|
||
මම දයානන්ද ගුණවර්ධනගෙ ගෝලයෙක්ප්රවීණ කලාකරු ඇන්තනි ජීවා ඇන්තනි ජීවා දෙමළ වේදිකාව මෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රය ද පෝෂණය කළ ප්‍රවීණ කලාකරුවෙකි. ලංකාවේ මතු නොව ඉන්දියාවේ ද රසික විචාරක පර්ෂද අතර ඔහු කීර්තියක් දිනා සිටී. දශක තුනක් පුරා ඔහු ඉටුකළ මෙහෙවර අගයනු වස් තමිල්නාඩුවේ සින්නප්පා භාරතී සාහිත්‍ය පදනම විසින් ජීවිතයේ වරක් පමණක් කලාකරුවකුට පිරිනමන ‘දිවමන් සම්මානය’ පසුගිය දා ඇන්තනි ජීවාට ද ප්‍රදානය කරනු ලැබීය. අප, මෙවර භූමිකාවට ඔහු කැඳවූයේ ඒ පිළිබඳව කතාබහක නිරත වීම පිණිසය. “මහත්මා ගාන්ධි දිනය යෙදිල තියෙන්නෙ ඔක්තෝබර් දෙවෙනිදාට. ඒ දිනය නිමිති කරගෙන තමිල්නාඩුවේ සින්නප්පා භාරතී සාහිත්‍ය පදනම හැම වසරකම විශාල උත්සවයක් පවත්වනවා. ලෝකයේ කොහේ සිටියත් දෙමළින් ලියන අයට සම්මාන පිරිනැමීමටයි මේ උත්සවය පවත්වන්නේ. මෙහිදී ඔවුන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් දෙනවා. මොකද අපේ දෙමළ සාහිත්‍යය ඉහළ මට්ටමක තිබෙන බවයි ඔවුන්ගේ පිළිගැනීම. තමිල්නාඩුවේ නවක්කල් නගරයේ කලාගාරයේදී පවත්වපු මේ උත්සවයට ඉන්දියාවේ හැම ප්‍රාන්තයකින්ම වගේ ලේඛකයන් හා කලාකරුවන් දහසක් පමණ සහභාගි වුණා. මට සම්මානයට අමතරව ඉන්දියන් රුපියල් දහදහක මුදල් ත්‍යාගයකුත් ලැබුණා.” සිංහල භාෂාව හොඳින් කතා කරන ඇන්තනි ජීවා සිය තමිල්නාඩු චාරිකාව පිළිබඳව විස්තර ඉදිරිපත් කළේ එසේ ය. ජීවාට අමතරව දෙමළ සාහිත්‍යය වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලාංකීය ලේඛකයන් කිහිප දෙනකුට ද මෙහිදී ත්‍යාග පිරිනැමිණි. නවකතා කලාව වෙනුවෙන් ප්‍රවීණ ලේඛක තෙලිවත්තෙයි ජෝසප්, කෙටිකතා සඳහා මූ. සිවලිංගම් පුවත්පත් කලාව සඳහා එච්. සෙල්වරාජා හා පරිවර්තන සාහිත්‍ය වෙනුවෙන් උපාලි ලීලාරත්න යන ලේඛකයෝ මෙසේ පිදුම් ලැබූහ. “සින්නප්ප භාරතී කලා උලෙළ පැවැත්වුණු ආකාරය පිළිබඳව අපට කෙටි විස්තරයක් කළ හැකි ද?” මම ජීවාගෙන් විමසීමි. “සින්නප්ප භාරතී කියන්නේ තමිල්නාඩුවේ ජීවත්වන ප්‍රගතිශීලී ලේඛකයෙක්. ඔහුගේ පොත් කිහිපයක් සිංහලටත් පරිවර්තනය වී තිබෙනවා. ඔහු අවසාන වරට ලංකාවට ආ වෙලාවේ සිංහල දෙමළ ලේඛක එකමුතුව හා ගොඩගේ ප්‍රකාශන ආයතනය එකතු වෙලා පිළිගැනීමේ උත්සවයකුත් පැවැත්තුවා. ඔහු තමිල්නාඩු ප්‍රාන්ත මාක්ස්වාදී කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙක්. ඒ වගේම ප්‍රගතිශීලී ලේඛක සංවිධානයේ නියමුවෙක්. ඔහුගේ ප්‍රගතිශීලී සාහිත්‍ය මෙහෙවර අගය කරන්න තමා සින්නප්ප භාරතී කලා උලෙළ සංවිධානය කරන්නේ. මේ උලෙළේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමා මේක එක්තරා ආකාරයක දේශපාලන ස්වරූපයක් ගැනීම. ‘ජනතාව දැනුවත් කිරීම සඳහා පොත් කියවීම හුරුපුරුදු කරමු’ වැනි තේමාවක් යටතෙයි මෙය පැවැත්වෙන්නේ. උත්සවයේ මුලසුන් දැරුවේ ප්‍රාන්ත මාක්ස්වාදී පක්ෂයේ නායක ජී. රාමචන්ද්‍රන් හා ප්‍රගතිශීලි ලේඛන සංගමයේ සභාපති තමිල් චෙල්වම්. මේ දෙන්නගෙම කතාවලදී ප්‍රකාශ වුණේ මාක්ස්වාදි අදහස්. ගෝර්කිගේ ‘අම්මා’ කියවන්න කියලා රාමචන්ද්‍රන් ඉල්ලා සිටියා. යුද්ධායුධවලට වඩා ශක්තිමත්ම අවිය පෑන කියලත් ඔහු පැවසුවා. ජාතිවාදය, ආගම්වාදය හෝ කුලවාදය අවුස්සන අදහස්වලට වඩා මේවා ජනතාවට හිතකර ය කියා මම හිතනවා.” ඇන්තනී ජීවා ශ්‍රී ලාංකික රසික විචාරක ප්‍රජාව අතර වඩාත් ප්‍රකටව සිටිනුයේ කඳුරටින් බිහි වූ නාට්‍යකරුවකු ලෙස ය. ශ්‍රී ලංකාවේ දෙමළ නාට්‍යයේ ඉතිහාසය පිළිබඳව පොත් කිහිපයක් ද ලියා ඇති ජීවා නාට්‍ය නිෂ්පාදකයකු වශයෙන් ද නමක් දිනා සිටී. අපි ඒ පිළිබඳව ද සාකච්ඡා කළෙමු. “මම නාට්‍ය කලාව ඉගෙන ගත්තේ දයානන්ද ගුණවර්ධනගෙන්. එතුමා සුදර්ශියේ සිංහල සංස්කෘතික සංගමයේ ලේකම් වෙලා හිටියා. ඒ කාලේ නරිබෑනා නාට්‍ය පුහුණු කරනවා. ඒක දැකලා මට ආසා හිතුණා. මම දයානන්ද මහත්තයා හමුවෙලා මටත් නාට්‍ය ශිල්පය ඉගෙන ගන්න ආසයි කිව්වා. එදා පටන් එතුමාගේ නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මම දයානන්ද ගුණවර්ධනගෙ ගෝලයෙක් කියන්නත් පුළුවන්. නවසිය හැත්තෑවේදි මම නාට්‍යයක් හැදුවා ‘අග්නිපූකල්’ කියලා. ඒකෙ සිංහල තේරුම ‘ගිනිමල’ කියන එක. වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න මුල් කරගෙන හදපු ඒ නාට්‍ය වතුකරයේ හුඟක් ජනප්‍රිය වුණා. හැත්තෑ පහේදී ‘කිරිගරුඬ’ කියන නාට්‍යයේ රඟපාපු අලෙයිපාල් කියන නිළිය හොඳම රඟපෑමට සම්මාන දිනාගත්තා. ‘ආරෝරෝ අරිවෝ’ ගඟට උඩින් කොක්කු ගියා, ‘තායි’ නමින් හදපු බ්‍රෙෂ්ට්ගේ මව කියන නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍ය දහයක් පමණ මම නිර්මාණය කළා. මම කාලයක් ඉන්දියාවටත් ගිහින් නාට්‍ය කලාව ඉගෙන ගත්තා. එහෙදි මම නාගිල් සර්ගාර් කියන බෙංගාලි ශිල්පියා යටතේ වීදි නාට්‍ය කලාව හැදෑරුවා. ලංකාවට ඇවිත් ආචාර්ය ගාමිණි හත්තොටුවේගමත් එක්ක වීදි නාට්‍ය නිර්මාණය කළා. ‘සාත්තන් වේදම් ඕදුගරදි’ සාතන් යාච්ඤා කරයි කියන තේරුම තියෙන නාට්‍යය ඒ කාලේ හුඟක් ජනප්‍රිය වුණා. ඒක දැකපු ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ඒ අයගෙ දේශපාලන ප්‍රචාරක කටයුතුවලටත් ඒක ඉල්ලා සිටියා. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ.” අද දෙමළ වේදිකා නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ? “අද හැම දෙයක්ම අවුල් වෙලා. දකුණු ඉන්දියාවේ බලපෑම හැම කලා අංශයකටම තදින්ම දැනෙනවා. පැය විසිහතර පුරාම විකාශනය වන ඉන්දියානු කේබල් රූපවාහිනී සේවය මේකට ප්‍රධාන හේතුවක්. ලාබ, ජනප්‍රිය චිත්‍රපටි තමා ඒකෙන් දවස පුරාම පෙන්වන්නේ. උතුරේ සිට කඳුකරය හා බස්නාහිර දක්වාම බහුතරයක් දෙමළ ජනයා අද මේ කේබල් රූපවාහිනියට ගොදුරු වෙලා.” සැත්තෑ වියැති මෙම ප්‍රවීණ කලාකරුවා පවසන ආකාරයට දෙමළ සමාජයේ කලා රුචිකත්වය බිඳ වැටෙමින් පවතී. මේ හේතුවෙන් තියුණු සමාජ දේශපාලන දැක්මකින් යුතු පරපුරක් දෙමළ ප්‍රජාව අතරින් අනාගතයේ බිහි කරගැනීම අසීරු වනු ඇතැයි ද ඇන්තනි ජීවා පවසයි. ඔහුගේ ළමා විය හා තුරුණු විය ගත වූ ආකාරය පිළිබඳව ජීවා කරන මෙම විස්තරය කියවන ඔබ තුළ ද එම හැඟීම උපදිනු ඒකාන්තය. “මම 1944, කොළඹදී ඉපදුණේ. අධ්‍යාපනය ලැබුවෙ බම්බලපිටියෙ ශාන්ත මේරි විද්‍යාලයේ. පස්සෙ විවෘත විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාවක් කළා. ඒ කාලේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බොහොම ජනප්‍රිය වෙලා තිබුණා. මමත් කිරුළපනේ ලංකා සමසමාජ පක්ෂ තරුණ සංවිධානයට බැඳුණා. වාසුදේව, විවියන්, අතාවුද වගේ අයත් එක්ක තමා එදා තරුණ සංවිධානේ වැඩ කළේ. ආචාර්ය කොල්වින් සභාපති. විවියන් ගුණවර්ධන මට සිංහල ඉගැන්නුවා. ‘ජනශක්ති’ දෙමළ පත්තරේ කර්තෘකමත් මට පැවරුවා. මගේ සිංහල දෙමළ දැනීම නිසා වතු අංශයේ රැස්වීම්වලදී කොල්වින්ලගෙ කතා දෙමළට පරිවර්තනය කළෙත් මමයි. මම කලාව පැත්තට යොමු වුණේ වමේ දේශපාලනය නිසයි. කිංස්ලි රාජපක්ෂ, එස්. කරූ, සමන් බොකලවෙල වගේ කලාකරුවන් එදා සමසමාජ පක්ෂයේ හිටියා. මට ඔවුන්ගෙන් ලොකු මඟ පෙන්වීමක් ලැබුණා.” සැත්තෑ වියේදීත් ඇන්ටනී ජීවා මනා සමාජ හා දේශපාලන දැක්මකින් යුතුව කටයුතු කරන්නේ තුරුණු වියේදී වමේ දේශපාලනයෙන් ලද පන්නරය නිසා විය යුතු යයි මට හැඟිණි. අද සියල්ල අවුල් වී ඇතැයි යනුවෙන් ඔහු පවසන කතාවේ යථාර්ථය වන්නේ වත්මන් දෙමළ තරුණ පරපුරට නිසි දේශපාලන මඟ පෙන්වීමක් නැතිකම විය යුතුය. දැනුදු ඉතා ක්‍රියාකාරී කලාකරුවකු වශයෙන් ඔහු ‘කොලුඳු’ (තේදලු) නම් සඟරාව සංස්කරණය කරයි. තිනකරන් ඇතුළු දෙමළ පත්තර කිහිපයකට තීරු ලිපි රචනා කරයි. එපමණක් නොව කඳුකරයේ කලා හා සාහිත්‍ය සංගමයේ ලේකම් වශයෙන් හා සිංහල දෙමළ ලේඛන එකමුතුවේ උප සභාපතිවරයකු ලෙස ද සේවය කරයි. ශ්‍රී ලාංකික කලාවක් ගොඩනඟමින් සියලු ශ්‍රී ලාංකික ජන කොටස් අතර සාමය හා සහෝදරත්වය වර්ධනය කිරීමට පනස් වසරකටත් අධික කාලයක් පුරා කැප වී සිටින ඇන්තනී ජීවා කලාකරුවාට පාලමේ උණුසුම් සුබ පැතුම්! සංස්කෘතික සටහන්
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |