ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

ආසියාවේ පමණක් නොව ලෝකයේම බලවතුන් ශ්‍රී ලංකාව සමග මිත්‍ර සබඳතා පවත්වාගැනීමට බොහෝ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. මීට හේතුව අන් කිසිවක් නොව ශ්‍රී ලංකාවේ පිහිටීමය.

ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකා භූමිය යනු කලාපයට පිවිසීමේ දොරටුවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මිත්‍රත්වයේ හස්තය දිනාගන්නා බලවතා කලාපයේම බලවතා වන්නේ නිරායාසයෙනි.

මේ ලියන මොහොත වන විටත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිටින්නේ ශ්‍රී ලංකා භූමියේ ය. ශ්‍රී ලංකාවට සැපත් ඔහු ගෞරවනීය පිළිගැනීමකට බඳුන් වෙමින් සිටින්නේ ය. ඔහුගේ පැමිණීමත් සමගම දෙරටේම ද්වීපාර්ශ්වික සබඳතා නව මගක් ගනු ඇත්තේ ය. එබැවින් මේ ගෙවී යන සෑම මොහොතක්ම දෙරටටම අතිශයින් වැදගත් වන්නේ ය.

ඉන්දීය අගමැතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන්නේ වසර 28කට පසුව ය. අවසන් වරට මෙරටට පැමිණි ඉන්දීය රාජ්‍ය නායකයා වූයේ අගමැති රජීව් ගාන්ධි ය. ඒ 1987 වසරේ දී ය. ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි රජීව් ආපසු සිය රට බලා ගියේ ආචාර පෙළපාලියේ දී නාවිකයකු එල්ල කළ පහරින් ලද අවමානය ද සමගිනි.

ඉන් පසු කිසිදු ඉන්දීය රාජ්‍ය නායකයකු නිල සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණියේ නැත. 2008 වසරේදී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මෙරටට පැමිණිය ද ඒ සාක් සමුළුවට සහභාගී විමට ‍මිස නිල සංචාරයක යෙදීමට නොවේ. 2013 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ද ඉන්දියාව විසින් වර්ජනය කරනු ලැබී ය.

මේ අනුව අග්‍රාමාත්‍ය මෝදි මෙරටට පා තබමින් මේ සිදු කර ඇත්තේ ‍ඓතිහාසික ක්‍රියාවකි. තවත් අතකින් දකින්නේ නම් ඒ අඳුරු යුගයක නිමාව සටහන් කිරීමකි. ඒ අඳුරු යුගය පැවතියේ වඩාත් සමීප අසල්වැසියන් දෙදෙනකු අතර වීම කණගාටුවට කරුණක් විය. ඒ අඳුරු යුගය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ උතුරු නැ‍ඟෙනහිර ක්‍රියාත්මක වූ යුද්ධය තරම්ම හෝ ඊටත් වඩා වැඩි කාලයක් පුරා පැතිර පැවතීම අහඹුවක් නොවන්නේ ය.

මේ සා දීර්ඝ වූ අඳුරු යුගයක් නිමා කරමින් දෙරට අතර සබඳතා යාවත්කාලීන කරගැනීමට දෙරටම, විශේෂයෙන් ඉන්දියාව දැක්වූයේ බලවත් උනන්දුවකි. ඒ බව පැහැදිලිව පෙනී ගියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ගිය අවස්ථාවේ දී ය.

නරේන්ද්‍ර මෝදි බලයට පත් වන්නේ භාරතීය ජනතා පක්ෂයෙනි. ඉන්දීය දේශපාලනයට අනුව භාරතීය ජනතා පක්ෂය වඩාත් දක්ෂිණාංශික ය. කොංග්‍රසය වමට බරය. මේ ප්‍රධාන පක්ෂ දෙක රට පාලනයේ දී ගෙන යන්නේ එකිනෙකින් පරිබාහිර වූ ක්‍රමවේදයන් ය. දේශපාලනයේ දී ඔවුහු එකිනෙකින් විරුද්ධ මත දරන්නෝ ය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආගමනයේ දී ඉන්දියාව මේ සියලු මතවාදමය විරෝධතා අත්හැර ඔහු පිළිගැනීමට එක් විය. ඒ අන් කිසිවක් නිසා නොව ඉන්දියාව නම් වූ තම මවු බිම වෙනුවෙනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දියාව සමග මිත්‍රශීලී පිළිවෙතකට පැමිණීම ඉන්දියාවට ආශීර්වාදයක් විය. ඔවුන් ඒ මිත්‍රත්වයේ හස්තය පිළිගත්තේ උපරිම ගෞරවය ඒ සඳහා පිරිනමමිනි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම විපක්ෂය වූ කොංග්‍රසයේ නායිකා සෝනියා ගන්ධි සහ මන්මෝහන් සිං ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සියලු දේශපාලනඥයන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා පිළිගැනීමට පැමිණීමෙන් ඒ බව තහවුරු විය. ඔවුන්ගේ අරමුණ වූයේ මෙතෙක් කල් තමන් හා විරසක වී සිටි අසල්වැසියා සමග යළි මිත්‍ර වීමය.

මේ අනුව බලන විට පෙනී යන්නේ ආසියාවේ පමණක් නොව ලෝකයේම බලවතුන් ශ්‍රී ලංකාව සමග මිත්‍ර සබඳතා පවත්වාගැනීමට බොහෝ උනන්දුවක් දක්වන බවය. මීට හේතුව අන් කිසිවක් නොව ශ්‍රී ලංකාවේ පිහිටීමය. ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකා භූමිය යනු කලාපයට පිවිසීමේ දොරටුවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මිත්‍රත්වයේ හස්තය දිනාගන්නා බලවතා කලාපයේම බලවතා වන්නේ නිරායාසයෙනි.

පසුගිය සමයේ දී මේ වාසිය දිනාගනිමින් සිටියේ ආසියාවේ මෙන්ම ලෝකයේ ද බලවතකු වන චීනයයි. ආසියානු කලාපයේ බලවතුන් ලෙස චීනය සහ ඉන්දියාව එකිනෙකා සමග සීතල යුද්ධයක සිටින බව රහසක් නොවන්නේ ය. ලෝකයේ බල තුලනය යනු කෙස් ගසකින් එහා මෙහා වන තරමේ සියුම් දෙයකි. නිසි කාලය සහ අවස්ථාව ලත් තැන එය උපයාගන්නා බලයට හිමිකම් කියන්නේ ය‍.

චීනය ශ්‍රී ලංකාව සමග පමණක් නොව මාලදිවයින සමග ද වඩාත් සමීප ද්වීපාර්ශ්වීය සබඳතා පවත්වමින් අරමුණු කර සිටියේ කලාපයේ බලය තම තනි සුරතට ගැනීමය. එහෙත් ඉන්දියාව එය එසේ වනවාට කැමැත්තක් දැක්වූයේ නැත.

පසුගිය වසරේදී චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමග සහයෝගය ඇතිව පැරණි සේද මාවත යළි පවත්වාගත යුතු බවයි. සේද මාවත සංකල්පය යටතේ කුඩා රටවල වරාය සංවර්ධනය කිරීමට චීනය අරමුණු කරගෙන සිටි අතර ඒ ඔස්සේ කලාපයේ රටවල වරාය පාලනය කිරීමේ බලය තමන් සතු කරගැනීමේ අරමුණක් ද ඔවුන් තුළ විය. සේද මාවත යළි ඉඳි කිරීම යනු නැගෙනහිර චීනය සමග බලවත් පර්සියන් ගල්ෆ් කලාපය ඍජුවම සම්බන්ධ කිරීමකි. ඒ ඔස්සේ චීනය ලෝකය සමග සම්බන්ධ වනු ඇති අතර ඒ මධ්‍යයේ ඉන්දියාව හුදෙකලා වනු ඇත.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දුරදිග ගිය සබඳතා යටතේ චීන සබ්මැරීන් සහ යුද නැව් ඉන්දියාව මුවවිට කොළඹ වරායේ නවතා තැබීම වැනි ක්‍රියාවන් සම්බන්ධව ඉන්දියාව කිසිදු සතුටක් දැක්වූයේ නැත. ඒ අතරම ශ්‍රී ලංකාවද දිගින් දිගටම තම ඓතිහාසික අසල්වැසියා සතුරකු සේ සලකමින් සිටියේ ය.

එහෙත් ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන බල පෙරළියත් සමග ඉන්දියාව යළි දකුණු ආසියාවේ දියවෙමින් යන තම බලය ස්ථාපිත කරගැනීමේ වැදගත් පියවරක් තැබුවේ ය. ඒ ශ්‍රී ලංකාවට යළි මිත්‍රත්වයේ දෑත දිගු කිරීමයි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඉන්දීය දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා පිළිගැනීමට පෙළ සැදෙන්නේ ද ඒ අනුවය.

ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙතින් සැදුණු මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉන්දියාවේ මිත්‍රත්වය සුහද සිතින් පිළිගත්තේ ය. චීනය මෙන්ම ඉන්දියාව ද තම මිතුරන් විය යුතු බව ඔහුගේ විශ්වාසය විය. ඔහු තම ප්‍රථම විදේශ සංචාරය සඳහා අසල්වැසියාගේ රටට ගිය අතර ඒ සුහදතාව සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැන් මෙරටට පැමිණ සිටින්නේ ය.

අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දීය සාගර කලාපයේ තවත් සාමාජිකයන් දෙදෙනකු වන සී ෂෙල්ස් සහ මොරීෂස් දූපත්වල සිදු කළ සංචාරයේ අවසන් නැවතුම්පොළ ලෙසිනි. එහෙත් ඔහු වඩා වැඩි වැදගත්කමක් හිමි කර දෙන්නේ ශ්‍රී ලංකාවට බව පැහැදිලි ය. සංචාරය සඳහා පිටව යෑමට පෙර ඔහු තම ට්වීටර් ගිණුම මගින් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ කලාපයේ රටවල් අතර ඉක්මනින් මිත්‍ර සබඳතා තහවුරු කරගැනීමේ අරමුණක පිහිටා තමා කටයුතු කරමින් සිටින බවයි. මෙම සංචාරය එහි එක් පියවරක් බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා අපගේ වඩාත් වැදගත් අසල්වැසියා වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට ලැබීම තම වාසනාවක් බව ද වැඩිදුරටත් සටහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවට පැමිණි අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග මෙන්ම අග්‍රාමාත්‍යවරයා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව ඇමතීමටද ඔහුට අවස්ථාව හිමිවීම පෙන්වා දෙන්නේ ඔහුගේ සංචාරයේ ඇති වැදගත්කම ය. දෙරට අතර වඩාත් සමීප සංස්කෘතිය අත්විඳිමින් අනුරාධපුරය ඇතුළු තවත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කරන්නේ සියවස් ගණනක් තිස්සේ දෙරට අතර පැවති සහෝදරත්වය යළි පණගැන්වීම අරමුණු කරගනිමින් ම විය යුතුය.

ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ පරම අභිලාසයක් වන්නේ මිය යාමට ප්‍රථම දඹදිව පූජනීය ස්ථාන වන්දනාමාන කරගැනීමය. මුල් තැන හිමි නොවුණද තවමත් ඉන්දියාවේ බුදුදහම පවතින්නේ ය. එමගින් ලැබුණු සංස්කෘතික වටිනාකම් සහ හරයන් ඉන්දියාවට ද හිමි ය. අශෝක ස්තම්භය ඉන්දියාවේ නිවහල් භාවයේ සංකේතය වන්නේ ය. දඹදිව පූජනිය ස්ථාන ලෙසින් ම ශ්‍රී ලංකාවේ අනුරාධපුර අටමස්ථානය ද දෙරටේම බෞද්ධයන්ගේ වන්දනයට ලක් වන්නේ ය. ‍දඹදිව මෙන්ම අනුරාධපුරය ද සංස්කෘතික වටිනාකම් අතින් ලෝක උරුමයන් ලෙසින් ඇගයුම් ලබන්නේ ය. අග්‍රාමාත්‍ය මෝදි පැමිණෙන්නේ දෙරට යා කරන මෙකී සංස්කෘතික බැඳීම් දෑසින් දැකගැනීමට ය. ඔහු ඒ වෙනුවෙන් අනුරාධපුරයේ සංචාරය කරන්නේ ය.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෝදිගේ මෙම ශ්‍රී ලංකා සංචාරය දකුණු ආසියානු කලාපයේ රටවල මිත්‍ර සබඳතාවන්හි පොළා පැනීමක් බව ය. ඉන්දියාව නමැති සාධකයෙන් විරහිතව දකුණු ආසියාවක් නොමැති බව මෙම සංචාරයෙන් ලෝකයට පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන්ගේ අදහසයි. එමෙන්ම දකුණු ආසියාවේ බලවතා යන තම ස්ථානය කිසිවකුට ලෙහෙසියෙන් බාර දීමට තමන් කිසිවිටක සූදානම් නැති බව ඉන්දියාව මෙමගින් තහවුරු කර සිටින බවද පෙනී යන්නේ ය.

අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ඇරඹීමට පෙර ඉන්දීය විදේශ ලේකම් එස්. ජයිශන්කර් මාධ්‍ය අමතමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව සමග මිත්‍ර සබඳතා වර්ධනය කරගැනීම තම රට ඉතා වැදගත් කොට සලකන බවයි. එමෙන්ම එදා සිටම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අසල්වාසීන් ලෙස සැම අතින්ම වැදගත් ද්වීපාර්ශ්වික සබඳතා පවත්වා තිබෙන බවද ඔහු සඳහන් කර සිටි‍යේ ය. ‍ශ්‍රී ලංකාවේ දැනට ගොඩනැගෙමින් පවතින ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට සහාය වීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වැඩිදියුණු කිරීමට සහාය වීමට ඉන්දියාවට අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ තවමත් ඉන්දියාවේ සිටින ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයාගේ සංචාරයේ දී සාකච්ඡාවට බඳුන් වනු ඇති බවයි. දැනටත් මේ සරණාගතයන් අතරින් බොහෝ දෙනකු රජය මගින් පවත්වාගෙන යන කඳවුරුවල ජීවත් වන අතර ඔවුන් ගෞරවාන්විත ලෙස සියරට යැවීමට ඉන්දියාවට අවශ්‍ය බවත් ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසීය.

ඉන්දීය දේශපාලන විචාරයකයකු වන සිද්ධාර්ත් වර්ධරාජන් ඒඑෆ්පී පුවත් සේවයට ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය මෝදි ඉතා සියුම් ලෙස ශ්‍රී ලංකා රජයට මෙන්ම දෙමළ ජාතික සංවිධානයට ද ඉදිරියට යාමට අනුබල දෙනු ඇති බවයි.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා යාපනයේ සංචාරය කිරීමෙන් ඔහු යුද සමයෙන් පසු ගැටුම් පැවති ප්‍රදේශවල සංචාරය කළ දෙවැනි රාජ්‍ය නායකයා ද වන්නේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මින් පෙර එම ප්‍රදේශවල සංචාරයක නිරත වූ‍යේ ය.

මිතුරන් සතුරු කරගන්නවාට වඩා මිතුරන් මිතුරන් ලෙසම පවත්වාගැනීම සැම අතින්ම යහපත් ය. ඒ අනුව චීනය සමග මෙන්ම ඉන්දියාව සමග ද මිත්‍රත්වය පවත්වාගැනීම ශ්‍රී ලංකාවේ හෙට දවස වඩාත් සුබවාදී වීමට බලපානු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්