බොහෝ ගීත ලියැවුණේ මගේම අත්දැකීම්වලින්
බොහෝ ගීත ලියැවුණේ
මගේම අත්දැකීම්වලින්
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා කුසුම් පීරිස්

හෙටත් සුපුරුදු වේලාවටම ඔබ හමුවුණ තෙක් ඔබෙන් සමුගන්නා මා ඔබේ දයාබර
කුසුම් පීරිස්” මීට දශක දෙකකට පමණ පෙර ගුව න්විදුලිය ඔස්සේ නිතර ඇසුණු මේ වදන්
පෙළ, ඒ හඬ ඔබේ මතකයේ තවමත් රැඳී ඇතිවාට සැකයක් නැත. ඒ; එම ඇමැතීම එම හඬ
එතරම්ම ළෙන්ගතු වූ නිසාය. ඇය ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා කුසුම් පීරිස්.
කුසුම් පීරිස් ගුවන් විදුලි නිවේදිකාවක පමණක් නොවේ. ඇය දක්ෂ ගී පද
රචකාවියකි; ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියකි. පසුගිය දිනෙක අප ඇය හමු වූයේ ඇය
පිළිබඳ නවතම තොරතුරු සොයා බලන්නටය.
“මගේ ගම වත්තල එඬේරමුල්ල. පාසල් ගියේ කැලණියේ ගුරුකුලයට. නිළි රැජින මාලිනී
ෆොන්සේකා හිටියේ මගේ පන්තියේමයි. ගුරුකුලය කලාකරුවන් විශාල පිරිසක් බිහිකළ
පාසලක්. පාසල් යන කාලෙ ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පීන් බඳවා ගැනීමේ පරීක්ෂණයක්
තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. එහි පරීක්ෂණයට ගියාම එයින් විශිෂ්ට
ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිනියක් ලෙස සමත්වෙන්න මට හැකි වුණා. ඒ; 1965 දී. ඉන් පසුව
මම ගුවන් විදුලියේ ‘මොනරතැන්න’, ‘මුවන්පැලැස්ස’, ‘ගුවන්විදුලි රඟමඬල’,
‘කුඹුරේගම’, ‘මකරාගේ තානායම’ වැනි නාට්‍යවල රඟපෑවා. මුවන්පැලැස්ස නාට්‍යයේ
සපුමලීගේ චරිතය වගේම සිළිඳිගේ චරිතයක් කළේ මම. මොනරතැන්නේ සදා මම.
සුගන්ධිකා නාට්‍යයේ සුගන්ධිකාගේ චරිතය කළේත් මම. පසු කාලෙක මම ‘පහන් තරුව’
නාට්‍ය රචනා කරමින් රඟපෑවා.”
“1972 අවුරුද්දේ ගුවන් විදුලියට සහන නිවේදකයින් බඳවාගන්නා බව දැනගන්න
ලැබුණා. එයට ඉදිරිපත් වුණාම එයිනුත් මම ඉහළින්ම සමත් වුණා. මාත් එක්ක එදා ගුවන්
විදුලි සහන නිවේදක නිවේදිකාවන් ලෙස තේරුණ අනෙක් සහෝදර ශිල්පීන් ශිල්පිනියන්
තමයි, ඉන්ද්‍රා රාමනායක, තිලකා රණසිංහ, මාලා වජිරා පෙරේරා, සමදරා කෝට්ටගේ,
ආරියසිරි විතානගේ, ඩග්ලස් රණසිංහ, සෝමසිරි චන්ද්‍රසේන සහ මයිකල් පීරිස් යන
අය.
“ගුවන් විදුලියේ වැඩ සටහන් ගණනාවක් මම ඉදිරිපත් කළා. ලලනා සඳැල්ල, සහන් සේවය,
සොඳුරු සෙවන වැනි වැඩ සටහන් විශේෂයි. ගුවන් විදුලිය තුළදී දයා ද අල්විස්, රත්නා
ලංකා අබේවික්‍රම වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ලැබුණු සහයෝගය ඉතා විශාලයි. මම
වැඩියෙන්ම කළේ වෙළෙඳ සේවයේ වැඩසටහන්.”
“මගේ ආදරණීය සැමියා මට මුණ ගැසුණෙත් ගුවන් විදුලියේදී. ඔහු ගුවන් විදුලි
වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සේවය කළ නෙල්සන් පීරිස්. අපිට දරුවො
තුන්දෙනයි. ලොකු දුව වගීෂා මේ වන විට ලංකාවේ ජාත්‍යන්තර පාසලක සේවය කරනවා.
දෙවැනි දුව තමාලි පීරිස්, එයා මේ වන විට ස්කොට්ලන්තයේ එඩිම්බරා නාගරික
කවුන්සිලයේ වැඩ කරනවා. පුතා රජිත් මේ වන විට නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ
සේවය කරනවා. තමාලි කාලයක් ලංකාවේ ගුවන් විදුලි නාළිකාවක නිවේදිකාවක ලෙස වැඩ
කළා. 2004 අවුරුද්දේ මම ගුවන් විදුලියෙන් සමුගත්තා. ඉන් පසුව මම රූපවාහිනී
වැඩසටහන්වල හඬ කැවීමේ ශිල්පිනියක ලෙස වැඩ කළා. ඒ වගේම ශ්‍රී එෆ්. එම්.
ආයතනයේ චාරුක සහ රයන්ගේ ආරාධනයකට අනුව කලක් එහි නාට්‍ය අංශයේ නියාමන
නිලධාරිනිය ලෙස වැඩ කළා. දැන් මම පූර්ණ කාලීනව රැකියාවක නිරත නොවුණත් ලැබෙන
ආරාධනයන් අනුව වැඩ සටහන්වලට දායක වෙනවා.”
කුසුම් පීරිස් යනු දක්ෂ ගීත රචිකාවියකි. ඇය අතින් ලියැවුණු ගීත සමාජයේ ඉතා
ජනප්‍රියය. ඇය ලියූ බොහෝ ගීතවලට පාදක වී ඇත්තේ ඇය විඳි අත්දැකීම් හෝ ඇයගේ
සමීපතමයින් විඳි අත්දැකීම්ය. අපි ඇයගෙන් තම ගීත රචනා පිළිබඳව විමසා
සිටියෙමු.
“මම ගීත රචිකාවියක් වුණේ හරිම අහම්බෙන්. එහි ගෞරවය හිමිවෙන්න ඕන නිරංජලා
සරෝජනී සොයුරියට. ගුවන් විදුලියේ අපට වැඩසටහන් ඉදිරිපත් කරන්න තිබුණේ ‘වැඩ
මුර’ ක්‍රමයට. දවසක් මම මගේ වේලාව එන තෙක් ගුවන් විදුලියේ විවේකාගාරයේ තනිවම
සිටියා. වෙලාව සවස 6.00 ට විතර ඇති. මම සිටි තැනට ගුවන් විදුලියේ මැද මිදුල පේනවා.
ඒ මැද මිදුලේ මල් පිරෙන්න පිපිලා තිබුණා. මගේ හිතට හුදකලා බවක් දැනුණා. ඒ වන විට
මම කවදාවත්ම ගීතයක් ලියලා තිබුණේ නෑ. හැබැයි පාසලේදී නිසදැස්නම් ලියලා
තිබුණා. මම තනියම හිටිය ඒ සුන්දර හැන්දෑවේ ළඟ තිබුණු කඩදාසියක ‘නිසංසලේ මා
තනියෙන්’ කියලා ලිව්වා. මේ වගේ වෙලාවක ආදරවන්තයින්ට නම් තනිකමක් දැනෙන්නේ
නෑ නේද කියලා මට හිතුණා. ඊළඟට මට ලියවුණා ‘තනියම ඔබෙ සිත ළඟටම ඇවිදින්’ කියලා.
ඊළඟට මම ලිව්වා ‘නිසංසලේ ඔබ තනියෙන්, තනියට මගෙ සිත ළඟටම ඇවිදින්’ යනුවෙන්.
කොහොමහරි දිගට පද පේළි කීපයක් ලියැවුණා. ඔය වෙලාවේ නිරංජලා නංගි ඒ කාමරයට
ආවා. ඇවිත් ‘අක්කෙ මොකක්ද ඔය කොළ කෑල්ල’ කියලා මගෙන් ඇහුවා. මම ලියපු දේ පෙන්නුවා.
“අනේ... හරි ලස්සනයි අක්කේ” කියලා නිරංජලා මට කිව්වා. ඉන් පසුව නිරංජලාත්
අබේවර්ධනත් කළ සරල ගී වැඩසටහනකදී ඒ පද පේළි ටික ගීතයක් බවට පත්වුණා.”
“රූපා ඉන්දුමතී ගායනා කරන ‘ලොවක් බලන් නට හිමි වූ දෙනෙතින් - දෙනයන හැඳින්නෙමි’
ගීතය ලියවුණේත් අහම්බෙන්. මමත් නෙල්සනුත් විවාහ වෙලා දුවල දෙන්න ලැබුණාටත්
පස්සේ මට ලොකු ශල්‍යකර්මයක් කරන්න වුණා. දවස් ගණනවක් රෝහලේ ඉන්න වුණා. දුවලා
දෙන්නත් බලාගෙන ගෙදර වැඩත් කරගෙන උදේම මාව බලන්න රෝහලට එනවා. උදේත් මගෙ ළඟ ඉඳලා,
දවලුත් ඉඳලා සවසත් මට සාත්තු කරලා තමයි නෙල්සන් ගෙදර යන්නේ. මේ සෙනෙහස මගෙ හිතට
පුදුම විදියට දැනුණා. ‘ලොවක් බලන්න’ ගීතය මට ලියවුණේ රෝහලේ ඇඳේදි.”
යමුනා විනෝදනී ශිල්පිනිය ගායනා කරන ‘අසුරු සැණින් - එක මොහොතකදී’ ගීතය කුසුම්
පීරිස් අතින් ලියැවුණු අපූර්ව ගීතයකි. එම ගීතය ලිවීමට හේතු වූ කාරණය ද ඉතා
අපූර්වත්වයෙන් යුතු වූ සිදුවීමකි.
“ඒ දවස්වල ගුවන් විදුලියේ අපිත් එක්ක වැඩ කළා තරුණ ගෑනු ළමයකුයි පිරිමි
ළමයකුයි. අපි කට්ටියම ඉතාම සමීපවයි ඇසුරු කළේ. කෑවේ බිව්වේ එකට. මේ පිරිමි
ළමයා අර ගෑනු ළමයට ඉතාම කැමති බවත් හිතින් ආදරය කරන බවත් ඒ ගෑනු ළමයත් පිරිමි
ළමයට කැමැති බවත් ළඟින් ඇසුරු කරන අපි දැනගෙන හිටියා. නමුත් මේ දෙන්නා තමන්ගේ
හැඟීම් එකිනෙකාට කියන්න ඉදිරිපත් වුණේ නෑ. ලැජ්ජාව නිසා වෙන්න ඇති. මෙහෙම කාලය
ගෙවිලා යන විට දවසක් අපි කට්ටියම දවල් කෑම කන අතරේ අර ගෑනු ළමයා කිව්වා එයාට
ගෙදරින් විවාහ යෝජනාවක් ඇවිත් තියෙන බව. ඒක අහලා ටික වේලාවකින් පිරිමි ළමයා
නැගිටලා ගියා. ඉන් පසුව ඒ ගැන කතා වුණේ නෑ. කොහොමහරි ඒ ගෑනු ළමයට ගෙදරින් ආව
යෝජනාවට කැමති වෙන්න සිදු වුණා. එයා විවාහ වුණා. මඟුල් ගෙදර දවසේ අර පිරිමි ළමයා
මට ගුවන්විදුලියේදී හමු වුණා. එයා තමන්ගේ අතේ මහපට ඇඟිල්ලෙනුත්
මැදැඟිල්ලෙනුත් ශබ්දයක් පිට කරමින් කිව්වා ‘අපරාදෙ... මම එයාට හිතින් ගොඩක්
ආදරය කළා. මට ඒක කියාගන්න බැරි වුණා. ඔය තීරණය අද හරි වෙනස් කරන්න පුළුවනිනම්
මම එයාව විවාහ කරගන්නවා’ කියලා. ඒ සිදුවීම මගේ සිතට තදින්ම දැනුණා. ඒ සිදුවීම
පසුබිම් කරගෙනයි අසුරු සැණින් ගීතය මගෙ අතින් ලියැවුණේ. ඒ පිරිමි ළමයා අද
මැදිවියේ කෙනෙක්. ඔහු අදත් අවිවාහකයි.”
ගාමිණී සුසන්ත
ඡායාරූප - මහින්ද විතානච්චි
|