මේ ගීතය දේශපාලන 'වැඩක්' නෙමෙයි
මේ ගීතය දේශපාලන
'වැඩක්' නෙමෙයි
දර්ශන රුවන් දිසානායක
මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් “උත්තරීතර දේශයයි
මේ“
සුවිශේෂ දේශාභිමානි ගීතය එළිදැක්වීම මෙම 17 වැනිදා සවස 6.00 ට ජාතික
චිත්‍රපට සංස්ථාවේ “තරංගනී“ සිනමා ශාලාවේදී සිදු කිරීමට නියමිතය. “විදේශික
ආක්‍රමණ හමුවේ වැසී ගිය ශ්‍රී ලාංකේය ඓතිහාසික
අභිමානය යළි ස්ථාපිත කිරීමේ තේමා ගීතය“ ලෙස හඳුන්වා දී ඇති මෙම ගීතය සංගීතඥ
දර්ශන රුවන් දිසානායකගේ නිර්මාණයකි. අපේ ගායක
ගායිකාවන් විසි දෙදෙනෙකු විසින් ගායනා කරනු ලබන මෙම විශේෂ ගීතය (“උත්තරීතර
දේශයයි මේ“) පිළිබඳ දර්ශන රුවන්
“රසඳුන“ සමඟ කළ කෙටි
පිළිසඳරකි මේ.
ලොවම ශිෂ්ටාචාර ගත කළ
පරම මිනිසුන්ගේ දේශයයි මේ
අරාජික වූ කාලයක සිට
අනාගතයට පාර පෙන්වනා
පරම මිනිසුන්ගේ
උත්තරීතර දේශයයි මේ...
ආදරය කරුණාව ගලනා
ගඟුල් දිය ඇලි කඩා හැලෙනා
උතුම් මිනිසත් අනුහසින්
කඳු නිම්න උල්පත් උතුරන
උත්තරීතර දේශයයි මේ...
කැඩපතක පිළිරූ ඇදී යන
මදහසින් මදහසක් යාවෙන
නිදහසින් නව අරුතම අරගෙන
එකම හැඟුමක එකට පේවුණ
පරම මිනිසුන්ගේ
උත්තරීතර දේශයයි මේ...
අසම්මත යුග දුර නිමා කොට
මහා සම්මත යුගය අරඹන්න
එදා සිව් හෙළයේම යුක්තිය
යළිත් පසිදින්න
අත් පසුර බැඳ ගනිමු මිනිසුනි
යළිත් නොබිදෙන්න...
(පද රචනය - අමිල තේනුවර)
(සංගීතය - දර්ශන රුවන් දිසානායක)
(ගායක ගායිකාවෝ 22 ක් ගයති.)
“මේ ගීතය දේශපාලන වැඩක් කියා සමහරු ලඝු කොට සලකන බව හැඟෙනවා. එය වැරදියි. මේ
රටේ ජාතික අවශ්‍යතාවයක් තමයි මේ ගීතයෙන් ඉටු කෙරෙන්නේ. අපේ මේ ‘උත්තරීතර
දේශයයි‘ ගීතය එළිදැක්වීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන්නේ එතුමා මේ රටේ භාරකාරයා නිසයි. විදේශික ආක්‍රමණ
හමුවේ වැසී ගිය ශ්‍රී ලාංකේය ඓතිහාසික අභිමානය යළි ස්ථාපිත කරන්න නම් අපි මේ
අවස්ථාවේ කියන්න ඕනේ වර්තමානයේ මේ රටේ භාරකාරයා වන එතුමාට නොවේ ද.
පැහැදිලිවම මේ ගීතය එළිදැක්වීම රටට, ලෝකයට, විශ්වයට ආදරය කරන සුන්දර
කලාකරුවන්ගේ වැඩක් මිස දේශපාලන වැඩක් නෙමේ කියා මං සහතික කර පවසනවා.“
එහෙත් මෙම ගීතය හා සම්බන්ධව දේශපාලන මුහුණුවරක් දක්නට ලැබෙනවා නේද..?
“ඒ දේශපාලන මුහුණුවර ලෙස පෙනෙන්නේ මේ ගීතයේ ඇති දේශාභිමානයයි. ශ්‍රී ලාංකේය
ඓතිහාසික අභිමානයයි. එසේ නැතුව රාජ්‍ය පාලකයින්ට ළං වෙලා තමන්ගේ ගොඩ වැඩි
කරගත්ත ඔය ඇතැම් කලාකරුවන් වගේ පෞද්ගලික පටු පරමාර්ථ ඇතුව මේ ක්ෂේත්‍රයේ වැඩ
කරන කෙනෙක් නෙමෙයි මම. වර්තමාන රාජ්‍ය නායකයායි මමයි එකම ගමේ ඉපදුණු දෙදෙනෙක්.
මගේ පියාගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න එතුමා පැමිණි අවස්ථාවේදීත් මං
එතුමාගෙන් ඉල්ලුවේ - ‘වකුගඩු රෝගය තුරන් කරන්න‘ කියා පොදු අවශ්‍යතාවක් මිස
මගේ පෞද්ගලික උවමනා එපා කමක් නෙමෙයි. එතුමා එම ඉල්ලීම ඉටු කරමින් සිටිනවා. මේ
ගීතයෙනුත් අපි ඉල්ලන්නේ මුළු ලෝකයම ශිෂ්ටාචාර ගත කළ පරම මිනිසුන් වන අපේ දේශයේ
යුක්තිය පසිදලන්න, යළිත් නොබිදෙන ලෙස අත්වැල් බැඳගන්න සහ ශ්‍රී ලාංකේය
ඓතිහාසික අභිමානය යළි ස්ථාපිත කරන්න කියායි.“
“ලෝකයම ශිෂ්ටාචාර ගත කළ පරම මිනිසුන් අපියි“ කීමෙන් ඔබ ලෝක ඉතිහාසයට පවා
අභියෝග කරනවා නේද...?
“සංගීතයට අමතරව මගේ විෂය වන්නේ ඉතිහාසය. ලෝක ඉතිහාසය. එතැනින් එහාට යනවිට
නූතන විද්‍යාව හා පුරා විද්‍යාවට අනුව චාල්ස් ඩාවින්ගේ මතය (පරිණාමවාදය) පවා
අභියෝගයට ලක් වී තිබෙනවා. (දර්ශන ශාස්ත්‍රීය වැදගත් කමකින් යුතු දීර්ඝ
විස්තරයක් කරයි. ඔහු සතුව ඉතිහාසය හා සම්බන්ධ මනා දැනුම් සම්භාරයක් ඇති සේ
ය.) රුමේනියානු ශිෂ්ටාචාරය උගන්වන කොට අපිට කියනවා පෙරදිගින් පැමිණි කළු
හිස් සහිත මිනිස්සු එම ශිෂ්ටාචාර බිහි කළා කියලා. අවුරුදු තිස් දහසකට වඩා පැරණි
ලෝක ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් අපිට තියෙනවා. ලෝකයේ මිනිස්සු ශිෂ්ට කරපු උදාර
මානවයාගේ දේශය ශ්‍රී ලංකාව කියලා සනාථ කරන්න ඉතිහාසයේ පැහැදිලි සාක්ෂි
තියෙනවා. ඉතිහාසය කියන්නේ අනාගතයයි. ඉතිහාසයෙන් තමයි වර්තමානය නිවැරදි
කර ගන්නේ. ඒ නිසා ඉතිහාසය වැඩක් නැහැ කියලා කාටවත්ම කියන්න බැහැ. හෙළ ඉතිහාසය
තුළ ලෝකෙට දෙන්න බොහෝ ආදර්ශ තියෙනවා. අපේ රටේ ඉතිහාසය කියන්නේ මුළු ලෝකෙම
අනාගතයයි.“
ඔබට “උත්තරීතර දේශයයි මේ“ ගීතය නිර්මාණය කිරීමේදී දායක වූ ශිල්පීන් කවුරුන්
ද...?
“නූතන ගීතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස මා දකින ගී පද රචක අමිල තේනුවර, රූප රචනයෙන්
සුජීව ගුණරත්න, මූල්‍යමය සද්කාරයෙන් එනම් නිෂ්පාදනයෙන් නිහාල් මායාදුන්නේ
දායක වුණා. මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ලතා වල්පොල, ටී. එම්. ජයරත්න,
රෝහණ බැද්දගේ, අමරසිරි පීරිස්, ජගත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, ශෂිකා
නිසංසලා, රන්ජන් සාලිය, දුමාල් වර්ණකුලසූරිය ඇතුළු ගායක ගායිකාවන් විසි
දෙදෙනෙක් ගායනයෙන් දායක වෙනවා. චරිතය ඝාතනය කර ගත් කිසිවෙකු මේ ගීතය
නිර්මාණය කිරීමට දායක කර ගත්තේ නැහැ. තරුණ සංගීතවේදීන්ගේ සහ ලේඛකයින්ගේ
සංගමයෙන් තමයි ‘උත්තරීතර දේශයයි මේ‘ ගීතය එළිදැක්වීම සංවිධානය කරන්නේ.
පොළොවේ පස් වල සුවඳ දන්න තරුණ ළමයි සමඟ ප්‍රවීණ කලාකරුවන් එක් වී නිර්මාණය කරන
දේශභිමානි ගීතයක් මෙය. ශ්‍රී ලාංකේය ඓතිහාසික අභිමානය යළි ස්ථාපිත කිරීමේ
තේමා ගීතය ලෙස මෙම සංකල්පය, සිතුවිල්ල මගේ සිතේ උපන්නක් වීම පිළිබඳ මා
නිහතමානීව සතුටු වෙනවා.“
ජෝජ් රොබ්සන් ද සිල්වා
|