කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රාත් යාත්‍රා ගුජරාටය පුරා

සිළුමිණෙන් පමණක් කියවන්න ලැබෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව

රාත් යාත්‍රා ගුජරාටය පුරා

නරේන්ද්‍ර භාරතීය ජනතා පක්ෂයේ පූර්ණකාලීකයකු ලෙස එක්වන අවදියේ ගුජරාටය සහ මුළුමහත් ඉන්දියාව පුරාම වසර ගණනක සිට ජාතිවාදී අසහනකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පැවැති කාල වකවානුවක් විය. අභිනවයෙන් පත්වූ පක්ෂ සභාපති එල්. කේ. අද්වානිට නරේන්ද්‍ර ලවා ප්‍රාන්තය පුරා බිම් මට්ටමින් බී. ජේ. පී.ය නඟා සිටුවීමේ අවශ්‍යතාව මතුව එද්දී නරේන්ද්‍ර සිටියේ උණුසුම් වෙමින් පවතින දේශපාලන වාතාවරණයෙන් ගව්ගණනක් ඈතිනි. නරේන්ද්‍ර බී. ජේ. පී. යට එක්වී කෙටි කාලයක් ගතවෙද්දී ඔහුගේ නිදහස් චින්තනයේ සහ නිමාවක් නොමැතිව ගලා ආ නව අදහස්වල ශක්තිය කාටත් ඒත්තු යන්නට විය. ඒ සමඟම හොඳ සංවිධායකවරයකු වශයෙන් ඔහු වෙත තවත් වගකීම් පැවරීමට පක්ෂය උත්සුක වූයේය.

එලෙස නරේන්ද්‍ර වෙත පැවරුණු තවත් වගකීමක් වූයේ රාත් යාත්‍රා හෙවත් රථ පෙළහර සංවිධානය කිරීමය.

ඉන්දියාවේ රාත් යාත්‍රා උත්සවය යනු මෙරට හින්දු උත්සවයක් වන තේරු උලෙළ හා සමාන වූවකි. හින්දු භක්තිකයන් ඉමහත් හරසරින් දෙවි දේවතා හෝ දෙවඟන පිළිරුවක් ඉතා අලංකාරව සරසන රථයක් මත හිඳුවා ඉමහත් හරසරින් වීදි සංචාරය කිරීම එහිදී සිදු වේ. මෙලෙස පැවැත්වෙන රාත් යාත්‍රා උත්සව අතර වැදගත්ම උත්සවයක් වන්නේ ජගන්නාත් උත්සවයයි.

රාත් යාත්‍රා උලෙළ ආගමික පූජෝත්සවයක් වුවද ඉන්දියාවේ දේශපාලන පක්ෂ ද සිය පක්ෂ ප්‍රචාරක කටයුතු සඳහා රාත් යාත්‍රා පෙරහර පවත්වයි. එවන් රාත් යාත්‍රා පෙරහර එරට දේශපාලන පක්ෂ ප්‍රචාරක කටයුතුවලදී නැතිවම බැරි අංගයක් ලෙස සැලැකේ. විශේෂයෙන්ම ගම්බද ජනතාව පක්ෂ වටා ඒකරාශි කර ගැනීමට මෙවන් උත්සව මහෝපකාරී වේ.

ඉතා දීප්තිමත්ව වර්ණ ගැන්වූ අතිශයින් අලංකාර ලෙස සරසන ලද ට්‍රැක්ටර්, ලොරි රථ, ට්‍රක් රථ හා මෝටර් රථ මෙලෙස රාත් යාත්‍රා සඳහා යොදා ගනී. එලෙස සැරසූ රථවල නැඟුණු දේශපාලකයෝ, නළු නිළියෝ සහ පක්ෂ ක්‍රියාකාරීහු ගම්දනව් සැරිසරමින් ජනතාව කරා යති.

ඒ යන ගමන්වලදී දේශපාලන කතා ඇසීමේ වාරය ද ලැබෙන අතර ම මහජන පැමිණිලිවලට සවන් දීම ද සිදු වේ. එසේම එම පැමිණිලිවලට විසඳුම් දීමට ද මෙවන් අවස්ථාවලදී දේශපාලනඥයෝ ඉදිරිපත් වෙති. ඇතැම් විට දේශපාලන පොරොන්දු ලබාදීම ද සිදු වේ. ගම්බද ප්‍රදේශවල මෙවන් රථ පෙළපාළි සංවිධානය කෙරෙනුයේ පක්ෂවලට මහජන සහයෝගය ලබා ගනිමින් අනාගතයේ විපුල ඵල නෙළා ගැනීම සඳහා ය.

නරේන්ද්‍රට ද බී. ජේ. පී. යට සහයෝගය ලබා ගැනීම සඳහා මෙවන් රථ පෙළපාළියක් සංවිධානය කිරීමට සිදුවිය. එය ඔහු සංවිධානය කළ පළමු රාත් යාත්‍රා පෙළපාළිය විය. මේ රථ පෙළපාළිය නරේන්ද්‍ර නම් කළේ න්‍යායේ යාත්‍රා ලෙසය. එහි අරුත වූයේ යුක්තිය උදෙසා වන රථ පෙළපාළිය යනුවෙනි.

බී. ජේ. පී. යට එක්වී මාස කීපයකට පසු 1987 දී නරේන්ද්‍ර සංවිධානය කළ මේ රාත් යාත්‍රා පෙළපාළියේදී නරේන්ද්‍රට අවශ්‍ය වූයේ ජනතාව හැකිතාක් දුරට පක්ෂය වටා එක්රොක් කරවා ගැනීමටය.

“අපි මේ රථ පෙළපාළියෙන් ගුජරාටයේ සෑම කොනකටම යන්න ඕනෑ. ගිහින් මහජනයා මුණ ගැහෙන්න ඕනෑ” යනුවෙන් න්‍යායේ යාත්‍රා පෙළපාළිය සංවිධානය කරමින් නරේන්ද්‍ර පැවැසීය.

එම රථ පෙළපාළියෙන් පසු ගුජරාටය පුරා හින්දුත්වය පිළිබඳ අලුත්ම හැඟීමක් උද්දීපනය වීම ආරම්භ විය. න්‍යායේ යාත්‍රා පෙළපාළියේ අති සාර්ථකත්වය නිසාම බී. ජේ. පී.ය තුළ නරේන්ද්‍රගේ තැන තව තවත් තහවුරු වූයේය. ඒ සමඟම බී. ජේ. පී. යට ද දේශාභිමානී අනන්‍යතාවක් එක්කිරීමට එය හේතු විය.

න්‍යායේ යාත්‍රා හි අති සාර්ථකත්වයෙන් පසු 1989 දී නරේන්ද්‍ර ලෝක් ශක්ති රාත් යාත්‍රා නමින් එහි දෙවැන්න සංවිධානය කළේය.

එයට හේතු වූයේ, “අපේ න්‍යායේ රථ පෙළපාළිය ගුජරාටයේ අන්තිම කොන දක්වාත් ගියා. එයින් අලුත් අදහස් ද එක්වුණා. නරේන්ද්‍ර මීළඟ රථ පෙළපාළියත් සංවිධානය කරන්න ඕනෑ” ය යනුවෙන් පක්ෂ නායකයන් නරේන්ද්‍රගෙන් ඉල්ලා සිටීම නිසාය.

මේ රථ පෙළපාළි දෙක නිසා ප්‍රාන්තය පුරා බී. ජේ. පී. හි ප්‍රචාරාත්මක වැඩ සටහන ඉතා ජනප්‍රිය විය.

මෙලෙස රාත් යාත්‍රා පෙළපාළි සංවිධානය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. රථ පෙළපාළිය ගමන් කරන මාර්ගය තීරණය කිරීමෙන් අනතුරුව සෑම ස්ථානයකම පෙර සූදානම පිළිබඳව පරීක්ෂා කළ යුතු විය. ඒ සියල්ල සංවිධායකවරයා සතු වගකීමකි.

“රථ පෙළපාළියට නැවතුම් 15 ක් තියෙනවා. පළමු නැවතුමේ දී අප කරන්නේ පක්ෂ සභාපතිතුමා පිළිගැනීමයි. එතැනදී එතුමා කතාවක් පවත්වනවා” යනාදි ලෙසින් රථ පෙළපාළියේ අදියරෙන් අදියර සිදුවන දේ මුල සිටම සැලසුම් කිරීම නරේන්ද්‍ර විසින් කරනු ලැබීය.

1989 ජනවාරි 31 වැනිදා ලෝක් ශක්ති රාත් යාත්‍රා පෙළපාළිය ගුජරාටයේ අම්බාජී නගරයේ ශක්ති දේවාලයෙන් ආරම්භ කෙරිණ. එහි තේමාව වූයේ ‘ජනතාවගේ ශක්තිය’ යන්න යි.

“මේ රාත් යාත්‍රාව ගම්මාන 10,000 ක් කරා යෑමටයි සැලසුම් කළේ. ඒ සමඟම අහමදාබාද් පරණ නගරයේ පවතින මත්පැන් මාෆියාවට විරුද්ධවත් මෙහිදී හඬක් නැගිය යුතුයි” යන්න නරේන්ද්‍රගේ අදහස විය.

පක්ෂයේ ප්‍රතිරූපය නංවාලීම සහ පක්ෂය සඳහා අරමුදල් එක්රැස් කිරීම ලෝක් ශක්ති රාත් යාත්‍රාහි අරමුණ වුවද ඒ සමඟම වෙනත් අරමුණක් ඉෂ්ට කිරීමට ද ඔහු පෙරමුණ ගත්තේය. නැ‍ඟෙනහිර ගුජරාටයේ ගෝත්‍රික ජනතාව පක්ෂය වටා පෙළගැසුණේ ද පක්ෂයේ අරමුණු ජනතාව අතරට ගියේ ද මේ ලෝක් ශක්ති රාත් යාත්‍රා පෙළපාළිය නිසා ය.

අනතුරුව නරේන්ද්‍රට විවිධ තේමා ඔස්සේ පැවැති රාත් යාත්‍රා ගණනාවක සංවිධායකත්වය දැරීමට සිදුවිය. ඉන් ඇතැම් රාත් යාත්‍රා පක්ෂ ප්‍රචාරණ කටයුතු සඳහාම නොවීය.

“ආණ්ඩුව ඉදිරිපත් කරන්න යන ජනතාවට අන්තවාදී පනත් පිළිබඳව අපි ජනතාව දැනුම්වත් කර ඊට එරෙහිව හඬක් නැඟිය යුතුය”

“ඒ වෙනුවෙනුත් අපි රාත් යාත්‍රාවක් පවත්වමු”

එවකට පැවැති රජයන් විසින් ගෙන යනු ලැබු ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත්වලට විරුද්ධව එලෙස රාත් යාත්‍රා පෙළපාළි පැවැත්වීමට ද බාර වූයේ නරේන්ද්‍රට ය. අද්වානි විසින් මූලිකත්වය ගත් ජනදේශ් යාත්‍රා සහ සෝමාත් සිට අයෝධ්‍යා දක්වා වූ රාත් යාත්‍රා පෙළපාළිය ද ඉන් ප්‍රධාන වේ.

1989 වසරේදී නරේන්ද්‍රගේ පියා මිය ගියේය. ඒ වෙද්දී නරේන්ද්‍ර අවසන් වරට පියා දැක වසර කීපයක්ම ගතව තිබිණ. පියාගේ අවසන් කටයුතු මොහොතේ ඔහු වාද්නගර් කරා ගියේය. එහෙත් ඒ ගමන ද පැය කීපයකට සීමා විය. අවසන් කටයුතු සිදුවූ පැය කීපය පමණක් සිය උපන් ගමේ රැඳුණු ඔහු ආපසු පැමිණියේය.

1990 වසර වෙද්දී ඔහුගේ අනාගතය පැහැදිලි වෙනසකට ලක්වන බව පෙනී ගියේ පක්ෂය තුළ ඔහු ලද ස්ථානයත් සමඟය. ඔහු පක්ෂය තුළ පෙන්වූ දක්ෂ සංවිධාන ශක්තිය සහ තීරණ ගැනීමේ හැකියාවේ ප්‍රතිඵල වැඩි කලක් නොයවාම අත්විඳිය හැකි විය. එම වසරේදීම ඔහු බී. ජේ. පී. යේ ජාතික මැතිවරණ කමිටුවේ සාමාජිකයන් දොළොස් දෙනා අතරින් කෙනකු ලෙස පත් කෙරිණ. එහි අදහස වූයේ ගුජරාටය ඔහුගේ සාර්ථකත්වය ඉතා ඉහළින් පිළිගත් බවකි.

අයෝධ්‍යා‍ යාත්‍රාවෙන් පසු නරේන්ද්‍රට තවත් දැවැන්ත වූ රාත් යාත්‍රාවක් සංවිධානය කිරීමේ වගකීම පැවැරිණ. එය ඔහුගේ අවසන් රාත් යාත්‍රාව විය.

එම මුළු රථ පෙළපාළියටම සහභාගි වෙමින් එහි මූලිකත්වය ගැනීමට ඔහුට සිදුවිය. එවකට බී ජේ පීයේ නව ජාතික සභාපති වූ මුර්ලි මනොහාර් ජෝශිගේ ද සහභාගිත්වයෙන් පැවැති එම යාත්‍රාව නම් වූයේ එක්තා යාත්‍රා හෙවත් එක්සත් ඉන්දියාවක් ලෙසිනි. දින 45 ක් පුරා පැවැති එක්තා යාත්‍රා පෙළපාළිය 1991 දෙසැම්බර් මාසයේදී රටේ දකුණු දිගින් ඇරැඹිණ. ඒ තමිල්නාඩුවේ කන්‍යා කුමාරි දේවාලයෙනි. එය අවසන් වූයේ නව වසරේදී නරේන්ද්‍ර සහ ඔහුගේ සගයන් විසින් කාශ්මීරයේ ශ්‍රී නගර් හි ජාතික කොඩිය එසවීමෙනි.

“අපට ශ්‍රී නගර්හි ජාතික කොඩිය එසවීමට අවසර ලැබුණේ නැහැ. ශ්‍රී නගර්වල ජාතික කොඩිය ඔසවන කවරකු හෝ මරා දමන බවට ඔවුන් අභියෝග කළා. එහෙත්, අපි ඒ අභියෝගය බාර ගත්තා.”

“ඔව් අපි එනවා. ඇවිත් කොඩිය ඔසවනවා” යැයි අප පැවසුවා යැයි නරේන්ද්‍ර පසුව පැවැසීය.

ඔහු ඉන්පසු යළි ගුජරාටයට ගියේ සාර්ථකව එක්තා යාත්‍රා ගමනක් අවසන් කිරීමේ සතුට ද ඇතිවය.


නරේන්ද්‍ර මෝදි නව දැක්මක් සහිත විශ්වාස කටයුතු පුද්ගලයෙක්

- ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් සාමාජිකා

ශීලා ඩික්සිත් පවසයි

ශීලා ඩික්සිත් යනු ඉන්දීය කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවකි. කේරළයේ ආණ්ඩුකාරවරිය සහ දිල්ලි මහ ඇමැතිනිය ද ලෙස කටයුතු කළ ඇය පසුගිය දිනක තමාට පසුගිය ජූලි මාසයේ දී නරේන්ද්‍ර මෝදි මුණගැසුණු අවස්ථාවක් පිළිබඳව සිහිපත් කරමින් ඔහු පිළිබඳ අදහස් පළ කළාය.

“නරේන්ද්‍ර මෝදි යනු දර්ශනයක් සහිත විශ්වාසවන්ත පුද්ගලයෙක්. එසේම ඔහු වෙත නව අදහස් ද තිබෙනවා” යැයි ද ඇය පවසා තිබිණ.

ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශීලා ඩික්සිත් පවසා තිබුණේ, නරේන්ද්‍රගේ අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඒවා බවය.

ශීලා ඩික්සිත් හා නරේන්ද්‍ර මෝදි අතර මේ හමුව පැවැතියේ කේරළ ආණ්ඩුකාරධුරයෙන් ඇය ඉල්ලා අස්වීමට පෙරය.

“මා ඔහු හමුවීමට යද්දී මගේ සිතේ ඔහු මේ සියලු දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන කුකුස පැවතුණා. එහිදී මා දුටුවේ විශ්වාසවන්ත හා ප්‍රායෝගික මිනිසෙකි.” යැයි ඇය පැවසුවාය.

ක්‍රියාත්මක වීමේදී කොංග්‍රසයට ද මෝදිගේ ක්‍රමය අනුගමනය කිරීමට සිදුවේදැයි පුවත්පත ඇසූ ප්‍රශ්නයට ද ඇය පිළිතුරු දුන්නාය.

“ඔහු කරන ආකාරයට ම කටයුතු කිරීමට උත්සාහ දැරීමට තවම වේලාසන වැඩියි. ඔහු බොහෝ දේ කතා කරනවා. බොහෝ දේ ගැන පොරොන්දු දෙනවා. ඔහුට නව දර්ශනයක් ද තියෙනවා. එහෙත් ඔහුගේ එම පොරොන්දුවලට කුමක් වේදැයි බැලීම අවශ්‍යයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්