කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ටයි අම්මලාගේ සහ සීලවතීලාගේ ලෝකයට ගියෙමි

ටයි අම්මලාගේ සහ සීලවතීලාගේ ලෝකයට ගියෙමි

කන්දක් නාය යාමෙන් කොස්ලන්දේ සිදු වූ ඛේදවාචකය රූපවාහිනී තිර ඔස්සේ විකාශය වෙන අයුරු මම බලා සිටියෙමි. පස් යට සැඟවී ගිය සිය ගණනකගේ ඥාතීන් නැගූ විලාප හඬ මම අසා සිටියෙමි. මට ඒ මොහොතෙහි කළ හැකි වූයේ සුසුම් ලෑම පමණි. එහෙත් මම මේ මොහොතේ අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිමි. “ඔබට හැකි උපකාරයක් කරන්න” මම ආයාචනා කරමි.

මසිත මා කැඳවාගෙන දුරාතීතයට ගියේය. එකම පවුලේ හය දෙනෙක් නාය ගිය කන්දක පස්වලට යටවී මියගිය ඛේදවාචකය බලන්නට ගිය ගමනක් පිළිබඳ මතකය අසල මසිත නැවතී බලා සිටින්න විය.

ඒ කාලයේ මා සිටියේ ඉරිදා දිවයින පත්තරයේය. මම ඛේදවාචකය බලන්නට පසුදින හිමිදිරියේම බස් රියෙන් වරකාපොළට ගොස් එතැනින් “කුඩා බට්ටා” වෑන් එකක නැගී කොන්දත් නමාගෙන, හිටගෙන හිරවී තියඹරාහේන කන්ද නම්වූ ඒ මාරාවේශ වූ කන්ද පාමුලට ගියෙමි. කුඩා බට්ටා මගෙන් අසාධාරණ මුදලක් අය කළේය. එය කරන්නට දෙයක් නැත. ඛේදවාචකය නරඹන්නට යන මිනිස්සු කුඩා බට්ටලාට වැඩි ගාස්තුවක් ගෙවා තියඹරාහේන කන්දට ගියහ.

පස් කන්දට යටවී මියගොස් සිටියේ වයසක පියා මව, දුවගේ සැමියා සහ දුවගේ කුඩා දරුවන් තිදෙනාය. ඔවුන්ගේ සිරුරු කඳු ගැටයක් මුදුනේ වූ ප්‍රාථමික පාසල් ගොඩනැඟිල්ලක බාලාංශ බංකු මත තබා තිබුණේ මඩ සහිත ඇඳුම් සහිතවය. දරුවන්ගේ අම්මා විලාප ගසමින් එතැන වැතිර සිටියාය.

මිනිස්සු මළ සිරුරු බලමින් ඉවත්ව ගියහ. සත පහක උදව්වක් නැත. ගමේ දුප්පත් මිනිස්සු පිටලෑලි වලින් පෙට්ටි සාදමින් සිටියහ. එක පෙට්ටියක් පියා සඳහාය. තව පෙට්ටියක් මව සඳහාය. තවත් පෙට්ටියක් සැමියා සඳහාය. තවත් ලොකු පෙට්ටියක් දරුවන් තිදෙනාම සඳහා ය.

පසුදින පත්තර කන්තෝරුවට ගිය පසු මම මේ ඛේදවාචකය ගැන ද එතැන සිටි ඇතැම් මිනිසුන්ගේ මනුස්සකමක් නැති හැසිරීම ගැන ද පත්තර මිතුරන් සමඟ කතා කළෙමි. සැබැවින්ම මම කම්පාවට පත්ව සිටියෙමි. එවකට දිවයිනේ සිටි සුනිල් මාධව ද එතැනට පැමිණියේය. ඔහු මට පෙර හිමිදිරියේම එතැනට ගොස් තිබුණේය.

මා තියඹරාහේනට යන විට ඔහු දිවයිනේ වෑන් එකකින් ආපසු එමින් සිටියේය.

දිවයින ඉරිදා සංග්‍රහයේ සංස්කාරක ගුණසිංහ මහත්මයා සුනිල්ට කතා කොට ඉරිදා පුවත්පතට විශේෂාංගයක් ලියන ලෙස පැවසුවේය.

“ගුණේ මං ගියෙ කොම්පැණියෙ වාහනෙන්... කවුරුවත් කියන්නෙ නැතුව අතින් වියදම් කරගෙන නියම ගමන ගියෙ කසුරි... කසුරි තමයි ඒක ලියන්ඩ ඕනැ මගෙ හිතේ.”

සුනිල්, ගුණසිංහ මහත්තයාට කීවේය. ඒ අනුව සුනිල් දිනපතා දිවයිනට “වර්ණ ලියවිල්ලක්” ලියුවේය. මම ඉරිදා පුවත්පතට විශේෂාංග ලිපියක් සැපයුවෙමි.

සුනිල්ගේ වර්ණ ලියවිල්ල පටන්ගෙන තිබුණේ මෙසේ ය.

“ජීවිතය පුරාම හැඬූ ඇසක් මෙන් තියඹරාහේන කන්ද මුදුන රත් පැහැ ගැන්වී තිබිණි. ජීවිතය පුරාම ගලන කඳුළක් මෙන් තියඹරාහේන කන්ද මුදුනින් සිහින් දියදහරාවක් තවමත් ගලා හැලෙමින් තිබිණි.”

මා දුටු බොහෝ අමනුස්සකම් පෙළ ගස්වා අවසානයේ මම මගේ විශේෂාංගය මෙසේ අවසන් කළෙමි.

“නාය ගොස් ඇත්තේ තියඹරාහේන කන්ද පමණක් නොවේ. මුළු මනුෂ්‍යත්වයම නාය ගොසිනි.”

මසිත මගේ ම දේවල් සිහිපත් කළේය. කොස්ලන්දේ කඩා වැටුණ පස් කඳු දෙස ද දිය පහරවල් දෙස ද බලමින් මම සියල්ල සිහිපත් කළෙමි.

එහෙත් මසිත එක්වරම ගැස්සී ගියේ ඉන්පසු අසන්නට ලැබුණු තවත් ප්‍රවෘත්තියක් නිසාය. එනම් කඳු නාය යාමේ තර්ජනයට ලක්වී ඇති ප්‍රදේශවල නම් ගම් කිහිපයක් ගැන ප්‍රකාශයට පත්වීමත් සමඟය. “දෙහිඕවිට” ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම් කිහිපයක් ද නායයාමේ තර්ජනයට ලක්ව ඇතැයි ‍ඒ ප්‍රවෘත්තියෙන් කියැවිණි.

පසුගිය සතියේ දිනෙක මම දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ඒ ප්‍රාදේශීය ලේකම්තුමාගේ ආරාධනයක් පරිදිය. ආරාධනාව ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් වූ හමුවක දේශනයක් පැවැත්වීමටය. මම නියමිත වෙලාවටත් පෙර එහි ගියෙමි. ඒ ගස්වැල්වලින් සුසැදි හරිත වර්ණ පරිසරය පසු කරමිනි.

නියමිත වේලාවටත් කලින් එහි ගිය මම ප්‍රාදේශීය ලේකම් තුමාගේ කාර්යාලයේ රැඳී සිටියෙමි. ඒ මොහොතේ එතැනට බොහෝ වයසැති අම්මා කෙනකු පැමිණියාය.

“අම්මේ අද මේ පැත්තෙ?”

ප්‍රාදේශීය ලේකම් තුමා විමසුවේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදුන් අම්මා මා දෙස විමසිලිමත්ව බලා සිටියාය.

“මේ පත්තරේ මහත්තයෙක්”

“මං ගැනත් පත්තරවල ගියා. පහුගිය දවස්වල”

එහෙත් ඇගේ ප්‍රකාශයට දීමට සුදුසු පිළිතුරක් මා ළඟ තිබුණේ නැත. මම නිහඬව මඳ සිනාවකින් පමණක් ඈට සංග්‍රහ කළෙමි.

“මහත්තය මොකද කණ්ණාඩි දාන්නෙ?”

“ඇස් පෙනීම දුර්වලයි. දැන් හුඟාක් කාලෙක ඉඳල දානවා”

“මට අවුරුදු අසූපහයි. කවදාවත් කණ්ණාඩි දාල නෑ... අදටත් මට පත්තර කියවන්ඩ පුළුවන්... මහත්තය පලා ජාති කන්ඩ. මගෙ දුව අක්ෂි වෛද්‍යවරියක්. ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ.”

ඈ තවදුරටත් පැවසුවාය.

ඈ ඉවත්ව ගිය පසු ප්‍රාදේශීය ලේකම්තුමා ඈ පිළිබඳ විස්තරයක් කීවේය.

“මහත්තය මැරුණට පස්සෙ හුඟාක් අඩුපාඩුකම් ඇතිවුණා. අඟහිඟකම් පිරුණා. ජීවත්වෙන්ඩ ක්‍රමයක් තිබුණෙම නෑ... පස්සෙ ඉස්කෝලෙ යන ගෑනු ළමයකුගෙ ටයි එකක් ගලවල මහන හැටි බලාගෙන ටයි මහන්ඩ පටන්ගත්තා. දැන් ඉස්කෝල ගාණකට ටයි දෙනවා. ඉතා හොඳ ජීවිතයක් ගත කරනවා. මේ පැත්තෙ කවුරුත් කියන්නෙ ‘ටයි අම්මා’ කියලා. මේ ළඟදි නැ‍‍ඟෙනහිර පළාතෙනුත් ඕඩර් වගයක් හම්බ වෙලා. ඒක කියන්ඩයි ඔය ඇවිල්ල තියෙන්නෙ”

අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උඩුමහලේ වූ ශ්‍රවණාගාරයට ගියෙමු. වැඩිහිටි වියපත් අම්මලාගෙන් සහ තාත්තලාගෙන් මුළු ශාලාව පිරි ඉතිරී තිබිණි. ‘ටයි අම්මා’ ඉදිරිපෙළ අසුනක ඉඳගෙන සිටියාය.

ඒ හෝරා දෙක තුන මගේ ජීවිතයේ මා ගත කළ සුන්දරම හෝරා කිහිපයක් බව සටහන් කිරීමට මෙය අවස්ථාවක් කර ගතිමි.

දරු මුනුපුරන් ගෙන් වෙන්ව පැමිණි ඔවුහු ඔවුන්ගේ ම ලෝකයක තනිවී සිටියහ. මට හිතෙන හැටියට අවුරුදු හැත්තෑවක් පමණ වූ සීලවතී ඉදිරිපත් කළ පූජා නැටුම අතිශයින් ම ආකර්ෂණීය විය. එසේ ම ජසයාගේ රංගනය, මල් නැටුම් කිහිපයම මා පුදුමයට පත් කළේය.

අවුරුදු 18 - 20 නව යොවුන් තරුණියන් සේ “හිස මල් ගවසා” සැරසී වැලමිට දක්වා වූ හැට්ට, කලාත්මක ඇඳුම්වලින් ද සුදුසු කොණ්ඩා මෝස්තරවලින් ද යුක්තව සිටි මේ වියපත් අම්මලා ඔවුන්ටම උරුම ලෝකයේ සැරිසැරුවේ හිතා ගන්නටවත් බැරි තරම් සැහැල්ලුවකිනි, විනෝදයකිනි. ඒ ඒ අංග අවසානයේ ශාලාවෙන් නැඟුණේ මහා අත්පොළසන් හඬකි. නන්දා මීගස්තැන්න කිවිඳිය ද ඒ පළාතේ හිටපු ග්‍රාම නිලධාරිනියකි. ඈ කළ කවි කතාව ද රසබර ය.

දෙහිඕවිට ප්‍රදේශයේ ද නාය යාම් ඇතිවීමට ඉඩ තිබේ යැයි කියැවෙන විට මසිත කම්පනයට පත්වූයේ එසේ ස්වභාවධර්මයා තර්ජනය කරන්නේ එදා මා දුටු ටයි අම්මලා... සීලවතීලා වැනි සුන්දර වැඩිමහල්ලන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියට නොවේදැයි සිතුණු නිසා ය.

“අනේ එවන් විපතක් ඔවුන්ට නොවේවා! ඔවුන්ට පමණක් නොව කිසිවකුටත් නොවේවා! ඔවුන්ගේ ජීවිත කඳුළක් නොවේවා.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්