කලාව නංවන්න මන්ත්‍රීවරියක් පත්කළා ඒත් චිත්‍රපට කර්මාන්තය බිඳ වැටුණා
කලාව නංවන්න
මන්ත්‍රීවරියක් පත්කළා ඒත් චිත්‍රපට කර්මාන්තය
බිඳ වැටුණා
අර්ජුන
කමලනාත්
මහරජ ගැමුණුගේ දස මහ යෝධයින් අතරින් සුරනිමලට පණ පොවන්නේ අර්ජුන
කමලනාත් ය. සිය හුරු පුරුදු රංගන රටාවෙන් මිදී එවන් භූමිකාවක් නිරූපණයේදී
ලද අත්දැකීම් මෙන්ම සිනමාවේ වත්මන් තත්ත්වය ගැන පැවසීමට ඔහු අප හමුවට ආවේය.
* ඔබ ‘මහජන ගැමුණු’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොම ද?
ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අලුත් චිත්‍රපටයට දසමහ යෝධයෙක් හොයනව කියලා
දැන ගත්තාම මගේ හිතවත් මාධ්‍යවේදියකු වන හේමන්ත රන්දුනු මගේ නම යෝජනා කරලා
තිබුණා.
ඒ අනුව මහරගම වත්තේ ගෙදර මේ චිත්‍රපටය වෙනුවෙන්ම ගත් කන්තෝරුවට මම ගියා.
ජයන්ත අයියා මට පරිගණකයෙන් නිමවූ චිත්‍රයක් පෙන්නලා ඇහුවා මේ වගේ වෙන්න
පුළුවන් ද කියලා.
වේශ නිරූපණ ශිල්පී ජයන්ත රණවකත් කොණ්ඩ මෝස්තර ශිල්පි ලලිතුත් එවෙලේම මා වෙස්
ගන්වලා බැලුවා.
විපුල කියලා උපදේශකයකු වෙත අවශ්‍ය විදිහට ඇඟ හදාගන්න යොමු කළා. අශ්වයන්
පදින්න පුරුදු කළා. වැඩමුළු, තිර රචනා කියවීම, රැවුල වැවීම නිසා ඒ මාස තුනක
කාලයම වෙන කිසිම දේකට දායක වුණේ නෑ.
* මේ අත්දැකීමත් එක්ක ඔබට දැනුණේ කුමක් ද?
වෘත්තිය නළුවකු වන්න පුළුවන් වුණා කියලා ජීවිතේ පළමුවැනි වතාවට දැනුණා. ඒ
හැඟීම මට ආවේ චිත්‍රපට 44 ක් රඟපෑවටත් පස්සේ. ඒ වගේම මට හිතුණා වෙන රටවල
වෘත්තිය නළුවන්ට කොයිතරම් දේවල්, අත්දැකීම් ලැබෙනවා ඇත්ද කියලා.
* සුරනිමලගේ චරිතයට ප්‍රතිචාර කොහොම ද?
මට සතුටු, කවදාවත් හොඳ නොකියූ අයත් මේ රඟපෑමට හොඳ කියූ නිසයි. විශේෂයෙන්
චිත්‍රපට විචාරකයින්.
* එහෙම වෙන්න හේතුව මොකක් කියල ද හිතන්නෙ?
අධ්‍යක්ෂවරයාගේ හැකියාව. අද අපේ රටේ තිබෙන්නේත් ඒ අඩුපාඩුවම තමයි. වාණිජ
චිත්‍රපටවල රඟපාලා ලැබු පන්නරය නිසා මට වැටෙන්න පෙරළෙන්න පුළුවන්කම තිබුණා
තමයි. නමුත් ඒ වගේ චරිත කළ අර්ජුන කමලනාත්ට මේ වගේ චරිතයක් කරන්න පුළුවන්
කියලා දැනගත්තෙත් අධ්‍යක්ෂණයේ වෙනස නිසයි.
* ‘මහරජ ගැමුණු’ ඉතිහාස කතාවක්. මෙයත් අර ඉතිහාස රැල්ලේම කොටසක් ද?
නැහැ. ‘අබා’ චිත්‍රපටයෙන් ඇරැඹුණු මේ රැල්ල අන්තිමට ලක්ෂ 100 න් ඓතිහාසික
චිත්‍රපටයක් හදන ගානට ගියා. ‘අබා’ චිත්‍රපටයේ තිබුණු ගුණාත්මක බව ඉන්පසු ආ
චිත්‍රපටවල තිබුණේ නෑ.
නමුත් ‘මහරජ ගැමුණු’ බොහෝ පර්යේෂණ ඔස්සේ කළ චිත්‍රපටයක්. එය කිසිසේත් කලින්
තිබු රැල්ලට එක් කරන්න බැහැ.
* ඔබට සැබෑ දුටුගැමුණු රජු ගැන යම් හැදෑරීමක් කියවීමක් තිබෙනව ද?
දුටුගැමුණු රජු ගැන අපට වෙනමම කියවීමක් තිබෙනවා. මමත් පොඩි කාලේ ඉඳන්
හිතාගෙන හිටියේ රණකාමී චරිතයක් විදිහට. නමුත් රටටත් වඩා ආගම වෙනුවෙන් සටන්
කළ ඉතාම සංවේදී පුද්ගලයකු හැටියට දුටුගැමුණු රජු හඳුනා ගන්න ලැබුණේ
චිත්‍රපටයට යන මොහොතට වඩා ඒ වැඩ නිමකර එන විටදියි. අදටත් අපට බුදුදහම රැකී
තිබෙන්නේ ඔහු දැමු පදනම නිසා.
* අද සිනමා රසිකයින් ගැන ඔබේ තක්සේරුව?
ප්‍රේක්ෂකයන්ට රසඥතාව නෑ කියන කතාව බොරු. මමත් සමහර චිත්‍රපටවල රඟපෑවේ මගේ
වෘත්තිය රඟපෑම නිසා. තවත් කීපයක්ම ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්නත් තිබෙනවා.
වෙන රස්සා කරන අයට නම් චරිත තෝර බේරගෙන කරන්න පුළුවන්. ඒත් අපි කුඩු, එතනෝල්
විකුණන්නේ නැති නිසා වගේම මෙගා ටෙලි නාට්‍යවලටත් යන්නේ නැති නිසා ලැබෙන චරිතය
කරන්න වෙනවා. මේ රටේ වෘත්තිය නළුවෙක් වුණාම කන්න වෙන ‘ටොපිය’ තමයි ඒක.
* අද සිනමා කර්මාන්තය ගැන මොකද හිතෙන්නෙ?
හෙටක් ගැන කිසිම හැඟීමක් නෑ. සිනමා කලාව නංවන්න කියලා මන්ත්‍රීවරියක් පත්කළත්,
උපදේශකවරු පත්වුණා, රන්මිහිතැන්න හැදුවා. සත පහක වැඩක් නෑ. පුළුවන් එකා කර
ගත්තා බැරි එකාට නෑ. කර්මාන්තය බිඳ වැටුණා. කිසිමදෙයක් වුණේ නෑ.
* කවුද වැරදි?
හිටපු ජනාධිපතිවරයා සද්භාවයෙන් කළ සමහර දේවල් නිවැරැදි විදිහට පහළට ගලා
ආවේ නෑ. සමහරු තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන් ඒවා උදුරා ගත්තා. චිත්‍රපට
සංස්ථාවට තවම සභාපතිවරයෙක්වත් පත් කරල නෑ. අතෑරලම දාල ද කොහෙද.
ගොඩනැඟිල්ලයි, රියපොළයි විතරයි තිබෙන්නේ.
* ඒ කියන්නේ මේ දවස්වල සිනමාව අරාජිකයි?
පෞද්ගලික අංශයෙන් හැදෙන දෙයක් තමයි ඉතිං. මට හිතෙන්නේ මේ කාලය දීලා තිබෙන්නේ
නිළීයන්ට ෆේෂල් දාලා, ටයර් අඩු කරගෙන හැඩ වෙන්න. නළුවන්ට ව්‍යායාම කරලා බඩ අඩු
කරගෙන ඇඟ හදාගන්න. කැමරාකරුවන්ට කැමරාවල කාච එහෙම හොඳට පිහදාගෙන දිලීර
ඉවත් කරගන්න. අධ්‍යක්ෂවරුන්ට හින්දි දෙමළ කොපි අතෑරලා හිතල බලලා අලුත්
නිර්මාණයක් කරගන්න.
අරුණි මුතුමලි
|