මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


නාගචම්පා වගේම සුදු නංගිත් මම තමයි

නාගචම්පා වගේම සුදු නංගිත් මම තමයි

නිමලා අතපත්තු

ඉස්සර කාලේ දෙහිවල පොකුණු, ජල වළවල් බහුල බිමක් නිසා දියවළ ලෙස ප්‍රකටව තිබුණාලු. එලෙසම දෙහි වගාව සශ්‍රීකව පැවතුණු හෙයින් දෙහි වනය නැතිනම් දෙහි කැලෑව යන්න පසුව දෙහිවල වශයෙන් පරිවර්තනය වුණු වගක් ද අසන්නට ලැබෙනවා. කෝට්ටේ රජ වාසලට වයඹ පළාතෙන් දෙහි රැගෙන එනතුරු බලා නොසිට මෙම ප්‍රදේශයෙන් දෙහි ලබා ගැනීම ඊට කදිම සාක්ෂියක්.

මේ වගේ අර්ථවත් ඉතිහාසයක් සමඟ බැඳුණු දෙහිවල ඇලන් මාවතේ, අද ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටා තිබුණු විශාල ගෘහය ප්‍රදේශවාසීන් අතරේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ අතපත්තු වලව්ව නමින්. මෙහි ගෘහමූලිකයා දොන් රොබට් වෝල්ටර් අතපත්තු. ඔහුගේ බිරිය ලුවිනියා අතපත්තු. දැවැන්ත ව්‍යාපාරික පෙළපතකින් පැවත ආ ඔවුන්ට දරුමල්ලන් පස්දෙනෙක් සිටියා. ඉන් එක් කෙනෙක් පිරිමි දරුවෙක්. ගැහැනු දරුවන් සිවුදෙනාගෙන් මම නිමලා තෙරේසා අතපත්තු උපන්නේ 1937 මැයි 05 වැනිදා. දෙහිවල කරගම්පිටියේ මෙතෝදිස්ත විදුහලෙන් අධ්‍යාපනය ලැබු මම පාසල් සමයේ ක්‍රීඩාවෙන්, ගායනයෙන්. රංගනයෙන් සමාන දස්කම් පෙන්නුවා.

මගේ වැඩි නැඹුරුව තිබුණේ ගායනය පැත්තට. පාසල් විවිධ ප්‍රසංගවලදී වැඩි කොට ගායනය කළේ චිත්‍රා සෝමපාලගේ ගීත. වරක් දෙමාපියන්ට හොරා ගුවන් විදුලි ගායනා පරීක්ෂණයකට අයදුම් පතක් යැව්වා. පරීක්ෂණයට ගියේ අසල්වැසි වැඩිහිටි කාන්තාවක් සමඟ. ගායනය කළ ‘රොනට වඩින බිඟු ඔබයි’ ගීතිකාව පරීක්ෂණය මෙහෙයවූ ලැඩී රණසිංහගේ සිත් ගත්තා. ඊළඟ සතියේම ආධුනික පැයට තෝරා ගත්තේ නොසිතූ විදියට. පසුව දෙමාපියන්ගේත් අනුදැනුම ඇතිව එහි ගීත ගායනය කොට ජයග්‍රාහක පෙළපාළියට තේරුණා. මේ සමඟම ගුවන් විදුලි ගායිකාවක ලෙස පෙරට යන්න ඉඩකඩ විවෘත වුණා. ප්‍රසිද්ධ වේදිකාවට පය තබමින් නෝබට් ජයවර්ධනගේ ‘වෙද ගැටය’, ටී. බී. ඉලංගරත්න ලියූ ‘හැරමිටිය’ ආදි නාට්‍ය කිහිපයක රඟපෑවා. මෙමඟින් රංගනයේ නිම්වළලු පුළුල් කර ගත්තා.

එහෙත් මම ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවේ ගුවන් විදුලි ගායිකාවක් හැටියට. අද වගේ නොව එදා හැකියාවෙන් මිස නොහැකියාවෙන් ගායන ලොවේ ස්ථාවරත්වයට පත්විය නොහැකි කාලයක මා ලැබු ප්‍රසිද්ධිය කියා නිම කරන්න බැහැ. මම වෙළෙඳ සේවයට, ග්‍රැමෆෝන් තැටියට හරූන් ලන්ත්‍රා, එම්. එස්. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න, ෆ්‍රෙඩී සිල්වා, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, මොරිස් දහනායක වැනි ප්‍රබලයන් එක්ක ගායනය කළ යුග ගීත විතරක් නොවෙයි මගේ තනි ගීත රාශියක් ජනප්‍රිය වුණා. මෙයින් තෝරා ගත් ගීත දොළසක් ඇතුළත් ‘දහස් ගණන් තරු’ නමින් කැසට් පටයක් කාලයකට ඉහත නිකුත් කළා. එහි ගීත දෙකක යුග ගායකයා විජය කුමාරතුංග. ‘සුදාගේ මිහිරි කතා’ පෙර ගායකයා එම්. එස්. ප්‍රනාන්දු. හරූන් ලන්ත්‍රා සමඟ ගැයූ ‘ඔබේ පිනට පායන සඳ’ ගීතය විජය එක්ක නැවත ගායනය කළේ ඇලෝයි ගුණවර්ධනගේ පද මාලාවකට.

මම සිනමාවට සම්බන්ධ වීම සිදු වෙන්නේ ගර්ලි ගුණවර්ධනගේ නිවෙසේදී. මගේ සමීපතම හිතවතියක වූ ඇගේ නිවෙසට නිතර දෙවේලේ මම යන එනවා. ඔය ගිය වාරයක සිරිල් පී. අබේරත්නට මාව නෙත ගැටුණා. ඔහු මාව ‘සුරතලී’ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයට ඒ කියන්නෙ මානෙල්ගේ චරිතයට තෝරා ගත්තා. අවාසනාවකට ඉන්දියාවේදී දැඩි ලෙස අසනීප වීම නිසා පසුව රඟපාන්න සිදු වූයේ කුසුම් කියන චරිතය. මගේ මුල් චරිතය සිරිමතී රසාදරීට පැවරුණා. මේ චිත්‍රපටයේ අනෙක් සහෝදරියන් වූ සුරතලී ලෙස ලීනා ද සිල්වාත්, නෙලුම් ලෙස රෝහිණි ජයකොඩිත් රඟපෑවා.

‘සුරතලී’ චිත්‍රපටයේ එන ‘සීත ජලේ නාමු ගිලී’ සමූහ ගායනයට අත්වැල් ගායනයෙන් එකතු වුණා. මගේ ජනප්‍රිය පසුබිම් ගායනා ඇතුළත් චිත්‍රපට දෙකක් ඔබට මතක් කර දෙන්න කැමැතියි. එකක් 1963 තිරගත ‘සුනිලා'. එහි ‘ඇසේ සඳුන් උලා’ ගීතය ගැයුවේ තිලක් කරුණාතිලකගේ සංගීතයට. 1968 පෙන්නු ‘හැංගි හොරා’ චිත්‍රපටයේ ‘සිතක පෙම්බර සිතුවිලි’ ගීතය ගැයුවේ රංජන් ජයතිලක සමඟ. ප්‍රබන්ධකයා නිහාල් ඒ. ජයසිංහ. සංගීත අධ්‍යක්ෂ ෂෙල්ටන් ප්‍රේමරත්න.

චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ලැබුණු අවස්ථා ඔච්චරයි. නමුත් රංගන ශිල්පිනියක විදියට ‘සුහද දිවි පිදුම’, කල්‍යාණි ගංගා, දිනුම් කණුව, නෑදෑයෝ, මංගලා, සකුන්තලා, අන්තිම රැය, මමයි රජා, ජුලියට්ගේ භූමිකාව ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක රංගනයේ යෙදුණා. ඇසළ කළුවර, සුළඟ, පාසල් ගුරුවරී රඟපෑ ටෙලි නාට්‍ය. මේවා මා ගැන ඔබ හොඳින් දන්නා තොරතුරු. කාටත් අමතක ‘නාගචම්පා’ වගේම ‘සුදු නංගිත්’ මමයි. ‘නාගචම්පා’ චිත්‍රපටයේ එම චරිතයට පණ දුන් නිරූපා රෝයිගේ සිංහල හඬ මගේ. මෙහි වැඩිමහල් සොහොයුරු බාල්රාජ් සහනි වෙනුවෙන් මාක් සමරනායක හා බාල සොහොයුරු රෙහෙමන් වෙනුවෙන් නෙල්සන් කරුණාගම සිංහල හඬ මුසු කළා.

කොයි කාගෙත් තරුණ විය බොහෝ අනුවණකම් කරන කාල වකවානුවක්. මටත් ඊට මුහුණ දෙන්න සිදු වුණා. ‘සුරතලී’ චිත්‍රපටය නිපදවද්දී දැන හැඳින ගත් ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා සමඟ යුග දිවි අරඹන විට මා ජීවිතය ගැන අබමල් රේණුවක තරම්වත් අත්දැකීම් ලබා සිටියේ නැහැ. ඔහු පසු කාලයක වෙනත් නිළියක, නොසඟවා කියනවා නම් රීටා රත්නායක සමඟ සමීප ඇසුරක් පැවැත් වූ අවස්ථාවේ මම සුහදව ඔහුගෙන් වෙන් වුණා. ඒ නිසාම රීටා මගේ දුව හේමාලි ස්වර්ණලතාගේ මංගල උත්සවයට පවා සහභාගි වුණා. දුව විවාහ වී සිටින්නේ රෝහිණි ජයකොඩිගේ වැඩිමහල් පුතා සමඟ. මගේ දෙවැනි සැමියා පී. ජී. චන්ද්‍රපාල. ඔහුව කවුරුත් අමතන්නේ ෆර්ජෝ චන්ද්‍ර, කියලා. ඒ තරමට එය හිතවතුන් අතරේ හිත හොඳ රසකාමියෙක්.

ලද දෙයින් සතුටු වෙන මට කොයි කවුරුත් එක සමානයි. මතක හිටින භාෂාවෙන් කියනවානම් සමාජේ අපි ඔක්කොම සමානයි.

වංශාධිපතිකම මගේ ළඟ නැහැ. ළඟදී මගේ ජනප්‍රිය යුග ගීත පමණක් ඇතුළත් සංයුක්ත තැටියක් නිකුත් කරන්න සිතා සිටිනවා. සහාය ගායකයා මගේ පුතු අනුරාජ් නරේන්ද්‍ර පල්ලියගුරුගේ. ඔහු කුඩා කාලයේ ‘අම්මා’ කෙටි චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑවා. දැනට ජපානයේ රැකියාවක් කරමින් නර්තනය හා ගායනය ප්‍රගුණ කරනවා. මගේ වර්තමාන ලිපිනය අංක 73, ශ්‍රී ඥානේන්ද්‍ර පාර, රත්මලාන. ඒ කියන්නෙ රත්මලාන දුම්රිය පොළ කිට්ටුව.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්