සොඳුරු අභ්‍යවකාශයේ මොහොතක් සැරිසරමු!
සොඳුරු අභ්‍යවකාශයේ
මොහොතක් සැරිසරමු!
 පාසල් වියේදී ඔබත් ග්‍රහලෝකාගාරය නැරඹීමට පාසලෙන් ගිය විනෝද
චාරිකාවකදී සහභාගී වූවාට සැක නැත. ග්‍රහලෝකාගාරය දරුවන් පමණක් යායුතු
ස්ථානයක් නොවේ. වැඩිහිටියන්ට එයින් විශාල ප්‍රයෝජනයක් ලබාගත හැකිය. මීට වසර
10කට 15කට පෙරදීට වඩා ග්‍රහලෝකාගාරය අද ඉතා නවීන තාක්ෂණයෙන් සමන්විතය.
එනිසා විශ්වය, අභ්‍යවකාශය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව ඔබටත්
උදාවී ඇත.
සුන්දර අභ්‍යවකාශ චාරිකාවක අත්දැකීම විඳ ගැනීමේ අරමුණින් පසුගිය දිනෙක අප
කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි ග්‍රහලෝකාගාරය වෙත ගියෙමු. මෙය
පිහිටා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයට යාබදව පිහිටි පැරණි තුරඟ තරඟ පිටියේය.
ග්‍රහලෝකාගාර ගොඩනැඟිල්ල ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක දැකගත නොහැකි ආකෘතියක්
සහිත ගොඩනැඟිල්ලකි. මෙම ගොඩනැඟිල්ල පිළිබඳව ද ඇත්තේ ඉතා රසවත් කතා පුවතකි.
මෙහි නිර්මාතෘවරයා අප රටේ සිටි අතිදක්ෂ ඉංජිනේරුවරයෙකු වූ ආචාර්ය
කේ.එන්.එස්. කුලසිංහ මහතාය. 1958 - 1959 කාලයේදී ලංකාව තුළ බොහෝ කර්මාන්තයන්
බිහි විය. ටයර් කර්මාන්තය, වානේ කර්මාන්තය ඒ අතරින් කීපයකි.

ඒ වන විට රටේ
මිනිසුන්ගේ කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව තිබුණු අවබෝධය සහ දැනුම ඉතා අල්පය.
ජනතාවගේ කර්මාන්ත පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් කර්මාන්ත
ප්‍රදර්ශනයක් පවත්වන්නට රජය තීරණය කළේ ඒ නිසාය. ඒ සඳහා සුදුසුම බිම ලෙස තෝරා
ගත්තේ පැරණි තුරඟ තරඟ පිටියයි. ප්‍රදර්ශනයේ නියමුවන්ගේ අදහස වූයේ
ප්‍රදර්ශනය අවසන් වුවද, සැමදා ප්‍රදර්ශනය පිළිබඳ මතකය ජනතාවගේ සිත් තුළ
පැවතීම සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමය. එහිදී කරකැවෙන
භෝජනාගාරයක් නිර්මාණය කිරීමට මුලින් තීරණය විය. ඒ; ඒ වනවිට එවැනි
භෝජනාගාරයක් පිළිබඳ සංකල්පය යුරෝපය ඇතුළු රටවල ඉතා ජනප්‍රිය වී තිබූ
නිසාය.
එහෙත් අවසානයේදී තීරණය වූයේ ග්‍රහලෝකාගාරයක් ඉඳිකිරීමටය. එම
යුගයේ ග්‍රහලෝකාගාර සංකල්පය ඉතා දියුණු ලෙස පැවති නැඟෙනහිර ජර්මනියෙන්
අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ මෙවලම් ලබා ගැනීමට තීරණය විය. එහෙත්
ග්‍රහලෝකාගාර ගොඩනැඟිල්ල නිර්මාණය කිරීමේ වගකීම පැවරුණේ ආචාර්ය
කුලසිංහයන් හටය. පිටතින් බැලූ විට නෙළුම් මලක හැඩය ගත් මෙම ගොඩනැඟිල්ල නිමවා
ඇත්තේ කොන්ක්‍රීට් තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. රතු ඉන්දියානු ජාතීන්ගේ ශීර්ෂ
පළඳනාවේ හැඩය මෙම ගොඩනැඟිල්ල නිර්මාණය කිරීමේදී තමා උපයෝගී කරගත් බව
කුලසිංහ මහතා එක් අවස්ථාවක පවසා ඇත. 570 දෙනෙකුට එකවර දර්ශන නැරඹීමේ අවස්ථාව
මෙහි සතුය. මීට වසර 50කට පෙර එනම් 1965 වසෙර් කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වුණු
වසරේ නැඟෙනහිර ජර්මනියෙන් ගෙනා විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රය අද ද මනා ලෙස
ක්‍රියාත්මක වේ. ගොඩනැඟිල්ල තුළ ඉහළින් ඇති අර්ධ ගෝලාකාර තිරය මත කෘත්‍රිම අහස
නිර්මාණය වන්නේ ශාලාව මැද පිහිටි විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ආධාරයෙනි. මෙම
යන්ත්‍ර සූත්‍ර මඟින් අද අහස පමණක් නොව මීට දිනකට, සතියකට, මාසයකට
අවුරුද්දකට මෙන් ම අවුරුදු 25,000 ක් දක්වා ඉදිරියට ඇති අහසත් අවුරුදු
25,000 ක් දක්වා පසු දිනෙක අහසත් නිර්මාණය කළ හැකිය. එසේම අක්ශාංෂ, දේශාංෂ වෙනස්
කිරීමෙන් ලෝකයේ ඕනෑම රටකට පෙනෙන අහසත් අහසේ ග්‍රහලෝකාගාරය තුළදී නිර්මාණය
කළ හැකිය. ඊටත් අමතරව සූර්ය ග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, වල්ගාතරු, උල්කා වර්ෂා,
චන්ද්‍ර කලාව වැනි ස්වභාවික සිදුවීම් ද ඉතාම තාත්වික අයුරින් දර්ශනය කිරීමට
අවශ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර ග්‍රහ ලෝකාගාරය සතුය.
අප ග්‍රහලෝකාගාරය වෙත ගියේ බදාදා දිනෙක පෙරවරු 9.50 ට පමණය. ඒ වනවිටත්
පාසල් දරු දැරියන්ගෙන් ශාලාව පිරී පැවතිනි. ග්‍රහලෝකාගාරය තුළ අඟහරුවාදා
සිට සෙනසුරාදා දක්වා පෙරවරු 10.00 ට සහ පස්වරු 2.00 යනුවෙන් දිනකට දර්ශන වාර
දෙකක් පැවැත්වේ. සෙනසුරාදා දිනවල පමණක් මහජන දර්ශන පැවැත්වෙන අතර අනෙක්
දිනවල දර්ශන වාර පැවැත්වෙන්නේ පාසල් මඟින් වෙන්කරවාගත් දර්ශන වාරයන්ය.

විශ්වයේ චාරිකාවකට සහභාගීවීම සඳහා අපි පෙරවරු 9.50ට පමණ ග්‍රහලෝකාගාරය
තුළට පිවිසුනෙමු. හරියටම පෙරවරු 10.00 ට සීනුව නාදවී දර්ශන වාරය ආරම්භ විය.
පැයකට වැඩි දර්ශන කාලයෙන් පළමු අර්ධය වෙන්වී ඇත්තේ මිනිසා අභ්‍යවකාශය ජය
ගැනීමට ගත් උත්සාහයන්, සඳමත පා තැබීම වෙනත් ග්‍රහලෝක ගවේසණය වැනි සිදුවීම්
පිළිබඳ තොරතුරු ගෙන එන්නටය. එහිදී එම සිදුවීම් හා සම්බන්ධ සත්‍ය දර්ශන මෙන් ම
ග්‍රැෆික් නිර්මාණයන් ද ඉතාම සාර්ථක ලෙස උපයෝගී කරගෙන ඇත. යොදාගෙන තිබෙන්නේ
අති නවීන ශබ්ද රටාවන්ය. ආසනය මත හිඳගෙන ඉහළ දෙස බලා සිටින අපට දැනෙන්නේ
අභ්‍යවකාශයේ සිටින්නාක් වැනි හැඟීමකි. ත්‍රිමාන චිත්‍රපටයක ආකාරයෙන්
ඉහළින් රූප දර්ශනය වන විට පසුබිමින් ඒ පිළිබඳව සිංහල බසින් කෙරෙන විස්තරය
සවනට ඇසේ.
අභ්‍යවකාශය ජය ගැනීමට මිනිසා දැරූ උත්සාහයේ මූලික අවස්ථාවේ සිදුවීම් වලින්
පසුව පෘථිවි වායු ගෝලයෙන් එතෙර වන්නට මිනිසා ගත් උත්සාහය පිළිබඳ කතාව ගෝලාකාර
තිරය මත සටහන් විය. ඒ 1961 අප්‍රේල් 12 වැනිදාය. සෝවියට් දේශය මඟින් වොස්ටොක් -
1 යානය අභ්‍යවකාශගත කළේ එදාය. එහි අභ්‍යවකාශ ගාමියා වූයේ යුරි ගගාරින්ය.
ස්වල්ප වේලාවකින් යුරි ගගාරින් පාලක මැදිරිය ඇමතීය.
“යානය හොඳින් ඉදිරියට ඇදෙනවා. හැමදේම හොඳින් සිදුවෙනවා. යානය තවතවත්
ඉදිරියට ඇදෙනවා. මට දැන් පෘථිවිය පෙනෙනවා පෘථිවිය ඉතා අලංකාරයි. මම දැන්
දිගටම ගමන් කරනවා. මම දැන් ඉන්නේ ඇමරිකාවට ඉහළින්. මෙම හඬ පෘථිවි පාලක
මැදිරියට හොඳින් ශ්‍රවණය විය. ලොව පළමු අභ්‍යවකාශ ගමන නිමවා ගගාරින්
පෘථිවියට එන්නට සූදානම් විය. පෘථිවියට ආසන්න වත්ම යානයේ රොකට් යන්ත්‍රයේ
දෝෂයක් නිසා යානය අධික ලෙස කරකැවෙන්නට විය. බොහෝ දෙනෙකු සිතුවේ ගගාරින්ගේ
ජීවිතය අනතුරේ බවය. එහෙත් ගගාරින් පැරෂුටයක ආධාරයෙන් ගොවිපලක් අසලට පතිත
විය. ගගාරින් හොඳින් සිටිනු දුටු ප්‍රේක්ෂකයින්ගේ සිතට දැනුණේ මහත්
අස්වැසිල්ලකි.
ඇපලෝ 11 යානය සඳ මතට ගොඩ බස්වා නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබූ දර්ශනය කාගේත්
හදවතට දැනුණු තවත් දර්ශනයක් විය. නීල් ආම්ස්ට්‍රෝන්, ඕල්ඩ්‍රින් සහ මයිකල්
කොලින්ස් සඳ මතට ගොඩ බැස්සේ 1969 ජූලි 21 වැනිදා ය. එහිදී නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත
පා තබමින් පැවසූ “ මෙය මිනිසකු ගේ එක් කුඩා පියවරක් පමණි. එනමුත් මෙය මිනිස්
සංහතියම ඉදිරියට තැබූ යෝධ පිම්මක් වනු ඇත.” යන වදන් පෙළ ඇසුණු විට කාහටත්
දැනුණේ ජයග්‍රාහී හැඟීමකි.

ඉන්පසුව සඳ මතට ගිය ගමන් වාරවලදී අභ්‍යවකාශගාමීන් විශේෂ යානා මඟින් සඳ මත
ගමන් කරන විට අපට ද දැනුනේ අප සඳ මත ඇවිද යන්නාක් මෙන් හැඟීමකි.
දර්ශන වාරයේ දෙවැනි කොටස ආරම්භ විය. එහිදි ග්‍රහලෝකාගාරය මැද පිහිටුවා ඇති
විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රය උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කළ දර්ශන ඉතා
අලංකාරවත් විය. ඉහළින් රාත්‍රී අහස දිස්වන විට ඒ පිළිබඳව විස්තර කළේ,
ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කුමුදිනී කෝරලගම මහත්මියයි.
ශාලාව කෙමෙන් අඳුරු වන්නට විය. අපගේ හිසට ඉහළින් දිස්වූයේ එදින රාත්‍රි 7.00 පමණ
දැකගත හැකි අහසය. ඉන්පසුව තවත් රාත්‍රිය උදාවන විට කෙමෙන් අහසේ තරු සංඛ්‍යාව
වැඩි වන්නට විය. එහිදි තරු රටා, තාරකා රාශි පිළිබඳව දැනුමක් ලැබෙන ආකාරයෙන්
පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කෙරිණි. එසේම චක්‍රාවාට, වල්ගාතරු, උල්කාපාත
වර්ෂා, කෘත්‍රිම චන්ද්‍රිකා ආදිය පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කෙරිණ. බොහෝ
දෙනෙකුගේ සිත් ගත් තවත් අංගයක් වූයේ සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ පිළිබඳව
කෙරුණු ඉදිරිපත් කිරීමටය. පසුදා පහන්වනතුරු පවතින රාත්‍රී අහසත්, එහි තරු
රටාත් දැක ගැනීමෙන් අපට ලැබුණේ ඉතා කොටි කාලයක් තුළ මුළු රාත්‍රියකම අහස දැක
ගැනීමේ දුර්ලභ අවස්ථාවය. අඳුර පහවී නැඟෙනහිරින් සූර්යාගේ උදාව දර්ශනය වන විට
කාටත් දැනුණේ රැයක් ගෙවුනාක් වැනි හැඟීමකි.
අප වාඩිවී සිටි අසුනින් නැගී සිටියේ අභ්‍යවකාශ චාරිකාවකට සහභාගිවූ හැඟීමක්
මෙන් ම එහිදී ලබාගත් දැනුම ද සිතේ රඳවාගෙනය.
ගාමිණී සුසන්ත
ඡායාරූප - මහින්ද විතානච්චි
|