන්ද්‍ර, චිත්‍රසේන, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, මහාචාර්ය සිරි ගුනසිංහ ඇමතුවේ, අමතන්නේ කටපුරා ‘සර්’ කියමිනි. ඔවුන් සියවසකට වරක් පමණ පහළ වන මහා කලාකරුවන් නොවන්නේ ද? යුග පුරුෂයන් නොවන්නේ ද?

“මට නම දැම්මේ සරච්චන්ද්‍ර. මං ඒක කලින් කිව්ව ද? ගුණදාස අමරසේකරත් මට නමක් යෝජනා කළා. ඒ ‘මේඝවර්ණ’ කියලා. ඒ නම දැම්ම නම් කොහොම හිටීද? ඩබ්ලිව්.ඩී. මේඝවර්ණ. (අමරදේවයෝ උස්හඬින් සිනාසී විමලාවන් දෙස හොරැහින් බලති. සිනාසෙන අතරවාරේ සියුම් කැස්සක් ද හටගනී. අමරදේවයෝ තම අතරැඳි ලේන්සුවෙන් මුහුණ පිසදා ගනිති.)

“එදා හිටපු ඒ මහා කලාකාරයෝ අද නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍ර, චිත්‍රසේන, මානවසිංහ, මහගමසේකර, සෝමබන්දු අපෙන් වෙන්වලා ගිහිං. අපි අත‍ෙර් හොඳ නිර්මාණාත්මක අන්තර් පෝෂණයක් තිබුණා. ඒ නිසා තමයි අපි අතරින් විශිෂ්ට කලා නිර්මාණ බිහිවුණේ.

“සර්ගේ ඔය ‘අමරදේව’ කියන නම ලෝකයේ වෙනකාටවත් නැහැ නේද?” මම අසමි.

“එක්කෙ‍නකුට තියෙනවා. මගේ ගුරුදේවයාණන් තමයි පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද් ජෝග්. එයාගේ පුතා විජය ජෝග්. විජය ජෝග් ගේ පුතාට දැම්මා අමරදේව ජෝග් කියලා. මොකද විෂ්ණු ගෝවින්ද් ජෝග්ගේ හොඳම ශිෂ්‍ය රත්නය මමනේ.

ඔබතුමන් කිව්ව වගේ ධී ශක්තියකින් යුතු මහා කලාකරුවන් අද බිහි නොවන්නේ ඇයි?

මා තුළ මතුවුණු ප්‍රශ්නයක් අමරදේවයන් වෙත යොමු කළෙමි.

“අද හුඟදෙනෙක් හදිසි ජනප්‍රියත්වය පස්සේ දුවනවා. අවර ගණයේ නිර්මාණ තමයි කරන්නේ; ඒවා රැ‍ඳෙන්නේ නැහැ; පවතින්නේ නැහැ. මම නිතරම කියන දෙයක් තමයි, කලාකරුවකුට නිසර්ග සිද්ධ ප්‍රතිභාවක් තියෙන්න ඕනෑ. ඒක සංසාර පුරුද්දෙන් එන දෙයක්. මම වුණත් පූර්ව ආත්මයේ භාරතීය සංගීතවේදියකුව විසුවා යැයි විශ්වාස කරනවා. ඊළඟට ව්‍යුත්පත්ති ඥානය. ඒ කියන්නේ ඇසූපිරූ තැන් ඇති බව. උගතුන්, පඬිවරුන් ඇසුරු කරලා, පතපොත කියවල තමයි ඒ ඇසූපිරූ තැන් ඇති බව ලැබෙන්නේ. නිකං ලැබෙන්නේ නැහැ. මගේ ව්‍යක්ත භාෂා ව්‍යවහාරයට මට බලපෑවේ කුමාරතුංග මුනිදාස ඇසුර, කු.ජෝ. පෙ‍ෙර්රා වගේ ගුරුවරුන්ගේ ඇසුර. මං පොඩි කාලේ හෙළ හවුලේ රැස්වීම්වල කවි කියනවා. තුන්වැනුව සතතාභ්‍යාසය. නිරන්තර අභ්‍යාසය. මම සාමාන්‍යයෙන් දවසට පැය පහක් වයලීනය වාදනය කරවා. මට කුඩා කාලේ පටන්ම වයලින් එක ගහන්න පුළුවන්. අපේ තාත්තා වඩුවෙක්. කැඩුණු වයලිනුත් හදනවා. වයලින් වාදනයත් කරනවා. මට අවුරුදු හතේදි වයලින් එකක් තෑගි ලැබුණා. අනික් වැදගත්ම කාරණය තමයි කැපවීම. මං මගේ මුළු ජීවිතයම කැප කළේ සංගීතයට. මේ වගේ පසුබිමකින් තමයි මහා කලාක‍රුවෙක් බිහිවන්නේ.

විමලාවෝ වැල්දොඩම් වීදුරුවක් පිළිගන්වති. ගීතයක් තරම් ම එය ද රසවත් ය.

සිරිපා පියුමේ
රොන් සුණු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනහේ

අමරදේවයෝ නැවතත් ගීයකට මුල පුරති. මම විස්මයෙන් ඇළලී ඊට සවන් දෙමි. මට ‘රන්සළු’ චිත්‍රපටයේ එම ගීය රැගත් ජවනිකාව මැවී පෙනේ.

“අපි ඔය ගීතය නිර්මාණය කළේ අඹේපුස්ස පැත්තේ කඳු වැටියක් උඩ. සේකරයි, පී.කේ.ඩීයි, පුණ්‍යා හීංදෙණියයි, මමයි. මේ ගීතය ලියනකොට සේකරට මතක්වෙලා තියෙන්නේ එයා ගුවනින් ඇමෙරිකාව ගිය ගමනකදි අහසේ දැකපු වලාකුළු පන්තියක්. පුළුන් අතුරුවාලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුවක් දුටු සේකර එය මතකයට නඟමින් මේ ගී ඛණ්ඩය ලිව්වා.

නිවන් දොර මඟපානා
සමනොළ රන් කොත මුදුනේ
බැන්ද වියන් සේ
අරුණු වලා රන්සළු පැටලේ
හද කිමිදේ ලොව්තුරු සුවදේ
කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ

“සේකරයි මමයි මොනතරම් විශිෂ්ට නිර්මාණ බිහිකරලා තියෙනවද? ගීපොතයි, මීවිතයි කියලනේ එදා අපි දෙන්නාව හැඳින්වූයේ.

අමරදේව ප්‍රමුඛ ඉහත නම් සඳහන් කලාකරුවන් මොනතරම් කුලුණුබර හදවතකින් යුතු නිර්ව්‍යාජ මිනිසුන් දැයි මට සිතේ. සේකර කොළඹ සිට දුම්රියෙන් ගෙදර ගොස් අමුඩයක් හැඳ ළිදෙන් හෝ පීල්ලකින් දිය නා එන බව මම අසා ඇත්තෙමි.

“අනවශ්‍ය සාටෝපය මේ අය ළඟ තිබුණේ නැහැ. මානවසිංහ මහපාරේ ඇවිද්දේ සෙරෙප්පු දෙකක්වත් නැතුව.”

අමරදේවයෝ සර්පිනාවට අත යොමති.

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධදිවාකරයාණෝ

“ඕක ලිව්වේ මානවසිංහ. මං මේ ගීතය නිර්මාණය කළේ සින්දු භෛරවි රාගයෙන්. ගීතය පටිගත කළේ හැඳල විජය චිත්‍රාගාරයේ. ශබ්ද පරිපාලනය කළේ පී.එස්. මිස්රා කියලා ඉන්දීය ජාතිකයෙක්. නන්දායි මමයි ගීතය ගායනා කරන්න පටන් ගත්තා. මිස්රා මේ ගායනයෙන් මුසපත්වෙලා. එය කොයිතරම් ද කියනවා නම් මිනිහට ගීතය පටිගත කරගන්න අමතක වෙලා. ගීතයෙන් බාගයක් විතර ගියාට පස්සේ තමයි රෙකෝඩ් කරලා නැහැ කියලා දැන ගත්තේ.”

සර්ගේ එදිනෙදා ජීවිතය ගත වෙන්නේ කොහොම ද?

“සුපුරුදු අලස සුවයෙන් ඉන්නවා. ඉඳහිට නිර්මාණයක් දෙකක් කරනවා. මෑතදි මං ටෙලි නාට්‍යයකට කියපු තේමා ගීතයකට හුඟක් ප්‍රශංසා ලැබුණා. ඒකට දායක වුණේ තරුණ පිරිසක්. නව පරපුර අතර දක්ෂයන් ඉන්නවා.

“මෙයා ගෙදර හිටියට අහල පහළ ඉන්නේ කවුද කියලවත් දන්නේ නැහැ. දවසක් මම කොහෙටහරි ගිහිල්ලා එනකොට ගෙට හොරු පැනලා. මෙයා කිසි ගාණක් නැතුව හොරෙක් එක්ක පුටුවෙ හිඳගෙන හොඳට කතා කරකර ඉන්නවා. මෙයා ඉතිං හරිම සංවේදී මනුස්සයෙක්නේ. මේ ලෝකේ නෙමෙයිනේ ඉන්නේ.” විමලාවෝ පවසති.

අමරදේවයන් ප්‍රමුඛ නිවෙසේ අය කෙසේ ජීවත් වන්නේදැයි මට ගැටලුවකි. මා දන්නා තරමින් ඔවුන්ට ආදායම් එන වතු පිටි නැත. භවබෝග සම්පත් නැත. අවම වශයෙන් රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පතිව සිටියත් අමරදේවයන්ට විශ්‍රාම වැටුපක්වත් නොලැබේ.

“මගේ සුළු විශ්‍රාම වැටුපෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අමරදේව කෑවද, බීවද කියලා කවුරුවත් හොයන්නෙ නැහැනේ.” ඒ විමලාවන්ය.

මේ මෑතදි අමරදේවයන්ගේ ප්‍රථම ඩිජිටල් සංගත තැටිය (DVD) එළිදැක්විණි. එය නම් කර ඇත්තේ ‘සසර වසන තුරු - අමර ගී රසෝඝය’ යනුවෙනි. (මේ ගී තැටිය නුගේ‍ගොඩ සරසවි පොත්හලින් ලබාගත හැකිය.)

“මේක ගිය අවුරුද්දේ BMICH එකේ පවත්වපු ප්‍රසංගයේ DVD එක.

“අපි හෙට (17) ඕස්ට්‍රේලියාවට යනවා ප්‍රසංගයකට. මම මීට ඉහත අවස්ථා කීපයකදීම ඕස්ට්‍රේලියාවට ගිහින් තිබෙනවා. මේ ප්‍රසංගයක් සඳහා යන තුන්වැනි අවස්ථාව. මෙවර ප්‍රසංගය සම්බන්ධීකරණය කරන්නේ ඉන්ද්‍රජිත් මිරිහාන. ඊට පස්සේ ඩුබායිවල ප්‍රසංගයකට ආරාධනා තිබෙනවා.” අමරදේව‍යෝ කියති.

ලබන දෙසැම්බර් 5 අමරදේවයන්ගේ උපන් දිනයයි. එදින සුවිශේෂත්වය නම් එය විමලාවන්ගේ ද ජන්ම දිනය වීමයි. ඒ නිමිත්තෙන් ප්‍රසංගයක් ද සංවිධානය වෙයි. ඊට සමගාමීව ඉන්දීය ශිල්පීන් දෙදෙනකුගේ සහභාගිත්වයෙන් තබ්ලා හා සර්පිනා වැඩමුළු දෙකක් ද පැවැත්වෙනු ඇත. අමරදේව පදනම 60, නාලන්දාරාම පාර, පතිරගොඩ, නාවින්න, මහරගම යන ලිපිනයෙන් දැන් සිටම ඊට ඉල්ලුම් කළ හැකිය. මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වෙන්නකි. ඉදිරිපත් කිරීම අමරදේව පදනම විසිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්