සසර වසන තුරු ප්‍රේමය
සසර වසන තුරු ප්‍රේමය
මෙලොවට පෙම් කිරීම එකකි. මෙලොවදී පෙම් කිරීම එකකි. එහෙත් එලොවට පෙම් කළ හැකි ද?
මෙලොවදී පෙම් කිරීම හා මෙලොවට පෙම් කිරීම එකක් නොවේ. අප ඇත්තටම කරන්නේ මෙලොව දී
ප්‍රේම කිරීම ද නැතිනම් මෙලොවට ප්‍රේම කිරීම ද? මේ මෙලොවට කරන ප්‍රේමය නිසා ම
ඇත්තටම අපට මෙලොවදී ප්‍රේම කරන්නට අමතක වීම ද සිදුවේ. මෙලොවට ඇති ප්‍රේමය නිසා
ම අපට මෙලොවදී ප්‍රේමය අහිමි වේ.
එලොවට පෙම් කිරීම හා එලොවදී පෙම් කිරීම අතර ද සුළු වෙනසක් ඇත. ඉපදෙන ආත්මයක්
ආත්මයක් පාසා ඔබ මගේ යයි කියන විට ඉන් අදහස් වන්නේ එලොවට පෙම් කිරීමට ද වඩා
එලොවදී ද ප්‍රේම කිරිමය. මතු සසරේදීත් ඔබම හමුවේවා යැයි පතන විට එය ද එලොවදී
ද ප්‍රේම කිරිමට බලාපොරොත්තු වීමයි. එහෙත් මෙසේ එලොවදී ද ප්‍රේම කළ හැක්කේ
මෙලොවදී ප්‍රේම කළහොත් පමණි. මෙලොවදී අපට ප්‍රේම කළ හැක්කේ අප මෙලොවට පමණක්
නොව එලොවට ද පෙම් කළ හොත් පමණි.
එනම් එලොව අමතක කර අප මෙලොවට කරන ප්‍රේමය නිසා
අපට මෙලොවදීත් ප්‍රේම කරන්නට අමතක වන අතර ඒ නිසා ම එලොවදී ප්‍රේමයගැන
බලාපොරොත්තු තැබීම ද අපහසු වේ. අනෙක් අතට මෙලොවට පමණක් නොව එලොවට ද ප්‍රේම
කරන්නේ නම් අපට මෙලොවදී ද ප්‍රේමය හමුවන අතර ඒ නිසා ම මතු ආත්මයේ දී ප්‍රේමය
හමුවීම ගැන බලාපොරොත්තුවක් තැබීමට ද හැකිය.
මෙලොවට පෙම් කිරීමට ද වඩා අප ඇත්තටම කරන්නේ මෙලොව සියල්ල අප සන්තක කරගැනීමට
උත්සාහ දැරීමයි. එහිදී අපට අමතක වන්නේ අපට කවදා හෝ මෙලොව හැර දමා යන්නට සිදුවන
බවය. මෙලොවට පමණක් නොව එලොවට ද පෙම් කළ යුතු වන්නේ ඒ නිසාය. මක්නිසා ද යත්
පවතින්නේ මෙලොව පමණක් නොවන බැවිනි. එලොවක් ද පවතින බැවිනි. එලොවක් ද පවතින්නේ
නම් මෙලොවට පමණක් නොව එලොවට ද පෙම් කළ යුතු වන බැවිනි. අනෙත් අතට මෙසේ ද කිව
හැකිය.
එනම් එලොවට පෙම් කිරීම යනු නොදන්නා හෝ නිශ්චිත නොවන එලොවකට යාමට උත්සාහ
කිරීමට වඩා මෙලොවින් සමුගැනීම උදෙසා ක්‍රමයෙන් සූදානම් වීමක් වශයෙන්
හැඳින්වීමය. එනම් නැතිවන මෙලොවට පමණක් පෙම් බැඳීමෙන් වැළකී අපට හිමිවන්නට
නියමිත එලොවට ද පෙම් බැඳීමට හුරු වීමය.
මෙලොව ගැන ඇති ප්‍රේමය අවසාන වන්නේ ඉතා ඛේදජනක අයුරිනි. වියෝ දුකකිනි. එහෙත්
එලොව ගැන ප්‍රේමය එසේ අවසාන නොවන බව අපට කිව හැකිය. එනම් අප පෙම් කරන දෙය අපට මුණ
ගැසෙන බැවිනි. එලොව යන්නට වන බැවිනි. ඒ අනුව මෙලොවට පෙම් කිරීමට වඩා එලොවට පෙම්
කිරීම අර්ථවත් යැයි ද කිව හැකිය. අපට හමුවී ඇති දෙයට පමණක් නොව හමුවන්නට ඇති
දෙයට ද පෙම් කිරිම වශයෙන් එලොවට පෙම් කිරීම හඳුන්වාදිය හැකිය.
ඇත්තම නම් මෙලොව ප්‍රේමය ද අර්ථවත් වන්නේ අප එලොවට පෙම් කරන තරමට බවය. එනම්
කවදා හෝ මෙලොවින් යන්නට සිදුවන බව දැනගෙන වාසය කිරීම එලොවට ප්‍රේම කිරීම
වශයෙන් අර්ථ දැක්වීමට හැකිය.
මේ අනුව ප්‍රේමය මෙලොවදී පමණක් පැවතීමට ඉඩ නැත. මෙලොවදී ප්‍රේමය පැවතීමට නම්
එලොව දී ප්‍රේමය පැවතිය යුතුය. නොඑසේනම් එලොවට ද පෙම් කළ යුතුය. එසේම එලොවදී
ප්‍රේමය අවශ්‍ය නම් මෙලොවදී ද පෙම් කළ යුතුය ආදී වශයෙන් ද පැවසිය හැකිය. ප්‍රේමය
නිමක් නොවේ යැයි කියන්නේ මේ නිසාය. නොඑසේනම් මොබයිල් එකෙන් නිමක් නොකර චැට්
කරමින් සිටින නිසා නොවේ. එනම් ප්‍රේමය අර්ථවත් වන්නේ එලොව මෙලොව සියල්ල යා කිරීම
තුළ බවය.
එහෙත් ඒ වෙනුවට අප කරන්නේ මෙලොවට පමණක් පෙම් කිරීමයි. මෙලොව සියල්ල
අත්පත් කරගැනීමට උත්සාහ කිරීමයි. ඒ තුළ අපට අහිමි වන්නේ ප්‍රේමයයි. මෙලොවට
පෙම් කිරීම හෝ මෙලොවදී පෙම් කිරීම පමණක් නොව එලොවට ද පෙම් කළ යුතු බව මා කියන්නේ
මේ නිසාය.
ප්‍රේමය මෙලොවින් එලොවට රැගෙන යාම ඉතා අසීරුය. මේ අසීරු වැඩේ කරන්නට ගොස් මා ද
අමාරුවේ වැටුණු බව මට සිතේ. එහෙත් ප්‍රේමයේ නාමයෙන් ඒ අසීරු කාර්යය කරන්නට
උත්සාහ දැරිය යුතුය. බණ කියනවාට ද වඩා මා උත්සාහ කළේ ප්‍රේම කිරීමට උත්සාහ කිරීම
යැයි මගේ සිතේ සතුටක් ද ඇත. බණට ද පෙම් කළ යුතුය. එහෙත් වැදි බණ නිසා බණ හා අප අතර
ප්‍රේමය පළුදු වී තිබේ. අණට වඩා බණ වැදගත් බැවින් අප සැබවින්ම කළ යුත්තේ අණ
කිරිමට වඩා බණ කීමයි.
එහෙත් බණ ද අණට යටත් වන තත්ත්වයක දී අණ මෙන් බණ ද තේරුමක්
නැති තත්ත්වයකට පත් වේ. බණ කීමට වඩා ප්‍රේම කිරීම වැදගත් යැයි මම කිසිසේත් ම
නොකියමි. විද්‍යාචක්‍රවර්ති කියා ඇති බණ කිසිඳු ප්‍රේම කතාවකටත් වඩා මට
මිහිරිය. එසේනම් මා කරන්නට හදා ඇත්තේ බණ තුළ ප්‍රේමය ජීවමාන කිරීම හෝ ප්‍රේමය
තුළ බණ ජීවමාන කිරීම යැයි ද කිව හැකිය. මේ ටික ලීවේ බණට ප්‍රේම කිරීමේ ආසාව ද මට
මැඬගත නොහැකි බැවිනි.
කෙසේ නමුත් අවසාන වශයෙන් කිසිදු හදවතකට ප්‍රේම කිරීමට වඩා එලොවට ප්‍රේම
කිරීමෙන් ම අපේ හදවතේ සැනසුම උදාවන බව කියන්නට මට අවසර දෙන්න. මෙලොව ඇති
උත්තරීතරම ප්‍රේමය එලොවට පෙම් කිරීම බව කියන්නට මට අවසර දෙන්න. එලොවට ද පෙම්
කළ හැකි නම් මෙලොව ප්‍රේමය ද කිව නොහැකි තරම් සුන්දර වන බව පැවසීමට මට අවසර
දෙන්න. ක්ලැරන්ස් විජේවර්ධන මෙලොවට මෙන් ම එලොවට ද පෙම් කළ අයකු බව පැවසීමට
මට අවසර දෙන්න. කරුණාසේන ජයලත් ද මෙලොවට මෙන්ම එලොවට ද පෙම් කළ අයකු බව
පැවසීමට මට අවසර දෙන්න.
ඔහුගේ ප්‍රේම කතා එතරම් ම ලස්සන වූයේ ද ඒ නිසා බව
පැවසීමට මට අවසර දෙන්න. අද අපේ ප්‍රේම කතා එතරම්ම ලස්සන නොවන්නේ අපට මෙලොවට
මෙන් ම එලොවට ද ප්‍රේම කිරිමට නොහැකි නිසා බව ද පැවසීමට මට අවසර දෙන්න. අප තුළ
එලොවට ප්‍රේම කිරීමේ හැකියාව අඩුවීම මෙලොවින් ප්‍රේමය තුරන් වීමට ද හේතු වී ඇති
බව පැවසීමට මට අවසර දෙන්න. ප්‍රේමය ගැන මට සිතාගත හැකි සුන්දරම කතාව එය බව ද
එහෙත් ඒ සුන්දර කතාව එතරම් ම සුන්දර ලෙස ලියාගැනීමට මට නොහැකි වූ බව ද
පැවසීමට මට අවසර දෙන්න.
|