මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

.


17 වැනිදා ශ්‍රමදානය

17 වැනිදා ශ්‍රමදානය

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන්නේ මෑත ඉතිහාසයේ මැතිවරණ අතර වඩාත් සාමකාමී මැතිවරණය විය හැකි යි. මන්ත්‍රී ධුර අපේක්ෂකයන්ට ප්‍රචාරණයට ඉඩ දී තුබුණු කාලය භීෂණයකට බර නොවී ගෙවී යෑම සුබ ලකුණකි. සන්ධිස්ථානයක් ලෙස ගත් කල 1970 සිට වර්ධනය වූයේ අසල්වැසියා පවා පක්ෂවලට බෙදී එකිනෙකාගෙන් පළි ගන්නා, මරාගන්නා මැතිවරණ රටාවකි. කාලයක් තිස්සේ මැර දේශපාලයක්, මැතිවරණ භීෂණයක් එයින් අත්විඳගත් ලාංකික ඡන්ද දායකයාට මේ මැතිවරණය එක අතකට ආශ්චර්යයක් ද විය හැකි යි. එමෙන් ම මැර බලය කෙරෙහි මිස ඡන්ද බලය ගැන නොදන්නා චණ්ඩීන්ට මෙය ඇඟට නොද‍ැනෙන, ‘කිසි ගතියක්’ නැති මැතිවරණයක් ද විය හැකි යි. එහෙත් රටේ මතු වී එන මේ සාමකාමී වටපිටාව ශිෂ්ට සම්පන්න සමාජ තීරුව බලගැන්වෙමින් ඇති බවට කෙරෙන ප්‍රකාශනයකි.

මේ මැතිවරණය මෙතරම් සාමකාමී වීම කෙරෙහි බලපාන වැදගත්ම සාධකය වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා වෙනත් මැතිවරණවලට වඩා මෙහි දී බල ගැන්වී සිටීම යි. එසේ වූයේ අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමකින් නො වේ; මැර දේශපාලනයට තවත් අනුබල දුන් මනාප ඡන්ද ක්‍රමය වෙනසකට බඳුන් නොකර ම යි. අපේක්ෂකයන් විසින් නීති විරෝධී ව කරගෙන යන ලද ප්‍රචාරක කටයුතු නතර කිරීම, කටවුට් පෝස්ටර් ගැලැවීම සිදු වූයේ පවතින නීති යටතේ ම මිස ජනවාරි 8 විප්ලවයට පසු පැනැවූ අලුත් නීතියක් යටතේ නො වේ. සිදු වූයේ පවතින නීති-රීති එසේ ම තිබිය දී ඒ යටතේ තම රාජකාරි කරන්නට මැතිවරණ කොමසාරිස්වරයාට නිදහසක් ලැබීම යි. පොලීසිය වෙත ද ඒ ස්වාධීන බව ගලා ගියේ ය. ඒ පරිවර්තනයට ඉඩ ලැබෙන්නේ ජනවාරි 8 විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ජනවාරි 8 විප්ලවය විසින් මෙතෙක් ඇති කරන ලද වෙනස හා ඉදිරියට ඇති කරන්නට නියමිත වෙනස මොන වගේ දැයි වටහාගන්නට මෙය කදිම අවස්ථාවකි. පහරදීම්, මිනීමැරුම්, ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ව දක්නට ලැබුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය, යහපාලන ප්‍රතිසංස්කරණ යටතේ මාස 7ක කාලයක් තුළ මෙතරම් වෙනසකට යොමු වූවා නම්, රටේ අනාගතය කෙරෙහි සුබවාදී බලාපොරොත්තු තබාගැනීම තවදුරටත් සැක සහිත නොවනු ඇත. වැරැදි යැ යි සම්මත දේ පැතිරීම වේගවත් බව කියැවුණත් ශිෂ්ටසම්පන්න භාවය දෙසට ඇති මේ නැඹුරුව ඊට වඩා වේගවත් වී ඇති බව පෙනේ. යහපාලන ගමන අහුරාගෙන සිටි පවුල්වාදී වියරුවෙන් ජන සමාජයට ගැලැවෙන්නට තුබුණු වුවමනාවේ තරම ද එයින් පැහැදිලි වේ.

ජනවාරි 8 විප්ලවය සිදු වන්නේ ඡන්දදායක සමාජය විශාල දෙගිඩියාවක සිටිය දී ය. යහපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි සමාජ තීරුව ජය ගනී ද? එසේ නොවී රාජපක්ෂ රෙජීමය හා ඊට පක්ෂපාත සමාජ තීරුව ජය ගනී ද? යන එකී දෙගිඩියාව මේ මහ මැතිවරණය සම්බන්ධයෙන් අද නැත. ජනවාරි 8 විප්ලවය ඉදිරියට ගෙන යෑමේ වුවමනාව හා ඊට එරෙහි බලවේගයේ ස්වභාවය සැඟැවිය නොහැකි ලෙස දැන් වෙන් වී තිබේ. පක්ෂවලට බෙදීම වෙනුවට ශීලාචාර රටක් වෙනුවෙන් පෙනී සිටින සමාජ තීරුව ශීඝ්‍ර වර්ධනයක් කරා ගමන් කිරීම මඟින් පෙන්වන්නේ ද ඒ බව යි.

මේ පරිවර්තනය සමඟ මෙවර මැතිවරණයේ දී ඉස්මතු වූ තවත් වැදගත් කරුණක් තිබේ. එනම්: ප්‍රතිපත්ති මත කෙරෙන දේශපාලනය කෙරෙහි ශ්‍රී ලාංකික සමාජයේ අලුත් බලාපොරොත්තුවක් දැල්වෙමින් තිබීම යි; ඒ වෙනුවෙන් කතිකාවක් ඇති වෙමින් තිබීම යි. ලෞකික ජීවිතයේ දී සිදු වන මහා පාපකර්ම අතර ප්‍රතිපත්තියක් නැති දේශපාලනය ද බලවත් පවක් බව මහාත්ම ගාන්ධි කීවා ලු. එසේ වූ පවකට දායක නොවී සිටීමේ පූර්ණ වගකීම ඇත්තේ ඡන්ද දායකයාට යි. ප්‍රතිපත්තියක් නැති අවිචාරවත් දේශපාලනයක් සඳහා ඡන්දය ඉල්ලන අපේක්ෂකයෝ මේ මැතිවරණයේ ද හිඟ නො වෙති. විශේෂයෙන් ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ම එවැනි චරිතවලින් තම අපේක්ෂක ලැයිස්තු මුළුමනින් ම පිරිසුදු කරගෙන නැත. දේශපාලනයේ සාමකාමී බව කාලයක් තිස්සේ ගිලගත් එවැනි චරිත මෙවර පාර්ලිමේන්තුවට නොයැවීම කෙරෙහි ඡන්ද දායකයා තද බල තීන්දුවක් ගත යුතු යි. ජනවාරි 8ට පසු රටේ ඇති වූ වෙනස එකී තීන්දුව ගැනීම පහසු කරනු ඇත.

ඒ අනුව බලන කල 17 වැනි දා පැවැත්වෙන මහා මැතිවරණය රටේ දේශපාලනය පිරිසුදු කරන හෝ ශිෂ්ට සම්පන්න කරන මහා ශ්‍රමදානයක් වනු ඇත. වසර හයකට වරක් ලැබෙන මේ අනගි ශ්‍රමදානය වෙනුවෙන් තම ඡන්ද බලය නමැති ශක්තිය යොදවා, ප්‍රතිපත්තිගරුක උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් පිරිසක් තෝරාගැනීම කළ යුතු යි.

මෙවර මැතිවරණය යහපාලනය සඳහා වන දේශපාලන ශ්‍රමදානය යි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්