මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

 නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම 17 වැනිදා පැවැත්වෙයි. මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා පටන් ඉකුත් 13 වැනිදා මධ්‍යම රාත්‍රිය වන තෙක්ම අපට නිරීක්ෂණය කරන්නට ලැබුණේ ඒ ඒ දේශපාලන පක්ෂ සහ සංවිධාන තම තමන්ගේ දේශපාලන න්‍යාය හා දර්ශනවාද පිළිබඳ සමාජ කතිකාවන් ගොඩ නඟන්නටත්, ඒ න්‍යාය - දර්ශනවාද මත පදනම්ව සකස් කරන ලද ප්‍රතිපත්ති හා සැලසුම් ජනතාව අතරට ගෙන යන්නටත් දිවා රෑ වෙහෙස නොබලා දියත් කරන්නට යෙදුණු අනවරත අරගලයයි. දැන් ඒ නොඉවසුම් අරගලයෙහි නිමාව සටහන් වී ඇති අතර එළැඹෙමින් තිබෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවෙන තීරණාත්මක මොහොතයි.

පෙර මැතිවරණවලට සාපේක්ෂව මෙවර පූර්ව මැතිවරණ සමය සාමකාමී මුහුණුවරක් ගනු දක්නට ලැබීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන සියලු පුරවැසි ජනතාවගේ ප්‍රශංසාවට හේතුවනු ඇතැයි සිතිය හැකිය. සමස්තයක් ලෙස රට පුරාම දකින්නට ලැබෙන්නේ නීතිගරුක හා සාමකාමී මැතිවරණයක සේයාවකි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ) විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ මැතිවරණ නීතිරීති අකුරටම ක්‍රියාත්මක වන නිසා ජනතාවට නිදහස් මැතිවරණයක ස්වභාවය දැනෙමින් පවතින බවයි.

ඔහු මේ බව කියා සිටියේ ඉකුත් 5 වැනිදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. ජූලි 22 වැනිදා එම ස්ථානයෙහිම පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද මේ බව අවධාරණය කරනු ලැබිණි. එහි දී ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය දේපළ හා රාජ්‍ය බලය භාවිත කරන සිද්ධීන් තවමත් වාර්තා වෙමින් පවතින නමුත් වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතුවල යම් අඩුවීමක් පෙන්නුම් කරන බවයි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමෙහිලා සාධනීය කාර්යභාරයක් සිදු කරමින් සිටින බව ද හෙට්ටිආරච්චි මහතා එහි දී මාධ්‍ය දැනුවත් කළේය.

දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල මෙන්ම විදේශීය වශයෙන් ද ඇති වී තිබෙන ‍මේ සුබවාදී තත්ත්වය ඇගැයීමට ලක්වෙමින් තිබේ. පෙර පැවති මැතිවරණවලට වඩා මෙවර මැතිවරණය අවම ජනතා පීඩනයක් යටතේ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග තම රටවල ප්‍රසාදයට හේතුවන බවයි; ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ඕස්ට්‍රේලියාව පවසන්නේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී ඇති බලතල අනුව ඔහුට සිය රාජකාරී ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට හැකියාව ලැබීමත්, දේශපාලන අතපෙවීම්වලින් තොරව පොලිස් දෙපාර්තමේන්තුවට තම අභිමතය පරිදි නිදහස්ව හා බලපෑමකට යටත් නොවී නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබීමත් මැතිවරණ ක්‍රියාවලිය ආශ්‍රිත මේ සාමකාමී බව ඇති වීමට හේතු වී ඇතැයි සිතිය හැකිය.

මේ ර‍ටේ මැතිවරණ ඉතිහාසය දෙස බලන කල මැතිවරණ නීති හරියාකාරව ක්‍රියාත්මක නොවීමට බලපා ඇති මූලික සාධකයක් ලෙස හඳුනා ගැනීමට ලැබෙන්නේ පොලිසිය ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත්ව තිබීමයි. මේ හේතුව නිසා මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමේ දී පොලීසියට ඒක පාර්ශ්වීයව ක්‍රියා කරන්නට සිදු වූ අවස්ථා බොහෝ වෙයි. මෙය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධාන විසින් ද පුන පුනා පෙන්වා දී ඇති කාරණයකි. එහෙත් ඒ අශීලාචාර තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉහළ දේශපාලන නායකත්වයෙන් සාධනීය හා ප්‍රමාණාත්මක මැදිහත්වීමක් පසුගිය දශක දෙකක තුනක කාලය තුළම සිදු කෙරුණේ නැත. ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී ද මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ පොලිසියේ නොසැලකිලිමත්භාවය හොඳින් නිරීක්ෂණය කරන්නට ලැබුණු අවස්ථා ගණනාවක් විය.

එහි දී නිවිතිගල ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයේ සැකකරුවන් පවා පොලිස් අත්අඩංගුවට පත්වූයේ මැතිවරණය අවසන් වීමෙන් පසුව බවයි. කැ‍ෆේ සංවිධානය සිය අතුරු වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ. ජුනි 27 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව වන කැෆේ සංවිධානයේ මෙම අතුරු වාර්තාවෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙන්නේ සංවිධානාත්මක හා සැලසුම් සහගතව මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක් ඉහළ දේශපාලන නායකත්වයෙන් වාර්තා නොවීම මෙවර මැතිවරණයේ විශේෂත්වයක් බවයි. කැෆේ සංවිධානයේ මෙම අතුරු වාර්තාවට පාදක වූ කාලය තුළ ලේඛනගත කළ සිදුවීම්වලට අදාළව පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් ගණන 167 ක් පමණ වේ. මේ අතුරින් පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට පත්ව ඇතතේ පෝස්ටර් ඇලවීම, කටවුට් එල්ලීම වැනි මැතිවරණ ප්‍රචාරණයට අදාළ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. මෙසේ අත්අඩංගුවට පත්වී ඇති පුද්ගලයින් අතර එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ ගණනාවකට අයත් ආධාරකරුවෝ වෙති. මෙලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට පත්වීම ම යහපත් ප්‍රවණතාවක් බවයි; කැ‍ෆේ සංවිධානය පෙන්වා දෙන්නේ. කුමක් නිසාද යත්, එමඟින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කොට දෙන බැවිනි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු නීතියේ සීමාව තුළ තබා ගැනීමට වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස් දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහයෙහි ඇති අගය වඩාත් තහවුරු වන්නේ මෙරට මැතිවරණ සංස්කෘතිය හා සබැඳී අතීත සංසිද්ධීන් ගැන සිහිපත් කරන විටදීය. 1970 සිටම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩත්වය මුදා හැරීම ප්‍රවණතාවක් ලෙස වර්ධනය වෙමින් තිබේ. 77 මැතිවරණය, හොර ඡන්ද දැමීම, විරුද්ධ පාක්ෂිකයන් මර්දනය කිරීම හා ප්‍රචණ්ඩත්වය මුදා හැරීම අතින් මැතිවරණ ඉතිහාසයේ තද කළු පැල්ලමක් ලෙස සටහන් වී ඇත. 1981 සංවර්ධන සභා ඡන්දය, 1982 ජනමත විචාරණය, 1988 පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය, 1989 මහ මැතිවරණය ආදී වූ මේ කිසිදු මැතිවරණයක් නිදහස් හා සාධාරණ ඒවා ලෙස නොසැලකෙයි. අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලන සමය අවසන් කොට 1994 බලයට පත්වන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ද ප්‍රචණ්ඩත්වය හා බද්ධ වූ මේ මැතිවරණ සංස්කෘතිය අවසන් කිරීමට සාධනීය මැදිහත්වීමක් සිදු කරන්නේ නැත.

එම පාලන කාලය තුළ පැවැත්වෙන 1999 වයඹ පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වී ඇත. කාන්තාවක මහ දවල් නිරුවත් කොට පහර දීමේ අති ම්ලේච්ඡ සිදුවීමක් වාර්තා වූයේ මෙම මැතිවරණයේදීය. 2005 දී බලයට පත්වන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ද ප්‍රචණ්ඩත්වය හා බැඳුණු මැතිවරණ ඉතිහාසය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් දකින්නේ නැත. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පැවැත්වෙන 2014 ඌව පළාත් සභා මැතිවරණය, වයඹ පළාත් සභා මැතිවරණය තරම්ම රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් අවභාවිතාවේ යෙදූ, ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන් පීඩාවට පත් කළ ඉතාමත් දූෂිත මැතිවරණයක් ලෙස සටහන් වී ඇත. මෙහි ඇති ඉතාමත් කනගාටුදායක සිද්ධිය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත තිස් අවුරුදු යුද්ධය දිනූ නායකයාගේ පාලන කාලය තුළම රටේ එක් පළාත් සභා මැතිවරණයක් වෙනුවෙන් මේ ආකාර වූ ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමයි. ඉකුත් ජනාධිපතිවරණය දක්වාම මැතිවරණ ක්‍රියාවලිය හා බැඳුණු සුපුරුදු ප්‍රචණ්ඩත්වය ක්‍රමිකව සාමාන්‍යකරණය වෙමින් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වූ බව මෙහි දී සිහිපත් කිරීම වටී. එහි යම් වෙනසක් ඇති වන්නට පටන් ගෙන ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුය.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වඩාත් මධ්‍යස්ථවාදී තැනක පිහිටා කටයුතු කිරීම මෙවර මැතිවරණයේ නිදහස් හා සාමකාමී බවට තවත් හේතුවක් වී ඇතැයි කිව හැකිය. ජනාධිපතිවරයා මධ්‍යස්ථව කටයුතු කරනවා පමණක් නොව සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් උදෙසා අවශ්‍ය තැන්හි දී සිය බලය පාවිච්චි කිරීමට ද ඔහු පසුබට වී නැත. තැපැල් අමාත්‍යාංශයේ ලේකම් අබ්දුල් මජීඩ් මහතා ඉකුත් 7 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම ජනාධිපතිවරයාගේ මේ මධ්‍යස්ථවාදී මැදිහත්වීමට හොඳම සාක්ෂියයි. අදාළ‍ ලේකම්වරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය සම්පත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කරන බවට මැතිවරණ කොමසාරිස්වරයා කළ දැනුම්දීමකට අනුව ජනාධිපතිවරයා මේ පියවර ගෙන තිබේ.

මෙම මැතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ පෝස්ටර්, කටවුට් සඳහා ප්‍රමුඛත්වයක් ලබා නොදීමයි. ඇතැම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් තමන්ගේ කටවුට් ප්‍රදර්ශනය නොකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙය හොඳ ප්‍රවණතාවකි. පෝස්ටර් යුද්ධය මැතිවරණ සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට තවම නොහැකි වී ඇති නමුදු ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් ඉවත් කිරීම සාපේක්ෂව ප්‍රශස්ත මට්ටමක පැවතීම ද මෙවර මැතිවරණයේ සාධනීය වෙනසකි. නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවල ද මේ තත්ත්වය දැකිය හැකිය. රාජ්‍ය සේවකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමේ සාපේක්ෂ අඩුවීමක් පෙන්නුම් කිරීම, ජනතාව දැනුවත් වීම හා සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය ප්‍රබල තැනක තිබීම ද මැතිවරණ‍යේ නිදහස් හා සාමකාමී බවට හේතු වී ඇත. වරක් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා නීති සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියා දක්වන සැලකිල්ල ඉතාමත් අඩු මට්ටමක පවතින බවයි. එහෙත් මෙවර එම චෝදනාව ඒ ආකාරයෙන්ම මහජනයා වෙත එල්ල කිරීමේ හැකියාවක් නැත. මාර්තු 12 ව්‍යාපාරය, කැෆේ වැනි සංවිධාන රැසක් මැදිහත්වීම මත මැතිවරණය අලළා ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි. තමන් ඡන්දය දිය යුත්තේ කාටදැයි යන්න නිවැරදිව තෝරා බේරා ගැනීමට මෙන්ම සහනාධාර දේශපාලනයට තිත තැබීමටත්, අයථා ක්‍රම මඟින් ඡන්දදායකයා පොලඹවා ගැනීමට ඇති හැකියාව අහුරාලීමටත් මේ දැනුවත් කිරීම ප්‍රයෝජනවත් වෙයි.

මැතිවරණ ව්‍යාපාරයේ දී සියලු දේශපාලන පක්ෂ හා සංවිධානවලට සාධාරණ අවස්ථා හිමිවීම ද මෙවර මැතිවරණයේ නිදහස් හා සාධාරණ බව කියාපාන තවත් සාධකයකි. රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරීත්වය පෙන්වා ඇති ප්‍රගතිය මෙහි දී විශේෂයෙන් අගය කළ යුතුය. පසුගිය ආණ්ඩු සමයේ විරුද්ධ පාක්ෂික මුහුණක් රාජ්‍ය මාධ්‍යයක් තුළින් දකින්නට ලැබුණේ නැති තරම්ය. සංවර්ධන ව්‍යාපෘති ගැන ඇති පදම් තර්ක විතර්ක ගොඩනැඟුවේ එකම පක්ෂයේ පිරිස් වටවීය. පාළු ගෙයි වළං බිඳින්නාක් මෙන් ඒවායෙහි ප්‍රතිවිරුද්ධ මතයකට මොනයම් හෝ ඉඩක් ලබා දුන්නේ නැත. මෙය කෙතරම් අශීලාචාර ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. අද ආණ්ඩු පක්ෂයට මෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කරන විරුද්ධ පාක්ෂිකයන්ට ද තම මතය නිර්භයව ප්‍රකාශ කිරීමට රාජ්‍ය මාධ්‍ය තුළ සම අවස්ථා උදාකර දී ඇත.

මේ සියල්ල යහපත් දේශපාලන සංස්කෘතියක් උදෙසා වන වැදගත් ඉදිරිගාමී පියවර ලෙස සැලකිය හැකිය. අවශ්‍ය වන්නේ ඉදිරියට ද මේ සාමකාමී බව එලෙසින්ම ආරක්ෂා කොට පවත්වාගෙන යෑමයි. ධනය හා බලය පිටුපස දුවන දේශපාලනඥයා මේ සාමකාමී බවේ වෙස් ඕනෑම මොහොතක ගලවා දැමීමට පෙලඹිය හැකිය. අපට ඇති ඉතිහාස අත්දැකීම් අනුව එය එසේ නොවේම යැයි කීමට තරම් සාධක ද නැත. එහෙයින් ඇති වී තිබෙන මේ සාමකාමී බව තව දුරටත් ආරක්ෂා කර ගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා අප කැප වී ක්‍රියා කිරීම සියලු වගකිව යුතු පාර්ශ්වවල පරම යුතුකම වන්නේය. එය මේ රටේ හෙට දවසේ සුබසිද්ධිය උදෙසා අද දවසේ ඉටුවිය යුතු කාර්යභාරයයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්