Bollywood
අලුත්ම
ගායිකාව
ජැකලින්
 බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පායන තරු රැසක්ම දැන් රසික පිරිස හමුවට පැමිණ
සිටිනවා. ප්‍රියංකා චොප්රා, සොනාක්ෂි සිංහ, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් ඒ අය
අතරින් කැපී පෙනෙනවා. මේ නිළි ගායිකාවන්ගේ කණ්ඩායමට අලුතින්ම එක්වන්නිය
තමයි, ජැකලින් ෆර්නැන්ඩස්. මේ රුවැති තරුව ගායන ලොවට පිවිසෙන්නේ ජනප්‍රිය නළු
සුරාජ් පන්චෝලි සමඟ සංගීතමය වීඩියෝ පටයක රංගනයට ද එක්වෙමින්. මේ ගීතයම
වීඩියෝවේ ජැකලින් සමඟ පසුබිම් ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු වන
ගුරින්දර් සේගාල්. ප්‍රේමණීය හැඟුමින් යුතු අදහසක් කැටි වූ මේ ගීතය ජැකලින්
දක්ෂ ලෙස ගායනා කරනු නිසැක බවයි; ගුරින්දර් සේගාල් පැවසුවේ. මේ ගීතය පටිගත කර,
ඉන් පසුව එහි වීඩියෝ පටයේ දර්ශන රූගත කිරීම මේ දෙසැම්බර් මාසයේ අගදී සිදු කරෙනු
ඇතැයි පැවසෙනවා. රූගත කිරීම් ඩුබායි දේශයේ දී සිදු කිරීමට දැන් සියලු කටයුතු
සූදානම් කර තිබෙනවා.
ශ්‍රීදේවි ජයප්‍රදා
අමනාපය මනාපයක් වෙයි
 වසර ගණනක් තිස්සේ එකිනෙකාගේ මුහුණවත් නොබැලූ දෙදෙනකු පසුගිය දා යළිත්
හිතවත්කමකට මුල පුරා ඇතැයි ආරංචියක් ලැබුණා. ඔවුන් දෙදෙනා තමයි, ‘80
දශකයේදී ප්‍රභාමත් වූ, ශ්‍රී දේවි සහ ජයප්‍රදා. එවක බොලිවුඩ්පුරයේ මුල් තැන
ගත් මේ දෙදෙනා දැඩි අමනාපයකින් පසුවුණා. එය කිසිවකුටවත් රහසක් වුණේ නැහැ.
එවක ජනප්‍රිය වූ ‘මවාලි’ (1983) ‘ටෝහ්ෆා’ (1984) ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක
එකට රඟපෑ ශ්‍රී දේවි සහ ජයප්‍රදා අමනාප වීම බොහෝ දෙනකුගේ කනස්සල්ලට හේතු වුණා.
එදා හින්දි තිරයේ සිටි සුපිරි නළු නිළියන් නිතරම උත්සාහ කළේ මේ දෙදෙනා සමඟි
කරන්නටයි. එක් අවස්ථාවකදී චිත්‍රපටයක් රූගත කෙරෙන අතරේදී රාජේෂ් ඛන්නා සහ
ජිතේන්ද්‍ර යන සුපිරි නළු දෙපළ අපූරු වැඩක් කළා. චිත්‍රපටයේ රඟපෑමට පැමිණ සිටි
ශ්‍රී දේවි ව සහ ජයප්‍රදාව අල්ලා ගත් රාජේෂ් සහ ජිතේන්ද්‍ර, ඔවුන් දෙදෙනා ව වේශ
නිරූපණ කාමරයේ දමා දොරගුළු දමා කීවේ කතාබහ කර මිතුරු වන ලෙසයි. ඒත්, එවැන්නක්
සිදුවුණේ නැහැ. අමනාපය දශක තුනක් තිස්සේ දිග ඇදුණා.
‘කොහොම වෙතත්, මේ අමනාපය දිගින් දිගටම ගෙනයන්නට ශ්‍රී දේවිට වත්,
ජයප්‍රදාටවත් හැකිවුණේ නැහැ. කවුරුත් පුදුමයට පත් කරවමින් පසුගිය දා
පැවැති මංගල උත්සවයකදී මේ දෙදෙනා සුහදව කතාබහ කරමින් සිටිනු දකින්නට ලැබුණා.
ඒ මංගල උත්සවයේ මනාලයා, ජයප්‍රදාගේ ඥාති පුත්‍රයෙක්. එයට ශ්‍රී දේවි සහභාගි
වූයේ තම සැමියා වන, චිත්‍රපට අධ්‍යක්ෂ බොනී කපූර් සමඟයි.
ප්‍රීටිට මංගලම්!

මීට වසරකට පමණ පෙර, ප්‍රීටි සින්ටා නම්වූ මේ ජනප්‍රිය තරුව කිසියම් කරදරයක
පැටලී සිටි බව ඔබට මතක ද? 2014 වසරේ එක්තරා දිනයකදී ක්‍රිකට් තරගයක් නැරැඹීමට
ගිය ප්‍රීටිට ඇගේ හිටපු පෙම්වතකු වන නෙස් වාඩියා ගේ හිරිහැරවලට ලක්වීමට
සිදුවුණා. ඒ මොහොතේ දී ප්‍රීටිගේ ආරක්ෂාවට කිසියම් තැනැත්තකු ඉදිරිපත් වූ
බවට ආරංචියක් පැතිරී ගියා. ඔහු කවුරුන්දැයි එදා කිසිවකු හෝ දැන සිටියේ නැහැ.
එදා ප්‍රීටි වෙනුවෙන් ඇගේ රැකවරණයට ඉදිරිපත් වුණේ ජීන් ගුඩ්ඉනෆ් නම්වූ අයකු
බවයි දැනගන්නට ලැබී ඇත්තේ. ඔහු එදා ප්‍රීටි වෙනුවෙන් පොලීසියට සාක්ෂි දීමටත්
ඉදිරිපත් වෙලා. ජීන්, ඇමෙරිකානු ජාතිකයෙක්. ඇමෙරිකාවේ කැලිෆෝනියා
ප්‍රාන්තයේ වෙසෙන ඔහු, ප්‍රකට සමාගමක ඉහළ නිලයක් දරන්නෙකු බවයි පැවසෙන්නේ. මෑත
කාලයේ දී ප්‍රීටි නිතරම ඇමෙරිකාවට ගියේ ඇයිදැයි මේ සමඟම කාට කාටත් හිතාගන්න
අපහසු නැහැ. ඇය ඇමෙරිකාවට ගියේ ජීන් ව මුණ ගැහෙන්නටයැයි ඇතැම් අය පවසනවා.
තවත් ආරංචියකින් කියැවුණේ ප්‍රීටිගේ නිවෙසක් කැලිෆෝනියාවේ තිබෙන බවයි.
කාරණා කටයුතු එලෙස සිදුවෙද්දී පසුගිය සතියේ අල්ලපු රටෙන් ලැබුණු උණුසුම්
ආරංචියක සටහන් වුණේ ජීන් සහ ප්‍රීටි යුග දිවි ගමන් අරඹන්නට ලකලැහැස්ති වන
බවයි. මේ විවාහ මංගල උත්සවය චාම් අයුරින් ලබන ජනවාරියේදී පැවැත්වෙන බවත්
කියැවුණා. කෙසේ වෙතත් මේ ආරංචියට අත්තටු ලැබෙද්දී කලබල වූ ප්‍රීටි, තම ට්විටර්
වෙබ් පිටුවෙන් මුළු ලොවටම ප්‍රකාශ කළේ ජනවාරියේ දී විවාහ නොවන බවයි!
සුජීව තේවහෙට්ටිගේ
|