පිළිකා රෝගීන්ගේ පිහිටට සවුරාබ් දුම්රියේ ගිටාර් වයයි
පිළිකා
රෝගීන්ගේ පිහිටට
සවුරාබ් දුම්රියේ ගිටාර් වයයි
‘බිග් බී'ත් සවුරාබ් සමඟ එකතු වෙයි

සවුරාබ් ඇතුළු පවුලේ අයගේ ජීවිත කණපිට පෙරළුණේ ඔවුන්ගේ මව ලේ පිළිකාවකින්
පෙළෙන බවට වෛද්‍යවරුන් දැනුම් දුන් දිනයි. දුකින් සුසුම් හෙළමින් වුව එදා පටන්
ඔවුන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළේ මවගේ අසනීපය සුවකර ගැනීමටයි. ඒ
2013 වසරයි. සවුරාබ්ගේ මව ඉන්දියාවේ මුම්බායිහි කිංග් එඩ්වඩ් අනුස්මරණ රෝහලේ
පිළිකා වාට්ටුවට ඇතුළත් කෙරුණා. එදා සිට ඔවුන්ගේ කාලයෙන් වැඩි හරියක් ගෙවුණේ
රෝහල අසලයි. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ඈත ගම්බද පළාත්වල සිට මෙහි ප්‍රතිකාර සඳහා
දහස් ගණනක් දිනපතා ඇදි එනවා. ඒ එන පිරිස අතර රෝගීන් පමණක් නොවෙයි රෝගීන් සමඟ
පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් ද සිටිනවා. සවුරාබ්, ඔහුගේ සහෝදරයා සහ මාමා ඉන් කීප
දෙනකු පමණයි. මාස හතරක් තිස්සේ එක දිගට රෝහල අසල ගතකරන එක සුළුපටු දෙයක්
නොවෙයි.
මුම්බායි රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර සඳහා වැය වන මුදල ඉතා ඉහළයි. රෝහලට එන
වැඩි දෙනෙක් ඉතාමත් දුප්පත් ජනතාව. ඔවුන්ට රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා වුව වැය කළ
යුතු මුදල් කන්දරාව දරා ගන්න බැරි තරම්. සවුරාබ් ලා වගේම ඈත එපිටින් එතැනට එන
හැමෝම එන්නෙ තමන්ගෙ ඥාතියාගෙ ජිවිතය කොහොමහරි ගොඩ දාගන්න අදහසිනි. එදා වේල
හොයාගෙන ජීවත්වෙන මේ උදවියට රෝහල ළඟ දිනයක් වුව ගත කිරීම ඉතා අපහසු කාර්යක්.
රෝහලේ රෝගීන්ට සහන සැලසීම සඳහා විවිධ අරමුදල් තිබුණත් බොහෝ විට ඉන් ලැබෙන මුදල්
යැවෙන්නේ කෙළින්ම රෝගියාගේ ඖෂධ සඳහා රෝහල් ගිණුමටයි. එහෙත් උදේ හිටන් රෑ වනතුරු
රෝහල ළඟ ඇණ තබාගෙන ඉන්නා ඥාතීන්ගේ අතට පනමක් දෙකක් දෙන්නේ කවුද? ඒ අයට අතේ තියෙන
තුට්ටු දෙක ඉවර වෙනතුරු හූල්ලමින් බලා ඉන්නවා හැර කරන්න දෙයක් නැහැ.
උදේට රැකියාවට ගිහින් හවසට මව ළඟට එන සවුරාබ් මේ සියල්ල හොඳින් නිරීක්ෂණය කළේ
මේ ගැන තමන්ට කරන්න දෙයක් ඇත්දැයි සිතමින්.
“බේතක් ගන්න සල්ලි නැති රෝගීන්ට ඇතැම් වෛද්‍යවරු තමන්ගේ සාක්කුවෙන් මුදල් දෙනවා
මං කීප වරක්ම දැක්කා. රෝහලේ ඉන්න පරණ රෝගීන් අලුතින් එන අයට හැම අතින්ම උදවු
වෙනවා. රෝහලේ තත්ත්වය සැත්කම් කෙරෙන අන්දම කියා දෙනවා. මේ විදිහට වැඩි දෙනෙක් තම
තමන්ට හැකි අයුරින් අන් අයට උදවු වෙනවා” සවුරාබ් ද මෙතැනට එන අයට උදවු කිරීම
සඳහා තමන්ට ද කළ හැකි යමක් ඇත්දැයි කල්පනා කළා.
“වරක් මගේ අම්මාට අවශ්‍ය වූ බේතක් රෝහලේ නැහැ. එතැන සිටි වෙනත් රෝගියකු මගේ මවට ඒ
බෙහෙත දුන්නා. එහෙත් ඔහුත් දුප්පතෙක්. මේ වගේ තැනක දුප්පත් පොහොසත් බේදයක් නෑ
අපට කාටහරි උදවු කිරීමට අවශ්‍යනම් එයට අතේ මුදල් තියෙන්නම ඕනැ නැහැ” සවුරාබ්
පවසයි.
සවුරාබ්ට මෙතෙන්දි අලුත්ම අදහසක් පහළ වුණා. ඔහු පහුවදා සිට රෝහලට ගියේ තමන්ගේ
ගිටාරයක් අතැතිවයි. එතැන් සිට මවගේ ප්‍රතිකාර නිමවෙනතුරුම සවුරාබ්
පිළිකා
වාට්ටුවේ සිටිමින් මිහිරි හඬින් ගිටාරය වාදනය කළා. දුක්ඛ දෝමනස්ස සිත් තුළ
පුරවාගෙන සිටි රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ටත් සවුරාබ්ගේ ගිටාර් වාදනය කනට මී
බිඳු එක්කරන්නාක් මෙන් වුණා. ඇතැම් රෝගීන් තමන්ගේ වේදනා මොහොතකට අමතක
කරමින් දෑස් පියාගෙන ගිටාර් වාදනයට සවන් දෙන අන්දම දුටු සවුරාබ්ට ඇතිවුණේ
දැඩි ප්‍රීතියක්.
මෙලෙස අනුන් පිනවමින් ගිටාර් වාදනය කිරීම සවුරාබ්ට අලුත් දෙයක් නොවෙයි. ඔහු
විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනීම ලබන අවදියේ නිවෙසේ සිට විශ්ව විද්‍යාලයට
යනතුරු දොම්බිව්ලි සිට මාතුංගා දක්වා දුම්රියේ ගිටාරය වයමින් යනවා. රැකියාවට
යද්දී මෙන්ම වැඩ ඇරී ආපසු එන මගීන්ට සවුරාබ් හොඳටම හුරුයි. ඔවුන් ද ඇතැම් වේලාවට
සවුරාබ් වයද්දී ගායනයෙන් ඔහුට හවුල් වුණා. මේ පුරුද්දට තමයි ඔහු පිළිකා
වාට්ටුවටත් ගිටාරය රැගෙන ගියේ.
මේලෙසින් ආරම්භ වූ සවුරාබ්ගේ ගිටාර් වාදනය තවත් දුර ගියේ ඔහුගේ සිතේ පහළ වූ තවත්
අලුත් අදහසක් නිසයි. ඔහු ඒ අදහස මුලින්ම පැවසුවේ මවටයි.
“අම්මේ, මං දුම්රියේ ගිටාර් ගහලා සල්ලි එකතු කරන්න හිතාගත්තා. ඒ සල්ලිවලින්
පිළිකා වාට්ටුවට එන ඥාතීන්ගේ ඕනෑඑපාකම් පිරිමහන්න අරමුදලක් පිහිටුවනවා”
ඔහුගේ මව ද ඉතසිතින් පුත්‍රයාගේ අදහස අනුමත කළ ද එය මල්වල ගැන්වෙනු බැලීමට ඇය
ජීවතුන් අතර නොසිටියාය.
“මුම්බායිවල වැඩි දෙනෙක් ගමන් කරන්නේ දුම්රියෙන්. මං ඒ දුම්රියවල වැඩ ඇරී එන
ගමන් ගිටාර් වයමින් මගේ අරමුණ පැහැදිලි කළා. මට හොඳට අදහස් ප්‍රකාශ කරන්න බැහැ.
ඒත් මගේ ගිටාර් වාදනය නිසා මගේ අරමුණ සැම දෙනා අතරටම ගියා.”
මේ සෑම ගමන් වාරයකදීම රුපියල් දහසක් පමණ එකතු කර ගැනීමට සවුරාබ් සමත් වුණා.
අතරින් පතර රැවුම් ගෙරවුම් පැමිණිය ද ඒ කිසිවක් ගණන් ගත්තේ සවුරාබ් නොවේ. මන්ද
ඔහු කටයුතු කළේ අවංක චේතනාවෙන් බැවිනි. ඔහු එකතු කළ සියලු මුදල් Bright Future
Association නම්වූ ආයතනයක අරමුදලකට එක් කෙරුණා. එමඟින් මුදල් කෙළින්ම
අවශ්‍ය පුද්ගලයා වෙත ලැබුණා.
ඉතා සුළු අරමුදලක් වූ එමඟින් එක්වර පුද්ගලයන් රැසකට උදවු කළ නොහැකි වුවත්
වරකට එක් රෝගියකුගේ පවුලකට එමඟින් උදවු කරයි. එම මුදල් ලබන රෝගියාගේ ඥාතීන්
ද තමන්ට මුදල් ලැබුණු බව සවුරාබ්ට දැනුම් දෙන්නේ කෘතඥතාව ද සමඟිනි. දිනක් මෙලෙස
දුම්රියේ ගිටාරය වයමින් සිටි සවුරාබ් පුදුමයට පත්වූයේ තමන්ගේ ගීත රස විඳින
දුම්රිය මගීන් අතර සුවිශේෂී පුද්ගලයකු සිටිනු දුටු විටය. ඔහු වෙනත් කවරකුවත්
නොව ඉන්දියාවේ අසහාය නළු අමිතාබ් බච්චන්ය. සවුරාබ් ගැන තොරතුරු දැන ගැනීමට
ලැබුණු බච්චන් සවුරාබ්ට නොදන්වාම දුම්රියට පැමිණ සිටියේ ඔහු දැක ගැනීමටයි.
එහි ප්‍රතිඵලයක් ලෙස සවුරාබ්ට මේ අසහාය නළුවා ඉන්දීය රූපවාහිනිය ඔස්සේ
ඉදිරිපත් කරන ‘ආජ් කි රාට් සින්ඩාගි’ නම් වන වැඩ සටහනට ඉදිරිපත් වීමට
අවස්ථාව ලැබිණ. සවුරාබ් පිළිබඳව මුළු රටම දැන ගත්තේ එවිටයි. එපමණකින්
නොනැවතුණු අමිතාබ් බච්චන් අපේ ගිටාර් වාදකයා හා එක්ව ඔහුට උදවුවක් ලෙස
දුම්රියේ දිගු දුරක් ගමන් කිරීමට ද එක් වුණා. ඉන්දීය මධ්‍යම දුම්රිය මාර්ගයේ
දුම්රිය ස්ථාන කීපයක් අතර සවුරාබ් හා දුම්රියෙන් ගමන් කළ අමිතාබ් බච්චන් ඒ යන
අතරමඟදී ගීත ද ගායනා කළා.
‘බිග් බී’ ලෙසින් ඉන්දිය සිනමා ප්‍රේක්ෂක ජනතාව අතර දෙවියකු මෙන් පිදුම් ලබන
අමිතාබ් බච්චන් මේ ගමනට එක්වීම දුම්රිය මගීන්ට මහත් විස්මය දනවන්නක් වුණා.
සේමාලි කැල්ලපත
|