කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සෝමාලියානු කොල්ලකරුවන්ගේ ඇහැ වහලා මං නැව අරන් පැන්නා

දහ අට වංගුව
අදින් ඇරැඹෙන නවතම විශේෂාංගය

නැව් 41ක රාජකාරි කළ නැව් කප්පිත්තකුගේ අත්දැකීම්

සෝමාලියානු කොල්ලකරුවන්ගේ ඇහැ වහලා මං නැව අරන් පැන්නා

කැප්ටන් රංජිත් පෙරේරා කියයි

ගැහැනියත් හරියට මහ මුහුද වගෙයි. වරෙක චණ්ඩ ය. වරෙක ශාන්ත ය. මහා කිවියර බර්නාඩ් ෂෝ ගේ මේ කියුම එලෙසම පිළිගන්නා මිනිහෙක් මට හමු විය. හේ කැප්ටන් රංජිත් පෙරේරා ය. ලෝකය පුරා නැව් 41 ක වැඩ කැර අත්දැකීම් ඇති පළපුරුදු නැව් කප්පිත්තකු වූ හෙතෙම අද නාවික කටයුතු පිළිබඳ පුහුණුව ලබා දෙන ආයතනයක උපදේශකවරයකු ලෙස සේවය කරයි.

මධ්‍යධරණී මුහුද ද, අත්ලන්තික් සාගරය ද, පැසි‍පික් සාගරය ද, ඉන්දියන් සාගරය ද පුරා අවුරුදු විසි ගණනක් නිතර තරණය කළ හෙතෙම මහ මුහුදේ ගූඨ ස්වභාවය මෙන්ම සොඳුරු දැකුම් ද අතැඹුලක් සේ දනී. එමතු ද නොව සාගර අවට දූපත් ද ඒ මතකයේ ගැඹුරින් තැන්පත්ව තිබේ. මම කැප්ටන් රංජිත් මා අබිමුවට කැඳවමි.

මගේ ජීවිතයේ බොහෝ කාලයක් ගෙවුණේ මහ මුහුදෙ. වෙලාවකට මහ මුහුද මට සුව යහනක්. ජීවිතයේ මා අත් නොහැර යන අත්දැකුම් බොහෝමයක් මේ සාගරය මට ලබා දුන්නා. එයින් බිඳක් මා ඔබට කියන්නම්.

මං මුලින්ම කැප්ටන් කෙනෙක් හැටියට සම්බන්ධ වන්නෙ 1985 දී. මට ලැබෙන්නේ ‘අල් ෆයිසාර්’ නම්වර ලබපු සවුදි නැවක්. බඩු ගෙන යන නැවක් හැටියට මේක හරිම ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් කැප්ටන් කෙනෙක් තමන් ගෙන යන නැවේ බඩු මුට්ටු හා මිනිස් ජිවිත සියල්ලම රැක ගන්ඩ ඕනෑ.

මොන තරම් අභියෝගාත්මක වෙලාවක වුණත් තමන්ගේ ජීවිතය දීලා හරි අනෙත් අයගේ ජීවිත බේරන්ඩ අප බැඳී සිටිනවා. ස්වභාවධර්මය අපට ඒ තරම් කරදර කරන්නෙ නෑ. ගොඩබිම මිනිසුන්ගේ සමහර ක්‍රියාකාරකම් තමයි අපේ මුහුදෙ ජීවිතය වෙනස් කරන්නෙත්. අපි කැප්ටන්ලා වුණාට අපට රටක හාබර් එකකට එකපාරට නැවක් ගන්ඩ බෑ.

ඒකට පයිලට් කෙනෙක් ඕනැ. පයිලට් කියන්නේ වරාය පළපුරුදු හොඳ දක්ෂ නියමුවෙක්. වරායට ගන්ඩ හැතැප්ම 1/2 කටවත් පෙර අපට අදාළ වරායෙන් එවැනි පයිලට් කෙනෙක් ගෙන්වා ගන්ඩ වෙනවා. එයා බෝට්ටුවකින් හරි චොපර් එකකින් හරි ඇවිත් නැවට බහිනවා.

එයා තමයි වරායෙ ගැඹුරු තැන් නොගැඹුරු තැන් දන්නෙ. නැව නවත්වන නැංගුරම් දාන තැන් හරියට දන්නෙ. එයා නැතිව නැව හාබර් එකට ගන්ඩ බෑ. ඒක ජාත්‍යන්තර නැව් නීතියක්.

මේ සිද්ධිය වෙන්නෙ ඉරාන - ඉරාක යුද්ධෙ ජයටම තියෙන කාලෙක. මට එදා යන්ඩ සිද්ධ වුණේ පකිස්ථානයේ ඉඳන් කුවේට් හාබර් එකට. නැව අරාබි බොක්කට ඇතුළු කළා විතරයි. මහ ශබ්දයෙන් නැවේ ඉදිරිපස කොටසට බෝම්බයක් වැදුණා. නැවේ ලයිට් සියල්ලම නිවී ගියා.

ගල්ෆ් යුද්ධයේ බෝම්බ මේ විදියට ඒ අවට යාත්‍රා වන නැව්වලට එල්ලවීම ඒ දවස්වල සාමාන්‍ය සිදුවීමක්. මගේ නැවේ BOSEN (පළපුරුදු නාවිකයෙක් මේ තනතුරට ඉන්නෙ) ඒ බෝම්බ ප්‍රහාරයෙන් නැවේ ඉදිරිපට කොටස කුඩු වෙද්දී බරපතළ තුවාල ලැබුවා. අධික ලෙස ලේ වහනය වෙනවා. සාමාන්‍යයෙන් වනවාසි හාමුදුරුවරු තම තමන්ට ආපදාවකදී අනතුරකදී ප්‍රතිකාර කර ගන්නවා වගේ අපේ අයත් ඒ ඒ වෙලාවට ප්‍රතිකාර දී ගන්නවා. සාමාන්‍යයෙන් පළපුරුදු නාවිකයන් සුළු අනතුරකදී ප්‍රථමාධාර අවශ්‍ය බෙහෙත්, වෙළුම් පටි ගැන අවබෝධයක් තිබෙන අය.

ඒත් බෝසන්ගේ තත්ත්වය බරපතළයි. මිනිහා තවත් පැයක් හමාරක් හිටියොත් මැරේවි කියලා කාටත් බය හිතුණා. එයාගේ ජීවිතේ බේරා ගැනීම මගේ වගකීම. මං රේඩියෝ මැසේජ් මඟින් ළඟ තිබෙන ඉරාක රටෙන් ආධාර ඉල්ලුවා. ගල්ෆ් යුද්ධයේ මහා සෙනෙවියෙක් වගේ හිටපු ඒ රටේ හමුදා නායකයා මට කිසිම ප්‍රතිචාරයක් දැක්වූවෙ නෑ. ඒ පැත්තට ගත්තොත් තවත් මුහුදු බෝම්බ එල්ල වේවි කියලා කවුරුත් බය වුණා.

මුහුදු ජීවිතයේදී මිනිස් ජීවිතයක් බේරා ගන්ඩ ඕනෑම වෙලාවක සාගර නීතිය වුණත් කඩකරන්ඩ පුළුවන් කියන ජාත්‍යන්තර නීතිය මට සිහි වුණා. මේ අහිංසක ඉන්දියන් ජාතිකයා බෝසන් දැන් විලාප දෙනවා. ඒ විලාපයෙන් අපේ පපු කැවුතු දනවා. මං නොට් 18 දක්වා වේගය වැඩි කළා. නොට් එකක් සාමාන්‍යයෙන් පැයට නාවික හැතැප්ම 20 ක වේගයක්.

සාමාන්‍යයෙන් බඩු නැවක් මෙච්චර වේගයක් ගන්නෙ නෑ. ජාත්‍යන්තර නාවික ආයතනය IMO නීති අනුව කෙනෙක් මෙවැනි බරපතළ තත්ත්වයක ඉන්දැද්දි හෝ අනතුරකට පත්වෙච්ච කට්ටියක් මුහුදෙ ඉන්නවා දැක්කොත් දාලා යන්ඩත් බෑ. වේගය වැඩි නිසා අර මනුස්සයා ලේ ගිහින් සුදුමැලි වෙන්ඩ කලින් මං කුවේට් හාබර් එක පෙනෙන මානයට ආවා.

පයිලට්ලා ගෙන්වූවෙත් නෑ. රේඩාර් එක පාවිච්චි කරලා කෙළින්ම හාබර් එකට ඇතුළු කළා. පරිස්සමට ගෙන ගියා. ගිය ගමන් දැනුම් දීමක් නැතිව ආවාට පයිලට්ලා නැතිව අවදානම්ව ඇතුළු කළාට මාව අත්අඩංගුවට ගත්තා. හැබැයි! තුවාලකරු ඉක්මනට රෝහලට ගෙනිච්චා. තව පැය භාගයක් පමා වුණානම් එයා මැරෙන බව වෛද්‍යවරුන් කීවා. පස්සෙ මිනිස් ජීවිතයක් බේරා ගැනීම තමයි ඉලක්කය වුණේ කියලා පෙන්නලා මාත් බේරුණා.

මේ සිද්ධිය වුණේ 2002 පමණ කාලෙ. මුල් කාලයේදී සෝමාලි කොල්ලකරුවන් හරිම ප්‍රාථමිකයි. සාමාන්‍යයෙන් කබල් බෝට්ටුවකින් සුළු යාත්‍රාවක් කොල්ල කෑම පමණයි ඔවුන් කළේ. අද ඔවුන් ඒක කරන්නේ එයාර් ක්‍රාෆ්ට්, දියුණු රේඩාර් සිස්ටම්ස් භාවිත කරලා.

මුලින් ඔවුන්ගේ රටට අයත් මුහුදේ මාළු ටික වෙනත් රටවල බෝට්ටු ඇවිත් අල්ලාගෙන යන එක නවත්වන්ඩ ඔවුන් ඒ බෝට්ටු අල්ලා ගන්න ක්‍රියාත්මක වුණේ. අන්තිමට ඒ යාත්‍රාවල බඩු මුට්ටු හා ඒ නැව් කොල්ලකන එක වාසියි කියලා ඔවුනට තේරුණා. ඊට පස්සෙ ඔවුන් ඒකට පෙලැඹුණේ.

මේ නැව්වලත් වෙනම මාෆියාවක් තියෙනවා. නැව් අයිතිකාරයා කොහේ ඉන්නවා ද කියලා නෑ. අපි වැඩ කරන්නේ නැව් සමාගමකට යටත්ව විතරයි. නැව් අයිතිකාරයාට අවශ්‍ය සල්ලි හොයාගෙන ඉවර නිසා සමහර විට මේ යාත්‍රා අවදානම් වැඩවලටත් වාසි ගන්ඩ යොදනවා. මට එදා හමුවුණේ ඒ වගේ නැවක්.

මේ නැව බඩු ටිකත් එක්ක ගෙන යන්ඩ ඕනෑ ඩුබායිවල ඉඳන් සෝමාලියාවට. වේගය පැයට නොට්ස් 14 යි. ගුවන් නියමුවෙක් ගමනට පෙර සියල්ල පරීක්ෂාවට ලක් කරනවා වගේ සාමාන්‍යයෙන් අපිත් හැම දේ ගැනම සැලකිලිමත් වෙනවා. නැවට ගොඩ වුණාම ඒවායේ වැසිකිළි සෝදලා මළකඩ කඩලා පුරුදු අපට මේ යාත්‍රාව ගමනට ෂුවර් නෑ කියන එක තේරුණා.

අනෙක මුහුදෙ සමහර තැන්වල පැයට කිලෝමීටර 100 ක වේගයෙන් සුළඟ හමනවා. එතකොට බඩු නැව ගෙනයන්ඩ බෑ. පෙරළෙන්ඩ බලනවා. දවස් 10 කින් ගමන නිමා වෙන්ඩත් ඕනෑ. මගේ ප්‍රමිතිකරණය හැටියට මේ ගමනට මේ යාත්‍රාව හරි නෑ කියලා කිව්වත් නැව් කම්පැනිය (සදාචාරයට පටහැනි නිසා නම් කියන්ඩ බෑ) මට බල කළා යන්ඩ.

මට හොඳට මතකයි. 2002 ජුලි මාසෙ ගමන පිටත්වුණෙ. දවස් 5 ක් කරදරයක් නැතිව ගමන ආවා. සොකත්‍රා දූපත අවට මුහුදට ආවා විතරයි. මුහුද සැර වුණා. මුහුදු රළ අඩි ගණනාවක් උසට එන්ඩ පටන් ගත්තා. සුළ‍ඟේ වේගය පැයට කිලෝ මීටර 100 කටත් එහා ගියා. මගේ අත්දැකීම අනුව කී දේ ඔවුන් ඇහුවෙ නැති නිසා අපි අමාරුවෙ වැටුණු බව මට තේරුණා. අපි නැවේ වේගය අඩු කරන්ඩ හැදුවා. යෝධ රළ ගෙඩි ඇවිත් අපේ බඩු නැව සෙල්ලම් බෝට්ටුවක් වගේ එහෙ - මෙහෙ විසි කරන්ඩ ගත්තා.

දැන් පෙරළෙයි, දැන් පෙරළෙයි යන බිය අපේ හිත් සලිත කළා. මටත් ගැහැණු දරුවො ම දෙන්නෙක්. බිරිය හා දරුවො මතක් වුණත් කරන්ඩ දෙයක් නෑ. මේ නැවේ ඉන්නා අනෙක් ජීවිත 18 ත් ඒ වගේමයි. ඒ වෙන කොට අපේ බඩු නැවත අංශක 35 ක් විතර ඇල වෙලා. නැවේ මූලික තට්ටුවට කියන්නෙ ඩෙක් එක කියලා. ඒකෙ ට්‍රක්ස් 22 ක් කම්බි දාලා බැඳලා තිබුණේ. රළ වේගය හා සුළං වේගයට මේ ට්‍රක් බැඳපු කම්බි ලිහිලා එකක් ආවොත් චේන් එක වගේ ඔක්කොම එළියට ඇදිලා බැලැන්ස් නැතිව නැව පෙරළෙනවා.

අපි පුළුවන් තරම් මහන්සි අරගෙන ඒවා තවත් තද කරලා නැවේ බ්‍රිජ් එක උඩට නැඟ ගත්තා. කොයි තරම් රළ වේගය වැඩි ද කියලා එතැනට පෙනෙන කොට මෙච්චර පළපුරුදු නාවිකයන්ට පවා (Sea Sic) හැදුණා. වෘත්තිය නොසැලකිල්ල මත මිනී මරන්ඩ අපට බෑ. ඒවාට නීති තියෙනවා. මා ඒ නිසා සියුලම සේවකයන් බ්‍රිජ් එක උඩට කැඳවා ගත්තා. මං විශ්ව ධර්මය විශ්වාස කරනවා. මං ඒක මෙනෙහි කරද්දි අනෙත් අය ඒ ඒ අයගෙ ආගම සිහි කරලා අපව බේරා දෙන ලෙස ඉල්ලුවා. මේ චණ්ඩ මුහුදු රළ නිසා එදා නැව එක සැතැප්මක්වත් ගමන් කළේ නෑ. අපි වට රවුමක් ගමන් කරන්ඩ තීන්දු කළේ මේ දැවැන්ත රළ ගෙඩි නිසයි. දවස් 10 ක ගමන දවස් 31 කට පස්සෙ යම්තම් අප සෝමාලියාවට කිට්ටු කළා. දැන් නැවේ වතුරත් හිඟයි. කෑමත් හිඟයි.

රේඩියෝ මැසේජ් අනුව සෝමාලියාවෙන් පයිලට් කෙනෙක් ආවා. නැව වරාය ඇතුළට ගන්ඩ. මේ මිනිස්සු මට ෂුවර් නෑ. එයා නැව ගෙන යන්නෙ මහ වට වංගු සහිත දුෂ්කර මාර්ගයක බව මට තේරුණා. මං මගේ තර්ඩ් ඔෆිසර්ට කීවා මෙයාට රහසින් රේඩාර් එක ආශ්‍රය කරලා මේ ගමන් මඟ A4 කොළයක ගහගන්ඩ කියලා. මිනිහා දක්ෂයා.

වැඩේ තිතට කළා. අපි කියන හරියෙ නොවෙයි අර පයිලට් නැංගුරම් දැම්මෙ. එයාට ඕනැ අති දුෂ්කර තැනක. මේක සිංගප්පූරු කම්පැනියකට අයිති නැවක්. Bill of lading කියලා එකක් තියෙනවා මා හිතන්නෙ සිංහල නම නැව් නිෂ්කාෂන බලපත්‍රය. මේක ලැබුණාම තමයි නැව් සමාගමට බඩු ටිකට සල්ලි ගියා කියලා දැනගන්ඩ ලැබෙන්නෙ. මං ඒක ඒ අයගෙන් ඉල්ලුවා. ඒ අය කීවෙ අපට වෙන බඩු වගයක් ගෙනයන්ඩ තියෙනවා. ඒ බඩු පටවලා තවත් දූපතකට ගිහින් අපට යන්ඩ පුළුවන් බවයි. මේ බඩු ගෙනාපු දේවලටත් වඩා භයානකයි.

තෙල් හා ඉන්ධන වගේ පාවිච්චි කරන බාගෙට පුච්චපු කොට විශේෂයක් තියෙනවා. ඒකට කියන්නෙ ‘ඇක්ටිවේටඩ් චාකෝල්’ කියලා. මේ බඩුත් අරන් තමයි දැන් යන්ඩ කියන්නෙ. මේකෙ තියෙන රස්නයට (කොට ටොන් ගණනක තොගයක්) නැව මුහුදෙදි මුහුදු බත් වන්ට පෙර ගිනිබත් වෙනවා. අනෙක අපේ තෙල් ටැංකි ආදිය තියෙනවා.

ජාත්‍යන්තර නීතිය අනුව මේ වගේ බඩු අපි ආ නැව වගේ එකකට පටවන්න බෑ. මං කැප්ටන් හැටියට ‘බෑ’ කිව්වා. “එහෙනම් යන්ඩ දෙන්ඩ බෑ. නැව මෙතැන තියෙද්දෙන්.” සෝමාලියානු නායකයෙක් ඇවිත් අපට ගෝරනාඩු කළා. සති 3 ක් යනකම් දැන් අපට හරියට කන්ඩ නෑ. වතුර නෑ. වතුර බෝතල් ගන්නෙත් උන්ට සල්ලි දීලා. ඒ අතර අපි නැව අරන් පනීවි කියන බයට අවුරුදු 13, 15, 18 කොල්ලො ටිකක් AK 47 රයිෆල්ස් අරන් නැවට ආවා. උන් දැන් නැව ‘ගාඩ්’ කරනවා. දැන් නැවේ තෙල් පවා ඉවරයි. අපේ මිනිස්සුන්ට අර අයටත් එක්ක කන්ඩ දෙන්ඩ වෙලා. ඉතාම කටුක දළ ආහාර දැන් ගන්නෙ.

අපේ ප්‍රධාන ඉංජිනේරුවා දක්ෂයෙක්. මිනිහා ජාත්‍යන්තර නීතියට පටහැනිව වුණත් නැවේ තෙල් ටොන් 15 ක් හංගාගෙන ඉඳලා තියෙනවා. මිනිහා මේ බව මට රහසින් කීවා. අපේ අයට ආහාර නැහැ කීවොත් අර සෝමාලියානුවො කරන්නෙ එළුවො 4 - 5 දෙනෙක් ගෙනැල්ලා නැවට දානවා. මරාගෙන මස් කාපල්ලා. උන්ගේ ලේ බීපල්ලා කියලා.

මේ විදියට නොවිඳිනා දුක් විඳිමින් අපි මාස 2 ක් හිටියා. හරියට නාන්ඩවත් නෑ. මුහුදු වතුර නාලා හරියන්නෙ නෑ. සිකුරාදා දවස මුන් හරියට විනෝද වන දවසක්. එදාට දවස පුරා මුන් කනවා. බොනවා. නටනවා. රාත්‍රී මැදියම තෙක් බොනවා. ගංජා විතරක් නොවේ තව කොළ වගයක් කනවා. මත් වෙන්ඩ. සෙනසුරාදාට අවදි වෙන්ට ටිකක් පරක්කු වෙනවා. අපේ නැව නවත්වා තිබුණු හරියෙ ආයුධ එල්ල කරලා තිබුණ අලියා බෝට්ටු දෙකක් තිබුණා. ඒ නිසා නැව හොල්ලන එක මරණයට අත වනන බියකරු අවස්ථාවක්.

ඒත් මෙහෙදි බඩගින්නෙ මැරෙනවට වඩා පලා යන එක හොඳයි කියලා අපි කණ්ඩායම තීරණය කළා. සෙනසුරාදා උදේ 3.45 ට විතර අප කලබල නැතිව නැංගුරම් දෙක හිමින් සැරේ ගත්තා. අපි යන්ඩ ලෑස්ති වෙනවා දැනුණොත් සේරම මරනවා. කරන්ඩ දෙයක් නෑ. අර ඔෆිසර්ගේ A4 කොළය අරගෙන ගෙනාපු දුෂ්කර මාවත තරණය කරමින් අපි නැව හෙමිහිට යාත්‍රා කළා. පුදුමය මේක රේඩාර් එකට අනුව සටහන් කිරීම තිතට තිබු නිසා වැරැදි තැන්වලට යන්නෙ නැතිව වරායෙන් එළියට ගැනීමයි. අපි නොට් 14 වේගයෙන් කෙළින්ම පැය 2 ක් යාත්‍රා කළා. සෝමාලියාව නොපෙනෙනකම්.

අර සෝමාලියානු ආරක්ෂක භටයන්ට මොකද කළේ? මම හදිසියේම අසමි.

ඒකට මං ලොකු ප්‍රෝඩාවක් කළා. ඒ කොල්ලොත් ලොකු අයට බයේ හිටියට උන්ටත් නින්දක් නෑ. හරිහමන් කෑමක් නෑ. සමහර විට වැටුපකුත් නැතිව ඇති. පෙරදා රාත්‍රියේ උන්ගේ විනෝද රාත්‍රිය නිසා ඔය අයත් විනෝද වෙන්ඩ. ගෙවල්වලට ගිහිල්ලා හරි. අපෙන් ප්‍රශ්නයක් නෑ. තෙලුත් නෑනේ අපට යන්ඩ කියලා. උන්ව රැවැට්ටුවා. කොලුකමට උනුත් උදේම නැවට එන්ඩ හිතාගෙන රාත්‍රියේ ගියා...

තවත් හෝරා කිහිපයකින් අපි මාලදිවයිනට ආවා. එතැනින් පස්සෙ කම්පැනියට දැන්වුවාම ඒ අය සතුටු වෙලා අපට අවශ්‍ය පහසුකම් සැලසුවා... කපිතාන් රංජිත් ඒ ත්‍රාසජනක සිද්ධියට ද විරාමය තැබීය.

ඔහුට හෝ ඔහුගේ සේවකයිනට ද බොහෝ විට අලුත් අවුරුද්ද උදාවන්නේ ද නැවේදීය. එවැනි මොහොතක රංජිත් තම දියණියන් දෙදෙනා හා බිරිය ගුවනින් ළඟම ඇති රටට ගෙන්වා ගනී. ඔව්හු ඒ නැවේ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ද රකිති. අලියාට ඇස් තැබීම, කණා මුට්ටි බිඳීම, වැනි කෙළි සෙල්ලම් ද පවත්වති. මේ ජීවිතය ඔවුනට එක්තරා විදියකට සුරම්‍ය රඟමඬලකි. සොබාදම් මවගේ අපූරු දසුන් ද ඔවුන් අත්විඳ ඇති සැටියකි.

මුහුදු කිඳුරන් ගැන කතානම් බොරු. එවැනි සත්ත්ව විශේෂයක් මුහුදේ ඉන්නවා කියන කතාව අප පිළිගන්නෙ නෑ. ඒත් අපි මේ ලෝකෙ නැති සෙනෙහස සතුන් අතර තිබෙන බව කොතෙකුත් අත්දැක තිබෙනවා. එක්තරා යාත්‍රාවක යද්දි මා දුටුවා මධ්‍යධරණී මුහුදත් අත්ලාන්තික සාගරයත් යාවන තැන අපූරු දසුනක්.

අත්ලාන්තික් සාගරයේ තල්මසුන් යුවළක් තම අලුත වැදු පැටවා අරන් මධ්‍යධරණී මුහුදට එනවා. ඒ එනකොට මගේ නැවේ වේගය නොට් 14 ක්. ඒ වේගයට එතැනින් ගියානම් අර අලුත උපන් පැටවා යාත්‍රාවෙ හැපිලා තුවාල වෙලා මැරෙනවා. ඒ නිසා ඒ මාපියන් කොතරම් කලබලයක් කළා ද කියලා මට තේරුණා. කතා කරන්ඩ බැරි වුණත් ඒ අය ඉල්ලා සිටියෙ තමන්ගෙ පැටියා බේරා දෙන්ට කියලයි. ඔවුන් සියුම් ශබ්ද නඟලා වතුරින් උඩට පැන පැන ඝෝෂා කළා. මං වේගය නොට් 5 ට බස්සලා ඒ අයට මධ්‍යධරණි මුහුදට තරණය කරන්ඩ ඉඩ දීලා මහත් ආස්වාදයක් ලබාගත්තා.

පොතක් ලියන්ඩ තරම් අත්දැකීම් සමුදායක් ඔහු සතුව තිබේ. එහෙත් අපට මේ ලිපියෙන් අවශ්‍ය වන්නේ නාවිකයකුගේ ජීවිතය හා අත්දැකුම් මත සිරස් රේඛාවක් අඳින්නට පමණය.

සමහර වරායවලට ගියාම අපේ නැව් කොල්ල කනවා. ලිස්බන් වරායේ දී එක වතාවක් පිහි අරගෙන ආවෙ ගැහැනු කොල්ලකරුවො. නයිජිරියාවෙදිත් මේ වගේ ගෑනු කල්ලි තියෙනවා. නැවේ තිබුණු බඩු ඔක්කොම පැය 3 1/2 ක් කොල්ල කනකම් අපේ රේඩියෝ මැසේජ්වලට කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. ඒවා ඇතුළතින්ම සපෝට් අරන් කරන වැඩ. මේ වගේ අත්දැකීම් බොහොමයි. වරායවල නැවැත්වූවාම ඉස්සෙල්ලාම නැවට නඟින්නෙ ගණිකාවො. සමහර නාවිකයො මේ අය එක්ක යනවා. චීන හා සවුදි ගණිකාවො භයානකයි. ඒවා වෙනම කතන්දර...” ඔහු හොක් හොක් ගා හිනැහෙයි.

එක්තරා කාලෙක නයිජීරියාව අවට මුහුදෙදි අපි ගිය නැවේ එන්ජිම ගිනි ගත්තා. නිවන්ඩ බෑ. එතකොට මා කැප්ටන් නොවේ. අපේ කැප්ටන් කීවා අපි බෝට්ටුවට බහිමු. නැව ගිනිගන්න එක වළක්වන්න බෑ කියලා. දැන් තිබෙන්නෙ අපි කාගේත් ජිවිත බේරගන්ඩ එක. අප අවට රටවලට මැසේජ් ඇරියා.

ජීවිතාරක්ෂක බෝට්ටුවට බැහැලා මුහුදින් ටිකක් එහාට ගියා. නැව ගිනි බෝලයක් වගේ වෙලා පුපුරන්ඩ ඉස්සර ඒ පතුරු ඇවිත් වැදිලා තුවාල වේවි කියන බයට. අන්ධකාර රාත්‍රියේ පැය ගණන් අප එච්චර දවසක් ආපු නැව ගිනිගන්නා හැටි දුකෙන් බලා හිටියා.

ඒ වෙලාවෙ නයිජිරියානු හමුදාවෙන් ඇවිත් කොහොමහරි අපෙ නැව නිව්වා. නිවලා ඒක ඒ ගොල්ලන්ගෙ වරායකට ගෙන ගියා. මුහුදු නීතිය අනුව ගිලෙන නැවක් හෝ ගිනිගන්නා නැවක් බේරා ගන්නා රටට ඒ නැව අයිතියි. අපවත් ගෙන ගිහින් අවශ්‍ය පහසුකම් සලසලා තම තමන්ගේ රටවලට යැව්වා. ලංකාවෙන් හිටියේ මං විතරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්