මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

පූර්ණිමා රුක්මල් අමරතුංග

Star Mashroom Products කළමනාකාර අධ්‍යක්ෂ

ඇය ස්වයං රැකියාවක් ඇරැඹුවාය. වෙළෙඳපොළේ ඈ අපේක්ෂා කළ ඉලක්කය දුර බව පෙනිණි. ඈ ගමන්මඟ වෙනස් කළාය. ස්වයං රැකියාවට වෙනස් මුහුණුවරක් දුන් පූර්ණිමා, අමු ද්‍රව්‍යය, නිමි ද්‍රව්‍යයක් බවට පත් කළාය. කුඩා කර්මාන්තයක් ඇරැඹිණි.

ඒ කර්මාන්තය ලෝකෙට ගෙන යන අලුත් මං සොය සොයා ඈ අන්තර්ජාලයේ ඇති තරමට කරක් ගැසුවාය. වෙහෙසුණාය. අත්හදා බැලුවාය.

වැටෙමින් නැඟිටිමින්, යළි වැටෙමින් වරෙක හෙමින් සහ සීරුමාරුවට ඈ යම් දුරක් පැමිණියාය. පොළොවේ පිපෙන පුංචි බිම්මලකින් ලෝකය දිනන්නට පුළුවන් බව ඈ සොයා ගත්තාය. ඇගේ කතාව, දිරියවන්ත ගැහැනියකගේ ආදර්ශය අපිට කියන්නේ ඒ නිසාය.

‘Star mushrooms products’ හිමිකාරිනිය.... කැමැතියි ඔබේ නිෂ්පාදනය ගැන දැනගන්න...

‘Skinless Spicy mushroom sausage....’ තමයි මගේ සුවිශේෂීම සොයා ගැනීම. ලෝකෙ පළමු වතාවටයි බිම්මල් සහ සෝයා වලින් විතරක් මේ විදියේ නිර්මාංශි සොසේජ් එකක් හදන්නේ. ඒ මම.

• කොහොම ද ඔබ එය තහවුරු කර ගත්තේ...

ඉන්‍ටනෙට් ගිහින් ‘World Intellectual Property Organization (WIPO)’ සර්ච් කළාම Data Base එකක් තියෙනවා. ඒකෙන් හොයන්න පුළුවන් ඕනෑම කෙනෙකුට ඒ ගැන තව විස්තර. මස් සහ බිම්මල් මිශ්‍ර සොසේජ් වර්ග ලෝකෙ ඕනෑතරම් නිපදවනවා. ඒත් බිම්මල්වලින් විතරක් හදන නිර්මාංශි සොසේජ් වර්ග නැහැ.

• මෙය ඔබේම සොයා ගැනීමක්... අදින් පස්සෙ තව කවුරුහරි හැදුවොත්...?

කිසි ප්‍රශ්නයක් නැහැ. මං පේටන්ට් බලපත්‍රය අයැදුම් කරලා ඉවරයි. අනෙක කවුරු හැදුවත් අපේ රහ අපි ගන්නෙ සුවිශේෂී කුළුබඩු වට්ටෝරුවකින්. එය අපි ළඟ විතරක් තිබෙන රහසක්.

• සොසේජස් හැරුණුකොට මොනවද බිම්මල්වලින් හදන සෙසු නිෂ්පාදන...

බිම්මල් චට්නි, මෝජු, කැන්ඩි ජෑම්, සෝස්, සුප්, ප්‍රෝටීන් මික්ස්, චොක්ලට් මූස්, අච්චාරු, මෂ්රූම්, කෙබාබ්, කැෂූ නට්ස්, ලයිම් ඇන්ඩ් ඩේට්, චිලි පේස්ට් ඇතුළු නිෂ්පාදන 40ක් සැකසූ ආහාර ලෙස වෙළෙඳපොළට දමනවා. ඒ සෑම නිෂ්පාදනයක්ම පාහේ බිම්මල්වලින් නිපදවෙන්නෙ පළමු වතාවට.

• බිම්මල්වලට පණුවො නොඑන්න කෘෂි රසායන යොදනවා ය කියන කතාව නිසා බිම්මල් කෑමෙන් මිනිස්සු ඈත්වෙලා ද...?

බෙහෙත් ගහල ද කියලා හොයාගන්න පුළුවන් බිම්මල් හුඟාක් විශාලනම්. පොහොට්ටු සහ සාමාන්‍ය තරමේ පිපුණු බිම්මල් තමයි තෝරා ගත යුතු.

බිම්මල් ටික වේලාවක් උදේ අව්වේ තියලා ගත්තම විටමින් ඩී අවශෝෂණය කරගන්නවා. එහෙම ශක්තිය තියෙන වෙනත් ආහාරයක් නැති තරම්. ඕස්ට්‍රේලියාවේ කරන ලද පර්යේෂණවලින් ‍ඒ බව සනාථ කර තිබෙනවා. ඉතාම පහසුවෙන් විටමින් ඩී ආහාරයට ලැබෙන මඟක් වගේම ප්‍රෝටීන් බහුල නිසා නිර්මාංශි අයට බිම්මල් ඉතාම ශක්තිජනක ආහාරයක්. පිළිකාවටත් ඔසුවක්. ශාකයකුත් නොවන සත්ත්වයකුත් නොවන, නමුත් මේ දෙවර්ගයේම ලක්ෂණ ඇති බිම්මල් ආසියානු රටවල නම් අතිශය ජනප්‍රිය ආහාරයක්. ඒ නිසා විස නොයෙදූ හොඳ බිම්මල් තෝරා ගැනීමයි වැදගත්.

• බිම්මල් වලින් ම මේ දේවල් හදන්න ඕනෙ ය කියලා හිතුවේ ඔය කියන පෝෂණ ගුණය නිසාම ද?

ඒකත් එක හේතුවක්. අනෙක මං නිර්මාංශි කෙනෙක්. නිර්මාංශි අයට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හැමදාම එකම දේ කන්න සිදුවීම. සමහර උත්සවවලදී කන්න වෙන්නෙ පරිප්පුයි පපඩමුයි බතුයි. මං හිතුවා මේ වගේ අයට වෙනස් රහක දෙයක් හදන්න. අපේ ගෙදරත් හරියට බිම්මල් උයනවා. ඒ නිසා මමත් කන්න කැමැති බිම්මල් වලින්, කරියකට එහා ගිය දෙයක් හදන්න හිතුවා.

• කොහොමද ඔබ බිම්මල්වලට මෙවැනි වටිනාකමක් දෙන්න හිතුවේ...?

ඇත්තටම කිව්වොත් මේ සෙසේජ් එකේ වටිනාකම තමයි, Skinless වීම. සත්ත්ව හෝ කෘත්‍රිම ආවරණයක් රහිත වීම. කිසිදු රසකාරකයන් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවීම. අපේ රටේ කුළුබඩු යොදලා අපේ රහට හදන එකයි අපිට තිබුණු ලොකුම ඕනෑකම. අනික හුඟක් අය බිම්මල් කන්නෙ කරියක් විදියට විතරයි. මමත් අයියත් හිතද්දි හිතද්දි තමයි අපිට මේ අලුත් අදහස ආවේ. ඒ වෙනකොට අපි ඉන්ටනෙට්වලින් බිම්මල් ගැන හොඳටම තොරතුරු හොයාගෙන.

• ඇයි මේ Skinless කියන්නෙ... සොසේජ් එකකට, ආවරණය කියන දේ අත්‍යවශ්‍ය නැද්ද...?

ඇතුළත තිබෙන මිශ්‍රණය නොගැලවී තියා ගන්නයි ආවරණය වැදගත් වෙන්නේ. බොහෝ විට සොසේජස් නිෂ්පාදනයේදී ඒ සඳහා යොදා ගන්නෙ සත්ත්ව බඩවැලක්. සමහර අය කෘත්‍රිම ආවරණයක් යොදනවා. මේ කෘත්‍රිම ආවරණයක් යම් උෂ්ණත්වයකට ලක් කරනවා. ඒ උණු වීමේදී නිපදවෙන ඇතැම් රසායනික සංඝටක මනුෂ්‍ය ශරීරයට අහිතකරයි. ඒකයි Skinless කියන කාරණාවට අපි ප්‍රමුඛ තැනක් දුන්නෙ.

• ඔබේ මේ නිෂ්පාදනයට වෙළෙඳපොළේ තිබෙන ඉල්ලුම කොහොම ද...?

ඇත්තටම කිව්වොත් අපිට ඒ ඉල්ලුමට සැපයුම දී ගන්න බැරි තරම්. දැනට ආර්පිකෝ සුපිරි වෙළෙඳපොළේ විතරයි අපේ මේ නිෂ්පාදනය තිබෙන්නෙ. ඊට අමතරව කොළඹ සම්බෝධි විහාරයේ බෞද්ධයා නාළිකා පරිශ්‍රයේ ‘වස විස නැති පොළේ’ අලෙවි වෙනවා.

• ඒ සඳහා අවශ්‍ය බිම්මල් ඔබම වගා කරනව ද?

ඉස්සර වැව්වා. දැන් අපිට අවශ්‍ය විදිහට සෞඛ්‍යාරක්ෂිතව වවන සැපයුම්කරුවකු ඉන්නවා. ඒත් මේ සියල්ල පසුපස තිබෙන්නේ මං ස්වයං රැකියාවක් විදියට බිම්මල් වැවීමේ අතීත කතාව.

• මොකක්ද ඒ අතීත කතාව...

මං පරිගණක ගුරුවරියක්. මගේ දූ ලැබුණට පස්සෙ මං රැකියාවෙන් ඉවත් වුණා. ඒත් දූ නිදා ගත්තට පස්සෙ මට වෙලාව ඉතිරි වුණා. මට හිතුණා ගෙදර ඉඳන් මොනවා හරි දෙයක් කරන්න. මං බිම්මල් වගාව ගැන හෙව්වා. කාර්මික සංවර්ධන මණ්ඩලයේ වැඩමුළුවලට ගියා. මේ සියල්ලට මට උදව් කළේ මගේ අයියා. අම්මා අප්පච්චි සහ මගේ මහත්තයා.

• ඉතින් බිම්මල් වගාව අත් හැරියේ...?

සියලු පසුබිම හදලා මල් පිපෙන්න ගත වන කාලය තුළ මාත් අයියත් මේක මාකට් කරන විදිය කල්පනා කළා. සොයා බැලුවා. වෙනම මාකට් රිසර්ච් එකක් කළා. රුපියල් 60 කට අලෙවි වන බිම්මල් පැකට්ටුව අපෙන් ගන්නෙ රුපියල් 35කට. මං කල්පනා කළා බිම්මල් අමුද්‍රව්‍යයක් කරගෙන නිමි භාණ්ඩයක් හැදුවොත් මීට වඩා වටිනාකමක් එයි කියලා. අපි ගන්නොරුවේ කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට ගියා. අපේ පර්යේෂණ ඉදිරිපත් කළා. අඩුපාඩු හදාගත්තා. බිම්මල් පිපෙනකොට අපි සොසේජස් හදන්න සූදානම් වෙලා හිටියේ. බය නැතිව වැඩේට අත ගැහුවා.

• අමුද්‍රව්‍යයක් ලෙසම බිම්මල් අලෙවි කළා නම් ප්‍රශ්න අඩුයි කියලා හිතුණෙ නැද්ද...

ඇයි අපි එහෙම හිතන්නෙ. අභියෝග හඹා යෑම ජිවිතයට සතුටක්. මේ ලංකාවේ බිම්මල් ගොවීන් කොයිතරම් ඉන්නවද... ඒත් ඒ අය සාම්ප්‍රදායික වගා කටයුත්තෙ නියැළෙන නිසා ආර්ථික වශයෙන් ඉහළට යන්නෙ හරිම හෙමින්. නමුත් අපි හුඟක් අංශ ඔස්සෙ ලබා ගත් දැනුම එක්කයි මේ වැඩේ කරගෙන ගියේ. බිම්මල් අමුද්‍රව්‍යයක් කරගෙන, කර්මාන්තයක් කියන තලයට අපි ගෙනාවා. ඒ කර්මාන්තය තුළ රසවත් ගුණවත් ආහාර වට්ටෝරු රැසක් තිබෙනවා. දැන් අපිට තිබෙන අභියෝගය මේ ආහාර ජනතාව අතර ජනප්‍රිය කරවීමයි.

• ඔය හැම වට්ටෝරුවක්ම ඔබම අත්හදා බැලූ ඒවද...

ඔව්. මම ඉවුම් පිහුම්වලට බොහොම කැමැති කෙනෙක්. හත වසරේ ඉඳන් මං කෑම හදනවා. බටු මෝජු මගේ කැමැතිම ආහාරයක්. මං බිම්මල් මෝජු අත්හදා බැලුවේ ඒ ඔස්සේ. දැන් ඒකත් අපේ ජනප්‍රිය නිෂ්පාදනයක්.

• හැම වේලාවෙම ලැබුණෙ උදව්. බාධක ගැටලු මේ ව්‍යාපාරයේදී ඔබට මුණගැහිලම නැද්ද...?

ඇයි නැත්තෙ. Skinless සොසේජ් එකක් හදනකොට ලොකුම ගැටලුව වුණේ අපේ සොසේජ් එක නොකැඩී අලවා ගන්නෙ කොහොමද කියන කාරණය. හැඩය පවත්වාගන්නෙ කොහොම ද කියන කාරණය. පාන් පිටි දැම්මොත් ගුණය අඩු වෙනවා. කෘත්‍රිම ආවරණයකට අපි කැමැති වුණේ නැහැ. පර්යේෂණ ගණනාවකින් පස්සෙ සෝයා පිටිවලින් අපිට පුළුවන් වුණා ඒ ගැටලුව සාර්ථකව ජය ගන්න. දැන් මේ සොසේජ් එක පොඩියට පෙති කපන්නත් පුළුවන්. කරියක් විදියට උයන්නත් පුළුවන්. කැඩෙන්නෙ නැහැ.

• බිම්මල් කියන්නෙ පිසූ පසුත් තරමක් අමි රහක් මතුවන ආහාරයක්. මේ රහ අලෙවියට බාධාවක් වුණේ නැද්ද?

කිසි සේත් නැහැ. මොකද බිම්මල් නිකන් පිසිද්දි එහෙම වුණාට, අපේ ස්වභාවික සුවිශේෂී කුළුබඩු යෙදුවම, සියඹලා යුෂ මිශ්‍ර වුණාම උපදින්නෙ ප්‍රණීත රසයක්. අපිට පාරිභෝගිකයන් ඍජුවම හමුවන ‘වස විස නැති පොළේදි’ අපිට ඍජු ප්‍රතිචාර ලැබෙනවා. සුපර් මාකට් එකකදි අපිට ඔවුන් මුණ ගැහෙන්නෙ නෑ. නමුත් සුපුරුදු ගනුදෙනුකරුවන් එහි රහ ගුණ ගැන හොඳ කියනවා. එය ශක්තියක්.

• දරුවෙක් ඉන්න අම්මෙක්... ඒ යුතුකම්වලට ඔබේ ව්‍යාපාරික කටයුතු බාධාවක් නෙවෙයි ද...

ඒ අතින් මං වාසනාවන්තයි. ඒ දවස්වල දූ පුංචි නිසා, මං වෙනුවෙන් අයියයි, ගන්නොරුවට ගියේ. රත්මලානේ EDB ආයතනයේ වැඩමුළුවලට ගියේ. එයා ස්කොට්ලන්තයේ විශ්ව විද්‍යාලයක ‘නෙට්වර්ක් ඉංජිනේරු’ ශිල්පය හදාරනවා. නිවාඩුවට එන අතරවාරයේදී මට උපරිම ලෙස උදව් කරනවා. මං වෙනුවෙන් ඒ වැඩමුළුවලට ගිහින් ගත් දැනුම මට ලබා දෙනවා. වෙබ් සයිට් හදන්නෙ අමතර දැනුම හොයන්නෙ එයා. අම්මයි - අප්පච්චියි අයියයි මහත්තයයි තමයි මට පවුරක් වගේ ශක්තියට ඉන්නෙ.

• එතකොට ඔබේ අධ්‍යාපනික පසුබිම...?

මියුසියස් විදුහලින් පස්සෙ BcS, NCC වැනි පරිගණක විභාග රැසක් කළා. කලක් Informatics ආයතනයේ සේවය කළා. ඉන්පස්සෙ JMC ජාත්‍යන්තර පාසලේ පරිගණක ගුරුවරියක් ලෙස වැඩ කළා. බිම්මල්වලින් ආහාර හැදුවට මං ඉගෙන ගත් කළමනාකරණ හා පරිගණක දැනුම හැම අතින්ම මගේ ව්‍යාපාරයට ප්‍රයෝජනවත් වුණා. අදටත් අලුත් අංශ කෙරෙහි ව්‍යාප්ත වෙන්න, නැවත නැවත මට උදව් වෙන්නෙ මගේ දැනුම.

• හුඟ දෙනෙක් හිතන්නෙ ස්වයං රැකියාවක් කියන්නෙ කට ඇරලා කියන්න පුළුවන් රස්සාවල් නෙවෙයි කියලා...

ඒක වැරැදි මතයක්. අමුද්‍රව්‍ය හදාගන්න උපදෙස් දෙන රාජ්‍ය ආයතනවලින් නම් අපි උපරිම ප්‍රයෝජන ගත්තා. නමුත් කෝටි ගණන් වියදම් කරලා හැදූ රජයේ පර්යේෂණ මධ්‍යස්ථාන තිබෙනවා. ඒවායේවත් බිම්මල් වලින් කළ හැකි නිමි ආහාර ද්‍රව්‍ය පිළිබඳ හරි පර්යේෂණයක් සිදුවන්නේ නැහැ. අපිට තිබුණු එකම පර්යේෂණ හා උපදේශන මඟ වුණේ ඉන්ටනෙට් එක පමණයි. වැරැදි වැරැදි හරි, අපිම හද හදා බැලීමම පමණයි. බිම්මල් වගාවෙන් ඔබ්බට ගිහින් අලුත් කර්මාන්තයක් අපි ඇරැඹුවේ මේ ලබා ගත් දැනුමින්. ස්වයං රැකියාවකටත් අවශ්‍ය මෙන්න මේ දේයි. ඔබේ ව්‍යාපාරයට වෙනස් මුහුණුවරක් දෙන්න... මං කාට වුණත් කියන්නෙ ඒ දේ.

• මේ ගමන එන්න ඔබට අත දුන් අයත් ඇති...

විශ්‍රාමික විද්‍යා ගුරුවරු වෙච්චි මගේ මවුපියෝ, සැමියා. සහෝදරයා. මගේ ලොකු මාමා හැරුණුකොට RDB බැංකුවේ අජිත් අලහකෝන් මහතා, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රදීප් මහත්මා ඇතුළු අපේ පාරිභෝගික භවතුන්. ඔවුන් අපේ දේ අගය කළ නිසා, මිලදී ගත් නිසයි අපි මේ ගමන ආවේ.

• එතකොට ඔබේ ඉදිරි බලාපොරොත්තු...?

තවම අපි ගොඩනැ‍ඟෙමින් සිටින ආයතනයක්. අපේ සොසේජස් ජීවානුහරණය කරන්නෙ අපිම නිර්මාණය කළ සුවිශේෂී ලී කුඩු පෝරණුවක. සොසේජස් අඹරන්නෙ, කෑලි කපන්නෙ අත්යන්ත්‍රවලින්. ඒ අත්යන්ත්‍රවලට නවීන තාක්ෂණය යොදලා ස්වයංක්‍රීය යන්ත්‍ර ලෙස අපිම නිර්මාණය කර තිබෙනවා. නමුත් මේවා නිෂ්පාදනයට යම් මුදලක් අවශ්‍යයි. සේවක සංඛ්‍යාව වැඩි කරලා නිෂ්පාදනය පුළුල් කරන්න සැලසුම් තිබෙනවා. මේ සියල්ලට රාජ්‍ය අංශයේ සහන ණයක් හෝ ආයෝජකයෙක් සිටිනවා නම් අපිට ශක්තියක්.

• ඇයි ඔබ අපනයනය ගැන නොහිතන්නෙ...?

ඒ ගැන හුඟක් බලාපොරොත්තු තිබෙනවා. නමුත් අපනයනය සඳහා සපුරාගත යුතු තවත් ඉලක්ක තිබෙනවා. ආසියානු රටවල බිම්මල් බහුල ආහාරයක්. ඒ නිසා අපිට යවන්න වෙන්නෙ ලෝකෙ කොහේවත් නැති, ශ්‍රී ලාංකික කුළුබඩු යොදා අපේ රසට හැදූ මේ අලුත් සොසේජස් සහ සෙසු බිම්මල් නිමි ආහාරයක් ලෙසයි. ඒ නිසයි අපිට උදව් අවශ්‍ය.

• නිර්මාංශී කෙනෙක් හැටියට, ඔබ බලාපොරොත්තු වූ අරමුණු දැන් ඉටු වුණා ද...

මේ රටේ අධ්‍යාත්මික සුවය සොයන සත්ත්ව ඝාතනවලට කැමැති නැති තරුණ පිරිස එන්න එන්නම වැඩි වනවා. ඒ හැමෝටම ප්‍රෝටීන් බහුල රසවත් ආහාරයක් ලබා දෙන්නයි මගේ ආසාව. මගේ මේ නිෂ්පාදන ජනතාව අතරට ගිහින් ඒ අය ආසාවෙන් එය අනුභව කරනවා නම් එයයි මගේ අරමුණ ඉටුවන දවස.

• එතකොට තරුණ ව්‍යවසායිකාවක් විදියට මේ සමාජයට දෙන පණිවුඩය...

අල වලින් ‘චිප්ස්’ හදන්න... හාල්වලින් බිස්කට් හදන්න... ඔය වගේ අමුද්‍රව්‍යවලින් නිමි ද්‍රව්‍යයක් හදන්න. එතකොට තමයි අපි හැමදාම එක තැන හිරවෙලා ඉන්න දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකෙට යන්න පුළුවන්. බය නැතිව පළමු පියවර තබන්න.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්