කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ක්වායි ගඟ හරහා ඉදිකළ මරණයේ දුම්රිය

ක්වායි ගඟ හරහා ඉදිකළ මරණයේ දුම්රිය

තායිලන්තයේ බැංකොක් අගනුවරින් එපිටට වාහනය ඇදී යද්දී මඟ දිගට දෑසට එබෙන වටපිටාව බොහෝ සෙයින් හුරුපුරුදු බවක් දැනේ. වෙනසකට ඇත්තේ මඟ දිගට දකින ‍තායි ජාතිකයන්ගේ රූප සොබාවත් නාම පුවරුවල ඇති අකුරුවල ස්වභාවයත් පමණි. මුළු පරිසරයම ගහකොළ ද අපේ වගේමය. ඇතැම් විටක මඟ දිගට එක පෙළට අප පසුකරන පොල් ගස්ය. තවත් විටෙක කොස් ගස්ය. සුදුමලින් පිරුණු අරලිය ගස්ය. කහමලින් පිරි කැලණිතිස්ස මල් ගස්ය.තවතවත් ඈතට යද්දී ඈතින් පෙනෙන්නේ කඳු වළල්ලකි.

ඒ කඳුවළල්ල රූස්ස වනාන්තරයකින් වැසී ගොසිනි. ඒ සියල්ල අප දෑසට ගෙනෙන්නේ හුරුපුරුදු බවකි. අප මේ සිටින්නේ අපේ රටේමදැයි විටෙක මට සිතේ. තායිලන්තයේ බැංකොක් අගනුවරින් බැහැරව අප මේ යන්නේ කාංචනාබුරි කරාය. බැංකොක් නගරයෙන් බටහිරට වන්නට බුරුම දේශ සීමාවට ආසන්නව පිහිටි කාංචනාබුරි නගරය මිනිස් ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් නිසා ලොව පුරා ප්‍රසිද්ධ වූ නගරයකි. දෙවැනි ලෝක මහා යුද සමයේ දී මහා මිනිස් සංහාරයක් සිදුවූ නගරයක් ලෙස කාංචනාබුරි ලොව පුරා ප්‍රසිද්ධය.

දෙවැනි ලෝක යුද සමයේ දී තායිලන්තය හා බුරුමය යාකරමින් ජපන් අධිරාජ්‍යවාදී හමුදාව දසදහස් ගණනක යුද සිරකරුවන් හා සාමාන්‍ය ජනතාව මරුමුවට ඇද දමමින් ඉදි කළ ‘මරණයේ දුම්රිය මාර්ගය’ හෙවත් Death Railway වැටී ඇත්තේ කාංචනාබුරි නගරය හරහාය. නගරයට කිලෝමීටර් පහක් උතුරින් ගලා යන ක්වායි ගංගාව හරහා ජපන් හමුදාව යුද සිරකරුවන් යොදවා ඉදි කළ ‘ක්වායි ගංගාවේ පාලම’ අද ලෝක ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙස කා අතරත් ප්‍රචලිතය.

‘ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ කියූ පමණින් අපේ රටට ද එහි සම්බන්ධයක් වෙයි. මෙනිසාම එම ප්‍රදේශය දැකගැනීම අපේ ගමනේ අරමුණ විය. අප රැගත් වාහනය කාංචනාබුරි නගරයට උතුරින් පිහිටි ක්වායි ගංගාව අසබඩ වූ විසල් රථ නැවතුම්පොළක නැවතිණ. ඈතින් පෙනෙනුයේ ඒ මහා පාලමය. කළුවට කළුවේ දැවැන්ත යකඩ ආරුක්කු මතින් ඉදිවූ ඒ පාලම ගඟ හරහා දැවැන්ත යෝධයකු සේ නැඟී සිටියි. සංචාරක පිරිස් පාලම මතින් ඇවිද යමින් හතර අතට ඒ අවට දසුන් සේයාරුවට නඟති. අපි ද පාලම මතට ගොඩවීමු. පාලම මතින් ‍ෙර්ල් පීලි අතර යොදා ඇති යකඩ තහඩු මතින් සංචාරකයන් ඇවිද යද්දී එහි යකඩ තහඩු ශබ්ද වෙයි. පාලමේ තැනින් තැන දුම්රිය මාර්ගයෙන් එපිටට තැනූ හතරැස් කොටු බඳු නැරඹුම් මැදිරිය.

පාලම මතින් ඈතින් සෙමින් සෙමින් දුම්රියක් එනු පෙනේ. එවිට සංචාරකයෝ පාලම මත තැන තැන තැනූ හතරැස් වේදිකාවලට එක්වෙති. දුම්රිය පා ගමනට මඳක් වේගයෙන් ඉදිරියට ඇදෙයි.

ජපන් හමුදාව විසින් ප්‍රථමයෙන්ම මේ ස්ථානය හරහා ලී පාලමක් ඉදිකළ අතර පසුව යකඩ පාලමක් ද ඉදිකරනු ලැබීය. යකඩ පාලම සඳහා ආරුක්කු 11ක් ඒ වන විටත් ජපන් හමුදා යටතේ වූ ජාවා රටේ පාලම්වලින් ගලවා ගෙනවිත් මෙහි සවිකර ඇතැයි සඳහන්ය. මාස 8ක් වැනි කෙටිකලකින් තැනූ මේ දුම්රිය මඟ තායිලන්තයේ බැන්පොංග් හා බුරුමයේ තන්බියුසැයට් යන නගර එකිනෙක යා කරයි.

1942 ජූනි මස 22 වැනිදා දෙපසින්ම වැඩ ආරම්භ කළ මේ දුම්රිය මාර්ගය කාංචනාබුරි හි දී ක්වායි ගංගාව මතින් ඇදී යයි. තායිලන්තයේ වන ගිරි දුර්ග හා කඳු වනාන්තර මැදින් කිලෝමීටර් හාරසිය පහළොවක් පුරා බුරුමය කරා දිවෙන දුම්රිය මඟ ගංගා ඉවුරු කීපයක් ඔස්සේම වැටී ඇත්තේය. තායිලන්තයේ මී ක්ලොංග් ගංගාධාරය හරහා ද ඇදී ගිය දුම්රිය මාර්ගය තැනීම සඳහා ජපන් හමුදාව තමන් විසින් යටත් කරගනු ලැබූ ආසියානු රටවල ජනතාව මෙන්ම යුද සිරකරුවන් ද යොදා ගත්තේය. ඔවුන් ඒ සඳහා ආසියාතික රටවල වැසියන් 180,000ක් යොදා ගත් බව වාර්තා විය. ඉන්දියානු, බුරුම, මැලේසියානු, ඉන්දුනීසියානු, චීන හා තායි ජනතාව ඒ අතර වූහ. ඊට අමතරව යුද හමුදා සිරකරුවෝ 60000ක් පමණ මේ පාලම තැනීම සඳහා සිය ලේ කඳුළු හා දහදිය පූජා කළහ.

1943 වසරේදී වැඩ නිම කළ මේ දුම්රිය මාර්ගය තැනීමේ දී විඳි දුෂ්කරතා හා මාර්ගයෙන් කෙළවර වූ ජීවිත නිසා යුද සිරකරුවෝ මේ දුම්රිය මාර්ගය ‘Death Railway’ හෙවත් මරණයේ දුම්රිය මාර්ගය ලෙස නම් කළහ. දුම්රිය මාර්ගය තනා නිමවෙද්දී අනූදහසක පමණ සාමාන්‍ය ජනතාව ද දහතුන් දහසකට ආසන්න යුද සිරකරු‍වන් ද මිය ගිය බව වාර්තාවල සඳහන්ය. මෙහිදී මිය ගිය යුද හිරකරුවෝ බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය හා ඉන්දියාව යන රටවලට අයත් හමුදා සෙබළු වෙති.

ජපන් හමුදාවන්ගේ කුරිරු වධහිංසාවලට අමතරව මිත්‍ර පාක්ෂික ගුවන් ප්‍රහාර නිසාද මේ හමුදා භටයනට දිවි පිදීමට සිදුවිය. කාන්චනාබුරිවලට කිලෝමීටර් 2ක් උතුරින් දුම්රිය මඟ තැනෙන ආසන්නයේ ශ්‍රමිකයන් සඳහා මඩු කූඩාරම් පිහිටි අතර ඒ අසලම ජපන් ‘ආර්ක් ආර්ක්’ නම් වූ හමුදා බළකායේ කඳවුරු ද විය. 1944 නොවැම්බර් 29 වැනිදා මිත්‍ර පාක්ෂික ගුවන් හමුදා ක්වායි ගංගාවේ පාලමට බෝම්බ හෙළූ අතර එමඟින් යුද සිරකරුවන් රඳවා සිටි කූඩාරම් දෙකක් ද මුළුමනින්ම විනාශ විය. පාලමේ ආරුක්කු දෙකක් ද සම්පූර්ණයෙන් විනාශ වී ගඟට ඇදවැටිණ.

මිත්‍ර හමුදා ගුවන්ප්‍රහාර නිසා මිය යන භටයන්ගේ සිරුරු යුද සිරකරුවන් අතර සිටි උසස් නිලධාරීන් විසින් හොර රහසේ වළලනු ලැබිණ. දෙවැනි ලෝක මහා යුද්ධය අවසානයේ දී මෙලෙස මිය ගිය සෙබළුන් වළ දැමූ සොහොන් සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත්කළ අතර එමඟින් සෙබළුන් දහස් ගණනකගේ  සිරුරු වළ දැමූ ස්ථාන ‍සොයා ගැනිණ. බොහොමයක් සිරුරු වළ දමා තිබුණේ තායි - බුරුම මරණයේ දුම්රිය මාර්ගය දිගටය. දහස් ගණන් සෙබළ සිරුරු වළ දැමූ ස්ථානවල ලී කුරුස සවිකර තිබිණ. යුද්ධය නිමවූ පසු මෙලෙස වළ දමා තිබූ මිත්‍ර පාක්ෂික හමුදා සෙබළුන්ගේ සිරුරු 1945 අගභා‍ගයේ දී යළි ‍ගොඩගෙන එහි සිටි ඔස්ට්‍රේලියානු භටයන් මිහිදන් කර කාංචනාබුරි යුද සොහොන තනනු ලැබීය. එලෙස ගෞරවාන්විතව හමුදා සෙබළ සිරුරු මිහිදන් කළ කාංචනාබුරි යුද සොහොන ඉතාමත්ම ක්‍රමානුකූලව සෙබළ නම් සඳහන් පුවරු සවිකර මල්වවා අලංකාර කර මේ දක්වාම පවත්වාගෙන යන අන්දම අපි දුටුවෙමු. දැනුදු මේ සිදුවීම සිහිපත් කරමින් වාර්ෂිකව එම ස්ථානයේ අනුස්මරණ උත්සවයක් පැවැත්වේ.

ජපන් හමුදාව නොංග් ජලාදුක්වලදී බුරුමය කරා දිවෙන දකුණු දිග දුම්රිය මඟට යාවන සේ දෙරට යාකර තැනූ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 304ක් තායිලන්තයේ ද කිලෝමීටර් 111ක් බුරුමය හරහා ද දිවයයි. මෙහි දුම්රිය ගමන 1947 දී ඇනහිටි අතර පසුව 1957 දී යළි ආරම්භ කළේය. දැනුදු එහි බැංකොක් නගරයේ සිට නාම් ටොක් දක්වා මඟී දුම්රිය ගමන් කරයි.

දුම්රිය මාර්ගය හරහා එළන ලද සෑම සිල්පර කොටයක් පාසාම ජීවිතයක් වන්දි ගෙවූ බවට මේ මාර්ගයේ දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් කියැවෙන ප්‍රසිද්ධ කියමනක් වෙයි. දෙවැනි ලෝක යුද සමයේ සිදුවූ මේ සත්‍ය සිදුවීම ඇසුරින් 1954 දී ප්‍රංස නවකතාකරුවකු වූ පියරේ බූලා ග්‍රන්ථයක් ලියා පළ කළේය. එනිසා මුළුමහත් ලෝකයේම අවධානය තායිලන්තයේ කාන්චනාබුරි ප්‍රදේශය වෙත එල්ල විය. සංචාරකයෝ දහස් ගණනක් ප්‍රදේශය නැරැඹීම සඳහා ඇදී ආහ. මේ සිදුවීමට පාදක වූ ගංගාව ලෙස මුලදී ප්‍රසිද්ධ වූයේ මී ක්ලොංග් ගංගාවය. ප්‍රංස ගත්කරුගේ ‘The Bridge on the River Kwai’ ප්‍රබන්ධය නිසා එම ගංගාව 1960 දී ක්වායි ගංගාව ලෙස අලුතින් නම් කළේය. ඉන්පසු ලොව පුරා සිද්ධිය ප්‍රචලිත වූයේ එම නමිනි.

සිද්ධිය පිළිබඳ තවත් ලෝක අවධානය යොමු වූයේ ලෝක පූජිත සිනමාකරු ඩේවිඩ් ලීන් 1957 දී ‘ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ කෘතිය චිත්‍රපටයට නැඟීමත් සමඟය. ‘ඩොක්ටර් ෂිවාගෝ’ හා ‘ලෝරන්ස් ඔෆ් ඇරැබියා’ වැනි ලෝක පූජිත චිත්‍රපටයන්හි අධ්‍යක්ෂවරයා වූ ඩේවිඩ් ලීන් චිත්‍රපටයේ පසුබිම සඳහා තෝරා ගත්තේ අපේ රටේ කිතුල්ගල ප්‍රදේශයයි. අප රටට ද මේ හා සම්බන්ධයක් ඇතැයි පැවසුවේ එහෙයිනි. අප රටේ ප්‍රදේශ ගණනාවක හා බුරුමයේ ද රූගත කිරීම් සිදුවූ අතර තායිලන්තයේ හා ශ්‍රී ලංකාවේ ඇති පාරිසරික සමානකම් රූගත කිරීම් සඳහා මෙරට තෝරාගැනීමට හේතුවූවා නිසැකය.

සත්‍ය සිද්ධියේ දී අටමාසයකින් තනා නිමකළ ක්වායි පාලම අප රටේ කිතුල්ගලදී ඉදිකෙරුණු අතර තායිලන්තයේ දී දෙවසරක් තිස්සේ ජපනුන් විසින් භාවිතා කරන ලද පාලම 1945 ජූනි මාසයේ දී පුපුරුවා හැරියේ මිත්‍ර පාක්ෂික ගුවන් හමුදාවය. අප රටේ කිතුල්ගල තැනූ ලී පාලම චිත්‍රපටය සඳහා පුපුරවා හරින අන්දම රූපගත කරනු නැරැඹීමට එවකට මෙරට අගමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද සහභාගි වූහ.

විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස් සහ ඇලෙක් ගිනස් යන සුපිරි නළුවන් රඟපෑ මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ අතර ඇකඩමි සම්මාන 8ක් ද දිනා ගත්තේය. මේ චිත්‍රපටය හා සම්බන්ධ තවත් සුවිශේෂී සිද්ධියක් වන්නේ අපේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවන්නේ ද ‘ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටය නිසා වීමය.

මරණයේ සෙවණැල්ල මතින් දසදහස් ගණනකගේ ලේ කඳුළු අතරින් ඇදුණු එම මරණයේ දුම්රිය මඟ අද ලෝක ජනතාවගේ විස්මයක් බවට පත්කරමින් එලෙසින්ම තබා ගැනීමට තායිලන්තය කටයුතු කර ඇති අන්දම අපූරුය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්