කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»


ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

සියල්ල සිදු වූයේ සාහිත්‍ය ඇකඩමි සම්මානලාභී කණ්ණඩ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ අභිරහස් ඝාතනය සමඟ ය. නිදහස් මතධාරී ලේඛකයකු වූ හෙතෙම කණ්ණඩ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක් ද විය. උතුරු කර්ණාටකයේ කල්යාන් නගර්හි පිහිටි සිය නිවසේදී ම ඝාතකයන් විසින් ඔහු වෙඩි තබා මරා දමන ලද්දේ පසුගිය අගෝස්තුවේ අන්තිම ඉරු දින ය. මිය යන විට 77 වියේ පසුවූ මේ විද්වතා මිථ්‍යා විශ්වාසවලට එරෙහි ව ප්‍රසිද්ධියේ හඬ නැඟූවෙකි; විරෝධාකල්ප දැරූවෙකි. එහෙයින් ම ඔහුගේ ලිපි ලේඛන බොෙහා්වක් ආන්දෝලනයට තුඩු දුන් ඒවා විය. ඔහුගේ මෙම විවාදාත්මක ලියකියවිලි ඒ ඝාතනයට හේතු වන්නට ඇතැයි සැක කෙරුණි. ඉදින් ඝාතන චෝදනා පිළිබඳ ව ඇඟිල්ල දිගු කෙරුණේ ඒවා නොරිස්සු අන්තවාදී පිරිසක් වෙතට ය.

මේ ආරංචිය උතුරු කර්ණාටකයේ සිට මුළු මහත් කර්ණාටක ප්‍රාන්තය පුරා ද ඉනික්බිති කේරළය, තමිල්නාඩුව, දිල්ලිය, පන්ජාබය සහ බෙංගාලය දක්වා ද විදුලි වේගයෙන් පැතිරුණි. එය ඉන්දීය ලේඛක ප්‍රජාව මහත් කම්පනයට පත් කළ ආරංචියක් විය. මෙම ඝාතනය පිළිබඳ ව ඉන්දීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ මහා භාරකාරයා වූ සාහිත්‍ය ඇකඩමියේ නිහඬතාව ඔවුනට අදහාගත නොහැක්කක් විණ. සාහිත්‍ය සම්මාන ප්‍රදානය කරන අවස්ථාවන්හිදී, ජාතියේ පිනෙන් පහළ වූ පිරිසක් ලෙස මහ උජාරුවෙන් සාහිත්‍ය ඇකඩමිය හඳුන්වන මේ සාහිත්‍යධරයනට කිසියම් ආපදාවක්, පීඩාවක් සිදු වූ විට සාහිත්‍ය ඇකඩමිය දක්වන නිහඬතාව අනුමත කළ නොහැක්කක් බවට බොහෝ ඉන්දීය ලේඛකයෝ අදහස් දැක්වූහ.

හින්දි භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදෙන උදය ප්‍රකාශ් ලේඛකයා මේ පිළිබඳ ව ස්වකීය විරෝධය පළ කළේ ඉන්දීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ එතෙක් සිදු නොවූ මාදිලියේ සිදුවීමකට මුල පුරමිනි. ඔහු තමා ලියූ ‘මොහාන්දාස්’ ප්‍රබන්ධය වෙනුවෙන් 2010 දී සාහිත්‍ය ඇකඩමිය ප්‍රදානය කළ සම්මානය ද සම්මාන සළුව ද තමා ලද රුපියල් ලක්ෂයක ත්‍යාග මුදල ද පෙරළා සාහිත්‍ය ඇකඩමියට බාර දුනි. ඉන්දීය ලේඛකයන්ට කෙරෙන අතවර සහ අඩන්තේට්ටම් ගැන සාහිත්‍ය ඇකඩමියේ ඇදහිය නොහැකි නිහඬතාවට විරෝධය පළ කරමින් ඔහු මේ පියවර ගත් බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කළේ ය.

කණ්ණඩ මහචාර්යවරයාගේ ඝාතනය ගැන පමණක් නොව ඊට කලින් මරාති සහ කණ්ණඩ ලේඛකයන් දෙදෙනකුට ද මෑතක අත්වූ එයාකාර ඉරණම ගැන සාහිත්‍ය ඇකඩමිය කිසිදු පියවරක් නොගැනීම උදය ප්‍රකාශ් ලේඛකයාගේ දැඩි විවේචනයට ලක් විණැයි ඒ පුවත්පත සඳහන් කර තිබිණ. ජනප්‍රිය කෙටිකතාකරුවකු සහ කවියකු වූ උදය ප්‍රකාශ්ට අනුව: “මහ ලොකු උත්සව - සම්භාෂණ ලෑස්ති කර ගරුගම්භීර ආකාරයට සාහිත්‍ය සම්මාන ප්‍රදානය කරන සාහිත්‍ය ඇකඩමියට ඊට පසුව ලේඛකයා වැදගත් නැහැ. මතකත් නැහැ. මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් වූ විට ඒ ගැන සිත සැනසෙන වචනයක් හෝ කියන්නට ඔවුනට කිසිදු වුවමනාවක් නැති එක හරි පුදුමයි.”

ඉන්දීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ මහ ගෙදර ලෙස සැලකෙනුයේ ඉන්දියානු රජය විසින් 1954 දී පිහිටුවන ලද සාහිත්‍ය ඇකඩමියයි. විශිෂ්ට මට්ටමේ සාහිත්‍ය නිර්මාණ සඳහා දිරිගැන්වීම, ඒවා අගැයීම, රට පුරා විවිධ ප්‍රාන්තයන්හි පරිහරණය කෙරෙන විවිධ භාෂා අතර ඒකමතිකත්වයක් ඇති කිරීම ආදිය මෙහි පරමාර්ථ අතර වෙයි. මේ ආයතනයේ ප්‍රථම සභාපතිවරයා වූයේ ශ්‍රී ජවහර්ලාල් නේරු ය. ඉංග්‍රීසිය ඇතුළු ව ඉන්දියාවේ ප්‍රධාන භාෂා විසිහතරකින් ප්‍රකාශයට පත් කෙරෙන අති විශිෂ්ට ගණයේ කෘති සඳහා වාර්ෂික ව සම්මාන ප්‍රදානය කිරීම මේ ආයතනයේ ප්‍රධාන රාජකාරියක් වේ. මුල් ම සාහිත්‍ය සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ 1955 දීය. එකල සාහිත්‍ය ඇකඩමි සම්මානය සමඟ රුපියල් පන් දහසක ත්‍යාග මුදලක් පිරිනමන ලදී. දැන් ඒ ත්‍යාග මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නංවා ඇත. ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි සම්මාන ලාභියෙක් වීම වූකලි එරට සාහිත්‍යකරුවකුට ලැබිය හැකි ඉහළම ගෞරවයක් ලැබීම ලෙස සැලකේ. මීට ප්‍රධාන හේතුවක් වනුයේ ආරම්භයේ සිට ම සාහිත්‍ය කෘති විනිශ්චය කිරීමේලා වූ සාහිත්‍ය ඇකඩමියේ ස්වාධීන අනන්‍යතාවයි.

සාහිත්‍ය ඇකඩමිය ඉන්දීය රජයේ අනුග්‍රහය මත පිහිටුවනු ලැබූවක් වුවත් ඊට එහි කටයුතු ස්වාධීන ව කිරීමේ වරප්‍රසාද හිමි ය. හැරත් එහි සභාපතිට ස්වකීය අභිමතානුසාරී බලය භාවිත කළ හැකි අවස්ථා එමට ය. එහෙයින් ම එය දේශපාලන බලපුළුවන්කාරකම්වලට නතු නොවූ ස්වාධීන ආයතනයක් ලෙස කීර්තියට පත් ව තිබිණ.

සාහිත්‍ය ඇකඩමියේ මූලස්ථානය පිහිටා ඇත්තේ නවදිලිල්යේ ෆෙරෝෂා කොත්ලා පාරේ රබීන්ද්‍ර භවන් නම් වූ මහේශාක්‍ය පෙනුමකින් යුත් මන්දිරයේ ය.

රබීන්ද්‍ර භවන් මන්දිරය ඉන්දීය සාහිත්‍ය ඇකඩමියේ පමණක් නොව එරට සංගීත් නාටක් ඇකඩමියේ ද ලලිත් කලා ඇකඩමියේ ද මහගෙදර ය. මේ මන්දිරයට දෙතුන් වතාවක් ගොඩ වී ඇති මට ඊට ඇතුළුවන ස්ථානයේ මෙයාකාර දැන්වීම් පුවරුවක් තිබුණා මතක ය. “මේ ස්ථානයේ සිගරට් බීම තහනම්. සිගරට් බොන කෙනකු දුටුවහොත් ඇකඩමි තුනේ ලේකම්වරයකුට පැමිණිලි කරන්න.”

කණ්ණඩ මහාචාර්ය තුමාගේ ඝාතනය ගැන ඇකඩමියේ නිහඬතාවට මුලින් ම විරෝධය පෑවේ උදය ප්‍රකාශ් ලේඛකයා බව කලින් සඳහන් කෙරුණි. එය සිදුවී තවත් සති කීපයක් ගතවෙත්ම නයන්තරා සෙ(හ්)ගල් ලේඛිකාව සහ අශෝක් වජ්පෙයි නම් වූ ලේඛකයා ද එම ක්‍රියා පිළිවෙත ම අනුගමනය කළේ තමන් ලද සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු ඇකඩමියට ම බාර දෙමිනි. ඉන්දීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට නම් ඇති ශෂි දේශ්පාන්දේ සහ ක්‍රිෂ්ණා සොබ්ති ද ඊට එකතු වූයේ ඉන්දියාව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරමිනි.

දශක හයකට වැඩි සාහිත්‍ය ඇකඩමි ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් මීට කලින් කිසි විටෙක ඇති වී නැත. මේ හේතුවෙන් ඉකුත් ඔක්තෝබර් මස 23 දින හදිසි රැස්වීමක් කැඳවීමට සාහිත්‍ය ඇකඩමියට සිදු විණ. මේ අතර, සාහිත්‍ය ඇකඩමියේ කටයුතුවලට දේශපාලනය පූට්ටු නොකරන ලෙස සාහිත්‍ය ඇකඩමියේ සභාපති විශ්වනාත් ප්‍රසාද් තිවාරි එරට ලේඛකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. “ප්‍රතිවිරුද්ධ අදහස් පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ එක් ලක්ෂණයක්. ඊට කාටවත් විරුද්ධ වන්නට බැහැ. හැබැයි, තමුන්ට ප්‍රදානය කළ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙන කට්ටියට මා කියන්ට කැමතියි, මේ සම්මාන ඔහේලට ප්‍රදානය කළේ ආණ්ඩුව නොව ඔහේලාගේ ම ලේඛක ප්‍රජාව බව. එවැන්නක් දැන් ප්‍රතික්ෂේප කිරීමෙන් කවර පලක්දැයි බී. ජේ. පී. හි ජාතික ලේකම් සිද්ධාර්ත් නාත් සිං ප්‍රශ්න කළේ ය.

“මේ වගේ සිදුවීම් හුඟක් මීට කලිනුත් සිදු වුණා. නමුත් ඒ වෙලාවේ කවුරුවත් මේ වගේ කටයුතු කළේ නැහැ. හැරත් රටේ හදිසි නීතිය පනවා තිබූ අවස්ථාවේ මේ කවුරුවත් කට අරිනවා අපි දැක්කෙ නැහැ” යි එක් ඇමැතිවරයකු පැවසු බව පුවත්පත් වාර්තාවක දැක්විණ. කෙසේ වෙතත්, ලේඛකයන්ගේ මේ විරෝධතාව හේතුවෙන් මෙතෙක් ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කළ සාහිත්‍ය ඇකඩමිය දේශපාලන හස්තයට නතු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට තවත් සමහරු අනාවැකි පළ කළහ.

නයන්තරා සෙ(හ්)ගල් ලේඛිකාව ජවහර්ලාල් නේරුගේ ඥාති දියණියකි. ඇය තමා ලද සාහිත්‍ය ඇකඩමි සම්මානය ආපසු බාර දුන් අවස්ථාවේ ඇකඩමියේ ලොක්කා විශ්වනාත් ප්‍රසාද් තිවාරි කියා සිටියේ නයන්තරාගේ සම්මානලාභී කෘතිය සාහිත්‍ය ඇකඩමියේ අනුග්‍රහය මත ප්‍රාන්ත භාෂා ගණනාවකට පරිවර්තනය කිරීම හේතුවෙන් ඇයට අතිවිශාල ආදායමක් ලැබුණ බවත් හරි නම් ඇය එම ආදායම ද ආපසු ඇකඩමියට දිය යුතුව තිබුණු බවත් ය.

ඊට උත්තර දෙමින් නයන්තරා ලේඛිකාව තමා සාහිත්‍ය ඇකඩමි සම්මානය ලැබු කාලයේ මූල්‍යමය ත්‍යාගය රුපියල් විසිපන්දහසක් පමණක් වූ බවත් දැන් තමා රුපියල් ලක්ෂයක චෙක්පතක් ඒ වෙනුවෙන් ආපසු ඇකඩමියට බාර දුන් බවත් කියා සිටියාය. සාහිත්‍ය ඇකඩමිය පිලාත් මෙන් කටයුතු කරමින් තම වගකීමෙන් ඈත්වී අත් සෝදා ගන්නට වෑයම් කරන්නේ ලේඛකයන්ගේ භාෂණයේ නිදහස ගැන අබමල් රේණුවකවත් තැකීමක් නැතිව යයි ඇය තවදුරටත් කියා සිටියා ය.

ඉකුත් දෙසැම්බර් පළමු වන දින මෙරට ඉංග්‍රීසි පුවත්පත්වල මෙම සිදුවීම ගැන වාර්තා වූයේ ඉන්දීය ලේඛක - ලේඛිකාවන් 40ක් සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දුන් බවට වූ ආරංචිය ද සමඟ ය.

මේ අතර විශ්ව කීර්තිධර සාහිත්‍යකරුවන් වූ වික්‍රම් සෙත් සහ සල්මාන් රුෂ්ඩි ද ඉන්දීය ලේඛක හඬට ස්වකීය එකඟත්වය පළ කළහ. “සාහිත්‍ය ඇකඩමිය ලේඛකයන්ගේ ජිවිත ආරක්ෂාව සහ අදහස් පළ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට උනන්දු නොවන්නේ නම් මා ලද සාහිත්‍ය ඇකඩමි සම්මානය ආපසු ඔවුනටම බාර දීමට මා සූදානම්” වික්‍රම් සෙත්. ‘අවුට්ලුක්’ සඟරාවට අනුව සල්මාන් රුෂ්ඩි මේ ප්‍රශ්නය ජාත්‍යන්තර වේදිකාව කරා ගෙන ගොස් ඇත. මෙවර ෆ්රෑන්ක්ෆර්ට් පොත් සල්පිල ආරම්භ කිරීමට පෙර ඒ ගැන අදහස් දක්වමින් රුෂ්ඩි “මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ නිහැඬියාව තක්කඩි හැසිරීමට උල්පන්දම් දෙන්නකැයි පැවසූ විත්තිය එම සඟරාවේ දැක්විණ.

මෙම සමස්ත ක්‍රියාවලියේ අරුමය නම් මෙවැනි විරෝධතා දැක්වීමක් සඳහා ඉන්දීය ලේඛක - ලේඛිකාවන් අතර පොදු එකඟත්වයක් නොතිබීමයි; රැස්වීම්, සාකච්ඡා ආදිය නොපැවැත්වීමයි; කවුරුන් හෝ ලියා දෙන සටන් පාඨ අතැතිව කෑගසමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල නොයෙදීමයි. එසේ වූව, දුරින් සැතපුම් සිය ගණනින් ඈත්ව සිටියත් ඔවුන් සියල්ලෝම එක මතයක රැඳී උන්හ. ඒ ස්වකීය ලේඛක රැහේ අනෙකාගේ විපත්තිය වෙනුවෙන් කම්පා වීමෙනි; භාෂණයේ මෙන්ම ලේඛනයේ ද අයිතිය සුරැකීමට කැපවීමෙනි; ඒ වගේම රටේ සාහිත්‍ය මහගෙදර ඇත්තන්ගේ ඇස් - කන් ලේඛක ප්‍රජාවගේ වුවමනා එපාකම් සහ අයිතිවාසිකම් ගැන යොමු කරවීමෙනි.

“රටේ සමාජ පැවැත්මේ කිසියම් ශෝචනීය තත්ත්වයක් මතු වේ නම් ඒ ගැන මුලින්ම කඳුළක් හෙළනුයේ සාහිත්‍යකරුවායි. එනමුත්, එවැන්නකුට පැවැත්මක් ඇත්තේ නිදහසේ හුස්ම ගන්නට අවකාශ ඇති වාතාවරණයක පමණයි.” තමා ලද සාහිත්‍ය ඇකඩමි සම්මානය ආපසු බාර දුන් උර්දු කවියකු උපුට‍ා දක්වමින් ‘අවුට්ලුක්’ සඟරාව සඳහන් කර තිබිණ.

මේ සටහන ලියන අතරවාරයේ නවදිල්ලියේ සාහිත්‍ය ඇකඩමියට ගිය ගමන ගැන මට නැවත මතක් විණ. ඒ ස්ථානයේ පැවැති සරල එහෙත් මහේශාක්‍ය වටපිටාව ගැන නැවත මතක් විණ. නැවත වතාවක් මා එහි ගියෝතින් එම ගම්භීරත්වය එයාකාරයටම මට දැකගත හැකි වේ ද? පෙර කී සිදුවීම් ගැන අසන්නට ලැබීමත් සමඟ මට ඒ ගැන සැකසංකා ඇති විණ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්