.
ටිකිරි හමුව
සාමයේ අරුණලු
යුද ගිනි දැල් නැඟී
සුවිසල් මැදුරු සුනු විසුනු වී
දහසකගේ සෝසුම්
විලාප සේ ගිගුම් දුන්
යුඟදර මහසිඳු කැලඹු
අඳුර පහවී ගොස්
සාමයේ අරුණලු
මිහිකතට විත්
සිනහව උතුරා සතුට දෝරේ ගලා
යළිදු සැනසුම උදාවී ඇත
ඩබ්ලිව්. ජේ. පී. චාමිකර
9 ශ්‍රේණිය ‘සී’,
සිද්ධාර්ථ ජාතික පාසල,
වැලිගම
බතලගොඩ වැව
හිරු දෙවඟන උදාගිරින් පායා එන්නේ
මුකුලිත වූ පියුම් නැවත විකසිත වන්නේ
පුංචි ගෙම්බො බක බක ගා සිනාසලන්නේ
බතලගොඩ වැවේ අසිරිය කියා පාන්නේ
මාළු රංචු රංචු ඇවිත් දැන් සැඟවෙන්නේ
දියකිඳුරියො අතවනනා ලෙසයි පෙනෙන්නේ
පාසලෙ වැට අයිනට වී හොරෙන් බලන්නේ
කිසිදා දැක නැති ඒ වැවෙ අසිරි දකින්නේ
කේ.එම්.ඒ.එච්. කුමාරසිංහ,
8 ශ්‍රේණිය ‘ඩී’,
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය,
ඉබ්බාගමුව.
අපි දෙකේ සිට
තුනට ගියෙමු
මේ අවුරුද්දේ අපි තුන වසරට ගියෙමු. අවුරුද්දක් අපි දෙක වසරේ හිටියා. අපිට හරි ම
ආසයි.
අලුත් පොත්වල සුවඳට මම හරිම කැමතියි. මගේ පන්තිය දාලා යෑම මට හරිම දුකකි. මගේ
ගුරුතුමිය දාලා යන්න මට හරිම දුකයි. අපේ ගුරුතුමිය හරිම හොඳයි. අපිට හරි ම
ආදරෙයි. අපි කැමති හැමදාම ගුරුතුමිය එක්ක ඉන්න, ඒත් අපි තුන වසරට යන්න ඕනේ.
නිවාඩුව පුරාම මම අලුත් පොත් කියෙව්වා. අලුත් පන්තිය වගේ ම ගුරුතුමියත් අපට
ආදරෙයි.
හංසාංගි දේශ්‍රාත්‍රී සමරනායක
3 ශ්‍රේණිය ‘බී’,
එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය.
කෘෂිකර්මාන්තය හා බැඳුණු අපේ ජන ජීවිතය
“ගමයි පන්සලයි වැවයි දාගැබයි” මෙය ඔබ අප කවුරුත් හොඳින් අසා ඇති අගනා
කියමනකි. මෙහි ගැබ්ව ඇති අරුතින් අපගේ හෙළ සංස්කෘතිය පිළිබඳ මනා වැටහීමක්
ලබාදෙයි. අතීතයේ පටන් අප රට කෘෂිකාර්මික රටක් බවත් බුදු දහමත් සමඟ ප්‍රභාවිත
වූ කෘෂිකර්මාන්තය ඉතා දැහැමි රැකියාවක් බවත් මෙය ගැඹුරින් විමසා බලන විට පෙනී
යයි. එසේ මෙම ස්ථාන සතර ම එකිනෙකට යා වී තිබේ.
වැව හා දාගබ සිංහල සංස්කෘතියේ සංකේතයක් වන්නා සේ ම වැව දාගබ හා මොනවට සම්බන්ධ
වී තිබේ.
ශ්‍රී ලාංකික ගොවි සංස්කෘතියේ පදනම කෙත හා කුඹුරයි. මෙය අපගේ ජාතික මහා
උරුමයක් වන අතර ම දාගබ, වැව හා කෙත ද එකට බැඳී පවතියි. කෙත් යායක් පණ ලබන්නේ ජල
සම්පතින් බව ඔබ දන්නවා ද? එම ජලය ගබඩා කර තබා ගැනීම පිණිස එදා ජනයා වැව් තැනූහ. ඒ
වැව් අසල ම ඇති පාරිශුද්ධත්වයේ සංකේතය වන දාගබ, බුදු දහමෙන් කෘෂිකර්මාන්තය
සඳහා ආශිර්වාදය ලැබෙන බව පවසයි. එදා වී ගොවිතැන නොවන්නට වාරි තාක්ෂණය මෙන් ම
අපගේ හෙළ සංස්කෘතිය ද ගොඩ නැඟෙන්නේ නැති බව මෙමඟින් වැටහේ.
අපගේ ජන ජීවිතය එදා සිට ම කෘෂිකර්මාන්තය හා බැඳී පවතී. එදා ජනයාට කෘෂි
කර්මාන්තයෙන් තොර රැකියාවක් නොවී ය. ඔවුන් එදා කෙතට සැලකුවේ දෙවියන්ට මෙනි.
කුඹුරක වී අස්වද්දන දා පටන් ම නැවත වී කොටුවේ තැන්පත් කරන තුරු ම එයට විශාල ශ්‍රම
දායකත්වයක් අවශ්‍ය විය. එදා මේ සඳහා ගමේ ස්ත්‍රී, පුරුෂ, ළමා ළපටි සියලු දෙනා ම
එකතු වූහ. මෙමඟින් එදා ශ්‍රී ලාංකිකයින් තුළ තිබූ එකමුතුකම මනාව පෙන්වයි.
‘ගොයම් කයිය’ මීට හොඳ ම නිදසුනකි. එසේ ම ඔවුහු ගමේ සිටින උගතුන්හට මේ කුඹුරේ
කටයුතු කර දුන්නේ නොමිලේ ය. මෙයින් අප රට වැසියා කෙතරම් කෘතඥපූර්වක වූවා දැයි
සිතා ගත හැක.
තවද එදා ජනතාව සතුන් ගැන ද මනා අයුරින් සොයා බැලූහ. එම නිසා ඔවුහු කුරුලු
කොබෙයියන් සඳහා ම කුඹුරින් “කුරුලු පාළුව” නමින් කොටසක් වෙන් කළහ. එසේම තමන්
කමත මැඩීමට යොදා ගන්නා ගවයින්ට ද ඉතා උසස් ලෙස සැලකූහ.
සෑමවිට දී ම වප් මඟුල් උත්සවයකින් කමතේ වැඩ ආරම්භ කරන මොවුහු තම කුඹුර සේ ම
සෙසු අයගේ කුඹුරු ද රැක්කාහ.
අද සමාජය තුළ අපේ සංස්කෘතිය පිරිහීමට පත්වී තිබේ. කමත් භාෂාව ද පිරිහී යන
තත්ත්වයක් තිබුණ ද අද බොහෝ ගම්වල යතුර, මාගල, ඉස්මල්ල, ලාහ වැනි වචන තවමත්
අසන්නට ලැබේ. මෙම කෘෂිකර්මාන්තය සමඟ බැඳී පවතින ජන ජීවිතය ඉතා සුන්දර
සාමකාමී බව තේරුම් ගෙන, ආදි මුතුන් මිත්තන් රැගෙන ආ එම වටිනා හෙළ සංස්කෘතිය රැක
ගැනීමට අපි කටයුතු කරමු.
ගාවිත්‍රි දිලේෂා අමරසිංහ
12 ශ්‍රේණිය ‘සීඊ’,
දේවි බාලිකා වි., කොළඹ 08.
මගේ අම්මා
මහන මැෂිමට
දිවිය දියකර
යස ඉසුරුa සොයනා...
මට දිරිය දෙන
යකඩ ගැහැනිය
ඇය...
මගේ අම්මා...
කේ.ජී. ප්‍රදීපා මහේෂිකා,
13 ශ්‍රේණිය, (කලා),
ඩෙන්සිල් කොබ්බෑකඩුව
මහා විද්‍යාලය,
හාලිඇල, බදුල්ල.
රටක් වටින ඔවදන්
පිරිසුදු සිතක් ඇති
අය දහමේම නියැළෙති
කුසල් නිති වඩවති
පවින් වැළකී දිවිය ගෙනයති
දෙන දෙයට ඇල්මක්
නොකරපු පසුව බැල්මක්
දිය යුත්තේ සිල්වත්
අයෙකු වේ නම් ගොඩක් යහපත්
නිති පන්සිල් රකිනු
දෙගුරුන් හොඳින් නමදිනු
උගතුන්ට තැන දෙනු
නිහතමානී බවින් වැජඹෙනු
තමා උපමා කොට
හිංසා නොකර සතුනට
දැහැමිව දිවිය කට
හුරු වුණොත් ඔබ වටී රටකට
ඩී. එම්. කේ. ජී. ටී. දිසානායක
12 ශ්‍රේණිය,
දෙණිකේ පාසල,
රිකිල්ලගස්කඩ
ඔරලෝසු
වේලාව දැක්වීම ඔරලෝසුවේ ප්‍රධාන කාර්ය වේ. ඔර්ලෝසු සඳහා ඉතා ප්‍රසිද්ධ රට වන්නේ
ස්විට්සර්ලන්තයයි. සමහර ඔරලෝසුවල සීනු ඇත. තත්පර විනාඩි පැය කටු ඔරලෝසු
මුහුණත වටා කරකැවේ. ඔරලෝසුව අපට අත්‍යවශ්‍ය උපකරණයකි.
කවීෂා ගිම්හාන් රත්නායක
3 ශ්‍රේණිය ‘සූර’,
තෝලංගමුව ම.වි.,
තෝලංගමුව.
කූඹි ගුලෙන් ආදර්ශ රැසක්
එක් දිනයක මම උදයේ මිදුලට ගොස් අවට පරිසරය නැරඹුවෙමි. කඩි ගුලක් දුටු මා ඒ
දෙස දිගටම බලාගෙන සිටියෙමි.
කළු කූඹි රැලක් තම රාජ්‍යයට ආහාර සපයාගෙන ගියෝය. තව තද කළු කූඹි රැලක් කූඹි ගුලේ
තිබෙන අඩුපාඩු සොයා පස් දමා ඒවා සෑදුවෝය. ඒවා නිවැරැදි දැයි බැලීමට තවත් තද කළු
සහ නිල් මිශ්‍රණය වූ කූඹි රැලකි. කූඹි ගුල මැද සිටින විශාල කූඹියා කළු, රතු සහ
නිල් වැනි පාටවලින් වර්ණවත් වී තිබුණි. මම නම් සිතුවේ ඒ කූඹි ගුලේ නායකයා
කියාය. ඌට එහා පැත්තේ ඒ පාටම තවත් කූඹියෙක් සිටියේය. ඌ මා සිතන විදිහට ගුලේ
නායිකාවයි. මෙය කොතරම් මනරම් ද?
සත්ත්ව ලෝකය හා මිනිස් ලෝකය අතර කිසිඳු වෙනසක් නැත. එහෙත් එක් වෙනසක් ඇත. කූඹින්
මිනිසුන්ට වඩා එකමුතුකමින් හා කඩිසරබවින් වැඩි වීමයි. මිනිස්සු නිකරුණේ
කාලය ගත කරති. කූඹි හැම දවසක හැම වේලාවේම වැඩ කරති.
මෙයින් අපට ගත හැකි ආදර්ශ වන්නේ එකමුතුකම හා කඩිසර බවයි. මේවා ඉගෙනගෙන අපි
යහපත් සමාජයක් ගොඩනඟා ගනිමු.
විහඟ සුලක්ෂණ,
8 ශ්‍රේණිය,
ගුරුගෙදර,
සපුගස්කන්ද.



|