මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මචං මං සෝමේ

මචං මං සෝමේ

අද මෙන් නොව එදා (එනම්; මීට අවුරුදු විසිපහකට තිහකට විතර ඉස්සර) කොළඹ මරදාන, මුද්‍රණාල සංස්කෘතියක් තිබුණු නගරයකි. එල්්පින්ස්ටන් සිනමාහලට යාබද කේ. ඩී. ඩේවිඩ් මාවතේම පමණක් මුද්‍රණාල තුනක් හෝ හතරක් තිබුණි. පාර පටන් ගන්නා තැනම පිහිටියේ ග්ලෝබ් මුද්‍රණාලයයි; එය කෙළවර වන්නේ අයි. පී. බී. මුද්‍රණාලයෙනි. මැදක් හරියට වෙන්නට දින පොත් මුද්‍රණයට ඉතාම ප්‍රසිද්ධව තිබූ කැප්ටන් මුද්‍රණාලය ද තිබිණි.

මගේ සිනමා ලේඛන කලා ජීවිතය ආරම්භ වන්නේ ග්ලෝබ් මුද්‍රණාලයෙන් පළ කළ ‘සකුරා’ සිනමා කලා පුවත්පතෙනි. ගුණසිරි සිල්වා, රනිල් ඇල්විටිගල ප්‍රමුඛ විචාරාත්මක බවින් පිරිපුන් තරුණයන් කීපදෙනෙක් මෙම සඟරාවේ සංස්කාරකවරුව සිටියහ.

මෙකියන දවස්වල රනිල් ග්ලෝබ් මුද්‍රණාලයේ කළමනාකරු වශයෙන් කටයුතු කළේය. කපිල කුමාර කාලිංග, ජී. ඇල්. ආරියපාල, බර්ටි බී. කුඩාහෙට්ටි, ජයන්ත කළුපහන, ගීතනාත් කුඩලිගම, ප්‍රසන්න විතානගේ, ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, ගුණරත්න වික්‍රමගේ, අසෝක සෙනරත් මුදලිගේ, චිත්‍රාල් සොයිසා යන අය නිතර ආගිය තැනක් වූයේ මේ ග්ලෝබ් මුද්‍රණාලයයි.

මට අයි. පී. බී. හී සෝමපාල හේවාකපුගේ නම් වූ වැඩිහිටි මිතුරා හඳුන්වා දුන්නේ ගුණසිරි බව මතකය. අයි. පී. බී. අයිතිකරු වූයේ ‘ඉස්කෝලේ මහත්තයා’ ලෙසින් අප හැඳින්වූ එඩ්වින් හේවාකපුගේය. ඔහු දක්ෂ කලාකරුවෙක් වූයේය. ඇත්තටම අයි. බී. පී. ‘වැඩකාරයා’ ඔහුය. සුප්‍රකට අයි. පී. බී. වේදිකා නාට්‍ය පෝස්ටර්වල නිර්මාතෘවරයා ඔහුය. සෝමේ ඔහුගේ බාල සොහොයුරා විය.

එක්තරා කාලයක අපේ හැන්දැ වරු ගතවූයේ එක්කෝ ග්ලෝබ් මුද්‍රණාලයේය. නැත්නම් අයි. පී. බි. එකේය. ඒ දෙකේ නැත්නම් පාරෙන් එහා පැත්තේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කැන්ටිමේය. සෝමේ යනු අතිශයින්ම සුන්දර මිනිසකු බව, කලාකාමි සහෘදයකු බව ඔහු සමඟ කතාබහ කළ මුල් දින දෙක තුනේදීම මට තේරුම් ගොස් තිබුණේය.

සෝමේ අප කාටත් කතා කළේ ‘මචං’ කියාය. එහෙත් ඔහුට ‘මචං’ කීමට අපේ දිව කිසිදා නැමුණේ නැත. ඒ කිසියම් ගෞරව පූර්වක හැඟීමක් අපට වඩා වැඩිහිටියකු වූ ඔහු කෙරෙහි අප තුළ තිබු නිසාය. අප කවුරුත් ඔහුට කතා කළේ ‘සෝමේ අයියා’ කියා ය. මෙසේ ‘මචං’ කියා මා අමතන තවත් දෙදෙනෙක් සිටිති. ඒ වසන්ත ඔබේසේකර හා ටෝනි රණසිංහ ය. (ටෝනි පසුගියදා අප අතැර ගියේය) ඒත් මම කිසිදාක ඔවුන්ට ද ‘මචං’ කියා නැත. එය කළ නොහැකි දෙයකි.

මා බොහෝ කලාකරුවන් දැන හඳුනා ගත්තේ අයි. පී. බී. මුද්‍රණාලයේදීය. එතැනට එන ඕනෑම ජ්‍යෙෂ්ඨ කලාකාරයකුට සෝමේ අපව හඳුන්වා දෙයි. කරුණාසේන ජයලත්, දයානන්ද ගුණවර්ධන, අජිත් තිලකසේන මට මතක එබඳු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කීප දෙනෙකි.

මා සෝමෙට වඩාත් ළෙන්ගතු වූයේ ඔහුගේ මනුස්සකමත් ඔහු කියූ උපහාස කතාත් නිසාය. ඕනෑම කලාකරුවකුගේ ජීවිතයේ අස්සක් මුල්ලක් නෑර හෙතෙම දැන සිටියේය. මහාචාර්ය සුනිල් ආරියරත්න තනිකඩව ඉන්නේ මන් ද? ලක්ෂ්මන් විජේසේකර චන්ද්‍රා කළුආරච්චිව බැන්දේ ඇයි? යනාදිය පමණක් නොව මහාචාර්ය සරච්චන්ද්‍ර, චිත්‍රසේන, සයිමන් නවගත්තේගම යන අයගේ ලටපට හා හුටපට ද සෝමේ හොඳහැටි දැන සිටියේය.

අදටත් මා ළඟ ඇති බොහෝ චිත්‍රපට, වේදිකා නාට්‍ය, සමරු කලාප, ඉතාම දුර්ලභ ගණයේ පොත්වල පළමු මුද්‍රණ මට ලබා දුන්නේ සෝමේ ය. ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණු’ වේදිකා නාට්‍යයේ සමරු කලඹ, ජී. ඩී. එල්. පෙරේරාගේ ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයේ සමරු සංග්‍රහය, තිලක අබේසිංහගේ අඩනිරුවත් කාන්තා චිත්‍ර රැගත් ප්‍රදර්ශන සමරුව, හෙන්රි ජයසේනගේ ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’, දයානන්ද ගුණවර්ධනගේ ‘බක්මහ අකුණු’, ජිනදාස විජේතුංගගේ ‘මා පයට තණ නිල්ල’ වැනි පොත්වල මුල් මුද්‍රණ මීට උදාහරණ කීපයකි. මේ සියල්ල අයි. පී. බී. හී මුද්‍රිත කෘති ය.

සෝමේගෙන් උදව්වක් ලබා නොගත්, සෝමෙට ණය නැති කිසිවෙක් ඔහු ඇසුරු කළ අය අතර නැතැයි ඔහු ගැන අනුස්මරණ සටහන් ලියු බොහෝ දෙනෙක් කියා ඇත. එය සත්‍යයකි. ඒ ලිස්ට් එකේ මම ද කොතැනක හෝ සිටිමි. මගේ විවාහ මංගල්‍ය ආරාධනා පත්‍ර නොමිලේ මුද්‍රණය කර දුන්නේ සෝමේ ය. මගේ ‘හෝම් කමිං’ දවසේ සෝමේ ද (ප්‍රේම් දිසානායක හා වික්ටර් අයිවන් ද සමඟ) අප එකල පදිංචිව සිටි නිවෙසට ආවේ ය. අනිත් අය මගේ සාක්කුවට එන්විලොප් දමද්දි මගේ කනට ළංවූ සෝමේ මෙසේ කොඳුලේය.

“මස්සිනා අර වෙඩිං කාඩ් එකේ ගාන මං දැන් දුන්නයි කියලා හිතාගනින්කෝ.”

සිහින් සිනාවක් මගේ මුවින් නැඟිණි. මා විවාහ වූයේ රැකියා විරහිත තරුණයකු ලෙසිනි. ඉඳහිට අයි. පී. බී. වෙත ගිය අවස්ථාවක සෝමේ මට මෙසේ කියා ඇත.

“මචං මොකක් හරි මුදල් හිඟ පාඩුවක් වුණොත් ලැජ්ජා වෙන්නැතුව ඉල්ලපන්.”

ඒ සෝමේගේ මනුස්සකම ප්‍රකට වූ අවස්ථාය.

සෝමේ ගැන, රැලෙක්ස් රණසිංහ ගැන කියැවුණ කට කතා ද බොහෝමයකි. ඉන් වැඩි කොටස හුදු ප්‍රබන්ධ බව දැන් සිතේ. සෝමේ කාන්තාවන් ඇසුරු කර ඇති ප්‍රමාණය කෙබඳුදැයි දැනගන්ට මට වරක් වුවමනා වූයේය. ඔහු ඊට දුන් පිළිතුර මා කම්පනයකට පත්කරවන සුලු විය.

“පිස්සුද බං මං ඔය අනිත් උන් කියන විදියට ගෑනු ආශ්‍රය කරලා නැහැ. ගෑනුත් එක්ක ඉඳලා කොහොමද බං රෑට ගෙදර ගිහිල්ලා ගෑනිගේ මුහුණ බලන්නෙ?”

සෝමේ මොනතරම් අවංක, නිර්ව්‍යාජ මිනිසෙක්දැයි ඒ පිළිතුරෙන් මට සාක්ෂාත් වූයේය.

සෝමේ බොහෝ අවස්ථාවල යම් යම් පුවත්පත් සාකච්ඡාවලට ද (ප්‍රෙස් කොන්ෆරන්ස්) සහභාගි වෙයි. ඒ මිතුරන්ට කරන උදව්වක් වශයෙනි.

“මමත් ප්‍රෙස් එකෙන් තමයි. හැබැයි ප්‍රින්ටින් ප්‍රෙස් එකෙන්” යැයි කියන ඔහු පුටුවක හරිබරි ගැසී වාඩි වෙයි.

ඉස්කෝලේ මහත්තයාත් ‍සෝමේත් අහසට පොළොව මෙන් වෙනස් ය. ඉස්කෝලේ මහත්තයා කා එක්ක වුණත් වැඩි කතාබහක් නැත. ඔහු සිනාසෙනවා මා දැක ඇත්තේ එක්තරා නිශ්චල ඡායාරූපයක පමණි. සෝමේ කටකාරය. විවෘතය. නිතරම සිටින්නේ සිනාමුසුවය. කවුරු ගැන හෝ විසුළුජනක යමක් කියන ඔහු සිනාසී අප ද ඉන් හිනස්සවයි.

කේ. ඩී. ඩේවිඩ් මාවතේ නිතර සැරිසැරූ ඇතමුන්ට සෝමේ හෝ ගුණසිරි හෝ රනිල් හෝ අපූරු නම් පට බැන්දාහ. එකෙකුට කීවේ ‘ගහ යට ගොරකයා’ කියා ය. තවකෙක් ‘ස්නායු මාමා’ ය. ‘ඇන්ටෙනාස්’ කියා ද කිසිවකුට කීවේ ය. ඔහුට යමක් සිහිබුද්ධියෙන් සිතන්ට මතන්ට ටික වේලාවක් ගත වෙයි. එකල රූපවාහිනිය ආ අලුතය. තිරයේ රූපය සුසර කරගත යුත්තේ වහල උඩට නැඟ ඇන්ටෙනාව එහෙට මෙහෙට කරකැවීමෙනි. නිවැරදි රූපය එන්නේ මඳ වේලාවක් ගිය පසුවය. ‘ඇන්ටෙනාස්’ නමින් හැඳින්වෙන පුද්ගලයා ද එබඳුය.

මේ අතීත සැමරුම් විචිත්‍රය; මනරම්ය. ඊට නිමිත්ත වූයේ කැත්ලින් ජයවර්ධන ලිය ‘සොමි සබඳ සෝමේ’ චරිතාපදාන කෘතියයි. පොත ගැන පසුව ලියමි. මේ සටහන ‘සෝමේ’ වෙනුවෙනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්