මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ඇලෝසියස් මුදලාලි දුන්නු රුපියල් දහදාහ මං එපා කිව්වා

ඇලෝසියස් මුදලාලි දුන්නු රුපියල් දහදාහ මං එපා කිව්වා

- හේමශ්‍රී ද අල්විස්

“දෑස පා සිනා කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපාමුලේ මවා දෙමී
අද වගේ හෙටත් ඔබේ ළඟින් ඉමී...”

මීට දශක තුනකට පමණ පෙර පටන් ගුවන් විදුලියෙන් ඇසුණු අදටත් ඇසෙන මෙම ගීතයේ හිමිකාරිය ඔබට මතක ද? සිංහල ගීත ක්ෂේත්‍රයට සුමියුරු ගීත රැසක්ම තිළිණ කළ ඇය ගායිකා අයිරින් ද අල්විස් මහත්මියයි. “දෑස පා සිනා” ගීතයේ පද රචකයා වන්නේ ප්‍රවීණ ගීත රචක හේමශ්‍රී ද අල්විස් මහතා ය. ඔහු ගී පද රචකයකු පමණක් නොව ප්‍රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදක වරයෙකි; අධ්‍යක්ෂවරයෙකි. හේමශ්‍රී ද අල්විස් මහතා ගායිකා අයිරින් ද අල්විස් මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයාය. යුගයක් රසවත් කළ මෙම කලා ශිල්පීන් දෙපළ අද සිටින්නේ කොයිබදැයි මෙන් ම ඔවුන් පිළිබඳ තොරතුරු කෙබඳුදැයි පසුගිය දිනෙක අපි විමසා බැලුවෙමු.

මෙම කලාකරුවන් දෙපළ ගී පද රචනා කරමින්, ගීත ගයමින් ශ්‍රී ලාංකික ගීත ශ්‍රාවකයින්ගේ හදවත් සුවපත් කළ ද, අද ඔවුන් සිටින්නේ ඉතා අසරණ තත්ත්වයක බව හෙළි වූයේ එම සොයා බැලීමේදීය. පසුගිය දිනෙක අපි ඔවුන් පදිංචිව සිටින පාණදුර වලපල පන්සල පාරේ අංක 173 නි‍ෙවස සොයා ගියෙමු. ඒ රසඳුන පාඨක ඔබ වෙත ඔවුන් පිළිබඳ තොරතුරු ගෙන ඒමටය. ගේට්ටුවෙන් ඇතුළු වී නි‍ෙවස ඉදිරිපිටට ගිය ද කිසිවෙකුත් එහි ඇති බවක් නොපෙනේ. නි‍ෙවසෙහි ඉදිරිපස දොර ඉබි යතුරු දමා පිටතින් වසා ඇත. එහෙත් ගුවන් විදුලි යන්ත්‍රයකින් නික්මෙන ගීතයක හඬ නි‍ෙවස ඇතුළතින් ඇසේ. මම හේමශ්‍රී ද අල්විස් මහතාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තෙමි.

“ආ... මල්ලි මම කෑම එකක් ගේන්න කඩේට ආවා... විනාඩි 10 න් එනවා” හේම ්‍රී ද අල්විස් මහතා මට පිළිතුරු දුන්නේය. හරියටම විනාඩි 10 ක් ගත වන විට හේමශ්‍රී අප ඉදිරිපිටය. ඔහුගේ අතේ බත් පාර්සලයකි.

එන්න මල්ලි ගෙට” යැයි කියමින් ඔහු නි‍ෙවසේ දොර විවෘත කළේය. දොර අසලම ඇ‍ඳෙහි වැතිර සිටියේ අයිරින් ද අල්විස් මහත්මියයි. රෝගාතුරව ඔත්පලව කිසිවක් කරකියාගත නොහැකිව ඇ‍ඳෙහි වැතිර සිටිය ද ඇය අපව පිළිගත්තේ දෑසෙන් සහ මුහුණින් අව්‍යාජ සිනහවක් පාමිනි. මියුරු ගී ගයමින් රටක් පිනවූව ද අද ඇය පිට කරන වචන පවා තේරුම් ගැනීමට අපහසුය. අයිරින් ද අල්විස් මහත්මිය සිටි පුංචි කාමරයේ කුඩා කබඩ් එකක තබා ඇති සම්මාන ඵලක රැසකි. ඒවා හේමශ්‍රී ද අල්විස් මහතාට සහ අයිරින් ද අල්විස් මහත්මියට ලැබුණු සම්මානය. එම කබඩ් එකෙහි ඉහළින් තබා තිබෙන පුංචි ගුවන් විදුලි යන්ත්‍රයෙන් මියුරු ගීත ප්‍රචාරය වෙයි. අයිරින් ද අල්විස් මහත්මිය සෑම විටම කාලය ගත කරන්නේ එම ගීත අසමින් ය.

“හේමශ්‍රී මහත්තය මතක ද ගුවන් විදුලියට සම්බන්ධ වුණු මුල්ම කාලෙ...” මම විමසා සිටියෙමි.

“මම ගුවන් විදුලියේ අවුරුදු ගනණාවක් වැඩ කළා. දවසක් මම ගුවන් විදුලියේ සිටින විට තරුණ ගැහැනු ළමයෙක් මාව සොයාගෙන ආවා; ඒ ගී පද රචනයක් අනුමත කරවාගන්න. එතැනදී ඇතිකර ගත් දැන හැඳුනුම්කම ප්‍රේමයක් දක්වා දුර ගියා. කලකට පස්සේ අපි දෙන්නා විවාහ වුණා. ඒ මගේ බිරිය අයිරින් ද අල්විස්. මම අයිරින්ට ලිව්ව පළමු ගීතය “නීල උපුල් දෑස සලා” නම් ගීතයයි. අද වන විට මම සිය ගණනක් ගීත ලියලා තියෙනවා. ඒ යුගයේ සිටි සෑම ජනප්‍රිය ගායකයකුටමත් සහ ගායිකාවකටමත් මම ගීත ලියල දීල තියෙනවා. හැබැයි මම ගීත රචනා කරල දුන්නට ඒ වෙනුවෙන් කාගෙන්වත් ශත 5 ක්වත් සල්ලි අරගෙන නැහැ.

හේම ශ්‍රී අප සමඟ පැවසුවේ ඉතා හැඟීම්බරවය. සුජාතා අත්තනායක ගැයූ “දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා”, එච්. ආර්. ජෝතිපාල ගැයූ “පෙර දිනෙක එදා හමු වූයේ”, “ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ” මොහිදීන් බෙග් ගැයූ “ඇයි බඹරෝ පෙම් මල අතහැරලා”, “පුංචි පුතේ පුංචි දුවේ”, රුක්මණි දේවි ගැයූ “සඳක් නැගේ සඳක් දිලේ සාගරේ”, ඉන්ද්‍රාණි පෙරේරා ගැයූ “ඔබ සොයනා කළු කෙල්ල මමයි”, ලතා වල්පොල ගැයූ “ශ්‍රීනි විභූශිත ලංකා බැබළේ”, “මාගෙ මේ රට” වැනි ගීත මෙන්ම “මයුරාසන මත” “සතුට සැනසුම් සුවේ පතා”, “දේශයෙන් දේසේ බලා”, “මැණිකේ ඔබේ සිනාවේ”, වැනි ඉතා ජනප්‍රිය ගීත රැසක්ම රචනා කර තිබෙන්නේ හේමශ්‍රී ද අල්විස්ය.

ඒ 1978 වසරේ එක් දිනයකි. හේමශ්‍රී ද අල්විස් මහතා ගුවන් විදුලියේ වැඩ කරමින් සිටියේය. දුරකතනය නාද විය. දුරකතනයට පිළිතුරු දුන්නේ හේමශ්‍රී ගේ කාර්යාල කාර්ය සහායකයාය. “හේමශ්‍රී මහත්තය අන්න ඔබතුමාට ප්‍රේමදාස කියල කෙනෙක් කතා කරනවා” කාර්යාල කාර්ය සහායකවරයා හේමශ්‍රීට පැවසුවේය. හේම ශ්‍රී දුරකතනයේ රිසීවරය කනෙහි තබා ගත්තේය. “මිස්ට අල්විස් මම අගමැති රණසිංහ ප්‍රේමදාස, මිස්ට අල්විස් දැන්ම සිරිකොතට එන්න ඕන. මම දැන් වාහනයක් එවනවා” හේමශ්‍රීගේ දෑස් උඩ ගියේය. එවූ වාහනයෙන් හේම ශ්‍රී සිරිකොතට ගියේය. ඇයි සර් එන්න කිව්වේ හේම ශ්‍රී ප්‍රේමදාස අගමැතිතුමාගෙන් විමසා සිටියේය. “මිස්ට අල්විස් දන්නව ද හෙට දවසේ වැදගත්කම මොකක්ද කියලා” ප්‍රේමදාස අගමැතිතුමා හේමශ්‍රීගෙන් විමසා සිටියේය. “සර් හෙට නේද ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ.” හේමශ්‍රී පැවසුවේය. “අන්න හරි හේමශ්‍රී... ඒ වෙනුවෙන් ඔයා ගීතයක් ලියන්න ඕන. ලතා වල්පොල තමයි ගීතය ගයන්නේ” යැයි ප්‍රේමදාස මහතා පැවසුවේය. ‘ශ්‍රීනි විභූශිත ලංකා බැබළේ’ හේමශ්‍රී අතින් ලියැවුණේ එලෙසය. ටික වේලාවකින් ගීතය ලියා අවසන් කළ හේමශ්‍රී, “සර් සින්දුව ලිව්වා මම එහෙමනම් යන්නම්” යැයි පැවසුවේය. “හා හොඳයි... මිස්ට අල්විස්” යැයි පැවසූ අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතා තමා අසල සිටි ව්‍යාපාරික ඇලෝසියස් මුදලාලි දෙසට හැරී “මුදලාලි මිස්ට අල්විස් යන්නයි හදන්නෙ” යැයි පැවසුවේය. එකෙනෙහිම ඇලෝසියස් මුදලාලි දාහේ නෝට්ටු කොළ කීපයක් හේමශ්‍රී අත තැබුවේය. එතැන දාහේ නෝට්ටු දහයක් විය. හේම ශ්‍රී එම මුදල ප්‍රතික්ෂේප කළේය. ඔහු නැවත ගුවන් විදුලියට ගියේ එම මුදල නොගෙනය. ඒ ප්‍රේමදාස අගමැතිතුමාට තිබූ ගෞරවය නිසාය; එසේම හේමශ්‍රී මුදල් බලාගෙන ගීත නො ලියූ නිසාය.

බෙග් මාස්ටර්ගේ නි‍ෙවස පිහිටියේ අයිරින් ද අල්විස්ගේ නි‍ෙවසට යන මාර්ගය අසලය. ඒ දිනවල හේම ්‍රී අයිරින් සමඟ විවාහ වී ජීවත් වූයේ අයිරින්ගේ මහ ගෙදරය. දිනක් ගුවන් විදුලියේ සේවය නිම වී හේමශ්‍රී නි‍ෙවසට යමින් සිටියේය. ඔහු බෙග් මාස්ටර්ගේ නි‍ෙවස අසලින් යන විට “මල්ලී පොඩ්ඩක් ඉන්නකෝ...” කියා බෙග් මාස්ටර් හේමශ්‍රීට කතා කළේය. “ඇයි... බෙග් මාස්ටර්” හේමශ්‍රී විමසා සිටියේය. “මල්ලී මම හෙට ඉන්දියාවට යනවා සින්දු කීපයක් පටිගත කරන්න. මේක හදිසි වැඩක්, හින්දි තනුවලට තමයි සිංහල සින්දු කියන්නෙ. ඒත් සිංහල සින්දු ටික තවම ලියාගන්න බැරි වුණානේ” යනුවෙන් බෙග් මාස්ටර් කියා සිටියේය. “මාස්ටර් මම එහෙමනම් ගෙදර ගිහිං ඇඟ හෝදගෙන තේ එකක් එහෙම බීලා එන්නම්” හේමශ්‍රී කියා සිටියේය. “නෑ මල්ලි අපේ ගෙදරින් ඇඟ හෝදාගෙන තේ එකක් බොමු” යැයි බෙග් මාස්ටර් කියා සිටියේය. “නෑ මාස්ටර් මම ඉක්මනින්ම එන්නම්කෝ...” කියා හේම ශ්‍රී නි‍ෙවසට ගියේය. කීවා සේම විනාඩි කීපයකින් හේමශ්‍රී බෙග් මාස්ටර්ගේ නි‍ෙවසේය. එදින සවස 6.00 සිට රාත්‍රී 9.30 වන විට හේමශ්‍රී හින්දි තනු 20 කට සිංහල ගීත ලියුවේය. “සුදු සඳරැස් ගලන”, “ඇයි බඹරෝ...”, “ඔය හද පතල ආමී” වැනි ඉතා ජනප්‍රිය ගීත එම ගීත 20 අතර වේ.

සදා නොමියන ගීත නිර්මාණ රාශියක් සිංහල සංගීත ක්ෂේත්‍රයට එක්කළ මේ කලාකරුවන් දෙපළගේ දිවියට අඳුරු කාලයක් උදා වූයේ 2006 වසරේ පටන්ය. ඒ අංශභාගය රෝගයට ගොදුරු වී අයිරින් ද අල්විස් මහත්මියගේ ජීවිතය ලෙඩ ඇඳට කොටුවීමත් සමඟය. හේමශ්‍රී ද අල්විස් තමා සතුව තිබූ සෑම ශතයක්ම වැය කළේ තම බිරිඳ හෝ රෝගී තත්ත්වය සුව කර ගැනීමටය. දැන් හේම ශ්‍රීට වයස 74 කි. අයිරින් ද අල්විස් මහත්මියට 72 කි. 2006 වසරේ පටන් තම බිරියට කවන්නේ, පොවන්නේ, ඇයව පිරිසිදු කරන්නේ හේමශ්‍රීය. ඇයගේ බෙහෙත්වලට ද මාස් පතා අධික මුදලක් වැය වේ. ආහාරපාන පිළිබඳ එතරම් ගැටලුවක් නොමැති වූ ද ගෙවල් කුලී ගෙවා ගන්නේ ද විශාල අපහසුවකිනි. ලතා වල්පොළ, වික්ටර් රත්නායක සහ තවත් කලාකරුවන් කීපදෙනෙකුම නිතර තමන්ගේ දුක සැප සොයා බලන බව හේම ශ්‍රී අප සමඟ පැවසුවේ ඉතා ගෞරවයෙනි. රටක් පිනවූ මෙම කලාකරුවන් දෙදෙනාගේ ජීවිතය පිනවීමට දැන් ඔබගේ ආධාර උපකාර අවශ්‍යව ඇතැයි අපට සිතේ. ඒ සඳහා ඔබට උපකාර කළ හැකිය. කිසියම් මුදල් පරිත්‍යාගයක් කරන්නේ නම් කොමර්ෂල් බැංකුවේ, පාණදුර ශාඛාවේ H. A. A. Neranjana, අංක 8330032450 ගිණුමට එම මුදල් පරිත්‍යාගය සිදුකළ හැකිය. එසේම 0775822425 දුරකතන අංකයෙන් හේමශ්‍රී ද අල්විස් මහතාට ඇමතිය හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්