කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


දැන් මට සතුටුයි තාත්තාගේ හීනය මං හැබෑ කළා

දැන් මට සතුටුයි තාත්තාගේ හීනය මං හැබෑ කළා

දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනූ ජනිත් ඉද්දමල්ගොඩ

ගිරා නිලෙන් බබළන කෙත් යාය පසුකරමින් ද දිය කඳුරු, වන විල්ලු එකිනෙක ගෙවා දමමින් ද ලංගම බස්රථය නිකවැරටියේ සිට ඇදුණේ කොළඹ දෙසටය. මැද අසුනේ ජනේලයට යාබදව සිටි පුංචි කොලු ගැටයා ශීඝ්‍රයෙන් පසුවන තම ජන්ම භූමිය දෙස බලා උන්නේ සංවේගයෙනි. විටින් විට තාත්තාගෙන් ලැබෙන ඔවදන් හිස වනා පිළිගන්නා හෙතෙම මේ උදෑසනින්ම පිටවූයේ තම ජීවිතයේ ජයග්‍රාහී තවත් එක් ගමනකටය.

“නාලන්දෙ කියන්නෙ ලොකු ඉස්කෝලයක් පුතාට එහෙදි හොඳ සංගීත ගුරුවරු හම්බ වේවි.”

ගමන මැදදී තාත්තා කී ඒ වදන්වැල පුංචි පුතුගේ සිත තව තවත් සතුටින්ම පුරවාලූයේය. එදා නිකවැරටියේ සිට කොළඹ නාලන්දාට ආ ඒ කුඩා පුතු ලොවක් තම වසඟයට ගන්නා සුදිලෙන; අමිල ආලෝකධාරා විහිදුවාලන; ජනහිතකාමී තරුවක් වෙතැයි ඒ තාත්තා ද නොසිතුවේය.

එදා තාත්තාගේ සුළැඟිල්ලේ එල්ලී කොළඹට ආ පුතු අද ලොවම එක් ඇසිල්ලක සනසා, නිවාලන තරුවකැයි කිව නොහැක්කේ කාට ද? එක් රැයකදී ලෝවාසී ලාංකිකයන් සිනාරැල්ලෙන් මෙන්ම ලාලිත්‍ය හඬ පෞරුෂයෙන් වසඟ කළ හෙතෙම ජනිත් ඉද්දමල්ගොඩ නම් වන්නේය.

ජනිත්... අපි නිකවැරටියේ සුන්දර නොකිළිටි මතක පොදිය ලිහමින් කතාව අරඹමු...

නිකවැරටිය ගමේ ඉපදිලා, හැදිල වැඩුණු ඒ කාලය අතිසුන්දරයි. කොළඹ ඉන්නකොටත් නිතරම හිත තිබුණෙ ගමේ තුරු වදුලු අස්සෙ. ඒ පරිසරයට මං හරිම කැමැතියි. නිවාඩුවක් ලැබුණු ගමන්ම දුවන්නෙ මගේ උපන් ගමට. මං මුලින්ම පාසල් ගියේ මාගල්ලේගම ජයබිම විද්‍යාලයට. ඒ පාසලේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීමෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා කටුගස්තොට රාහුල විද්‍යාලයට පැමිණියා.

නිකවැරටියේ ගෙවූ ජීවිතය මට දැනුණේ එකම විදියට. ගමේ සුන්දරත්වය මගේ ජීවිතයට කුඩා කාලෙම කලාව එන්නත් කළා කියල මට දැන් හිතෙනවා. ශිෂ්‍යත්වය ලැබිල කොළඹ නාලන්දාවට තේරිල ගමෙන් ආවෙ ටිකක් දුකෙන්. කොළඹට ආපු ගමනෙන් මගේ ගම මුළු ලෝකයේම දිදුළවන්නට ලැබීම ගැන දැන් මට සතුටුයි.

සුවිශාල තුරු මඩුල්ලක සිසිල විඳිමින් ඔබ නාලන්දාවට ඇතුළත් වෙනවා.

ඇත්තටම නාලන්දා විද්‍යාලයට ආපු මුල්ම දවසේ මට දැනුණේ මේ වගේ නිස්කලංක තැන් කොළඹ තියෙනව ද කියල. ඒ නිසාම පළමු දවසෙම නාලන්දාවට ලොකු ආසාවක් ඇතිවුණා. නාලන්දාවේදී මට අනෙක් පාසල්වලදී වගේම කරුණාවන්ත ගුරුවරුන් මුණගැසුණා. මුලින්ම ගාමිණී අමරදේව ගුරුතුමා යටතේ සංගීතය හැදෑරුවා. ඒ වකවානුවේදී මගේ ගායන හැකියාවන් පෙන්නන්න වේදිකාවක් තැනුණා. සමස්ත ලංකා ජාතික තරග දිනල මං නාලන්දාව ජයග්‍රහණවලින් සැරසුවා. මෙහෙම කලක් ගෙවෙද්දී නාලන්දාවෙ ජනප්‍රිය චරිතයක් වුණා. මාව නාලන්දාවට ගත්තෙ එවකට විදුහල්පතිත්වය දැරූ එච්. යූ. ප්‍රේමතිලක ගුරු පියාණන්.

නාලන්දාවේදී මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ජයන්ත දිසානායක ගුරුතුමා යටතේ සංගීතය හදාරන්නත් හැකි වුණා. නාලන්දාවට පැමිණීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයම වුණා. මේ ජයග්‍රහණයට ප්‍රධානතම සාධකයත් එයමයි.

අපි ආයෙමත් මෑත අතීතයේ ගෙවූ අසීරු දිවියට යමු.

ඇත්තටම අපි දුප්පත් පවුලක්. සල්ලි යහමට නොතිබුණාට අපේ පවුලේ හයදෙනාම හිතින් පෝසත්. ඇත්තම කතාව කිව්වොත් ඒ දවස්වල තාත්තට මාව කොළඹ එක්කං එන්නවත් සල්ලි නොතිබුණු අවස්ථා තිබුණා. මගේ තාත්තගෙ සුළු ගඩොල් ව්‍යාපාරයෙන් තමයි අපි රැකුණේ. පුළුවන් හැම වෙලාවෙදිම අපි තාත්තගෙ ව්‍යාපාරයටත් උදවු කළා. නැතිබැරිකම්, අගහිඟකම් මට ජීවිතේට එච්චර දැනුණේ නැහැ. මං ඒව ගැන කොයි මොහොතකවත් හිතුවෙත් නැහැ.

මේ ගමන එන්න වුණත් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙ ඉඳල හැමදෙනාම උදවු කළා. නාලන්දාවේදී මට පොහොසත් මිතුරන්ගෙන් ගොඩක් උදවු ලැබුණා.

ඩ්‍රීම් ස්ටාර්... ඔබේ ජීවිතයට සමීප වෙන්නෙ මේ කාලෙ.

ඔව්... ගායන ලෝකෙ හැමදාම බැබළෙන දක්ෂ තරුවක් වෙන්න මට පුංචි කාලෙ ඉඳන් ඕන වෙලා තිබුණා. ඒක මගේ වටේ ඉන්න හැමෝම දන්නවා. මේ අතරේ සමන් කියල මගේ අයිය කෙනෙකුයි, පසන් කියල මිත්‍රයකුයි එකතු වෙලා තමයි මාව ඩ්‍රීම් ස්ටාර් තරගයට දැම්මෙ. එදා මට ලොකු චකිතයක් තිබුණා. මොනවවත් කරගන්න සල්ලි නොතිබුණ මට මේ තරගෙට යන්නවත් පුළුවන් වේවි ද කියල. මට වටේ හිටිය හැමෝම හැකි අයුරින් උදවු කළා. අවසානයේ හැමොගේම උදවුවෙන් ජයග්‍රහණයේ කිරුළ හිමි කරගන්නට ලැබීම සතුටක්.

ඔබේ තාත්තගෙ හීනය නේද මේ හැබෑ වුණේ...

ඇත්තටම... මගේ තාත්ත හොඳ ගායන හැකියාව තියෙන කෙනෙක්. විමුක්ති ගී කණ්ඩායමේත් ඔහු ගායනා කරල තියෙනවා. මේ කාරණා නිසා බොහෝ දේ අහිමි වුණා කියල තාත්ත මට කියල තියෙනවා. මං හැබෑ කළේ තාත්තාගේ හීනය. දැන් මට සතුටුයි. එදා වේදිකාවෙන් බිමට පැනල තාත්තගෙයි අම්මගෙයි කකුල් දෙක ඉම්බෙ ඒ සතුට දෝරෙ ගලන මොහොතෙ.

ඔබ දුප්පත් කියන කාරණය මාර්කට් කළා කියල ඇතැමුන් චෝදනා කළා නේද...?

ඔව්... එහෙම චෝදනා සමාජ වෙබ් අඩවිවල, සයිබරයේ තිබුණා. ඒත් මං මේ තරගය අවසන් වෙන මොහොත දක්වාම කිසිම තැනක මං දුප්පත් කියල නෑ. ඉතිං මං ඒක මාර්කට් කළා කියල චෝදනා කළේ මොන හේතුවක් නිසා ද කියල මං දන්නෙ නැහැ. මගේ ගායන හැකියාව ප්‍රදර්ශනය කරන්න මං උත්සාහ කළා. ඒකට ආදරේ කළ මගේ රටේ රසිකයො මං ගැන හෙව්වා. ඒ හෙව්වම මං දුප්පත් කියල දැනගෙන ඒ අය FB එකේ මං ගැන ලියල තිබුණා. මං බොහොම නිහතමානී චරිතයක්. බොහෝ දෙනා ඒ නිසාම මට ආදරේ කළා.

හරස් ප්‍රශ්නයක්... ඔය නිහතමානී ගතිගුණ තියෙන්නෙ තමන්ගෙ අරමුණ කරා යනකං විතරයි. බොහෝ රියැලිටි තරුවල අත්දැකීම එහෙමයි.

ඔව්... මම ඒක දන්නවා. එහෙම අය මටත් හමුවෙලා තියෙනවා. නමුත් මං නිහතමානී ගුණය මවා ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ පුංචි හිතේ තියෙන නිහතාමනී ගුණය හැමදාම මේ විදියට තියෙනවා. ඒක මට ඉර හඳ වගේම විශ්වාසයි. ජනප්‍රියත්වය තාවකාලිකයි. නිහතමානීත්වය සදාකාලිකයි.

ජීවිතය පටන්ගන්න මොහොතෙම ඔබ අතිවිශාල ත්‍යාග මල්ලක හිමිකරුවෙක්. මේ දේවල් කොහොම ද ජීවිතේට ගළපගන්නෙ.

ඒ ලැබුණු දේවල් මගේ ජීවිතේ ඇඳිල තිබුණු හීන. පුංචි කාලෙ මට බයිසිකලයක්වත් තිබුණෙ නෑ. මට තරගෙට එද්දී අපේ ගෙදර පොඩි ලොරියක් තිබුණා. කොළඹ හොස්ටල් ජීවිතේට පස්සෙ මං ජීවිතේ ගෙව්වෙ වතුවල. යාළුවන්ගෙ කාමරවල. මට ඉන්න කියල කොළඹ ස්ථිර තැනක් තිබුණෙ නෑ. ඉතිං මගේ හැම හීනෙම සැබෑ වුණා. අපේ පවුලට කාර් එකක්, ඉඩමක් වගේම තෑගිත් ලැබුණා. මේ හැමදේම අයිති මගේ පවුලෙ අයට. කොළඹ ගෙදරක් හදල පවුලෙ හැමෝම ගෙන්න ගන්න මට හීනයක් තිබුණා. තාත්තට කාර් එකක් අරන් දෙන්න තිබුනෙත් බලාපොරොත්තුවක්. මේ ලැබුණු හැමදේම ජීවිතේ යහපත් දේවල්වලට යොදා ගන්නවා. මට තවමත් බස් එකේ ගමට යන්න පුළුවන්.

මේ ජනප්‍රියත්වය අධ්‍යාපනයට යොදාගන්නෙ කොහොම ද?

ඇත්තටම තාත්ත නිතරම කියන්නෙ හොඳට ඉගෙන ගන්න කියල. මං කොළඹට ඇවිත් දුක් වින්දෙත් ඒ අරමුණට යන්න. නාලන්දාවෙ ගෙවෙන ජීවිතේ මට හොඳ අධ්‍යාපන වටපිටාවක් හදල තියෙනවා. හොඳින් ඉගෙන ගෙන සංගීතය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වීම තමයි මගේ හීනය. ඒ වගේම ලංකාවෙ සංගීත කලාවට නොමැකෙන දෙයක් කරන්න මං හිතාගෙන ඉන්නවා.

ඔබ ඉතා සංවේදී චරිතයක්. ධනුෂ්කගේ ඉවත්වීම ඔබට දරාගන්න බැරිවුණා.

ඇත්තටම ඔව්. ඒ වෙලාවෙ දැනුණ දුක මට හිතේ තද කරගෙන ඉන්න බැරි වුණා. මට ඇඬුණා. ඇතැම් දෙනා ඒක මවා පෑමක් කියලත් අර්ථකථනය කළා. අපේ තරගයේදී හැමෝම හිටියෙ සහෝදර සහෝදරියො වගේ. පැය දෙකකින් රූපවාහිනිය නරඹන පිරිස දැක්කෙ තරගයක්. ඒත් ඊට එහාට ගිය බැඳීම් අපි අතරේ තිබුණා. දෙරණ අපේ හිත් එකට යා කළා. මාස ගාණක් එකට ඉඳල අපි එක බත්පත බෙදාගෙන කන යාළුවො වුණා. ධනුෂ්කයි මමයි හිටියෙ එක කාමරේ. එදානම් මට ලොකු දුකක් දැනුණා. ධනුෂ්ක ඈතට යන දුක මට දරාගන්න බැරිවුණා.

ඉදිරිය කොහොම ද?

ඉදිරියේදී හොඳ ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ සංගීත ක්ෂේත්‍රයට මගෙන් ඉටුවිය යුතු සේවාව නොපිරිහෙලා ඉටු කරනවා. මට හොඳ සංගීතඥයෙක් වෙන්න මේ පිම්ම හොඳ සංධිස්ථානයක්.

අවසානයේ මොනව ද කියන්න තියෙන්නෙ.

ඇත්තටම හිතේ තියෙන්නෙ දරාගන්න බැරි සතුටක්. මේ සතුටට බොහෝ දෙනෙක් උර දුන්නා. මට මුල සිටම සංගීතය උගැන්වූ ගුරුවරුන්, නිකවැරටියේ මං වෙනුවෙන් මහන්සි වුණ නිදි මැරුව ජනතාව, ඒ වගේම මට හැමදේම ලබා දුන්න මගේ නාලන්දාවේ සියලුම දෙනාට, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට, ඒ වගේම මට විශාල ශක්තියක් වුණ නාලන්දාවේ වත්මන් විදුහල්පති රංජිත් දිසානායක මහතාට, මං වෙනුවෙන් එස්. එම්. එස්. ලබාදුන් හැම දෙනාටම, මට රූපවාහිනිය ඉදිරියේ ඉඳන් ආශිර්වාද කළ හැමෝටම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම දෙරණ නාළිකාවේ සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. තාත්තේ... අම්මේ... ඔය දෙන්නට ගොඩක් පිං... ඔය දෙන්න නිසා තමයි ජනිත් ඉද්දමල්ගොඩ ඉන්නෙ...


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්