කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

හිස් ටින් එකක් වාගෙයි ‘විද්‍යාවේ දර්ශනය’ මල්ලී!

හිස් ටින් එකක් වාගෙයි ‘විද්‍යාවේ දර්ශනය’ මල්ලී!

මා පෙර ලියූ ලිපි කිහිපයක් ඉන්ටර්නෙට්හි තැන තැන පළව සංවාදයට කෙසේ වෙතත් වාදයට බඳුන් වී තිබෙනු දිටිමි. එසේ පළවන බොහෝ අදහස් අලුත් දේවල් නොවේ. එසේ අදහස් දක්වන්නේද මගේ ලිපිය කියවා තේරුම් ගැනීමකින් තොරව, හුදෙක් තමන්ගේ පැරැණි වැරදි මතවාද පුනරුච්ඡාරණය කරන පිරිසක්ම වුව මම ඊට කැමැත්තෙමි. එයින් අඩුම වශයෙන් වත්මන් තරුණ පරපුරෙහි විද්‍යාව පිළිබඳව වන අනවබෝධයේ දිග පළල වටහා ගත හැකිය.

මේ පරම්පරාවේ වැඩි පිරිසක්, හැත්තෑ අසූ ගණන් වලදී අප කළාක් මෙන්, විද්‍යාව කුඩා අවදියේම අවබෝධ කොට ගත්තෝ නොවෙති. විද්‍යාව විෂයයක් සේ පාසලේදී ඉගෙන විභාග සමත්වීම හා එය අවබෝධ කොට ගැනීම අතර ලොකු වෙනසක් තිබේ.

ඇත්තටම විද්‍යාව, විද්‍යාව සේ ඉගෙන ගන්ට අපේ පරම්පරාවට ලබුණු අවස්ථාව අපෙන් පසු පරම්පරාවලට නොලැබිණි. ඔවුන්ට ඉගෙන ගන්ට වූයේ දැනුම පිණිස නොව විභාග සමත්වන්ටය. ඔවුන්ට කියවන්ට දකින්ට ලැබුණේ විද්‍යාව නොව විකෘති කළ විද්‍යාවකි. ඔවුන්ගෙන් සමහරකු අදත් ගිරවුන් සේ මතුරන්නේ වෙනකකුට තමන්ගේ මනසෙහි තැන්පත් කරන්ට ඉඩ ලබා දුන් ඒ පැරැණි ග්‍රැමෆෝන් තැටිය. මම එහි අරුමයක් නොදකිමි.

මට උත්තර බැඳීමේ ඔවුන්ගේ ප්‍රවේශය සිහිගන්වන්නේ එක්දහස් නවසිය හතළිස් ගණන් වලදී මාර්ටින් වික්‍රමසිංහ සිළුමිණ පුවත්පතෙහි පරිණාමය පිළිබඳව ලියද්දී ඔහුට මතු වූ විරෝධයයි. අද මෙන්ම එදාත් මෙසේ අවි අමෝරා ගන්නේ ප්‍රස්තුතය කවරේද අන්දෝ සංසාරයක් නොදන්නා පිරිසකි.

එදා විරෝධයේ අතාර්කික භාවය කෙතෙක්ද යත් වික්‍රමසිංහන්ට “පරිණාමය විෂයය නොදැන මේ ලිපි වලට ප්‍රතිචාර දන්වන්න එපා යැයි කෙළින්ම ලියන්ට විය. එබඳු අන්තයකට එකවර යන්ට මම නොරිසියෙමි. එදා මෙන් නොව, මේ නිදහස් අදහස් දක්වන්නන්ගේ යුගයයි. මොනයම්ම හෝ අදහසක් සිර කළ යුතු යැයි මම නොසිතමි. හැබැයි ස්වකීය ඔළු කුහර දැනටමත් සිය කැමැත්තෙන්ම පිදුරු පුරවා ගත්තවුන්ට නොව යමක් ඉගෙන ගන්නට කැමත්තවුන්ට වැඩක් වනු පිණිස මම තවදුරටත් ලිවිය යුතු යැයිද සිතමි.

විද්‍යාවෙහි ඊනියා දර්ශනයක් නැතැයි මා ලියන විට මා එසේ ලියන්නේ ‘විද්‍යාවේ දර්ශනය’ කියා යමක් ගැන ඉන් පෙර නොඇසීමෙන්ය සමහරෙක් වල්ගය පාගා ගනිති. මා මකරුන්, දියකිඳුරියන්, හොල්මන් හෝ අවතාරද නැතැයි කියන්නේ මේ කිසිවක් ගැන ඉන් පෙර නොඅසා ඇති නිසා නොවේ. ‘විද්‍යාවේ දර්ශනය’ කියා ගූගල් කරන්නකුට කන්ටේනරයක් පිරෙන තරමට තොරතුරු ඉන්ටර්නෙට්හි සොයා ගත හැකිවේ. මේවා අතර පොත්, ලිපි, විෂය මොඩියුල යනාදිය විය හැකිය.

එහෙත් එසේ වූ පමණෙකින්ම විද්‍යාවේ දර්ශනය කියා එකක් ඇති වන්නේ නොවේ. අවශ්‍යම නම් එවැන්නක් ඇතිය සිතා ගන්ට බැරිකමක් නැත. (මකරුන්, දියකිඳුරියන් පරිකල්පනයෙන් අඳින චිත්‍රකරුවෝද වෙති.) එය ප්‍රයෝජනවත්ය කියැවෙන්නේද නැත. මකරකු සිතුවමට නැඟීමෙන් නම් අඩුම වශයෙන් සෞන්දර්යයක් බිහිවේ.

ඊනියා ‘විද්‍යාවේ දර්ශනයේ’ ඒ උපයෝගීතාව වත් නැත. සුජීව කොකාවල අන් තැනෙක නිවැරදිව හඳුනාගන්නාක් සේ විද්‍යාව මේ ඊනියා ‘විද්‍යාවේ දර්ශනය’ දෙස බලන්නේ “හූ කෙයාර්ස්?” ආකල්පයකිනි. ඊනියා විද්‍යාවේ දර්ශනය ගැන නොබෙල් ත්‍යාගලාභී රිචර්ඩ් ෆෙයින්මාන් සෝපාහාසාත්මකව මෙසේ කියයි:

“පක්ෂීන්ට පක්ෂි විද්‍යාව යම් සේ ප්‍රයෝජනවත් වේද, විද්‍යාඥයන්ට විද්‍යාවේ දර්ශනය එසේම ප්‍රයෝජනවත් වන්නේය” රිචඩ් ෆෙයින්මාන් මිය යන්නේ 1988 දීය. ඒ අනුව මේ වාදය කිසිසේත්ම අලුත් දෙයක් නොවන බව පැහැදිලිය. එහෙත් මා කලින් කීවාක් මෙන් “එංගලන්තෙ පරණ පැටන් - කොලොම්පුරේ අලුත් පැටන්” කියන්නාක් සේ බටහිර පට්ටා ගසා අමතක කර දමන ලද පරණ කෝට් එකක් හෝදා වේලා මැද “මෙන්න අපේම දෙයක්” කියා ඉදිරිපත් කළ විට ඒවා පිළි ගන්ටත් සැදී පැහැදී සිටින පිරිසක් වෙති. විද්‍යාවට දර්ශනයක් තිබේය මහා ලොකු දෙයක් සොයා ගත්තාක් සේ නන් දොඩවන්නේ ඒ පිරිසය.

‘විද්‍යාවේ දර්ශනය'ට එන්ට පෙර අපට වඩා හුරු පුරුදු ‘දර්ශනය’ ගැන මොහොතක් කල්පනා කරමු. දර්ශනයක් යනු කුමක්ද? එහි උපයෝගීතාවන් කවරේද? ලෝකයේ දර්ශන හා අයිඩියොලොජි බිහි වන්නේ කවදාද යන්න විවාදාපන්න කාරණාවක් නමුත් දර්ශන බිහි වන්නේ ඇයිද අපට අනුමාන කළ හැකිය.

ලෝකයේ බොහෝ දේ සිදු වෙමින් පවතියි. හිරු පායයි. ගස් කොළන් වැඩේ. සුළං හමයි. මිනිස්සු රැකියා කරති. සමහරු ධනය උපයති. තවත් සමහරු හැමදාම දිළින්දෝය. සමහර රටවල මිනිස්සු ආණ්ඩු තෝරා ගනිති. තව රටවල ආණ්ඩු මිනිසුන් තෝරා ගනියි. සමහරු ලද දෙයින් සතුටු වෙති. තවත් සමහරු අනන්තය තෙක් සැප සම්පත් සොයා යති. සමහරු අල්පේච්ඡතාවයේ වරුණ දේශනා කරමින් කාමසුඛල්ලිකානු දිවි පෙවෙත් ගෙවති. සමහරු දෙපිල බෙදී යුද වදිති. මේ සියල්ල සිදුවන්නේ යම් පැටර්න් වලටය සිතිය හැකි වුවද ඒ පැටර්න් සියල්ල අවබෝධ කර ගැන්ම පහසු නොවේ.

මේ නිසා මිනිස්සු ලෝකය විස්තර කරනු පිණිස, අනාගතය පුරෝකථනය කරනු පිණිස, ප්‍රායෝගිකව වැඩ ගනු පිණිස යම් යම් දර්ශන අයිඩියොලිජි නිර්මාණය කර ගනිති. මේවා එක් එක් පැහැයන්ගෙන් යුතු කන්නාඩිය. හැබැයි බොහෝ දෙනා ඒ කන්නාඩි තුළින් ලොව දකිති. ඒ දර්ශනය ගැන තුටු වෙති. ඒ සතුට අනුන්ටද බෙදා දෙමින් තම තමන්ගේ දර්ශන අයිඩියොලොජි ප්‍රචාරය කරති.

දර්ශනය මගේ විෂයය නොවන නිසා ප්ලේටෝගේ දර්ශනය පිළිබඳ මේ උදාහරණය සුළු භාෂා සංස්කරණ කිහිපයක් සහිතව සිංහල විකිපීඩියා පිටුවකින් උපුටා ගනිමි.

“ප්ලේටෝ සිය ජනරජය ආරම්භයේ දී ම එහි වැසියන් පංති තුනකට බෙදයි. පොදු ජනයා, යුද හේවායන් සහ ආරක්ෂකයන් යනු ඒ කොටස් තුන වෙති. ප්ලේටෝ දේශපාලන බලය දෙන්නේ අවසන් කොටසට පමණි. එසේම ඔහුට අනුව ඒ අවසන් කොටස තරමින් සෙසු පංති දෙකට වඩා අඩු විය යුතුය.

ආරක්ෂකයන් සඳහා ඔහු යෝජනා කරන්නේ කුඩා ගෙවල් හා චාම් ආහාර, කණ්ඩායමක් ලෙසින් ජීවත්වීමයි. ඔවුන්ට පෞද්ගලික දේපළ හා රන් රිදී අහිමිය. ඔවුන්ගේ කැමැත්ත තම පංතියේ සැපත නොව මුළු රාජ්‍යයේ ම යහපත බැවින් ඔවුනට ධනවත් නොවූව ද ප්‍රීතිමත් නොවීමට හේතුවක් නැතැයි ප්ලේටෝ කියයි. යුද භටයන්ට ස්පාර්ටාවේ වැනි හැදියාවක් ඔහු යෝජනා කරයි. ළාබාල දරුවන් යුද වල දී සටන් නොකළත් ඔවුන් සටන් නැරඹිය යුතුය. ආරක්ෂකයන් විසින් යුද හේවායන් පුහුණු කළ යුත්තේ පොදු සමාජයේ අනිසි ලෙස හැසිරෙන අයව පාලනයටයි.

ඒ නිසා යුද හේවායන් ද යම් දුරකට මුදල් භාවිතයෙන් ඈත් වී, දේපළ අයිතියෙන් ද අහක් වී කඳවුරක වාසයෙන් කණ්ඩායම් සැදී ආහාර ගනිමින් ජීවත් විය යුතුය. සෑම දරුවෙකුට ම අධ්‍යාපනය අනිවාර්ය කරන ප්ලේටෝ එක හා සමාන වූ අධ්‍යාපනයක් ගැහැනු පිරිමි දෙපිරිසටම නිර්දේශ කරයි. සංගීතය, ශාරීරික අභ්‍යාසයන් හා යුද ශිල්පය ද සුදුසු යැයි කියයි. සෑම අතකින් ම ස්ත්‍රීන් හා පුරුෂයන් සමාන තත්වයක් ලැබීම ඔහු අනුමත කරයි. එසේම ජනරජයේ නීති සම්පාදකයා වැසියන් අතරින් ආරක්ෂකයන් හා යුද හේවායන් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් පොදු නිවාස, පොදු භෝජන හි නිරත වෙද්දී සංවාසය පිණිස ද කිසිවෙකුට තනි අයිතියක් නොලැබේ යැයි ඔහු කියයි.

සංවාසය සඳහා ඉඩ ලැබෙන්නේ පාලකයන් විසින් තීරණය කරන අන්දමටය. ආබාධිත දරුවන්ව රහසිගතව කිසිවෙකු නොදන්නා තැනක දමන්ට ද ඔහු කියයි. මව්වරුන් වයස විස්ස හා හතළිහ අතරත් පියවරුන් වයස විසිපහ හා පනස් පහත් අතර විය යුතු බව කියන ප්ලේටෝ ඒ වයස් වලින් බැහැරව සංවාසය තහනම් නැති නමුත් එයින් උපදින දරුවන්ට ගබ්සාව හා බාල ඝාතනය පවා නිර්දේශ කරයි. දාර්ශනික රජු හොඳ හා නරක අතර වෙනස දන්නා හෙයින් ඔහු යහපත් පාලකයෙකු වේ යැයි ප්ලේටෝ කියයි.

ප්ලේටෝගේ දර්ශනයෙහි උපයෝගීතාවක් නැතැයි කිව නොහේ. රාජ්‍යයක්නිර්මාණය කරන්නේ කෙසේද තමන්ගේම අදහසක් නැති පුරාතන පාලකයකුට මේ දර්ශනය මුළුමනින්ම හෝ කොටසක් ලෙස තමන්ගේ රාජ්‍යය ගොඩ නැඟීමේදී යොදා ගත හැකිව තිබිණි. ඇත්තටම මේ අදහස් සමහරක් අදත් නූතන රාජ්‍යයන්හි භාවිතා වේ. හැබැයි එනිසාම මේ දර්ශනය හොඳ හෝ නරකය නොකියැවේ. උදාහරණයක් හැටියට ආබාධිත දරුවන් රාජ්‍යය විසින් නසා දැමීම කළ යුතුද නැද්ද? යුද හේවායින්ට දේපළ අයිතිය තිබිය යුතුද නැද්ද?

දර්ශනයට අනුව ඒවා ඒකීය පුද්ගලයා විසින් තම තම නැණ පමණින් තීරණය කළ යුතු දේය. ඒ හැම දෙයක්ම සාපේක්ෂය. ඒවායේ වාස්තවිකත්වයක් නැත. මේ දර්ශනයන්හි ස්වභාවයයි. ප්ලේටෝ තම නැණ පමණ අනුව ලෝකය මෙසේ වී නම් හොඳය කියයි.

ඇරිස්ටෝටල්ට ඊට එදිරි විය හැකිය. එතැන එකමිතියක් නොවේ. එතැන අවම වශයෙන් සංස්කෘතික, භූගෝලීය දේශපාලනික සීමා බිඳ හෙළන පොදු බවක් වත් නැත. එසේම මෙය වැරදිය මෙය හරිය කියන්ට කිසිම පොදු නිර්ණායකයක් නැත. එනිසා දර්ශනයන්හි හරි වැරදි සෙවීම නිරර්ථක කාර්යයකි. විද්‍යාව දර්ශනය මෙන් නොව වාස්තවිකත්වය මත පදනම් වේ. (පැහැදිලි කිරීමේ පහසුව පිණිස සාපෙක්ෂතාවාදය හා කොන්ටම් විද්‍යාව මොහොතකට අමතක කරමු)

රතු මලක් මිනිස් ඇස් හැමෙකකම පාහේ දකින්නේ රතු මලක් ලෙසිනි. එසේ නොවන්නන් සුළු පිරිසක් වර්ණ අන්ධතාවෙන් යුතු බව අපි හඳුනා ගනිමු. ඒ ඔවුන්ගේ ශාරීරික දුබලතාවකි. එසේ නැතිව රතු මලෙහි රක්තවර්ණය මොවුන් පිණිස වෙනස් නොවන බව අපි දනිමු. එහි රතු පැහැය නිරීක්ෂකයාගෙන් ස්වායත්තය. එය මලෙහි ගුණයකි. නිරීක්ෂකයා අනුව එහි රතු පැහැය වෙනස් නොවේ. වර්ණ අන්ධතාවෙන් නොපෙළන ඕනෑම පුද්ගලයකුට රතු මලක් පහසුවෙන් වෙනත් පාට මල්වලින් වෙන් කොට හඳුනා ගත හැකිය. එය ඊනියා මනසක මැවෙන ඊනියා සංකල්පයක්නොවේ. මහ පොළොවෙහි ඇති දෙයකි.

මෙහිදී දාර්ශනිකයින් අප හැම දෙනෙක්ම මල දකින්නේ එකම පැහැයකින්ද, ආලෝකයේවේගයෙන් ගමන් කරන්නකුට මේ මල වෙනත් පැහයකින් පෙනේද, මල එකිනෙකාගේ මනසෙහි ඇතිවන සංඥාවක් පමණක් නේද, වැනි දාර්ශනික ප්‍රශ්න මතු කළ හැකිය. මේවා දර්ශනයට මිස විද්‍යාවට අදාළ ප්‍රශ්න නොවේ. විද්‍යාවට ඒවා කිසිම වැදගත්කමක් නැත.

විද්‍යාව විසින් ඉතාම පැහැදිලිව රතු පැහැය, නිරීක්ෂකයාගෙන් ස්වයාත්තව, මලෙහි ගුණයක් ලෙසද, සියලු මිනිසුන්ට එය එසේ පෙනෙන බවද තීරණය කරයි. ඒ වාස්තවික දැනුම ඉන්පසුව විද්‍යාවේ ප්‍රායෝගිකව භාවිතා වේ. දාර්ශනිකයින්ට මීට වෙනස් කියැවීම් අනන්තයක් තිබිය හැකිය.

විද්‍යාව ඒ ගැන කරදර නොවෙයි. හමුදා භටයින්ට දේපළ අයිතිය අහිමි කළ යුතුය කියන ප්ලේටෝ ගැන කරදර නොවෙන්නාක් මෙනි. දර්ශනය හා විද්‍යාව අතර මේ වෙනස හඳුනාගන්නා හෙයින්ය, ස්ටීවන් හෝකින්ස් දර්ශනය මියගොස් ඇතැයි කියන්නේ. විශ්වය සම්බන්ධ මූලික ප්‍රශ්න ගණනාවක් තවම විසඳී නැති එකම කාරණය අපට ඒ ගැන දත්ත නැති වීම පමණය.

එසේ නැතිව විද්‍යාවේ හෝ විද්‍යාත්මක ක්‍රමයේ දුබලතාවක් නොවේ. පැහැදිලිව මේ ප්‍රශ්න දර්ශනයේ වපසරියේ සිට විද්‍යාවේ වපසරියට ගත හැකිය. තව දුරටත් දාර්ශනිකයින්ට අප දන්නා දේට වඩා කිසිවක් එකතු කළ නොහැකිය. දර්ශනය විද්‍යාවේ නූතන ප්‍රගතිය සමඟ වූ අත්වැල බිඳී බොහෝ කාලයකි. තවදුරටත් විද්‍යාවට දර්ශනයක් අවශ්‍ය නොවේ. දර්ශනයෙන් ස්වායත්තව විද්‍යාවට නැඟී සිටිය හැකිය.

ඒ කෙසේද මතු ලිපියකින් කියවමු.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්