ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»

මීරියබැද්දේ නාය ගිය ජීවිත

මීරියබැද්දේ නාය ගිය ජීවිත

මනරම් බෙරගල වැල්ලවාය පාරේ සීතල මීදුම අතරින් අපේ රථය ඉදිරියට ඇදී ගියේ කොස්ලන්ද ශ්‍රී ගනේෂා දෙමළ මහ විද්‍යාලය සොයාගෙනය. ඒ මඟ තොට දී අප මීරියබැද්ද නාය යෑමෙන් අනතුරට පත් වූවන් පිළිබඳ විමසන විට ලද තොරතුරු මතය.

නිසි අවසරයෙන් පාසලේ 5බී පන්තිය ඇතුළු එක පේළියට පිහිටි කාමර තුනක් වෙත ගිය අපට දක්නට ලැබුණේ හද කම්පා කරවන දසුනකි. එකම පන්ති කාමරයේ සාරි කෑලිවලින් වට කළ සීමා නවයකි.

ඒ ගෙවල් නවයක් වෙනුවෙන්ය. එක සාරි අද්දරක තවත් සාරියකින් තැනූ තොටිල්ලේ කිරි සිහින දකිමින් පැටික්කියක් නැළවෙන්නීය. තැනක කිරි දෙන අම්මාකෙනෙකි‍. බිම එළූ රෙදිකඩමාලු මත ඔවුන්ගේ යහන් තැනෙයි. ඊළඟ පන්ති කාමරයේ තවත් පවුල් අටකි. ඒත් එසේමය.

තුන්වැනි පන්තියේ මහලු අප්පලා දෙන්නෙකි. නිතර වැසිකිළි යන්නට අවශ්‍ය අසනීප තත්ත්වය නිසා ඔවුන්ට ඒ පන්ති කාමරය වෙන් කරලාය. වතුර බේසම් කීපයක් ඒ අසල තිබේ.

මේ මිනිස් ලෝකයේ තවත් පිරිසක් නොවේද? අපි ඔවුන්ගෙන් විමසුවේ මාස හතරකට පසුවත් මෙසේ සිටින්නේ ඇයිද කියාය.

“අපිට ගෙදර යන්න එපා කියලා තියෙන්නේ කන්ද කඩා වැටෙයි කියලා. වත්තේ මහත්තයා එක දවසයි ආවේ. අපිව බලන්න එන්නේ ග්‍රාම සේවක නෝනයි ආපදා මහත්තයයි (ආපදා කළමනාකරණ නිලධාරී) විතරයි. අපි හැදාම කන්නේ සෝයාමීටුයි පරිප්පුයි තමයි. ඒකට නම් කමක් නෑ, මේ ළමයින්ගේ හැටි බලන්න දැන්.

ළමයින්ට වතුර ටිකක් රත් කරගන්නවත් අපට විදිහක් නෑ, කොස්ලන්ද වත්තේ ඉස්ටෝරුව, ක්වාටස්, ‍ඉස්පිරිතාලේ තියෙනවා. මෙතන වතුරත් නෑ. අපට ඉන්න තැනක් දෙනවා නම් මොනවා නැතත් කමක් නෑ.” එල්. යෝගරාජ්, ටී. පුහලිනී, ඒ. ලෙච්චමන්, ඇතුළු ඒ මොහොතේ සිටි පිරිස ඉල්ලා සිටියහ.

එම්. වේලු වසර 33, පී. කදුරුවේල් වසර 45 ආදී වශයෙන් වත්තේ වැඩ කර ඇත්තෝය. ඔවුහු තමන්ගේ සේවක අර්ථසාධක අරමුදලේ අංක පවා පෙන්වමින් එය තහවරු කරන්නට උත්සාහ ගත්හ.

පස් යටින් මතුකරගත් මහාමුනි දේව පිළිමය

විශාල කල්දේරම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සපයා ඇත. ඒවා පන්ති කාමරවල බැම්මට හේත්තු කර තිබේ. සෝදා පිරිසුදු කරන තැන එකම මඩ වගුරක් බඳු නේදැයි අප කතා වන විටම මහජන සෞඛ්‍ය නිලධාරී රවීන්ද්‍ර පියරත්න මහතා පාසලේ කටයුතු සඳහා එහි පැමිණියේය.

“මෙතැන පුද්ගලයින් 64 දෙනකු විතර ඉන්නවා. දවල් වරුවේ අපි ආව‍ට කට්ටිය නෑ. වත්තේ වැඩට ගිහින්. කානුවක් කපලා වතුර ටික බස්සන්න කීවාම අපෙන් උදලු ඉල්ලනවා. අතු ගාලා තියාගන්න කීවාම ඉදල් ඉල්ලනවා. ඉස්කෝලෙ තියෙන ඒවා අරගෙනවත් කරගන්න කැමති නෑ.

ක්ලෝරීන් ටික දුන්නට ඒවා දාගන්නේ නෑ. කලින් නම් වත්තෙන් කම්කරුවන් දුන්නා පිරිසුදු කරන වැඩවලට. රාජ්‍ය නොවන ආයතනත් ආවා. දැන් නම් පේන්න නෑ. දෙවියන්ගේ පිහිටෙන් තාම ‍බෝවෙන රෝගයක් වාර්තා වුණේ නෑ.”

මීරියබැද්ද පාසල එදා සිටම වැසී ඇති නිසා ඇතැම් දරුවන් ඉගෙන ගන්නේ ද මේ පාසලේය. එක පන්තියක සිටිය යුතු සංඛ්‍යාවට වඩා ළමයින් ‍සිටීම නිසා ඇතැම් දරුවන් අකුරු කරන්නේ පැදුරු හෝ රෙදිකෑලි මත ඉඳය. සමහර පන්තිවල ළමයින් 58ක් පමණ වේ.

මේ දර්ශනවලින් හිස පුරවාගෙන අප නාය ගිය කන්ද දෙසට ගියෙමු. 37 දෙනකුගේ ඉරණමට උඩින් පෙරළී ගිය පස් කුට්ටි මත ටකරං කෑලි, කලිසම් කෑලි, පෑන්, උළුවහු කොටස් මතු වී තිබේ. තැනක මඩ වතුර පිරී ඇති විට අප සමඟ ගිය කනගරාජ් කීවේ, ඒ හමුදාවෙන් මළ සිරුරක් සොයා ගත්

පූනාගල තේ ගබඩාවේ හමුදාවෙන් සකසා දුන් කඳවුර

තැනක් බවයි. ඒ තැන් පසුකර කන්ද දෙසට යන විට හමුදාවෙන් පාදාගෙන තිබූ උඩු බැලි අතට පස් මත වැතිරී නාය ගිය කන්ද දෙස බලා සිටින මහා මුනි දේවරූපය දක්නට ලැබුණි. ඊට පහළින් දේවා‍ලයේ නුග රුක පෙරළී ඇත.

“සමහරු කියලා තිබුණා අපි මේ දෙවියන්ට බිලි පූජා තියන නිසයි මෙහෙම වුණේ කියලා. ඒත් අපි අලුත් අවුරුද්දේ ඉඳන් දවස් 48ක් යනකල් කරෝලවත් කන්නේ නෑ මේ දෙවියන්ට බයට. මේක අපේ පරම්පරාවේ අය ඉන්දියාවේ ඉඳලා එද්දී ගෙනා එකක්.” කන්දසාමි පැහැදිලි කළේය.

අප මීරියබැද්ද වසා දමා ඇති පාසලට යන මඟ මුණ ගැසුණේ පලනි අනියණ්ඩි සාරදා දේවීය. ඉතා උනන්දුවෙන් අපවෙත ආ ඇය මෙසේ කියන්නට ගත්තාය.

“අනේ අපට මීරියබැද්ද ඉස්කෝලේ ඇරලා දෙන්න කියන්න. මාස තුනක් ඉස්කෝලේ යවන්නැතිව බලා ඉඳලා දැන් හැමදාම රුපියල් පනහක් දීලා තමයි ළමයි ඉස්කෝලේ යවන්නේ. උදේට නම් බස් එක තියෙනවා. ඒත් ඒක ආපහු එන්නේ 2.30ට. පොඩි පන්ති ඇරෙන්නේ 12.30ට.”

එය අවදානම් බව පිළිගන්නට ඇය අකැමැතිය. ඔවුන් සිතන්නේ යළි කිසිදාක මේ කන්ද නාය නොයන බවකි. එහෙත් වත්තේ තලෛවර් සුබ්‍රමානියම් හා ඔහු සමඟ සිටි පිරිස කී කතාවෙන් අපට වුවද තවත් අවදානමක සේයාවක් දැනේ.

“නාය ගිය තැන පිපිරුමක් තියෙනවා කියලා අවුරුදු ගාණක් තිස්සේ කීවා. දැන් උඩ පාරෙත් පිපිරීමක් තියෙනවා. ඒකත් අවුරුද්දක් විතර ඇති. ආපදා කළමනාකරණ වාර්තාව තිම හරියට දුන්නද කියන්න දන්නේ නෑනේ. අපිටත් මාස තුනක් තිස්සේ වැඩ නෑ.”

පැදුරු මත අකුරු කරන ශ්‍රී ගනේෂා විදුහලේ දරුවන්

ඔහුට එක් වූ අන්නදොරේ ඇතුළු පිරිස නාය ගිය තැනට තරමක් ඈතින් පිහිටි අලුතෙන් තැනූ බව පෙනෙන ගෙවල් කීපයක් පෙන්වමින් පැවසුවේ,

“අපිට යන්න කිව්වත් අපි කොහේ කියලා යන්නද? මේ ගෙවල් අපට හදාගන්න කියලා ඉඩම දුන්නා. ඒත් දැන් අවදානම් කියලා ඉන්න එපා කියනවා. ගෙවල් හැදුවට ණය පඩියෙන් කැපෙනවා.

ලයිට් නෑ, වතුර නෑ. නාය ගිය පවුල් තිහට දෙන්න කියලා අලුත් ආණ්ඩුවෙන් මකල් කන්දේ ගෙවල් හදන්න කියලා මුල්ගල් තිබ්බා මේ මාසේ පළමුවැනිදා.

ඒත් මේ වෙද්දි පවුල් ගාන 108ක් වෙලා. නාය යන්න කලින් එක ගෙදර හිටිය අය දැන් වෙනවෙනම ගෙවල් ඉල්ලනවා. සමහරු ‍මරදානෙන්, තිස්සමහාරාමෙන් ඇවිල්ලා කඳවුරුවල ඉන්නවා ගෙවල්, ආධාර ගන්න.”

මේ කතාවම පූනාගල තේ කර්මාන්තශාලා කදවුරේ සිටින අයගෙන් විමසූ විට ඔවුන් පැවසුවේමෙසේය.

“මීට අවුරුදු දහයක‍ටත් කලින් අපට කීවේ නාය යනවා කියලා. ඒ නිසා 2007 දී ස්කීම් එකක් හදන්න පර්චස් හත ගානේ දුන්නා. වතු භාරය කීවේ වැඩ කරන අයට විතරක් ගෙවල් හදලා දෙන්න පුළුවන් කියලා.

පවුල් නවයකට බෙදුණු පන්ති කාමරයක්

වත්තේ වැඩ කරන පවුල් ඉන්නේ 20ක් විතර. අනෙක් 45ක් විතර වැඩ නොකරන අය. අපි දැන් පඩියෙන් රුපියල් 2500ක් ගෙවනවා භාරයට.”

ශ්‍රී ගනේෂා පාසලේ පිරිසට වඩා පිළිවෙළකට වෙන් කළ කාමරවල විදුලිය ජලය සහිතව සිටින පිරිස මිය ගිය තම ඥාතීන්ගේ මරණ සහතික දෙස බලා සුසුම් හෙළති‍. ඒ සමඟම ඔවුහු මෙසේද කීහ.

“අපි ඉස්සර හමුදාව ගැන හිතාගෙන හිටිය විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නායගියාට පස්සේ. ඒ මොහොතේ ඉඳන් අද වෙනකල් රෑ දවල් හැම තත්පරයකම ඒ අය අපිත් එක්ක හිටියා.

අපට කන්න උයලා දුන්නා, අපේ පිඟන්, වැසිකිළි පවා හෝදලා දුන්නා. මේ විදිහට ඉස්ටෝරුව කාමරවලට වෙන් කරලා හදලා දුන්නා. අ‍පි මැරුණත් ඒක අමතක වෙන්නේ නෑ. අමතක කරන්නත් බෑ.”

“හැබැයි සමහර රජයේ සේවකයන් ගැන කියන්න බෑ. අපට ගෙනා ආධාර ලොරි තුනක් දින පැනලා කියලා ඊයේ පෙරේදා පුච්චලා දැම්මා. තව ඒවා ගොඩගහලා තියෙනවා, දෙන්නේ නෑ. ආධාර ලොරි 1558ක් ආවා කියලයි කියන්නේ. මේ පළාතටම කන්න දෙන්න තිබුණා හරියට බෙදුවා නම්. ඒවාට මොක ද වුණේ කියලා දෙවියෝ තමයි දන්නේ. අපට ලැබෙන මුදල බෙදලා බැලුවොත් දවසට එක්කෙනාට රුපියල් විස්සයි වෙන්වෙන්නේ‍.”

පාසලට ගොස් එන විට මව්පියන් හෝ ගෙවල් දොරවල් කිසිත් දක්නට නොතිබුණු ගජිනි, සුරේෂ් කුමාර්, චන්ද්‍රන් වැනි දරුවන් තමතමන්ට හැකි අයුරින් නෑදෑ හිතමිතුරන්ගේ පිහිටෙන් ජීවත් ‍වන්නේ ද මේ කඳවුරේය. මේ තත්ත්වයට වගකිව යුත්තෝ කවරහුද?

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටබක්ම ග්‍රාම සේවා වසමේ අංක 155ඩී මීරියබැද්ද වත්ත කොටසක් නායගිය පසු කරන ලද විමර්ශනයේදී ලද විවිධ සාක්කි මෙය තේරුම් ගැනීමට ඇති හොඳම සාධකයයි.

කැඩී බිඳී ගිය ෙව්ල් රථය

එයට අනුව 2005 මැයි 13 දින ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් කරන ලද පරීක්ෂාවලට අනුව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තාවක් සපයමින් නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ නායයෑම් අධ්‍යයන හා සේවා අංශ ප්‍රධානී විසිනි. ග්‍රාම නිලධාරීවරිය සිද්ධියට පෙර දිනයේද ආපදා සහන සේවා නිලධාරියා සමඟ ගොස් ඉරි තැළීම් ඇති නිසා ගත යුතු ආරක්ෂක පියවරද කියා දී ඇත.

ආපදා සහන සේවා සංවර්ධන නිලධාරීවරයාද ගනේෂා දෙමළ විදුහලේ දී පදිංචිකරුවන් 275කගේ සහභාගීත්වයෙන් දින දෙනකක වැඩමුළුවක් මඟින් නාය යෑමකට පෙර කටයුතු කළ යුතු ආකාරය කියා දී තිබේ. එහෙත් එහිදී තම ඉඩම් රජයට පවරා ගන්නට හදනවා යැයි වැරැදි වැටහීමකින් පිරිස විසිර ගොස් තිබේ.

ඔහුගේ ප්‍රකාශයට අනුව මේ වැනි ආපදා තත්ත්වයක් පිළිබඳ වතු අධිකාරීවරයා දැනුම්වත් කර ඇත්තේ ලිඛිතව නොව වාචිකවය. එවක ප්‍රාදේශීය ලේකම්වරියට මේ පිළිබඳ ආපදා කළමනාකරණ සංවිධානය මඟින් දැනුම්දීමක් කළේදැයි මතක නැති බව පවසා තිබේ.

කෙසේ වෙතත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ භූවිද්‍යාඥ ප්‍රධාන කාර්යාලයෙන් වාර්තාවක් එවක බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට යවා ඇත්තේ මීරියබැද්ද වත්ත කොටසේ මහමුනි දේවාලයට යාබද අක්කර 10ක පමණ භූමියේ කළ ක්ෂේත්‍ර පරීක්ෂණ අනුව ඊශාන නිරිත දිසාව ඔස්සේ ඇති කඳුවැටියේ ගිනිකොන දෙසට ඇති බෑවුමේ මැද ‍කොටස අස්ථාවර බවත්, එය බයෝසයිට් නයිසර් පාෂාණයෙන් සමන්විතව මොහොර බෑවුම මත පිහිටා ඇති නිසා 2005 දුටු නාය යෑම් ලක්ෂණ 2011 වන විට වැඩි වී ඇති බවයි‍‍‍. එය ඔහු හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට බාර දී ඇත.

එසේම පදිංචිකරුවන්ගෙන් ලද ප්‍රකාශවල දී රෙන්ගන් සුබ්‍රමනියම්, නල්ලතම්බි ඥානසේකරම්, පෙරුමාල් මුක්කායි‍, ඇතුළු අය ප්‍රකාශ කර ඇත්තේ මේ ඉඩම් නාය යන බවට පෙර දැනුම් දීම් කොපමණ කර තිබුණත්, පදිංචියට වෙනත් ස්ථාන ලබා දී ඒතැන්වල‍ට යෑමට බලාපොරොත්තු වුවද නාය යනතුරුම එය කරන්නට බැරි වූ බවය.

අම්පිටිකන්ද වතු අධිකාරීවරයා පවසා ඇත්තේ තමන්ට කිසිදු වාචික හෝ ලඛිත දැනුම්දීමක් කර නැති අතර දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුවද ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කරන්න‍ට කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවූ බවය.

හිටපු ජනාධිපතිවරයකු වූ ජෙ.ආර්. ජයවර්ධන මහතා වරක් කීවේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගත යුතු බවය.එය එදා කුමන අරුතකින් කිවත් මේ වැනි සිදුවිම්වලදී සැකයට බඳුන්වන එක් කරුණක් නම් මීරිය බැද්දේ පදිංචිකරුවන් තමන්ගේ ජීවිත ඇපයට තබා අත්තේ දැනදැනම ද යන්නය.

එහෙත් දැන් සිදුවුණ දේ ගැන කතා කිරීමට වඩා වැදගත් වන්නේ කළ යුතු දේ ගැන කතා කිරීමයි. පසුගිය රජයෙන් නව නිවාස ඉදිකිරීමට යෝජනා කළ ස්ථානය ට මොවුන් කැමති නැත. වත්මන් රජය මුල්ගල් තැබූ මකල්කන්දේ නිවාස සංකීර්ණය හැකි ඉක්මනින් ඉදිකර මොවුන්ගේ පදිංචියට ලබා දීම හොඳම විසඳුම බව ඔවුන්ගේ මතයයි. එහෙත් අවදානම දැන දැනම මීරියබැද්ද පාසල විවෘත කිරීම වැනි ඉල්ලීම් කිරීමට පෙර තමන්ගේ ජීවිත පිළීබඳ තමන්‍ට ඇති වගකීම ඔවුන් විසින්ම අවබෝධ කරගත යුතුව ඇත.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්