කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

“මේ රමණීය දිවයිනේ ඔබත් නිදහසේ ඇවිද යන්න”

“මේ රමණීය දිවයිනේ ඔබත් නිදහසේ ඇවිද යන්න”

ශ්‍රීමත් ඉයන් බොතම්ගෙන් අපට අපූරු සහතිකයක්

“මා මුලින් ම ශ්‍රී ලංකාවට පැමිණියේ 1982 දීය. ඒ කොළඹදී පැවැත්වූ ශ්‍රී ලංකා එංගලන්ත පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහාය. ඉන්පසු අපි මධ්‍යම පළාතෙන් මහනුවරට ගියෙමු. එහිදී ද ක්‍රීඩා කළෙමු. එය ශ්‍රී ලංකාවේ මා ඉතාම ප්‍රිය කළ ස්ථාන අතුරින් එකක් විය. එහි පිහිටි දළදා මාළිගාව බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වෙයි.

මුළු මහනුවර නගරයම ඉතිහාසය හා බැඳී සිටී. එය රටේ ප්‍රධාන නගරයන් අතරින් ද එකක් වෙයි. එමෙන් ම එහි ඉතා අලංකාර බෞද්ධ සිද්ධස්ථාන හා තේ වගාවන් ද වෙයි. එමෙන් ම මහනුවර සංචාරක පුරවරයක් ද වෙයි. ඉන්පසු ‍මම ශ්‍රී ලංකාවට ආදරය කරන්නට පටන් ගතිමි. ඒ ගැන විස්තර පළ කරන්නට වීමි. ක්‍රීඩකයකු වශයෙන් අපට එක් ස්ථානයක වැඩි කලක් රැ‍ඳෙන්නට නොහැකිය.

2004 සුනාමිය අවසන් වූ සැණින් මම යළිත් ශ්‍රී ලංකාවට පැමිණියෙමි. එදා සුනාමියේ සුන්බුන් අතරින් මළසිරුරු ගොඩගන්නා අන්දම ඉතා බියකරු දර්ශනයක් විය. එතැන් සිට මම Laures Sport for Good Foundation සංවිධානයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන්නට පටන් ගතිමි. එය දකුණේ මුහුදු රළ විසින් විශාල විනාශයක් කළ සීනිගම පිහිටා ඇති ශ්‍රී ලංකාවේ සංවිධානයකි. ‍

‍ඔවුන් යටතේ එහි නව පාසලක්, ක්‍රිකට් පිටියක් හා ඔලිම්පික් තරග පවා පැවැත්විය හැකි පිහිනුම් තටාකයක් තනා ඇත.

සුනාමි විනාශය පිළිබඳ කියැවූ රොක් ගායක බ්‍රයන් ඇඩම්ස් මේ ක්‍රීඩා සංකීර්ණය පිහිටුවීම සඳහා මුදල් වැය කළේය. එය ඔහුට ගෞරවයක් ලෙස “බ්‍රයන් ඇඩම්ස් පිහිනුම් තටාකය” යනුවෙන් නම් කොට තිබේ.

මා මුලින්ම මේ ප්‍රදේශයට එද්දී දුටුවේ යාර 400 ක් පමණ දුරට උදම් රළ මඟින් ඇදගෙන ගොස් තිබූ දුම්රිය හා දුම්රිය මාර්ගයයි. මා මේ ව්‍යාපෘති සඳහා මුදල් සෙවීමට අනුග්‍රාහක පාගමනට සහභාගීවීමි. දවස් 8 ක් පුරා දිවයිනට උතුරේ සිට දකුණට සැතපුම් 160 ක් ඇවිදීමට මම සමත් වීමි. එහි අරමුණ වූයේ අරමුදල් රැස් කිරීම හා දකුණේ කළ යුතුව ඇති දේ පිළිබඳව පැහැදිලි දර්ශනයක් ජනතාවට ලබාදීඹයි. උතුර ද දරුණු ලෙස සිවිල් යුද්ධයෙන් විනාශවී තිබිණි.

උතුරද සංවර්ධනය කිරීමත් කළ යුතුව තිබිණි. එය ශ්‍රී ලංකාවේ මීළඟ නැගී එන සංචාරක මධ්‍යස්ථානයකි. එහි වඩාත් ආකර්ෂණය වන්නේ වෙරළ තීරයයි.

යාපනයේ නව ගුවන්තොටුපළක්, හෝටල් හා දුම්රිය මාර්ග ගොඩනැගිය යුතුව ඇත. උතු‍රේ අගනගරය නිසා අලුත් වැඩියා කළ යුතු යාපනය පස් වසරක් තුළ යළි පිබිදී ඇත.

අනුරාධපුරය උතුරු මැද පළාතේ අගනගරයයි. මිහින්තලය ශ්‍රී ලංකවේ බුදුදහම උපන් ස්ථානයයි. එමෙන්ම එහි අලංකාර ස්ථූප හා බෞද්ධ සිද්ධස්ථාන රැසක් තිබේ. එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණය ලෙස හැඳින්වෙයි.

මේ ප්‍රදේශය වඩාත් සිත් ඇදගන්නා විශේෂිත ම ස්ථානය වන්නේ සීගිරිය පර්වත බල‍කොටුවයි. මීටර් 200 ක් පමණ උසැති එය ක්‍රි.ව. 480 දී සිංහල රජෙකු විසින් පර්වතයක් මත තනන ලද මාළිගාවකි. එමෙන් ම යුනෙස්කෝව මඟින් ප්‍රකාශිත ලෝක උරුමයකි. ශ්‍රී ලාංකිකයෝ එය අටවැනි ලෝක පුදුමය ලෙස හඳුන්වති.

මම මගේ පළමුවැනි ක්‍රිකට් චාරිකාවේදි මේ පර්වතය තරණය කළෙමි. එය පුදුම සහගත අත්දැකීමකි. වඩාත් පුදුමය වූයේ මා ඡායාරූපයක් ගනිද්දි මා අතේ ගෙනගිය වතුර බෝතලය බිමට වැටීමයි. එය සැණෙකින් වැටී නොපෙනී යන අයුරු මා බියපත්ව බලා සිටි අයුරු මට තවමත් මතකය.

මා මගේ පවුලේ අය ද සමඟ කීපවරක් ශ්‍රී ලංකාවේ සංචාරය කළෙමි. මගේ බිරිය හා මුනුපුරු මිනිබිරියන් සමඟ පැමිණි සමහර සංචාර අමතක කළ නොහැකි ඒවා විය.

ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරමට දරුවන්ට හිතකර අමතක නොවන රටකි. ස්පාඤ්ඤ හෝ කැරිබියන් ප්‍රදේශ මෙන් ම දරුවන්ට ආශ්වාද ජනකය. ජීවිතය ලේසි පහසුවෙන් ජයගත හැකි එකක් නොවන බව මට මගේ මුනුපුරන්ට පෙන්වන්නට අවශ්‍ය විය. ඉතා භයානක දේවල් සිදුවිය හැකිය. එහෙත් ඔබ විසින් ම ඒවා දරාගෙන ඉවත් කරමින් ඉදිරියට යා යුතුය.

ශ්‍රී ලාංකිකයින් මෙයට ඉතා හොඳම උදාහරණයකි. ඔවුන් නිතරම සිනාමුසු මුහුණින් සිටින්නේ සිවිල් යුද්ධය හා සුනාමි විනාශය හමුවේ වුවද කිසිදු අමිහිරි අත්දැකීම් නොලද අය මෙනි. මෙරටට මගේ බිරියත් මාත් නැවත නැවතත් පැමිණෙන්නේ එබැවිනි.

අපි ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ බොහෝ කලක් ගතකර ඇත්තෙමි. එය ඉතා විශිෂ්ට ලෙස සංවර්ධනය වන නගරයක් මෙන්ම විශාල හෝටල් හා ආපනශාලා වලින් සමන්විත වෙයි.

අපි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පිටුපස ඇති කලපුවට කැමැත්තෙමු. එය ඔබට අවශ්‍ය මුහුදු ආහාර සඳහා අගනා එකකි. එහි කෝකියෝ ඔබට අවශ්‍ය ඕනෑම මාළු විශේෂයක් රසවත්ව පිස දෙන්නට සමත් වෙති. මගේ මුනුපුරන් එයට කැමතිය. ඔවුන් පිසගත් විශාල මාළුවකු අවසන් කිරීමට තරග වදින අයුරු මා බලා සිටින්නේ සතුටිනි.

කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රිකට් ක්‍රීඩකයන්ට අයත් Ministry of Crab හෝටලයත්, පාර්ක් වීදියේ Mews ආපන ශාලාවත් අනෙක් අපූරු භෝජනාගාරයන්ය. ඒවායේ ශ්‍රී ලංකා හා යුරෝපීය ආහාර වට්ටෝරු ඉතා රසවත්ය.

“මම ශ්‍රී ලංකාවේ තවත් කැමැති ප්‍රදේශයක් වන්නේ දකුණු පළාතයි. එහි වැලිගම හා ගාල්ල මගේ සිත් පැහැරගත් තැන් දෙකකි. අපි වැලිගම වෙරළාසන්නයේ නිවසක් කුලියට ගෙන නැවතී සිටියේ වෙරළේ සිසිලස විඳගත හැකිවන පරිදිය. එහි ලී කණු මත ඉඳගෙන මාළු බාන ධීවරයන් ගේ දසුන ඉතා අපූරුය.

කොටු පවුරෙන් වටවුණ ගාල්ල පැරැණි කොටුව මගේ සිත්ගත් මා ඇවිදින්නට ආශා කරන තවත් ස්ථානයකි. ගාලු කොටුව පිළිබඳව ඇදහිය නොහැකි විස්මිත කතා පවතියි. ඒ එදා සුනාමිය ගැලූ දිනයේය. එදා සුනාමි උදම් රළ උසට නැග එද්දී බොහෝ මිනිසුන් දිව ගියේ කොටු පවුරෙන් වට පැරණි ගාලු නගරය ඇතුළටය.

සියල්ල අවසන්ව ඔවුන් එළියට එද්දී ඔවුන්ට දකින්නට ලැබුණේ සුනාමි රළ නිසා විනාශ වී ගිය ගාලු නගරයයි. එහෙත් කොටු පවුරෙන් වටවූ පැරණි ගාලු නගරයට කිසිවක් සිදු නොවිණ. ඒ තුළ සිටි මිනිසුන් දහස් ගණනක ගේ ජීවිත බේරී තිබිණි. ඇතුළත සිටි කිසිවකු මිය ගියේ නැත. එහි තිබූ ගෙවල් දොරවල් ආපන ශාලා ආදියට හානියක් සිදු නොවී තිබිණි. මේ ගාලු කොටුව පෘතුගීසීන් විසින් තනන ලද්දේ 14 වැනි සියවසේදීය.”

“මගේ මුනුපුරු මිනිබිරියෝ වැලිගම නගරයට ඉතා ඇලුම් කළහ. ඔවුහු එහි නොගැඹුරු මුහුදේ මසුන් ඇල්ලූහ. වෙරළේ සෙල්ලම් කළහ. වෙරළ දිගට ඇදෙන කකුළුවන් නරඹමින් ප්‍රීතිවූහ.

අපි මේ වෙරළේ මාළු අල්ලමින් දින ගණනාවක් ගත කළෙමු. මගේ මුනුපුරු ජේම්ස් සිය බාල නැගණිය සමඟ වෙරළේ මසුන් ඇල්ලීය. ඔහුට ඕනෑ වූයේ නිතරම දිනන්නටය. ඔහු බිලිපිත්ත දියට දමාගෙන සිටියේ මාළුවෙකු ඇම ගිලිනතුරුය. එහෙත් ඇයගේ ඇමට මාළුවකු හසුවූ විගස ජේම්ස්ට කේන්තයයි. මම මේවා බලමින් විනෝද වූයෙමි.”

“මේ නිසා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට යැයි සියලු දෙනාටම මම උපදෙස් දෙන්නෙමි.

නැගෙනහිර හා බටහිර මුහුදු තීර ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතී. උතුර ඉතා ඉක්මනින් සංචාරකයන්ගේ සිත් ගන්නා මීළඟ ගමනාන්තය වනු ඇත. ඔබ ද මා මෙන් ම මේ අපූරු දිවයිනේ සෑම තැනකම ඇවිද බැලිය යුතුම වෙයි.”

එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු හා නූතනයේ ක්‍රිකට් විචාරකයෙකු ද වන ඕ.බී.ඊ නමධාරී ශ්‍රීමත් ඉයන් ටෙරන්ස් බොතම් ලොව පතළ කීර්තිමත් පුද්ගලයෙකි.

1955 නොවැම්බර් 24 දා උපන් ඉයන් එංගලන්තයෙන් ක්‍රිකට් වංශ කතාවට එකතු වූ විශිෂ්ටතම පන්දු යවන්නෙකි. දක්ෂ පිතිකරුවෙකි. එමෙන්ම දක්ෂතම පන්දු රකින්නෙකි. එංගලන්තය වෙනුවෙන් ශතක 14 ක් ලබාගෙන ඇති ඉයන් බොතම් මෙතෙක් එංගලන්ත පන්දු යවන්නෙකු ලබාගෙන ඇති වැඩිම කඩුලු ප්‍රමාණය වන කඩුලු 383 ට හිමිකම් කියයි.

ඔහු පිටියේ එකවර පිට දඟ පන්දු හා පා දඟ පන්දු යවා ආන්දෝලනයට පත් ක්‍රීඩකයෙකි. එංගලන්තයෙන් බිහිවූ භයානකම පන්දු යවන්නා ලෙස හඳුන්වන ඔහු ගේ මේ දක්ෂකම නිසා ම රජය මඟින් ඔහුට නයිට් පදවියක් පිරිනැමීය.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබුවේ 1977 ජූලි 28 වෙනිදාය. ඒ වන විට ඔහු 21 වෙනි වියේ පසුවිය. ඔහු මුලින් ම ක්‍රීඩා කළේ ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයටය. සිය මංගල තරගයේදීම ලකුණු 74 කට විකට් 5 ක් බිඳ හෙලූ ඉයන් එංගලන්ත ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කළේය.

ඉන්පසුව වසර 15 ක් පුරා ටෙස්ට් හා එක්දින ක්‍රිකට් පිටියේ පෙරළිකරුවෙකු වූ ඉයන් ටෙස්ට් තරග 102 කට ක්‍රීඩා කළේය.

ඔහු සිය ටෙස්ට් තරග දිවියට සමුදෙද්දී ලකුණු 5200 ක් තම ගිණුමට එක්කර ගෙන තිබිණ. තවමත් එංගලන්ත පන්දු යවන්නකුට ළඟා විය නොහැකි වූ ඔහුගේ ටෙස්ට් කඩුළු 383 ඔහුගේ වාර්තා පොතේ සටහන්ව ඇත. ඔහු සිය ටෙස්ට් දිවිය ඇතුළත උඩපන්දු 120 ක් ලබාගෙන ඇති අතර ටෙස්ට් තරග 12 කදී ඔහු එංගලන්ත පිලට නායකත්වය දුන්නේය. එහෙත් අවාසනාවකට මෙන් ඔහුගේ ටෙස්ට් නායකත්වය අසාර්ථක එකක් ලෙස ක්‍රිකට් වංශ කතාවට එකතු විය. ඔහුගේ නායකත්වය යටතේ එංගලන්තය එකදු හෝ ජයග්‍රහණයක් නොලැබීම ඊට හේතුවයි.

එහෙත් තදින් පන්දුවට පහර දෙන්නෙකු වූ ඔහු ක්‍රිකට් තාක්ෂණය පිළිබඳ එතරම් සැලකුවේ නැත. ඉතා ඉක්මනින් ලකුණු ගැනීමට හා විකට් ලබා ගැනීමට සමත් වූ ඔහු ලකුණු 1000 ක් ගනිද්දී විකට් 100 ක් බිඳ හෙලීය. ලකුණු 2000 ක් ගනිද්දී ඔහු විකට් 200 ක් බිඳ හෙලා ඇති අතර විකට් 300 සීමාවට එනවිට ඔහු ගෙන තිබූ ලකුණු ප්‍රමාණය 3000 ඉක්මවා තිබිණි.

ඔහු එකම තරගයකදී ශතකයක් හා විකට් 5 ක් ලබාගත් වාර 5 ක් ලෙස වාර්තා ‍අතරට එක්වී තිබේ. බොහෝ දෙනා වැඩිපුර නොදන්නවා වුවද ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. ඉයන් ගේ පියාවන ලෙස්ලි බොතම් හා මව වන වයලට් මාරි ද ක්‍රිකට් ක්‍රීඩා කළ අය වූහ. 1976 දී කැත්ලින් වොලර් සමඟ විවාහ වූ ඔහුට ලියම් නමින් පුත්‍රයෙක් හා බෙකී හා සාරා නමින් දියණියන් දෙදෙනෙක් ද සිටිති. පුතු ලියම් ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ක්‍රිකට් පිටියේදී පෙරළිකාරයකු වූ ඉයන් බොතම් ගාපා නම් මත්ද්‍රව්‍ය ගෙන හසුවී මාස කීපයක් ක්‍රිකට් පිටිය තහනම් වී සිටි යුගයක් ද විය.

මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින ඔහුගේ විනෝදාංශය සිය බිරිය හා දරු මුනුපුරන් සමඟ විවිධ රටවල සංචාරය කිරීමය. ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථානයක් ලෙස ඔහු ශ්‍රී ලංකාව නම් කර ඇති අතර ශ්‍රී ලංකාවට ඔහු බොහෝ සේ ඇලුම් කරයි.

එංගලන්ත හිටපු ක්‍රිකට් නායක ශ්‍රීමත් ඉයන් බොතම් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබූ ලිපියකින් පරිවර්තනය කෙළේ,


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්