කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මම දයානන්ද ගුණවර්ධනගෙ ගෝලයෙක්

මම දයානන්ද ගුණවර්ධනගෙ ගෝලයෙක්

ප්‍රවීණ කලාකරු ඇන්තනි ජීවා

ඇන්තනි ජීවා දෙමළ වේදිකාව මෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රය ද පෝෂණය කළ ප්‍රවීණ කලාකරුවෙකි. ලංකාවේ මතු නොව ඉන්දියාවේ ද රසික විචාරක පර්ෂද අතර ඔහු කීර්තියක් දිනා සිටී. දශක තුනක් පුරා ඔහු ඉටුකළ මෙහෙවර අගයනු වස් තමිල්නාඩුවේ සින්නප්පා භාරතී සාහිත්‍ය පදනම විසින් ජීවිතයේ වරක් පමණක් කලාකරුවකුට පිරිනමන ‘දිවමන් සම්මානය’ පසුගිය දා ඇන්තනි ජීවාට ද ප්‍රදානය කරනු ලැබීය. අප, මෙවර භූමිකාවට ඔහු කැඳවූයේ ඒ පිළිබඳව කතාබහක නිරත වීම පිණිසය.

“මහත්මා ගාන්ධි දිනය යෙදිල තියෙන්නෙ ඔක්තෝබර් දෙවෙනිදාට. ඒ දිනය නිමිති කරගෙන තමිල්නාඩුවේ සින්නප්පා භාරතී සාහිත්‍ය පදනම හැම වසරකම විශාල උත්සවයක් පවත්වනවා. ලෝකයේ කොහේ සිටියත් දෙමළින් ලියන අයට සම්මාන පිරිනැමීමටයි මේ උත්සවය පවත්වන්නේ. මෙහිදී ඔවුන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් දෙනවා.

මොකද අපේ දෙමළ සාහිත්‍යය ඉහළ මට්ටමක තිබෙන බවයි ඔවුන්ගේ පිළිගැනීම. තමිල්නාඩුවේ නවක්කල් නගරයේ කලාගාරයේදී පවත්වපු මේ උත්සවයට ඉන්දියාවේ හැම ප්‍රාන්තයකින්ම වගේ ලේඛකයන් හා කලාකරුවන් දහසක් පමණ සහභාගි වුණා. මට සම්මානයට අමතරව ඉන්දියන් රුපියල් දහදහක මුදල් ත්‍යාගයකුත් ලැබුණා.”

සිංහල භාෂාව හොඳින් කතා කරන ඇන්තනි ජීවා සිය තමිල්නාඩු චාරිකාව පිළිබඳව විස්තර ඉදිරිපත් කළේ එසේ ය. ජීවාට අමතරව දෙමළ සාහිත්‍යය වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලාංකීය ලේඛකයන් කිහිප දෙනකුට ද මෙහිදී ත්‍යාග පිරිනැමිණි. නවකතා කලාව වෙනුවෙන් ප්‍රවීණ ලේඛක තෙලිවත්තෙයි ජෝසප්, කෙටිකතා සඳහා මූ. සිවලිංගම් පුවත්පත් කලාව සඳහා එච්. සෙල්වරාජා හා පරිවර්තන සාහිත්‍ය වෙනුවෙන් උපාලි ලීලාරත්න යන ලේඛකයෝ මෙසේ පිදුම් ලැබූහ.

“සින්නප්ප භාරතී කලා උලෙළ පැවැත්වුණු ආකාරය පිළිබඳව අපට කෙටි විස්තරයක් කළ හැකි ද?” මම ජීවාගෙන් විමසීමි.

“සින්නප්ප භාරතී කියන්නේ තමිල්නාඩුවේ ජීවත්වන ප්‍රගතිශීලී ලේඛකයෙක්. ඔහුගේ පොත් කිහිපයක් සිංහලටත් පරිවර්තනය වී තිබෙනවා. ඔහු අවසාන වරට ලංකාවට ආ වෙලාවේ සිංහල දෙමළ ලේඛක එකමුතුව හා ගොඩගේ ප්‍රකාශන ආයතනය එකතු වෙලා පිළිගැනීමේ උත්සවයකුත් පැවැත්තුවා. ඔහු තමිල්නාඩු ප්‍රාන්ත මාක්ස්වාදී කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙක්. ඒ වගේම ප්‍රගතිශීලී ලේඛක සංවිධානයේ නියමුවෙක්. ඔහුගේ ප්‍රගතිශීලී සාහිත්‍ය මෙහෙවර අගය කරන්න තමා සින්නප්ප භාරතී කලා උලෙළ සංවිධානය කරන්නේ.

මේ උලෙළේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමා මේක එක්තරා ආකාරයක දේශපාලන ස්වරූපයක් ගැනීම. ‘ජනතාව දැනුවත් කිරීම සඳහා පොත් කියවීම හුරුපුරුදු කරමු’ වැනි තේමාවක් යටතෙයි මෙය පැවැත්වෙන්නේ. උත්සවයේ මුලසුන් දැරුවේ ප්‍රාන්ත මාක්ස්වාදී පක්ෂයේ නායක ජී. රාමචන්ද්‍රන් හා ප්‍රගතිශීලි ලේඛන සංගමයේ සභාපති තමිල් චෙල්වම්. මේ දෙන්නගෙම කතාවලදී ප්‍රකාශ වුණේ මාක්ස්වාදි අදහස්. ගෝර්කිගේ ‘අම්මා’ කියවන්න කියලා රාමචන්ද්‍රන් ඉල්ලා සිටියා. යුද්ධායුධවලට වඩා ශක්තිමත්ම අවිය පෑන කියලත් ඔහු පැවසුවා. ජාතිවාදය, ආගම්වාදය හෝ කුලවාදය අවුස්සන අදහස්වලට වඩා මේවා ජනතාවට හිතකර ය කියා මම හිතනවා.”

ඇන්තනී ජීවා ශ්‍රී ලාංකික රසික විචාරක ප්‍රජාව අතර වඩාත් ප්‍රකටව සිටිනුයේ කඳුරටින් බිහි වූ නාට්‍යකරුවකු ලෙස ය. ශ්‍රී ලංකාවේ දෙමළ නාට්‍යයේ ඉතිහාසය පිළිබඳව පොත් කිහිපයක් ද ලියා ඇති ජීවා නාට්‍ය නිෂ්පාදකයකු වශයෙන් ද නමක් දිනා සිටී. අපි ඒ පිළිබඳව ද සාකච්ඡා කළෙමු.

“මම නාට්‍ය කලාව ඉගෙන ගත්තේ දයානන්ද ගුණවර්ධනගෙන්. එතුමා සුදර්ශියේ සිංහල සංස්කෘතික සංගමයේ ලේකම් වෙලා හිටියා. ඒ කාලේ නරිබෑනා නාට්‍ය පුහුණු කරනවා. ඒක දැකලා මට ආසා හිතුණා. මම දයානන්ද මහත්තයා හමුවෙලා මටත් නාට්‍ය ශිල්පය ඉගෙන ගන්න ආසයි කිව්වා. එදා පටන් එතුමාගේ නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මම දයානන්ද ගුණවර්ධනගෙ ගෝලයෙක් කියන්නත් පුළුවන්.

නවසිය හැත්තෑවේදි මම නාට්‍යයක් හැදුවා ‘අග්නිපූකල්’ කියලා. ඒකෙ සිංහල තේරුම ‘ගිනිමල’ කියන එක. වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න මුල් කරගෙන හදපු ඒ නාට්‍ය වතුකරයේ හුඟක් ජනප්‍රිය වුණා. හැත්තෑ පහේදී ‘කිරිගරුඬ’ කියන නාට්‍යයේ රඟපාපු අලෙයිපාල් කියන නිළිය හොඳම රඟපෑමට සම්මාන දිනාගත්තා. ‘ආරෝරෝ අරිවෝ’ ගඟට උඩින් කොක්කු ගියා, ‘තායි’ නමින් හදපු බ්‍රෙෂ්ට්ගේ මව කියන නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍ය දහයක් පමණ මම නිර්මාණය කළා.

මම කාලයක් ඉන්දියාවටත් ගිහින් නාට්‍ය කලාව ඉගෙන ගත්තා. එහෙදි මම නාගිල් සර්ගාර් කියන බෙංගාලි ශිල්පියා යටතේ වීදි නාට්‍ය කලාව හැදෑරුවා. ලංකාවට ඇවිත් ආචාර්ය ගාමිණි හත්තොටුවේගමත් එක්ක වීදි නාට්‍ය නිර්මාණය කළා. ‘සාත්තන් වේදම් ඕදුගරදි’ සාතන් යාච්ඤා කරයි කියන තේරුම තියෙන නාට්‍යය ඒ කාලේ හුඟක් ජනප්‍රිය වුණා. ඒක දැකපු ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ඒ අයගෙ දේශපාලන ප්‍රචාරක කටයුතුවලටත් ඒක ඉල්ලා සිටියා. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ.”

අද දෙමළ වේදිකා නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?

“අද හැම දෙයක්ම අවුල් වෙලා. දකුණු ඉන්දියාවේ බලපෑම හැම කලා අංශයකටම තදින්ම දැනෙනවා. පැය විසිහතර පුරාම විකාශනය වන ඉන්දියානු කේබල් රූපවාහිනී සේවය මේකට ප්‍රධාන හේතුවක්. ලාබ, ජනප්‍රිය චිත්‍රපටි තමා ඒකෙන් දවස පුරාම පෙන්වන්නේ. උතුරේ සිට කඳුකරය හා බස්නාහිර දක්වාම බහුතරයක් දෙමළ ජනයා අද මේ කේබල් රූපවාහිනියට ගොදුරු වෙලා.”

සැත්තෑ වියැති මෙම ප්‍රවීණ කලාකරුවා පවසන ආකාරයට දෙමළ සමාජයේ කලා රුචිකත්වය බිඳ වැටෙමින් පවතී. මේ හේතුවෙන් තියුණු සමාජ දේශපාලන දැක්මකින් යුතු පරපුරක් දෙමළ ප්‍රජාව අතරින් අනාගතයේ බිහි කරගැනීම අසීරු වනු ඇතැයි ද ඇන්තනි ජීවා පවසයි. ඔහුගේ ළමා විය හා තුරුණු විය ගත වූ ආකාරය පිළිබඳව ජීවා කරන මෙම විස්තරය කියවන ඔබ තුළ ද එම හැඟීම උපදිනු ඒකාන්තය.

“මම 1944, කොළඹදී ඉපදුණේ. අධ්‍යාපනය ලැබුවෙ බම්බලපිටියෙ ශාන්ත මේරි විද්‍යාලයේ. පස්සෙ විවෘත විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාවක් කළා. ඒ කාලේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බොහොම ජනප්‍රිය වෙලා තිබුණා. මමත් කිරුළපනේ ලංකා සමසමාජ පක්ෂ තරුණ සංවිධානයට බැඳුණා. වාසුදේව, විවියන්, අතාවුද වගේ අයත් එක්ක තමා එදා තරුණ සංවිධානේ වැඩ කළේ. ආචාර්ය කොල්වින් සභාපති. විවියන් ගුණවර්ධන මට සිංහල ඉගැන්නුවා. ‘ජනශක්ති’ දෙමළ පත්තරේ කර්තෘකමත් මට පැවරුවා. මගේ සිංහල දෙමළ දැනීම නිසා වතු අංශයේ රැස්වීම්වලදී කොල්වින්ලගෙ කතා දෙමළට පරිවර්තනය කළෙත් මමයි. මම කලාව පැත්තට යොමු වුණේ වමේ දේශපාලනය නිසයි. කිංස්ලි රාජපක්ෂ, එස්. කරූ, සමන් බොකලවෙල වගේ කලාකරුවන් එදා සමසමාජ පක්ෂයේ හිටියා. මට ඔවුන්ගෙන් ලොකු මඟ පෙන්වීමක් ලැබුණා.”

සැත්තෑ වියේදීත් ඇන්ටනී ජීවා මනා සමාජ හා දේශපාලන දැක්මකින් යුතුව කටයුතු කරන්නේ තුරුණු වියේදී වමේ දේශපාලනයෙන් ලද පන්නරය නිසා විය යුතු යයි මට හැඟිණි. අද සියල්ල අවුල් වී ඇතැයි යනුවෙන් ඔහු පවසන කතාවේ යථාර්ථය වන්නේ වත්මන් දෙමළ තරුණ පරපුරට නිසි දේශපාලන මඟ පෙන්වීමක් නැතිකම විය යුතුය. දැනුදු ඉතා ක්‍රියාකාරී කලාකරුවකු වශයෙන් ඔහු ‘කොලුඳු’ (තේදලු) නම් සඟරාව සංස්කරණය කරයි. තිනකරන් ඇතුළු දෙමළ පත්තර කිහිපයකට තීරු ලිපි රචනා කරයි. එපමණක් නොව කඳුකරයේ කලා හා සාහිත්‍ය සංගමයේ ලේකම් වශයෙන් හා සිංහල දෙමළ ලේඛන එකමුතුවේ උප සභාපතිවරයකු ලෙස ද සේවය කරයි.

ශ්‍රී ලාංකික කලාවක් ගොඩනඟමින් සියලු ශ්‍රී ලාංකික ජන කොටස් අතර සාමය හා සහෝදරත්වය වර්ධනය කිරීමට පනස් වසරකටත් අධික කාලයක් පුරා කැප වී සිටින ඇන්තනී ජීවා කලාකරුවාට පාලමේ උණුසුම් සුබ පැතුම්!

සංස්කෘතික සටහන්
 

රංගන ශිල්පි නඩරාජාට උපහාර

කොළඹ ශ්‍රී ක්‍රිෂ්ණා කලා සංගමය 38 වන වරට ද සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ දමිළ කලාකරුවනට උපහාර පිදීමේ උලෙළ පසුගිය දා කොළඹ කොටහේන විවේකානන්ද ශාලාවේදී පැවැත්විණි. දමිළ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී, එන්. නඩරාජා මහතාට මෙහිදී, මෙම උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අතින් උපහාර පිදුණු අයුරු. ශ්‍රී ලංකා රථවාහන පොලීසියේ අධ්‍යක්ෂ කේ. අරසරත්නම් මහතා සහ ශ්‍රී බාල රවිසංකර කුරුක්කල් තුමා ද පසෙක වෙති. ඡායාරූපය - උතුරු කොළඹ සමූහ ඒ. මදුරවීරන්

ජාතික එකමුතුව විදහා පෑ නුවරඑළිය දිස්ත්‍රික් සාහිත්‍ය උලෙළ

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික සාහිත්‍ය උලෙළ පසුගිය සැප්තැම්බර් 05 දා ලේකම් කාර්යාලයීය ‘ඓශ්චර්යා’ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන මාධ්‍ය තුනෙන්ම නිර්මාණ තරග පවත්වා ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම මෙම උලෙළේ විශේෂ ලක්ෂණය විය. දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාහිත්‍ය උත්සවය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් හා එම සරසවියේම කථිකාචාර්ය එම්. එම්. ජයසීලන් යන මහත්වරුන්ගේ දෙසුම් දෙකකින් ද සමන්විත විය.

පාසල් හා විවෘත යන අංශ දෙක යටතේ තරග රැසක් පැවැති අතර එහිදී ජනශ්‍රැති අධ්‍යයන අංශයෙන් ‘නුවරඑළිය මහ නගර සභා සීමාව තුළ ග්‍රාම නාම’ පිළිබඳව පර්යේෂණ කෘතියක් ඉදිරිපත් කර ප්‍රථම ස්ථානය දිනාගත් දිස්ත්‍රික් සංස්කෘතික මණ්ඩලයේ උප සභාපති ශාස්ත්‍රපති පියසේන රණවීර මහතාට ද විශේෂ ත්‍යාගයක් පිරිනැමිණි. සිංහල හා දෙමළ පාසල් දරු දැරියන් හා දිස්ත්‍රික් කලායතන විසින් ඉදිරිපත් කෙරුණු විවිධ ප්‍රසංගය උත්සවය තවත් අලංකාර කළේය

ලංකාවේ පළ වූ දෙමළ පුවත්පත්

ප්‍රථම වරට මුද්‍රිත මාධ්‍යයෙන් පළ වූ දෙමළ පොත් හා පුවත්පත් අළලා ප්‍රවීණ ලේඛක බොබි ජි. බොතේජු විසින් ලියනු ලබන ලිපි පෙළක මුල් කොටස පසුගිය පාලමේ පළ විය. මේ එහි දෙවන කොටසයි.

ලංකාවේ ප්‍රථම වරට සිංහල පුවත්පතක් ආරම්භ වන්නේ 1860 වර්ෂයේදීය. එම පුවත්පත ලංකා ලෝකය නමින් හැඳින්විණ. 1862 සැප්තැම්බර් 11 වැනි දින ලියාපදිංචි කළ ලක්මිණි පහන පුවත්පත මුද්‍රණාල ආඥා පනත යටතේ ලියාපදිංචි කරන ලද ප්‍රථම පුවත්පත ලෙස සැලැකේ. මෙම පුවත්පත්වල කතුවරුන් ලෙස කොග්ගල පඬිතුමා, බටුවන්තුඩාවේ පඬිතුමා, එම්. ධර්මරත්න පඬිතුමා කටයුතු කළහ.

ලංකාවේ දෙමළ පුවත්පත් පළවීම ආරම්භ වන්නේ සිංහල පුවත්පත් පළවීම ආරම්භ වීමට දශක දෙකකට පෙරයි. 1841 දී ආරම්භ වූ උදය තාරකී / Morning Star මුල්ම දෙමළ පුවත්පත ලෙස සැලැකේ. ද්විභාෂා පුවත්පතක් වූ මෙම පුවත්පත පළවූයේ යාපනය නගරයේ සිටයි. එහි මිල සිලිමක් විය.

ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ අරමුණින් බිහිවූ මෙම පුවත්පත දෙමළ පාඨකයන් අතර පමණක් නොව ඉංග්‍රිසි පාඨකයන් අතර ද ජනප්‍රිය විය. ක්‍රිස්තියානි ආගම, අධ්‍යාපනය සහ සාහිත්‍ය පිළිබඳ ලිපි සහ වැදගත් ප්‍රවෘත්තිවල සාරාංශයක් ද මෙම පුවත්පතේ අන්තර්ගත විය. මෙම පුවත්පත 1864 සිට දෙමළ භාෂාවෙන් පමණක් සතියකට දෙවරක් පළවූ අතර 1900 සිට යළිත් වරක් ද්විභාෂා පුවත්පතක් ලෙස පළ විය.

19 වන සියවස අගභාගයේදී තවත් වැදගත් සිංහල පුවත්පත් කීපයක් බිහි විය. 1863 ලක්රිවිකිරණ 1863 - 1865 දිනපතා ප්‍රවෘත්ති 1866 ඥානාර්ථ ප්‍රදීපය (මේ දක්වා නොකඩවා පළවන පුවත්පතකි) 1872 - 1913 කවට කතිකයා 1890 - 1951 සරසවි සඳරැස එම පුවත්පත් ලෙස සඳහන් කළ හැකිය.

මීට සමගාමීව අදාළ වකවානුව තුළ දෙමළ පුවත්පත් කීපයක්ම බිහි විය. 1863 ලංකාභිමානී / The Ceylon Patriot ද්වි භාෂා පුවත්පත සී. එන්. කතිරවේලුපිල්ලෙයි මහතාගේ කර්තෘත්වයෙන් යාපනයේ සිට පළ කරනු ලැබීය. 1870 වර්ෂයේ සිට මෙම පුවත්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පළ විය. 1864 Paliyar Nesan මාසික පුවත්පතක් ලෙස යාපනයේ සිට පළ විය.

1868 Illangai Pathukavalan / Ceylon Guardian {ද්වි භාෂා පුවත්පත කොලඹ ලක්රිවිකිරණ මුද්‍රණාලයේ මුද්‍රණය කරනු ලැබීය. එහි කතුවරයා සී. මුත්තයියාපිල්ලෙයි මහතායි. (C. Muthiahpillai)}, 1876 Catholica Pathukavlam / Jaffna Catholic Guardian දෙසතියකට වරක් නිකුත් වූ අතර 1880 සිට සෑම සෙනසුරාදා දිනකම නිකුත් විය. 1896 නිකුත් කළ Manavan ද්වි භාෂා පුවත්පත මඩකලපුවේ සිට ප්‍රකාශයට පත් විය.

දෙමළ පුවත්පත් බොහොමයක ප්‍රධාන අරමුණ වූයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමයි. ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ ආගම් ප්‍රචාරයට එරෙහිව බෞද්ධාගමිකයන් සංවිධානය වී පුවත්පත් පළ කිරීම ආරම්භ කළ ආකාරයටම එම වකවානුවේම හින්දු භක්තිකයෝ ද ක්‍රිස්තියානි මිෂනාරිවරුන් ගෙන් ශිව ආගම බේරා ගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ.

හින්දු ආගම ප්‍රචාරය කිරීමේ අරමුණින් ලංකාභිමානී / The Ceylon Patriod 1863, ශෛව උදය භානු /The Rising Sun 1880, ශෛවාභිමානි 1884, Sanmar Kapothini / Tribune 1885 සහ ඉන්දු සදානම් /Hindu Organ 1889 පුවත්පත් පවත්වා ගෙන යනු ලැබීය.

හින්දු උගතකු වූ ආරුමුගම් නාවලර් තුමා (1822 - 1879) ක්‍රිස්තියානි මිෂනාරි විරෝධි ව්‍යපාරයක් ආරම්භ කළ අතර ඔහුගේ ව්‍යාපාරය දෙමළ ජනතාව අතර පැතිර ගියේය. ක්‍රිස්තියානි / දෙමළ පුවත්පත්වලට එරෙහිව ආරම්භ කළ හින්දු / දෙමළ පුවත්පත් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවන් උදෙසා පෙනී සිටියේය.

1882 ආරම්භ කළ Muslim Friends / Muslim Nesan පුවත්පත මහනුවර මුස්ලිම් මිත්‍රයෝ කාර්යාලයෙන් නිකුත් විය. මෙම පුවත්පතේ තවත් වැදගත්කමක් වනුයේ Asenbe Sarithiram නමැති දෙමළ නවකතාව කොටස් වශයෙන් පළ කිරීමයි. දෙමළ නවකතා කොටස් වශයෙන් පුවත්පත්වල පළ කිරීම ආරම්භ වූයේ මෙම පුවත්පතිනි.

Pudinalankari 1873, Sarvajana Nesan 1886, Syful Islam 1890 යන දෙමළ භාෂාවෙන් පළවූ පුවත්පත් මුස්ලිම් ජනතාව අතර ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කළේය. Muslim Friends / Muslim Nesan පුවත්පත හැරෙන්නට අනෙක් මුස්ලිම් පුවත්පත් පළ වූයේ කොළඹ නගරයේ සිටයි.

19 වන සියවසේ අග භාගයේදී බෞද්ධ හින්දු සහ මුස්ලිම් ආගමිකයින්, ක්‍රිස්තියානි මිෂනාරිවරුන් තම පොදු සතුරා ලෙස සලකා ඔවුන් ගෙන් තම ආගම් බේරා ගැනීමේ ව්‍යාපාරයක නිරත වූ අතර ඔවුහු ඒ අරමුණ ‍සඳහාම පුවත්පත් ආරම්භ කොට පවත්වාගෙන ගිය බව පෙනී යයි.

පාලමට ලියන්න

සෑම දෙසතියකටම වරක් පළවන පාලමට ඔබේ අදහස්, යෝජනා හා නිර්මාණ ද යොමු කරන මෙන් ඇරියුම් කරමු.
සංස්කාරක - ‘පාලම’, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
FAX-2429260 Email- [email protected]

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්