මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

මහින්දට අගමැතිකම නෑ
ජනපතිගෙන් ලිපියක්

මහින්දට අගමැතිකම නෑ

එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි වූවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වා සිටී.

ඒ අනුව සන්ධානය ජයග්‍රහණ කළහොත් නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, ආතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එ‍ම්. ෆවුසි, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට සහ‍යෝගය දෙන ලෙස ද ජනාධිපතිවරයා හිටපු ජනපති රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.‍ ජනාධිපතිවරයා මේ ලිපිය යවා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙනි.

හිටපු ජනාධිපතිවරයා සදාතනිකව බලයේ රැඳී සිටීම සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ගමන් මඟ ඇහිරූ බවත්, අඩුම තරමින් දැන් වත් ඔවුන්ගේ දේශපාලන අනාගත‍යට ඉඩ සලසන ලෙසත් ජනාධිපතිවරයා ඒ ලිපිය මඟින් දැනුම් දී ඇත.

එමෙන් ම ජාතිවාදය අවුළුවන ප්‍රකාශ නිකුත් කිරීම මඟින් මැතිවරණ ජය ගැනීමට උත්සාහ නොකරන ලෙස ද පක්ෂ සභාපතිවරයා හිටපු ජනපතිවරයාට දන්වා තිබේ.‍

දශක දෙකක් පුරා ජනාධිපතිවරණ හතරක් සහ මහ මැතිවරණ හතරක් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය, පසුගිය ජනවාරි 08 වැනිදා ඔබගේ නායකත්වය යටතේ පරාජයට පත් වී මාස හතක් ගෙවී ගොස් ඇති මේ අවස්ථාවේදී මා ඔබ වෙත මෙම ලිපිය ලියන්නේ එම පක්ෂයේ සභාපතිවරයා වශයෙනි.

ඔබ මෙන්ම මමත් දේශපාලනයේ අත් පොත් තබමින් ජාතික දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. ඔබ දෙවරක්ම මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ කෙරෙහි විශ්වාසය තැබූ ඡන්දදායකයන්ටත් පින් සිදු වන්නටය. එහෙත් මා අද දවසේ ජනාධිපතිවරයා බවට පත්ව සිටින්නේ වෙනත් අයුරකිනි. ඒ, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඔබට එරෙහිව රට පුරා ගොඩ නැ‍ඟෙමින් තිබුණු ජනමතය සංවිධානය කොට ඊට නායකත්වය ලබා දී ඔබෙන් හා පක්ෂයෙන් ගිලිහෙමින් පැවැති ජනාධිපති ධුරය යළිත් පක්ෂය තුළ රැක ගැනීමෙනි. එම කාර්යයේදී විපක්ෂයේ සියලු පක්ෂ සහ කණ්ඩායම්වල පොදු එකඟතාව මා වෙත දිනා ගැනීම පසුපස පැවැති සාර්ථකත්වයේ රහස වූයේ ද ශ්‍රීලනිපය සහ මා අතර තිබූ අවියෝජනීය, නොකිලිටි සහ හෘදයංගම බැඳීමයි.

මැතිවරණ පරාජය අමිහිරි අත්දැකීමකි. එහෙත් ජනවාරි 08 වැනිදා ඔබ පරාජයට පත් වීමෙන් පසු ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ට 1977 සහ 2001 දී මෙන් පරාජයේ කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූයේ නැත. ඒ, ඔබේ පරාජයෙන් පසු ජනාධිපතිවරයා බවට පත් වූයේ, වසර 48 ක් පුරා ශ්‍රීලනිප සාමාජිකයකු ද වසර 13 ක් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය ද දැරූ මා වීම හේතුවෙනි. අප පක්ෂ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරනු වස්, සියලු ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වහා මැඬලීමට මම ක්‍රියා කළෙමි. යම් ලෙසකින්, මෛත්‍රිපාල සිරිසේන නොවන අයෙකු පොදු අපේක්ෂකයා වී ඔබට එරෙහිව තරග කොට ඔබ පරාජයට පත් වූයේ නම්, එවිට ඔබට හා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට අත්විඳීමට තිබූ ඉරණම කුමක් ද යන්න සිතා බලන ලෙස මම ඔබට යෝජනා කරමි. එබැවින්, මා නැවත අවධාරණය කරන්නේ මාගේ ජයග්‍රහණය හමුවේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සිට ගමේ ශාඛා සමිතියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයා දක්වා සියලු දෙනාටම මා පූර්ණ දේශපාලන ආරක්ෂාව සපයා ඇති බවයි. තව ද, ජනවාරි 08 වැනිදා මා ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි‍ෙය් නම් අද වනවිට ශ්‍රීලනිපයේ සියලු ජනතා නියෝජිතයින් සහ බිම් මට්ටමේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයන් දක්වා වූ පාක්ෂිකයින්ට අත්වීමට නියමිතව තිබූ ඉරණම කුමක්දැයි ඔබම නිශ්චය කළ යුතු ය.‍

2005 නොවැම්බරයේ ජනාධිපති ධූරයට පත්වන තෙක් පැමිණි ගමන් මගේදී ඔබ මුහුණදුන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම ඔබ වෙනුවෙන් මා පෙනී සිටි ආකාරය ඔබට කිසි ලෙසකින් හෝ අමතක විය හැකි ද? 2004 මහ මැතිවරණයෙන් පසුව ඔබ අගමැති කරවීම සඳහා මා ගත් අසීමිත උත්සාහය කෙබඳුදැයි ඔබට අමතක වීමට හේතුවක් නැත. එම අවස්ථාවේදී ඔබ අගමැති ධූරයට පත්වීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ ශක්තිය යොදවමින් විමල් වීරවංශ මහතා ගෙන ගිය කඩාකප්පල්කාරී මෙහෙයුමට එරෙහිව මම ඔබ සමඟ සිටියෙමි. 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී අප පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔබ නම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි අර්බුදය අවස්ථාවේදී ද මම ඔබ වෙනුවෙන් පෙනී සිටියෙමි. පක්ෂයේ ලේකම්වරයා වූ මා, ඔබට එම අපේක්ෂකත්වය ලබා දීමට ධෛර්යයෙන් හා වගකීමෙන් කටයුතු කරද්දී අද ඔබ සෙ‍වණේ සිටින බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කේවල් කරමින් සිටියේ ඔහු ජයග්‍රහණය කළ පසු නව එජාප ආණ්ඩුවෙන් ලබාගන්නා අමාත්‍ය ධූර පිළිබඳවයි.

ශ්‍රීලනිපයේ‍ ජ්‍යෙෂ්ඨ සගයින් දෙදෙනකු වශයෙන් අප දෙදෙනා අතර දීර්ඝ කාලීනව පැවැති දේශපාලන මිත්‍රත්වය බිඳ වැටීමට බැසිල් රාජපක්ෂ මහතාගේ නොමනා ක්‍රියා සහ හැසිරීම් ද හේතු වූ බව ‍ඔබ ද හොඳින් දන්නා කරුණකි. ඔහු මෛත්‍රීපාල සිරිසේන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මා දේශපාලනයෙන් ඉවත් කිරීමටත් මා අසාර්ථක දේශපාලනඥයකු යැයි පෙන්වීමටත් ගත් නිරර්ථක උත්සාහය අවසන් වූයේ එය ඔබ සියලු දෙනාටම පාරාවළල්ලක් බවට පත්වීමෙනි. බැසිල් රාජපක්ෂ මහතා මාගේ දේශපාලනයට දිගින් දිගටම අකුල් හෙළමින් සිටි අවස්ථාවේ, ඊට මැදිහත් වී මාගේ ස්වාධීනත්වය ආරක්ෂා කර දීමට තරම් නිහතමානීත්වයක් ඔබ සතුව තිබෙනු ඇතැයි යන්න මාගේ බලාපොරොත්තුව විය. එහෙත් එම නිහතමානීත්වය ප්‍රදර්ශනය කිරීමට පසුගිය නොවැම්බර් 21 වැනිදා මා පොදු අපේක්ෂකයා ලෙස පත්වන තුරු ම ඔබ අපොහොසත් විය.‍

පසුගිය මාස 07 තුළ ඔබ හා මා මුණගැසුණු අවස්ථා තුනෙහිදීත් ඔබ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා අස්සන් කිරීමට දෙදිනකට පෙර අප දෙදෙන අතර සිදුවූ දුරකථන සංවාදයේදීත් මෙම මහ මැතිවරණයට ඔබ තරග නොකළ යුතු බව මා අවධාරණය කළේ මහ මැතිවරණය මෙහෙයවීමේ සහ එය ජය ගැනීමේ වගකීම භාර ගැනීමට මා සූදානම්ව සිටි නිසා ය. එහෙත් ඔබ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා අස්සන් කිරීමත් සමඟම රටට අලුතින් පත් වූ ජනාධිපතිවරයා මෙන් ම ශ්‍රීලනිපයේ සභාපතිවරයා ද වශයෙන් මාගේ එම බලාපොරොත්තුව ගිලිහී ගියේ ය. ඔබ මෙවර මහ මැතිවරණයට තරග නොකළේ නම්, පසුගිය ජනාධිපතිවරණයේ දී මගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වී ක්‍රියා කළ දමිළ මුස්ලිම් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන නාගරික මධ්‍යම පන්තිය වෘත්තිකයන් හා නව පරපුරේ තරුණ තරුණියන් ඇතුළු බොහෝ පාර්ශ්වයන් ගේ විශ්වාසය යළිත් ශ්‍රීලනිපය වෙත ලබා ගැනීම සඳහා මූලිකත්වය ගැනීමට මට හැකියාව තිබිණි.

මහ මැතිවරණයට ඔබ ඉදිරිපත් වීම නුසුදුසු යැයි යෝජනා කළ මා තුළ ඔබ දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ම ඉවත්කර තැබීමේ අපේක්ෂා‍වක් හෝ අවශ්‍යතාවක් නොතිබිණි. ඒ වෙනුවට ඔබ හට ගෞරවාන්විත දේශපාලන පැවත්මක් ලබා දෙනු පිණිස සුදුසු ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් මම යෝජනා කළෙමි. ඔබගේ පවුලේ බොහෝ සාමාජිකයින් ඊට එකඟ වූ බවත් මම දනිමි. එහෙත් ඒ සියල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ කිසිදු ආදරයක් හෝ හැඟීමක් නොමැති එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පමණක් අප පක්ෂය සමඟ සම්බන්ධකම් ගොඩනඟාගෙන ඇති කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සිරකරුවකු බවට ඔබ පත් වූ හෙයිනි. එම කුඩා කල්ලි සහ කණ්ඩායම් ඔබෙන් අපේක්ෂා කළේ ඔබ සතු යැයි පෙනුණු ඡන්දමය වටිනාකම සූරා කමින් තමන් හට පාර්ලිමේන්තුවේ අසුනක් සහතික කර ගැනීම පමණි. වසර 64ක ඉතිහාසයකට හිමිකම් කියන, එමෙන්ම නිදහසින් පසු වැඩිම කලක්, එනම් පුරා වසර 35ක්, මෙරට පාලනය කළ යෝධ ශ්‍රීලනිපය, එවැනි පටු පරමාර්ථ සහිත කුඩා කල්ලි සහ කණ්ඩායම්වල ග්‍රහණයට නතු වීමට ඉඩ ලබා දීමේ වගකීම ඔබ භාර ගත යුතුය. මේ තත්ත්වය තුළ, අප පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙක් දිස්ත්‍රික් මට්ටමේ මනාප තරගයේදී මෙම දේශපාලන අවස්ථාවාදීන් ඉදිරියේ බෙලහීනත්වයට පත්ව ඇති ආකාරය කනගාටුදායකය. ශ්‍රීලනිප පාක්ෂිකයාගේ ඡන්දය සහ මනාපය නැති දා කිසිදු දේශපාලන පැවැත්මක් නැති, ඇතැම් කුඩා කල්ලි හා කණ්ඩායම්වලට මෙම මහා පක්ෂයේ ගමන් මඟ නිර්ණය කිරීමට ඔබ ලබා දී ඇති අයිතිය වහා නිමා කළ යුතුය.

ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 1951 වසරේදී පක්ෂයේ ප්‍රථම නිලධාරී මණ්ඩලයට, අප ‍රටේ වාර්ගික, ආගමික සහ සමාජ යථාර්ථය පූර්ණ වශයෙන් නියෝජනය වන පරිදි බර්නාඩ් අලුවිහාරේ, බද්දුදීන් මොහොමඩ් සහ තංගරාජා වැනි සමාජ සම්භාවනාවට පත් වූවන් පක්ෂයේ නිලතලවලට පත් කිරීමට තරම් විචක්ෂණ විය. 1956 දී ශ්‍රීලනිපය වාර්ගික සහ ආගමික නැඹුරුවක් සහිත පක්ෂයක් යැයි යම් අදහසක් ගොඩ නැගුණ ද ඉන් පසු යුගයේ, විශේෂයෙන්ම, බණ්ඩාරනායක මැතිනිය සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පක්ෂයට නායකත්වය දුන් සමයේ, අප පක්ෂය ශ්‍රී ලංකාවේ වාර්ගික, ආගමික සහ සමාජීය බහුවිධත්වයට අනුකූල, සියලු ජනවර්ග සහ ආගමික කණ්ඩායම් නියෝජනය කරන ප්‍රගතිශීලී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනැඟුණි. එහෙත් ඔබ ශ්‍රීලනිපයට නායකත්වය දුන් පසුගිය වසර නවය තුළ මෙම පක්ෂය ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථය වන බහුවිධත්වයට පිටු පෑ පක්ෂයක් බවට පත්ව ඇත. ජනවාරි 08 ඔබට අත්වූ පරාජය පිටුපස ද ඔබ විසින්ම ඇවිළවූ මේ අන්තවාදයේ ගිනි දලු ඔබට එරෙහිව ක්‍රියාත්මක වූ ආකාරය ඔබ නොදුටුවේ ද? එනම්, ශ්‍රීලනිපය වේගයෙන් සිංහල - බෞද්ධ ජන පදනම පමණක් නියෝජනය කරන පක්ෂයක් බවට පරිවර්තනය වීමයි.

මෙවන් අන්තවාදයක ගැලීම ශ්‍රීලනිපය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයකට තරම් නොවේ. අප පක්ෂය ඒ පටු දැක්මෙන් මුදවා ගැනීමට නම්, ශ්‍රීලනිපය යනු එක් ජනවර්ගයක හෝ එක් ආගමික කණ්ඩායමක පක්ෂයක් ලෙස නොව, සමස්ත ශ්‍රී ලාංකික ජාතියම නියෝජනය කරන පක්ෂයක් ලෙස යළි ගොඩ නැගී‍ෙම් අභියෝගය දැන් මා ඉදිරියේ තිබේ. එහෙත් ඔබ වටා රොක් වී සිටින්නේ වර්ගවාදය අවුළුවා තම මනාප ගොඩ තර කර ගැනීමට මාන බලන පිරිසක් නොවේද? සැබවින්ම, මේ වර්ගවාදීන් පිරිස ශ්‍රීලනිප සාමාජිකයින් නොවේ. ඔවුන්ට අවශ්‍ය ලෙස පක්ෂයත් පාක්ෂිකයාත් හැසිරවීමට ඉ‍ඩ නොතැබිය යුතුය.

ජනාධිපතිවරයා වශයෙන් සිටි අවදියේ ඔබ පුන පුනා ප්‍රකාශ කළේ, මේ රටේ මහා ජාතිය සහ සුළු ජාතිය වශයෙන් කොටස් දෙකක් නොමැති බවයි. එහෙත්, පසුගිය ජනාධිපතිවරණය ආරම්භයේ සිට 2015 අගෝස්තු 12 දින ජාතික පුවත්පතකට ඔබ විසින් ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාව දක්වා වූ බොහෝ අවස්ථාවල ඔබ මෙන්ම ඔබ වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් ද ප්‍රකාශ වන්නේ උග්‍ර වර්ගවාදයකි. මා අදහන බුදු දහම අනුව ද, අනෙකුත් සියලු ආගම් අනුව ද මෙසේ වර්ගවාදය පැතිරවීම අනුමත නොකළ හැකි ක්‍රියාවකි. එමෙන්ම එය කිසිදු මානවවාදී දර්ශනයක් මගින් හෝ අනුමත නොකරන්නකි. තවද, මේ රටේ දමිළ හා මුස්ලිම් පුරවැසියන් මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තබා ඇති මේ අවස්ථාවේදී, එළඹෙන අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. ය මෙහෙයවීම මවිසින් සිදු කෙරුණේ නම් ඉතිහාසයේ මෙතෙක් සිදු නොවුණ පරිදි සිංහල දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ගවල විශ්වාසය සහ සහයෝගය අප පක්ෂය වෙත නිසැක වශයෙන් ලබා ගැනීමට අවකාශය තිබුණු බව මම යළි අවධාරණය කරමි. 21 වැනි සියවසේ අභියෝග ජයගන්නා ජාතික ඒකාග්‍රතාවෙන් සහ වාර්ගික සංහිඳියාවෙන් සපිරුණු නූතන ශ්‍රී ලාංකීය ජාතිකත්වය ගොඩනැඟිය යුතු මොහොතක, ජාතිවාදයේ ගිනි දලු අවුළුවා ඉන් පටු දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කිරීම රටටත් පක්ෂයටත් කරන අපරාධයකි.

නාම යෝජනා පිළිබඳ ගැටලුව උද්ගත වූ අවස්ථාවේදී, පක්ෂයේ සභාපතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ලෙස මා ඉදිරියේ පැවැති ප්‍රධාන අභියෝගය වූයේ මේ මහා පක්ෂය නොකඩා ඉදිරියට පවත්වා ගැනීමයි. ද්වි - පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක අප රටෙහි එක් පක්ෂයක් දෙකඩ වී දුර්වල වූ විට ඉන් අත්වන අනිටු ප්‍රතිඵල ගැන ඔබ ද හොඳින් දන්නවා ඇතැයි මම සිතමි. ඒ නිසා ම, ඕනෑම සුළු සිද්ධියක් මත පවා ශ්‍රීලනිපය දෙකඩ කර වෙනම නාම යෝජනා භාර දීමට ඔබ හා ඔබේ කණ්ඩායම සූදානම්ව සිටි අවස්ථාවේ, පක්ෂයේ ඒකාග්‍රතාව රැකගැනීම පිණිස මම සිතා මතාම පසුබැස්සෙමි. ගම්පහ දිස්ත්‍රික් නාම යෝජනා සකසන අවස්ථාවේදී රණතුංග පවුලේ තිදෙනෙකුට නාම යෝජනා ලබා දීම ප්‍රායෝගික නොවන තත්ත්වයක් තුළ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය නාම යෝජනාව ඉවත් කර ගනු ඇතැයි මම අපේක්ෂා කළෙමි. එහෙත්, අවාසනාව නම්, මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය වී තිබුණේ මහ ඇමැතිවරයාට නාම යෝජනා නොලැබෙන්නේ නම් ඔබ ශ්‍රීලනිපයෙන් ඉවත්ව වෙනම තරග කරන බවයි. ඒ අනුව, රණතුංග පවුලේ එක් සාමාජිකයකු ශ්‍රීලනිපයෙන් ඉවත්ව එජාපය හා සම්බන්ධ වෙද්දී ද ඔබට ජය ලබා දී මම නිහඬ වීමි. වසර හැට හතරක් පුරා වර්ධනය වූ පක්ෂයක් එක් පුද්ගලයකුගේ නාම යෝජනාවක් වටා ගෙතුණු ප්‍රශ්නයක් මුල් කොට ගෙන දෙකඩ වීම වළකාගැනීමට හැකි වූයේ එසේ උපක්‍රමිකව පසු බැස යෑමට මා ගත් තීරණය හේතුවෙන් බව කිව යුතු ය.

ජාතික ආණ්ඩු සංකල්පය මාගේ තනි යෝජනාවක් නොවේ. එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවත් පාර්ලිමේන්තු කණ්ඩායමත් ඊට පූර්ණ අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව පිහිටුවූ ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර ලබාගත් අප පක්ෂයේ මන්ත්‍රීවරුන් හට, ඔබගේ අනුගාමිකයින් යැයි කියා ගන්නා පිරිස් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටි. එය හුදෙක් මනාප පොරයකි. මේ සම්බන්ධයෙන් මා දන්නා සත්‍ය කථාව ඔබට කීම මාගේ යුතුකමයි. ඔබ තුළ ඉතිරි වී ඇති ඡන්දමය වටිනාකම හෙවත් අවසන් දේශපාලන ලේ බිඳුව සාහසික ලෙස උරා බීමේ ක්‍රෑර අරමුණින් ඔබ වටා එක් රොක්ව, ඔබේ ගුණ ගයමින් සිටින පිරිස් රහසින් දුරකථන ඇමතුම් දෙමින්, මුණගැසෙමින් සහ දූතයින් අත පණිවුඩ එවමින් මා හට කියා සිටින්නේ, මහ මැතිවරණයෙන් පසුව මා සමඟ දේශපාලනය කිරීමට ඔවුන් ඉත සිතින් සූදානම් බවත් ඔවුන්ගේ දේශපාලන අනාගතය රැක ගත හැකි වන පරිදි කුමක් හෝ ඇමැති ධුරයක් ලබා දෙන ලෙසත් ය. මෙලෙස, අවස්ථාවාදී ලෙස ක්‍රියා කරන අතරම ඔබට හිතවත් බවට වංචනිකව ඔබ ඉදිරියේ පෙනී සිටින පිරිස්, ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා මේ වන විට මහ මැතිවරණය තරග කරන අප පක්ෂයේ අපේක්ෂකයන් ජනතා හතුරන් සේ පෙන්වා ඔවුන් කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ දැමීමට කටයුතු කරමින් සිටිති. එක් අතකින් පක්ෂය තුළ ඊනියා බෙදීමක් හුවා දක්වන ඔවුන්, මහ මැතිවරණය ආසන්න වෙත්ම සන්ධානයේ ප්‍රචාරක කටයුතු සඳහා මාගේ ඡායාරූපය භාවිත කරන ආකාරය දෙස මම උපේක්ෂා සහගතව බලා සිටිමි. ඔබත්, ඔබේ නමත්, ප්‍රතිරූපයත් කුණු කොල්ලයට ලන්සු තබන මෙම මනාප මාෆියාව තවදුරටත් පැවතුණහොත්, එජනිසයේ පරාජය ලියැවෙන්නේ ඒ මත විය හැකිය.

ඔබ මා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කියවෙන ප්‍රවෘත්තියක් මෑතක දී ජනමාධ්‍ය මඟින් වාර්තා කෙරිණි. ඔබට එවැනි අපේක්ෂාවක් තිබේ නම්, ඒ පිළිබඳව මා ඔබට අවධාරණය කළ යුතු විශේෂ කරුණක් තිබේ. ඔබ විසින් අත්තනෝමතිකව සම්මත කර ගන්නට යෙදුණු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මුළු මහත් රටේ ද ජනතාවගේ ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ අයිතිය සහසික ලෙස මර්දනය විය. එපමණක් ද නොව ශ්‍රීලනිපයේ ජීව ගුණය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර කෙලෙසුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගණනාවකටම විශාල අසාධාරණයක් සිදු විය. සදාකාලිකව ජනාධිපති ධුරයේ රැඳී සිටිම පිණිස, ඔබ ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ සහ පක්ෂය වෙනුවෙන් කැප වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන අනාගතයත් උදුරාගත් ආකාරය අවිචාරවත්ය. ඔබට පෙර සිටි ජනාධිපතිවරුන් මෙන්, ධුර කාල දෙක නිමවා ඔබත් විශ්‍රාම ගියේ නම්, අප පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතරින් එක් අයකු හට ජනාධිපති වීමටත් තවත් අයකු හට අගමැති වීමටත් අවස්ථාව උදා වන්නට ඉඩ තිබිණි.

දැන් පෙනී යන්නේ ඔබ මෙම මැතිවරණයෙන් පසුව ද ඔවුන් හට හිමි විය යුතු අවස්ථා අහිමි කිරීමට සැරසෙන බවයි. ඔවුන්ට දැන්වත් නිසි තැන හිමි විය යුතු නොවේ ද? එළඹෙන මැතිවරණයේදී, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 සීමාවට ළඟා වීමට එජනිසයට හැකි වුව හොත් අගමැති ලෙස පත් විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු බව මම විශ්වාස කරමි. යම් හෙයකින් එජනිසයට 113 සීමාව වෙත ළඟා වීමට නොහැකි වී, ඒ ආසන්නයට පමණක් ළඟා වීමට හැකි වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉතිරි ආසන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස මා හට මැදිහත් විය හැකිය. එවිට ද අගමැති විය යුත්තේ ඔබ නොව පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨ නායකයෙකි. අප පක්ෂයේ සැබෑ ශක්තිය නම්, එය, අගමැති ධුරය හෙබවීමට තරම් කෘතහස්ථ බවත් දේශපාලන පරිණත බවත් දූරදර්ශී බවත් සපිරි නායකයින් ගණනාවකගෙන් සැදුම්ලත් මේ රටේ එකම දේශපාලන පක්ෂය වීමයි. නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, ආතාවුද සෙනෙවිරත්න, ඒ. එච්. එම්. ෆවුසි, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා වැනි ජ්‍යෙෂ්ඨ නායකයින් අතුරින් කෙනෙකු මෙම මහ මැතිවරණයෙන් පසුව අගමැති ධුරයට පත් කිරීමට ඔබගේ සහයෝගය, නම්‍යශීලී භාවය, පරිත්‍යාගශිලී භාවය සහ ආශිර්වාදය ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන මෙන් රටේත්, ජනතාවගේත් ශ්‍රීලනිපයේත් නාමයෙන් මම ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමි.

ඉකුත් ජනවාරි 08 වැනිදා පරාජයට පත් වූ අවස්ථාවේ සිට අද වන තෙක් ඔබ රට පුරා පන්සලෙන් පන්සලට ගිය ආකාරයත්, වාර ගණනත්, ඊට මාධ්‍ය ආවරණ ලබා ගැනීමට කටයුතු කළ ආකාරයත් සැබැවින්ම හාස්‍යජනකය. 2010 ජනවාරි 26 දින සිට 2014 නොවැම්බර් 21 වැනිදා දක්වා ඔබ සිතූ පැතූ ආකාරයත්, හැසිරුණු ආකාරයත් මා හොඳින් දන්නා බැවින්, පසුගිය මාස හයක පමණ කාලය තුළ නිරන්තයෙන් පන්සල් යෑම මඟින් හෝ ඔබ තුළ දැහැමි සිතිවිලි ගොඩ නැගී ඇද්දැයි මට සැක සහිතය. ඒ මන්ද යත්, ඔබ පෞද්ගලික මට්ටමින් අපගේ පක්ෂ සාමාජිකයින් සමඟ සිදු කරන සාකච්ඡාවලදී ඔබ කෙරෙන් පළ වන්නේ වෛරය, ක්‍රෝධය, ද්වේෂය සහ ඉහවහා ගිය මමත්වය පිරි ප්‍රකාශ බව වාර්තා වන හෙයිනි.

මේ තත්ත්වය තුළ, පක්ෂයේත්, රටේත් සුබසිද්ධිය උදෙසා ඉදිරි මහ මැතිවරණ දිනය තෙක් හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කරන මෙන් ද ජාතිවාදය අවුළුවාලන ප්‍රකාශ නොකරන මෙන් ද පක්ෂය තුළ ඊනියා බෙදීම් වර්ධනය වීමට ඉඩ නොතබන මෙන් ද ඉල්ලා සිටින අතර එමඟින් එජනිසයට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන ආකාරයෙන් ක්‍රියා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්