සිනා කතා
සිනා කතා
ලයින් එක එන්ගේජ්
හදිසියේ තම නිවෙස අසලට පියඹා පැමිණි ගිරවකු අල්ලා ගත් චමිල ඌ කූඩුවක දමා නිවෙස
ඉදිරිපිට අඹ ගසේ අත්තක එල්ලා තැබුවේ ය. ගිරවා කතාබහ ඉගැන්වීමට සිතූ චමිල
දිනක් ගිරා කූඩුව අසලට ගොස් මෙසේ කීවේ ය.
“පෙත්තප්පු හලෝ... පෙත්තප්පු හලෝ...” එහෙත් ගිරවා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා
කිරා වැටෙනු දුටු චමිල නැවතත් මෙසේ කීවේ ය.
“පෙත්තප්පු හලෝ... හලෝ...” ගිරවා ඒ ඇමතුම කනකට නොගෙන දෑස් පියා ගෙන ම සිටියේ ය.
“පෙත්තප්පු හලෝ... හලෝ...හලෝ...” චමිල එවර මඳක් උස් හඬින් ගිරවාට කතා කළේ ය.
“තමුසෙ දිගටම හලෝ... හලෝ... කියල බෙරිහන් දුන්නට වැඩක් නැහැ. ලයින් එක එන්ගේජ්
වෙන්ඩ ඇති” ගිරවා බාගෙට ඇහැක් ඇර කීවේ ය.
දවස් තුනට තුන් දෙනෙක්
හික්කඩුවේ සංචාරක හෝටලයකදී චිකන් සුප් බඳුනක රහ බැලූ විදෙස් සංචාරකයා
එමඟින් ඔහුට දැනුණු රසයෙන් පිනා ගොස් හෝටලයේ කළමනාකරු හමුවී එම හෝටලයේ
කෝකියා මුණ ගැසීමට කැමැත්ත පළ කළේ සුප් බඳුන් රස වර්ණනා කරමිනි. කළමනාකරු වහාම
කෝකියා සංචාරකයා වෙත පැමිණ වී ය. කෝකියාට තම සුරත දිගු කරමින් සුබ පැතූ
සංචාරකයා මෙසේ කීවේ ය.
“මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. ඒත් කවදාවත් ඒ කොයිම රටකදීවත් මේ
තරං රස සුප් එකක් බීලා නැහැ. මම තව දවස් තුනක් මෙහේ ඉන්නවා. මට හැමදාම හවසට මේ
සුප් එකක් බොන්ඩ පුළුවන් නේද?”
“සර්. මෙයාට මේ රසටම සුප් එක ඕනෑ වෙන හින්දා දවස් තුනට මට කැරෙපාත්තො තුන්
දෙනෙක් ඕනෑ කරනවා. මොකද අද මේ සුප් එක හැඳි ගාද්දියි මම දැක්කෙ ඒකට කැරපොත්තෙක්
අහම්බෙන් වැටිලා තියෙනවා” කොකියා කළමනාකරු දෙස බලා සිංහලෙන් එසේ කීවේ ය.
ඒක පොලිසියේ වැඩක්
පොලිසිය ඉදිරිපිට ඊට අයත් භූමි භාගය තුළ මැරී වැටී සිටි බල්ලකු දුටු මහජන
පැමිණිලි භාර ගැනීමේ සේවයේ යෙදී සිටි පොලිස් භටයා වහාම අසල පිහිටි නගර සභා
කාර්යාලයට දුරකථන ඇමතුමක් දෙමින් මෙසේ කීවේ ය.
“හලෝ මේ කතා කරන්නෙ පොලිසියෙන්. අපේ පොලිසිය ඉස්සරහ බල්ලෙක් මැරිලා.
කවුරුහරි එවලා පුළුවන් තරං ඉක්මනට ඌව එතැනින් අයින් කරනවද?”
“දඩාවතේ යන බල්ලෙක් මළානං කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ඒ මළ කුණ ඉවත් කරන්න
පුළුවන්. මැරිලා තියෙන්නෙ පොලිස් ඉඩමෙදි හින්දා ඌ පොලිස් බල්ලෙක් වෙන්ඩත් බැරි
නැහැ නේද? එහෙම නං මරණ පරීක්ෂණයක් තියන්ඩ වෙනවනෙ. එහෙම පරීක්ෂණයක් කරලා
බල්ලා වළලන එක අයිති පොලිසියටනෙ...” එහා පැත්තෙන් පිළිතුරු ලැබිණ.
වැරැදීමක්
කැතරින් පල්ලිය වෙත ගොස් එහි දේවගැති වරයා හමුවී තමා විසින් සිදුකරන ලද පවක්
සමාකර ගැනීමට අවශ්‍ය බැව් පැවසුවා ය.
“මොකක්ද ඔබ ඔය කියන පව?” දේවගැතිතුමා ඇයගෙන් විමසීය.
“ස්වාමීනි මම හැමදාම උදේට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගේ රූපය දිහා බලලා මම කොයි
තරම් ලස්සන ද කියල උඩගු විදියට හිතනවා” කැතරින් කීවා ය.
“දරුවා, ඒක පවක් නෙමෙයි. ඒක ලොකු වැරැදීමක් විතරයි.” දේවගැතිවරයා පැහැදිලි
කළේ ය.
දැන් මොකටද?
රාජ්‍ය සංස්ථාවක යතුරු ලියන්නකු ලෙස පත්වීමක් ලද කොළඹගේට තම සේවා ස්ථානයෙන්
සුදුසු පුටුවක් සහ මේසයක් ලැබුණ ද හේ ඉතා මිටි පුද්ගලයකු වූ බැවින් දෙපා රඳවා
ගැනීම පිණිස උස් පා රඳවනයක අවශ්‍යතාව තදින් දැනිණ.
අනෙක් යතුරු ලියන්නන්ට මෙන් ම තමාට ද පා රඳවනයක් ලබාදෙන ලෙස ඉල්ලා හේ සැපයුම්
අංශයට ලිපියක් යැවී ය. යතුරු ලියන අංශයේ ඔහුගේ පුටුවට හා මේසයට අදාළ ය.
රඳවනයට කුමක් වීදැයි විමසමින් ඊට පිළිතුරක් ලැබිණ. තමා හට භාරදුන් මේසය හා
පුටුව සමඟ හා රඳවනයක් නොවූ බැව් හේ ලියා යැවී ය. එසේ නම් ඔහුට පුටුව හා මේසය
පමණක් ප්‍රමාණවත් නොවන්නේ දැයි විමසීමත් ඒ සඳහා කොළඹගේට ලැබිණ. පා
රඳවනයක් නොමැති වීමෙන් රාජකාරි කටයුතු කිරීමේදී ඇතිවන බාධා සහ අපහසුතා
පිළිබඳව ඔහු ලියා යැවී ය.
මෙසේ පා රඳවනයක අවශ්‍යතාව පිළිබඳ ලිපි ගනුදෙනුව දිගින් දිගටම ඇදී යාමේ
හේතුව මත කොළඹගේ පසුව එම ඉල්ලීම අත්හැර දැමී ය. මාස කීපයකට පසු පා රඳවනය
පිළිබඳ ඉල්ලීම අත්හැර දැමීම පිළිබඳව සැපයීම් අංශයෙන් විමසීමක් කෙරුණි.
කොළඹගේ එම ලිපියට මෙසේ පිළිතුරු ලීවේ ය.
පා රඳවනයක අවශ්‍යතාවය දන්වා දැනට කලකට පෙර මා ඔබ අංශය වෙත යොමු කළ ලිපියේ
පටන් ඊට අදාළව මා විසින් කරන ලද විමසීම් සහ ඊට මවිසින් ලබාදන ලද පිළිතුරු
ඇතුළත් ඉතා විශාල ලිපි ගොනුව පා රඳවනයක් ලෙස දැනට මා පාවිච්චි කරන බැවින් දැන්
පා රඳවනයක අවශ්‍යතාවයක් පැන නොනඟින බැව් දන්වමි.
එඩ්වඩ් චන්ද්‍රසිරි
|