.
වරාය නගරය හා ගැමි දිරිය
වරාය නගරය හා
ගැමි දිරිය
පසුගිය පාලන කාලයේ දී රට දේශපාලන ව හා සමාජීය ලෙස බරපතළ අවුලකට ඇද දැමූ
හැටි කියවෙන විශේෂාංග ලිපි දෙකක් මෙවර පත්‍රයේ පළ වෙයි. එකක් කොළඹ වරාය නගරය
පිළිබඳ ව යි. ලංකා භූමියෙන් දූපතක් සින්නක්කර අයිතියට තබා ගන්නට චීනයට ඉඩ දී
අන්තර්ජාතික දේශපාලනය ඉදිරියේ මවුබිම අනාථ කළ තරම ගැන එක් ලිපියකින්
කියැවෙයි.
අනෙක් ලිපියෙන් කියැවෙන්නේ ආර්ථික සංවර්ධනය නාමයෙන් රට ඇතුළේ සමාජ
සංස්කෘතික පදනමට කළ විනාශය යි. සකසුරුවම හා එකමුතු කම මත ගොඩනැඟුණු ගැමි
දිරිය ව්‍යාපෘතිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පවරා ගැනීම මඟින් ග්‍රාමීය
දුප්පත් සමාජයට එල්ලෙන්නට තිබුණු පිදුරු ගහ පවා සොරකම් කළ අයුරු එයින් හෙළි
වෙයි.
පැරදුණු රජය තරම් ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දුන් වෙනත් රජයක්
ඉතිහාසයේ පහළ නොවූ ලෙසිනි, ඒ ගැන සහතික ලියැවුණේ. එහෙත් ගැමි දිරියේ සිට සුපිරි
මහා මාර්ග හරහා දැවැන්ත වරාය නගරය තෙක් විහිදුණු සෑම සංවර්ධන ව්‍යාපෘතියක් ම
ක්‍රියාත්මක කෙරුණේ රටේ යහපත උදෙසා ඊට ප්‍රමුඛත්වය දී නොවේ.
මේ සෑම
ව්‍යාපෘතියක ම ප්‍රධාන ඉලක්කය වූයේ ඒවායේ නියමුවන් ව සිටි අයගේ සාක්කුවලට
වැටෙන කොමිස් කුට්ටි ප්‍රමාණය යි. ඊට අනුව කෙරුණු ජාතික හා අන්තර්ජාතික තලයේ
ගනුදෙනු මහා සංවර්ධනයක් ලෙස අර්ථකථනය කෙරිණි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
හා නාගරික සංවර්ධනය ඒ මවා පෑම ඇත්තක් බව කීමට පිහිටුවා ගත් ප්‍රචාරක ආයතන යි.
පළමු වත් දෙවනු වත් තෙවනු වත් මවුබිම කියමින් සිදුකළ මේ කොමිස් ගනුදෙනු නිසා රට
දැවැන්ත අනතුරකට වැටිණි. රටේ ස්වෛරීභාවයට බලපාන භූමියේ අයිතිය ගැන නොසලකා,
සිදුවිය හැකි පාරිසරික අනතුරු ගැන විමසන අධ්‍යයන වාර්තා පසෙක තබා, පෞද්ගලික
බූදලයෙන් තෑගි ඔප්පුවක් දෙන ලෙසට වරාය නගරය සඳහා චීනයට ඉඩ දීම මඟින් අවසානයේ
කලාපීය දේශපාලන අවුලකට දොර විවර කරන ලදි.
භූගෝලීය ව පිහිටීමේ විශේෂත්වය ද
නිසා අන්තර්ජාතික දේශපාලන බල පොරය හමුවේ නොබැඳි පිළිවෙතක් ගත යුතු ලංකාව, එක
පැත්තකට ඇද දමා අනෙක් පැත්තේ ග්‍රහණයට පහසු වන ලෙස බිත්තියට ම හේත්තු කර තබන
ලදි.
යහපත් සිතිවිලි ඇති අය සොයා යන්නේ යහපත් සිතිවිලි සහිත සමාජයකි. සොරකමට හිත
අයගේ අරමුණ මුළු මහත් සමාජය ම සොරකමට පොලඹවා ගෙන, සොරකම කාටත් පොදු
ක්‍රියාවක් බවට පත් කරමින් තමන් පළමු සොරා ලෙස කැපී පෙනීමෙන් වැළකීම යි.
පසුගිය රජය සමයේ රට ඇතුළට, ගමේ මුල්ලට ම කාන්දු කළේ සොරකම යි. එකමුතුකම පදනම
කරගෙන සංවිධානය වීමේ ප්‍රතිඵලයක් ලෙස ගැමි දිරිය වටා එකතු වූ මුදල් හා ශ්‍රම
සම්පත සොරකම් කිරීම සඳහා ප්‍රාදේශීය දේශපාලනය යොදා ගත්තේ ඒ අනුවයි. ගැමි
දිරියට අයත් ගමේ සංවිධානය මැදිහත් වූ පාරක් කොන්ක්‍රීට් කිරීම වැනි කුඩා
සංවර්ධන කටයුත්ත පවා ප්‍රාදේශීය දේශපාලනඥයන් වෙත පවරන්නට ආර්ථික සංවර්ධන
අමාත්‍යාංශය පියවර ගත්තේ පාර හොඳින් හදන්නට නොව ප්‍රාදේශීය දේශපාලනඥයාට
සොරකමට මඟක් දෙනු පිණිස ය.
ආර්ථික සංවර්ධනය කියන උද්ධච්ච ප්‍රදර්ශනය ඇතුළේ බෝ
කළේ ඒ සොරකම යි. ගැමි දිරිය ව්‍යාපෘතිය කඩා බිඳ අනාථ කිරීම රටේ අධ්‍යාත්මය මත
කාලයක් තිස්සේ ගොඩනැඟුණා වූ දරාගත හැකි සංවර්ධනය කීතු කීතු කිරීමට එක්
නිදසුනක් පමණි.
පසුගිය රජය රටේ භෞතික තලය පමණක් නො ව ජාතියේ ආධ්‍යාත්මික තලය පවා කෙලෙසුවේ ය.
ජාතික ව හා අන්තර්ජාතිකව රටට මුහුණ දෙන්නට සිදු වූ මේ අනතුර වළක්වා ගැනීමට
එනම් රාජ්‍ය පාලනය නාමයෙන් මහා අනතුරකට ඇද දැමූ මවුබිම බේරා ගැනීමට
අවශ්‍යතාවක්, ප්‍රාර්ථනාවක්, පොදු අපේක්ෂාවක් දසතින් ලියලා වැඩිණි. ඒ පොදු
අපේක්ෂාව ජාති ආගම් පක්ෂ කුලමල භේදවලින් තොර වූවකි. පැරදුණු රජය ඒ තැනට පත්
කළේ මවුබිම බේරා ගන්නට පෙළ සැදුණා වූ පිවිතුරු ජන බලයකිනි.
මේ ජන බලය ජය ගැනීමත් සමඟ සොරුන් හෙළි වීම වැළැක්විය නොහැකි විය. උදා ඉරේ එළිය
වැටෙන විට එයින් දැවෙන විනාශකාරී පිසාචයන් හා භූතයන් සැඟවෙන්නට අඳුර සොයන්නා
සේ මවුබිම අනතුරට හෙළූ සොර මුළ සැඟවෙන්නට තැන් සොයන්නට වූහ. හොඳ ම ආකාරය
සමාජයේ එක් කොටසක් වැටී සිටින මුළාව නමැති ගුහාවේ සැඟවී යාම බව මේ සොර මුළ කල්පනා
කළහ.
බලයේ සිටින විට ආර්ථික සංවර්ධනය කියන රැවටිල්ල ගම මුළා කරන්නට යොදා ගත්
ලෙස මේ සොරුන් දැන් තමන් බලයේ සිටින විට මවුබිම හෙළූ අනතුර ම මුළාව නමැති ගුහාවේ
දොරකොඩ ප්‍රදර්ශනාත්මක පුවරුව ලෙස තබා තිබේ.
එනම් මේ සොරුන් දැන් භාවිත කරන
සටන් පාඨය නම් මවුබිම අනතුරේ යන්න යි. ඇත්තට ම රට අනතුරට දැමූ කණ්ඩායම ම රට එම
අනතුරින් බේරා ගන්නට ඉදිරිපත් වූ පිරිස වෙත තම වරදින් ම දමා ගසමින් සිටිති.
ජන සමාජය කාලයක් තිස්සේ වැටී සිටින මුළාව නමැති ගුහාව තවත් වටයකින්
ජාතිවාදයෙන් තර කරමින් සිටිති.
පැරදුණු දේශපාලනය විසින් තම ගැලවුම සඳහා අටවන ලද මේ උගුලේ තව දුරටත් රට
පැටලෙනවා ද යන්න මේ මොහොතේ ඇති අභියෝගය යි. අන්තර්ජාතික දේශපාලනය හමුවේ රට
මුහුණ පා ඇති අවුල තව දුරටත් බැරෑරුම් කර ගන්නවා ද යන්න මේ මොහොතේ ඇති අභියෝගය
යි.
මේ අභියෝගයට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ජාතික සංහිඳියාව යි.
ජාතිවාදී ව හෝ ආගම්වාදී ව හෝ දේශපාලන පක්ෂ වශයෙන් හෝ එසේ නැතහොත් එක ම පක්ෂය
තුළ බෙදීයාම ජාතික සංහිඳියාවට මඟ අවුරන දරුණු බාධකය යි. ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙක මේ මොහොතේ එකිනෙකා අතර හෝ පක්ෂ
ඇතුළේ ම බෙදී තනියෙන් දිනන්නට කල්පනා කළොත් එය රට මුහුණ දී සිටින බරපතළ අනතුර
තව දරුණු කරන්නට දායක වීමක් වනු ඇත.
පැරදුණු රජය ඒ තැනට පත් කළ පොදු අපේක්ෂාව තව දුරටත් පෝෂණය කරමින් ඒ ජන බලය තව
දුරටත් තහවුරු කර ගැනීම ජාතික ව හා අන්තර්ජාතික ව රට මුහුණ දෙන අනතුර මඟ
හැරීමට ඇති ශක්තිය යි.
පොදු අපේක්ෂාවේ පුළුල් අරමුණ වූයේ රටේ ශිෂ්ටසම්පන්න බව යළි ස්ථාපනය කිරීමයි.
පක්ෂවලට බෙදී කළ දේශපාලනය වැඩි දායකත්වය දැරුවේ රටේ ශිෂ්ටසම්පන්න භාවය
විනාශකර දැමීමටයි. එබඳු පූර්වාදර්ශයක් තිබියදී ඇත්ත අභියෝගයට පිටුපා
නැවත පක්ෂවල මත දිනවන්නට යාම ශිෂ්ටසම්පන්න භාවයට එරෙහි ගෝත්‍රවාදයට
ඉඩදීමක් වනු ඇත.
|