කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ජීවිතේ එහෙම තමයි හැමදේම වෙනස් වෙනවා

ජීවිතේ එහෙම තමයි හැමදේම වෙනස් වෙනවා

ඔටාරා ගුණවර්ධන

* ඔටාරාගෙන් තොර ඔඩෙල් නාමයක් ගැන අපට නම් හිතාගන්නත් අමාරුයි. ඔබට එය දැනෙන්නේ කොහොමද?

ඒක තරමක් අමාරු ප්‍රශ්නයක්.

“ජීවිතේ එහෙම තමයි. හැම දේම වෙනස් වෙනවා. ඇතැම් විට අපි කැමැතිම දේ වුණත් ඊට වඩා යහපත් දෙයක් වෙනුවෙන් අත්හරින්න වෙනවා. මේකත් එහෙම තමයි. එය එකවරම ගත් තීරණයක් නොවෙයි. මේ තීරණයට එළැඹෙන්නට මට අවුරුදු දෙකක් පමණ ගතවුණා. දැන් මම හැමදාම ආසා කළ කටයුතුවලට යොමු වෙන්නට මට ඕනෑ තරම් කාලය තිබෙනවා.”

* ඔබ හැමදාම ආසා කළේ ව්‍යාපාරික කටයුතුවලට නොවේද?

නෑ. පුංචි කාලේ පටන් මා ආසා කළේ අසරණ සතුන්ට සහ මිනිසුන්ට පිහිටවෙන්න. සතුන්ට පිහිට වෙන්නේ ඇයි මිනිසුන්ට පිහිට නොවී කියලා මගෙන් ඇතැම් අය අහනවා. මිනිසුන්ට ව‍ගේම සතුන්ටත් ආදරය, කරුණාව හා රැකවරණය අවශ්‍යයි. සතුන්ට වගේම මම මිනිසුන්ටත් ආදරෙයි. දැන් මට අසරණ සතුන්, විශේෂයෙන්ම සුනඛයන් ගේත් අසරණ මිනිසුන්ගේත් සුබසාධනය සඳහා වැඩියෙන් කැප වෙන්න කාල වේලාව තිබෙනවා.

* ඔබ දුක් මහන්සියෙන් ගොඩනැඟූ ‘ඔඩෙල්’ ව්‍යාපාරය අන්සතු කරන්නේ එහි උපරිම තලයට පත්වූ අවස්ථාවේදී. එය හොඳ ව්‍යාපාරික තීරණයක් ද?

ඔව්. යමක් අලෙවි කළ යුත්තේ එයට ඉහළ ඉල්ලුමක් පවතින අවස්ථාවේ.

* ඔබේ තීරණයට ඔබේ දරුවන් කැමැති වුණාද?

ඔව්. ඒ අය මගේ තීරණයට එකඟයි. කොහොමත් ඔවුන් ව්‍යාපාරික තීරණ ගැනීමට තරම් තවම මුහුකුරා ගිහින් නෑ. මගේ ලොකු පුතාට තවම අවුරුදු 20යි. පොඩි පුතාට අවුරුදු 14යි. ඔවුන් තවමත් ඉගෙන ගන්නවා.

* ඔඩෙල් බිහිවුණේ කොහොමද?

ඔටාරා සහ ඩෙල් යන නම් දෙකේ මුල් අකුරු එක් වීමෙන් ‘ඔඩෙල්’ යන නම බිහිවුණා. මගේ යහළුවකු මඟින් කම්හල්වලින් ලබාගත් නිමි ඇඳුම් හා රූපලාවණ්‍ය ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරමින් ඉතාම සුළුවෙන් එය ඇරැඹුණා.

* ව්‍යාපාරික කාන්තාවක් වීමට ඔබ කැමැත්තෙන් සිටියාද?

කවදාවත් නෑ. ම‍ෙග් එකම සිහිනය වුණේ පශු වෛද්‍යවරියක් වීමයි.

* ඒ සිහිනය බිඳවැටුණේ?

ව්‍යාපාර ලෝකයට පිවිසීමෙන්. එය අහම්බයක්.

* එහෙම වුණේ කොහොමද?

පශු වෛද්‍යවරියක් වීමේ සිහිනය නිසාම උසස් පෙළ සඳහා මා තෝරාගත්තේ ජීවවිද්‍යා විෂය ධාරාව. උසස් අධ්‍යාපනය ලැබුවේ ඇමෙරිකාවේ බෝලිං ග්‍රීන් සරසවියෙන්. එහිදී මා විනෝදාංශයක් ලෙස මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණා.

* ඉන් පස්සේ?

මෝස්තර නිරූපණයත් සමඟම මට ලෝකයේ උසස්ම අලෙවි සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙන්ම ඇඟලුම් පිළිබඳ උනන්දුවක් ඇති වුණා. එම උසස් සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් මම සුළුවෙන් ව්‍යාපාරය ඇරඹුවා.

* නිමි ඇඳුම් වෙත යොමු වුණේ?

ලංකාවට ඇවිත් මම මගේ මිතුරකු ගේ ආධාරයෙන් විදෙස් අලෙවිය සඳහා නිමවන උසස් තත්ත්වයේ ඇඟලුම් මෙරට කම්හල්වලින් ලබාගෙන ඒවා දන්නා හඳුනන අය අතර අලෙවි කළා. මගේ පුංචි මෝටර් රියේ ඩිකියේ පටවාගෙන ගොස් මමමයි ඒවා අලෙවි කළේ.

* ඒ සඳහා මුලින්ම ඔබට අත හිත දුන්නේ කවුද?

මගේ දෙමවුපියන් සහ සහෝදරයන්. මා සාර්ථක ව්‍යාපාරිකාවක් වනු දැකීමට මගේ පියා ඉතා ආශාවෙන් සිටියා.

* ඔබේ පියා කවුද?

නෝමන් ගුණවර්ධන. ඔහු එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සභාපතිවරයකු ලෙස කටයුතු කළා.

* මව?

ඩිලීෂියා ගුණවර්ධන. ඇය නාරාහේන්පිට චිත්‍රා පටුම‍ඟේ විශේෂිත අවශ්‍යතා සහිත දරුවන් සඳහා පාසලක් පවත්වාගෙන ගියා.

* සහෝදර සහෝදරියන්?

මට ඉන්නේ සහෝදරයන්ම දෙදෙනෙක්. ඔවුනුත් ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි නියැළිලා.

* ඔබේ ළමා කාලය ගැනත් කියන්න.

මම පුංචි කාලේ පටන්ම සතුන්ට, ගහකොළට, පරිසරයට හරිම ආදරෙයි. මගේ නිවෙසේ බලු බළල් සුරතලුන් රංචුවක්ම හිටියා. අවුරුදු 13 - 14 කාලේ මම දෙහිවල සත්වෝද්‍යානයේ ස්වේච්ඡාවෙන් සේවය කළා.

* ඒ කොහොමද?

සතුන්වත්ත නරඹන්නට එන පාසල් ළමයින්ට දිවි පැටවුන් ගැන කියාදුන්නා. ඔවුන්ට සෙල්ලම් කිරීමට වෙන්වූ කොටසට මේ දිවි පැටවුන් ගෙනත් උන් අතපත ගා බලන්නට අවස්ථාව ලබා දුන්නා.

* ඔබට මේ අවස්ථාව ලැබුණේ කොහොමද?

එවකට හිටපු අධ්‍යක්ෂ ලීන් ද අල්විස් මහතාට කතාකර අවසර ලබා ගත්තා.

* ඔබ අධ්‍යාපනය ලැබුවේ?

කොළඹ කාන්තා විද්‍යාලයේ සහ උසස් පෙළ ස්ටැෆර්ඩ් කාන්තා විද්‍යාලයේ.

* උසස් අධ්‍යාපනය ලැබුවේ?

ඇමෙරිකාවේ බෝලිං ග්‍රීන් සරසවියෙන් ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබුවා.

* සතුන්ට ඔබ තුළ වූ කරුණාව ඔබේ ව්‍යපාරයටත් සම්බන්ධ කරගත්තා?

ඔව්. ඔඩෙල් ව්‍යාපාරය සාර්ථක වන විට මම ‘එම්බාර්ක්’ සන්නාමය සහිත නිමි ඇඳුම්, ඉණපටි, හිස්වැසුම්, පාවහන්, විසිතුරු බඳුන්, සතුන් සඳහා ආහාර බඳුන් කරපටි ඇතුළු භාණ්ඩ රාශියක් හඳුන්වා දුන්නා. ඒවා අලෙවියෙන් ලබන ලාභය අසරණ සුනඛයන් හා සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කළා.

* එය ඔබ සිතූ තරම් සාර්ථක වුණාද?

නොසිතූ තරම් සාර්ථක වුණා. අද එම්බාර්ක් සන්නාමය මෙරට මෙන්ම ජාත්‍යන්තර තලයේ පවා ඉහළින්ම පිළිගැනෙනවා. එම්බාර්ක් සන්නාම නාමය සහිත නිමැවුම් ඉතා ජනප්‍රියයි.

* සතුන් කීවාට ඔබේ විශේෂ අවධානය වඩාත් යොමුවන්නේ වීදි සුනඛයන් කෙරෙහි. ඒ ඇයි?

වීදිවල අසරණ වන සුනඛයින්ට කාත් කවුරුවත් නෑ. කෑම බීම නෑ. ඉන්න ස්ථිර තැනක් නෑ. ලෙඩ රෝග බහුලයි. නිතරම වාහන අනතුරු වැනි අනතුරුවලට ගොදුරු වෙනවා. අපේ රටින් ජලභීතිකාව තුරන් කිරීමට නම් සුනඛයින් ඊට ගොදුරු වීම වළක්වා ගන්න ඕනෑ. වීදි සුනඛයින් එන්නත් කිරීමෙන්, රැක බලා ගැනීම සඳහා භාරකාර පවුල් හෝ පුද්ගලයන් වෙත පවරා දීමෙන් වගේම අවශ්‍ය නම් වඳ සැත්කම් කිරීමෙන් ද එන්නත් හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් ද අපි ඔවුනට උපකාර කරනවා.

* මේ සඳහා ඔබට සහාය දක්වන පිරිසක් සිටිනවාද?

ඔව්. සත්ත්වලෝලී සහ පරිසර සංවිධානවල සාමාජිකයන්, පශු වෛද්‍යවරුන් හා ස්වේච්ඡා සේවකයින් රාශියක් අප වටා ඒකරාශී වෙලා සිටිනවා.

* ඔබ සතුන් සඳහා නවාතැනක් හෝ රෝහලක් පවත්වා ගෙන යනවාද?

නෑ. මා සතුන් කූඩු කිරීමට තදින්ම විරුද්ධයි. සතුන්ට අප අතරේ නිදහසේ ජීවත්වීමට ඉඩ දිය යුතුයි. අසරණ වූ වීදි සතුන් ගැන අපට දැන්වූ විට අප සේවක කණ්ඩායම් ඒ ගැන සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම හෝ භාරකාරයන් සොයා දීම කරනවා. භාරකරුවකු හමු වනතුරු අප තාවකාලිකව ඔවුන් රඳවා ගන්නවා.

* ඔබ මේ සේවය කරන්නේ නොමිලේද?

ඔව්. සම්පූර්ණයෙන්ම.

* ඔබේ දරුවන් ගැනත් කියන්න.

මට ඉන්නේ පුතාලම දෙන්නෙක්. ලොකු පුතා කිරන්. පොඩි පුතා රාඛි. ඔවුන් දෙදෙනාම තවමත් ‍ඉගෙනගන්නවා.

* අනාගතයේ ඔවුන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වේවිද?

කියන්න බෑ. මම ඔවුන්ට කැමැති ක්ෂේත්‍රයක් තෝරාගන්නට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා. ළමයින් මත වැඩිහිටියන්ගේ කැමැත්ත පටවනවාට මම තරයේම විරුද්ධයි. මගේ දෙමවුපියන් මට අවශ්‍ය නිදහස ලබා දී මගේ කැමැත්තට ඉඩ නොදුන්නා නම් මා අද මේ තත්ත්වයට පත් වෙන්නේ නෑ.

* ඔබ තනි ගැහැනියක්. තනිව මේ කටයුතු සියල්ල කළමනාකරණය කරගන්නේ කොහොමද?

ඔව්. මම කලක් විවාහ වී සිට මෑතදී දික්කසාද වුණා. විවාහ වී සිටි කාලයේත් මගේ ව්‍යාපාර ඇතුළු කටයුතු කළමනාකරණය කරගත්තේත් තීන්දු තීරණ ගත්තේත් මා විසින්මයි. මගේ දරුවන් ගේ කටයුතුවලදී මගේ හිටපු සැමියාගේ සහාය මට ලැබෙනවා. තනිව කටයුතු කිරීම කුඩා කල සිටම මට හුරුපුරුදුයි.

* ඔබට තනිකමක් දැනෙන්නේ නැද්ද?

ඕනෑ තරම් දැනෙනවා. කොතරම් කාර්ය බහුල වුණත් මමත් අන් අය වගේම හැඟීම් දැනීම් තිබෙන සාමාන්‍ය ගැහැනියක්. කඳුළ, සුසුම, තනිකම වගේම සතුට, සැනසුම හා විනෝදයත් මට එක සේ දැනෙනවා.

* ජීවිතයේ තනිවූ කතුනට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

සිත ශක්තිමත් කරගන්න. දිරියෙන් නැගී සිටින්න. ඕනෑම පුද්ගලයකු තුළ සැඟවුණු ශක්තියක්, හැකියාවක් තිබෙනවා. ඒ ශක්තිය හඳුනා ගන්න. එය වර්ධනය කරගන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව අරමුණ ජයගන්න ඉදිරියටම යන්න. සතුට ඇත්තේ තමා තුළ මිස තමා වටා ඉන්නා අය වෙත නොවේ. ඔබේ සතුට ළඟා කර ගත යුත්තේ ඔබමයි.

* හැම කෙනකුටම ඔබට වගේ ආර්ථික ශක්තියක් නෑ.

සතුට සහ සැනසීම ලබාගන්න මිල මුදල්ම අවශ්‍ය වන්නේ නෑ. තමා කරන කටයුත්ත අවංකව කැපවීමෙන් දිරියෙන් ඉටු කළ විට ජීවිතේ ජයගන්න පුළුවන්.

* අද ඔබ ඔඩෙල් ආයතනය අන් සතු කරලා. හෙට දින ඔබත් ඔඩෙල් ආයතනයේ ගනුදෙනුකාරියක් පමණක් වේවිද?

නෑ. මගේ හදවතේ ඔඩෙල් සඳහා වෙන්වූ තැන තවමත් එහෙමයි. නව කළමනාකරණයට සමාගම භාරදීමේ හුවමාරු කාලයයි මේ ගෙවී යන්නේ. එහිදී ඔවුන් මගෙන් අපේක්ෂා කරන සහයෝගය මා ඉතසිතින්ම ඔවුන්ට ලබා දෙනවා. අනාගත‍යේදීත් මගෙන් ඔවුන්ට කිසියම් ආකාරයක සහයෝගයක් අවශ්‍ය නම් එය ඉතාම කැමැත්තෙන් ලබා දීමට මා සූදානම්.

* ඔබේ අනාගත සැලසුම කුමක්ද?

සම්පූර්ණයෙන්ම මගේ කාලය ‘එම්බාර්ක්’ වෙත යොමු කිරීම. ඒ තුළින් සතුන්ට මිනිසුන්ට සහ පරිසරයට සේවයක් කිරීම.

* ඔබේ කටයුතු ඉටු කරගන්නට මෙතෙක් නිසි විවේකයක් නොලද බව වරෙක ඔබ අප හා කීවා. දැන් ඔබට ඒ සඳහා ඇති තරම් කාල වේලාව තිබෙනවාද?

තවම නෑ. තවමත් මා තරමක් කාර්යබහුලයි. ඒත් දරුවන් සමඟ ගත කරන්නටත් මා කැමැති ප්‍රදේශවල සංචාරය කරන්නත් පොත්පත් කියවන්නටත් ඇති තරම් වෙලාව අනාගතයේදී ලැබේවි කියා මා සිතනවා.

* ඔබ ජීවි‍තයේ අර්ධ ශතකයට පිවිසුණා යැයි ඔබ පවසන්නේ ආඩම්බරයෙන්. ජීවිතයේ ඉදිරි කාලයේ දී විශේෂ වෙනසක් සිදුවේවිද?

ලොකු වෙනසක් වෙන එකක් නෑ. වයස කියන්නේ හුදෙක් අංකයක් පමණයි. වැදගත් වන්නේ ඔබ කරන කටයුත්තේ සාර්ථකත්වයයි. ඔබ පතන සතුට ඔබ කරා ළඟා වෙනවාද යන්නයි. ඉදිරි කාලයත් සුපුරුදු පරිදි ගතවේවි. මා වෙනුවෙන්, මගේ දරුවන් වෙනුවෙන්, සතුන් සහ මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන්නට ඉදිරි කාලයේ දී මට වැඩිපුර අවස්ථාව ලැබෙනවා ඇතැයි මා සිතනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්