කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ඇද හැලෙන මහ වැසි මැද්දේ අතුරුදන් වූවන් සොයන මෙහෙ‍යුම්

ඇද හැලෙන මහ වැසි මැද්දේ අතුරුදන් වූවන් සොයන මෙහෙ‍යුම්

සොයාගත් රන් අභරණ සහ මුදල්

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යෑමෙන් පණපිටින් වැළලී ගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීම උදෙසා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන්නේ දිනපතා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ ය. මේ මෙහෙයුම සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව හා විශේෂ කාර්ය බළකායේ දහසකට අධික පිරිසක් යොදවා ති‍ෙබන අතර බැකෝ යන්ත්‍ර 12 ක් පමණ ඒ සඳහා සූදානම්කර තිබෙනු දක්නට ලැබිණි.

මෙම නාය යෑම කිලෝ මීටරයක් පමණ දුරට විහිදී ඇති අතර ඒ හරහා මඩ මිශ්‍ර ජලය විශාල වශයෙන් ගලා එනු ලබයි.

ආරක්ෂක හමුදාව විසින් සිදුකරන මෙම මෙහෙයුම් භාරව කටයුතු කරන්නේ ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරාල් මනෝ පෙරේරා ය.

නාය යෑමට ලක්ව ඇති ප්‍රදේශයේ පස් ඉවත් කිරීම කොස්ලන්ද වතුයාය හරහා එන මාර්ගයේ නායයෑම අවසන් වී තිබෙන ස්ථානයේ සිට කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර දෙක ආධාරයෙන් 30 දා ආරම්භ කර ඇති අතර එදින දවස පු‍රාම පස් ඉවත් කිරීමට හැකි වුණේ අඩි 30 ක පමණ දුර ප්‍රදේශයකට පමණි.

මෙහි පස්වලට අමතරව විශාල ප්‍රමාණයේ ගස් පවා මුල් පිටින් ගැලවී ගසාගෙන විත් ඇති අතර ඒවා ඉවත් කිරීම ද අසීරු සහ බොහෝ වේලාවක් ගතවන කාර්යයක් විය.

නායයෑම් අවසන් වූ ප්‍රදේශයේ පිහිටීම අනුව බැකෝ යන්ත්‍ර දෙකකට වැඩි ප්‍රමාණයක් යොදාගත නොහැකි තත්ත්වයක් පැවැතිනි. එම පස් ඉවත් කිරීමේදී මුලින් ම හමුවූයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකි. එහි කිරි තැන්පත් කර තබන විශාල ප්‍රමාණයේ භාජන ද තිබූ අතර ඒවා පිරෙන්න කිරි ද තිබෙනු දක්නට ලැබිණි.

මෙම නාය ය‍ෑමට ලක්වූ ප්‍රදේශයේ ලයිම් කාමර 8 ක් තනි නිවාස 3 ක්, කෝවිලක්, වෙළෙඳ සලක් පිහිටි අතර ලයිම් කාමර හා තනි නිවාසවල පවුල් 57 කට අයත් 330 දෙනෙකු ජීවත් වූ බව එම වසම භාර ග්‍රාම නිලධාරිනි එච්.එම්. චලනි ප්‍රකාශ කළා ය.

දැනට පදිංචි කරුවන්ගෙන් ජීවත්ව සිටින පිරිස හැරුණු කොට 200 ක් පමණ දෙනා අතුරුදන් බව වාර්තා විය. එසේ නම් මේ අතුරුදන් වූ සියලුම දෙනා මේ පස් කඳුවලට යට වී ඇතැයි විශ්වාස කෙරේ.

මීරියබැද්ද කෝවිලේ පින් කැටය

මේ නාය යෑමෙන් කඩා වැටුණු පස් කඳු නිවාසවල වහළයටත් වඩා අඩි හත අටකට වඩා උසින් තිබීම නිසා මෙම සිරුරු සොයා ගැනීම අසීරුම තත්ත්වයක පවතී.

මේජර් ජනරාල් මනෝ පෙරේරා

විදුහල්පති ජී. කරුණානිධි

මීටත් වඩා දිනකට පැය තුන හතරකට වඩා වැඩි කාලයක් පායන්නේ නැතිව වැස්ස කඩා වැටීමට පටන් ගැනීම නිසා පස් ඉවත් කිරීමේ මෙහෙයුම ඉදිරියට ගෙන යාම අසීරු වී තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ එම මෙහෙයුම් කටයුතු භාර ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මනෝ පෙරේරා මහතා ප්‍රකාශ කළේ ආරක්ෂක හමුදාව කණ්ඩායම් වශයෙන් තැනින් තැන යොදා මෙහෙයුම් සිදුකරන බවත් දැනට තිබෙන පසේ තත්ත්වය හා දේශගුණික තත්ත්වය මත අසීරුතාවයන්ට මුහුණදීමට සිදුව තිබෙන බවත් ය.

අනෙක් අතින් වතු ප්‍රදේශයක් නිසාත් තම ඥාතීන්, වර්ගයේ ම මිනිසුන් නිසාත් දිනකට ලක්ෂයකට ආසන්න පිරිසක් මෙම ස්ථානය බැලීමට පැමිණෙමින් සිටියි. එය වළක්වාලීම ද අපහසු වී ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

මේ මෙහෙයුම නිම කිරීමට කොතරම් කාලයක් ගතවේවිද යන්න කිව නොහැකි බවත් කෙසේ වෙතත් අවසන් පුද්ගලයා හොයාගන්නා තෙක් මෙම මෙහෙයුම දියත් කරන බවත් මේජර් ජෙනරාල් මනෝ පෙරේරා සඳහන් කළේ ය.

දැනට සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර රන් හා රන් ආලේපිත ආභරණ, මුදල් ප්‍රමාණයක් සහිත පසුම්බියක් ද, කෝවිලේ පිං පෙට්ටිය ද හමුවී ඇත.

මෙම මෙහෙයුම කඩිනම් කිරීම සඳහා විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර කිහිපයක් පෙ‍රේදා වනවිට ගෙන ඒමට ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.

දැනට කොස්ලන්ද දෙමළ මහ විදුහලේ අවුරුදු 12 ට අඩු ගැහැනු දරුවන් 88 දෙනෙකු ද පිරිමි දරුවන් 108 දෙනෙකු ද සිටින අතර එයින් අවුරුදු පහට අඩු දරුවන් 45 දෙනෙකු ඇතුළත් වේ. මේ අතර වයස අවුරුදු 12 ට වැඩි ගැහැනු 213 දෙනෙකු හා පිරිමි 186 දෙනෙකු අවතැන් වී සිටින අතර මෙයින් කාන්තාවන් තිදෙනෙකු ගර්භන‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ී තත්ත්වයේ පසුවූ හෙයින් ඒ තිදෙනා කොස්ලන්ද දිසා‍ රෝහලට යවා ඇත.

මේ ප්‍රදේශයේ මෙහෙයුම් නිම කිරීමට තවත් කාලයක් ගතවිය හැකි ය. ඒ දක්වාම මේ ජනතාව අවතැන් කඳවුරු තුළ ම රඳවා නොතබා ඔවුන්ගේ මානසිකත්වය ගොඩනඟා ආරක්ෂිතව ස්ථානයක පදිංචි කරවීම පිළිබඳව අවධානය යොමු වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවසීය.


නායයාමට පෙර දිනයේ පොළව ගිලා බැස්සා ඒත් ඒ අනතුරු හැඟවීම කවුරුවත් ගණන් ගත්තේ නෑ

කොස්ලන්ද මිරියබැද්ද වතුයායේ ලයිම් පේළි 8 ක් එනම් නිවාස 160, නිලධාරි නිවාස තුනක්, දේවාලයක්, වෙළෙඳ සලක් හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන දෙකක් තප්පර ගණනකින් වැළලී ගියේ එහි උන්හිටි මිනිසුන් ද සමඟ ය.

නායයෑමට ලක්වූ මෙම ප්‍රදේශයේ පදිංචිව සිටි මුළු පවුල් සංඛ්‍යාව 57ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 330 කි. එසේ පදිංචිව සිටි පිරිසෙන් අද ඉතිරිව සිටින පිරිස හා ගණන් කර බැලීමේ දී දෙසියයකට ආසන්න පිරිසක් අතුරුදන් ය. මෙම පිරිස මේ පස් කන්දට යට වන්නට ඇතැයි සැකකෙරේ.

අක්කර දෙතුන් සියයක වතු ජනාවාසයන්ව තිබුණ මේ ප්‍රදේශයේ අද දර්ශනය වන්නේ මඩ බිමක් ලෙසිනි. මෙහි ගෙයක් දොරක් තිබුණේ ද කියාවත් සිතාගත නොහැකි ය.

මෙවැනි නාය යෑමක් එක්වර එක මොහොතේ ම සිදුවූයේ මෙතනය. මෙවැනි නාය යෑමක් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මුලින් ම හඳුනා‍ෙගන ඇත්තේ 2005 දී ය. එහිදී මේ ජනතාව ඉවත් කරන ලෙස දැනුම් දී ඇති අතර එය සිදුනොවීමෙන් යළිත් 2011 දී මේ අවදානම පෙන්වාදී පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කරන ලෙස දැනුම් දී තිබිණි.

මේ අනුව මෙහි පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් ලබාදී නිවාස හදාදී තිබුණ ද ඔවුන් පදිංචියට නොගිය බව කියති. සමහරක් ඒ විකල්ප නිවාසවලට පදිංචියට ගියත් මේ නිවාස ද විටින් විට පරිහරණය කර ඇත.

මේ අතර මේ නායයෑම පිළිබඳව කිසිවෙකුත් තමන් දැනුවත් නොකළ බවට මේ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් පිරිස් පවසති. එහෙත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ශාන්ති ජයසේකර මහත්මිය පවසන්නේ දින දෙකකට පෙර ග්‍රාම නිලධාරි මගින් මෙම ජනතාව දැනුවත් කර ඇති බව ය.

මේ ජනතාව නාය යාමේ අවදානමක් ගැන දැනුවත් කිරිමත් නොකළ බවට චෝදනා කළත් ඒ ජනතාව එම නිවාසවලින් ඉවත්ව යාමට රෙදි පිළි බඩු මුට්ටු පොදි බැ‍ඳගෙන සිටි බවත් ඔවුන් යාමට සූදානමින් සිටියේ නාය ගිය දිනට පසුදින බවත් තොරතුරු හෙළිවිය.

එහෙත් මේ ජනතාව දැනුවත් කිරීමක් සිදු නොවුණු බවට චෝදනා කරමින් සිටි පිරිස් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි.

කෙසේ හෝ මේ ජනතාව බලෙන් හෝ එම ස්ථානයෙන් ඉවත් කිරීමට වගකිවයුත්තන්ට ඉඩ තිබිණි. එය වුව ද කරන්නට බැරි වූයේ විවිධ දේශපාලන හා වෘත්තීය සමිති නායකයින් දක්වන විරෝධතා හේතුවෙනි. මේ පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට තීරණය ගන්නට පවා මේ වෘත්තීය සමිති විරෝධය පළ කර තිබුණු බව එම වතුයායේ පදිංචිකරුවෙක් සඳහන් කළේ ය.

හමූවූ රන් අබරණ සහ මුදල් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණයට ලක්වූ අයුරු

තේ කර්මාන්තරයේ නියැළී සිටින මේ කම්කරුවන් මේ ප්‍රදේශයෙන් ඉවත් වීමට මැලිකමක් දක්වා ඇත්තේ ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්නත් සමඟ ය‍. මේ වතු කම්කරුවන්ට ලැබෙනුයේ සොච්චම් වැටුපක්. මොවුන් අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ව්‍යාපෘතින් ගණනාවක නිරතව සිටිති.

‍මේ ජනතාව සිය රැකියාවට අමතරව කිරි ගවයින්, එළුවන්, කුකුලන් ඇති කි‍රීමට අමතරව මේ නිවාස ආසන්නයේ පිහිටි ඉඩම් වල එළවළු වගා කිරීමේ ද නිරත වූහ. මේවා අත් හැරීමට නොහැකි නිසා ම වැඩි පිරිසක් නායයාමට ලක්වූ නිවාස අත් හැර ගියේ නැත.

සමහර අය මේ නිවාසවල පදිංචිය අත්හැර විකල්ප නිවාසවලට ගොස් සිටිය ද ඔවුන් රාත්‍රි කාලය ඒ නිවාසවල ගත කර පාන්දර පැරැණි නිවාසයට පැමිණීම පුරුද්දක් ලෙස කරගෙන ගිය බව ද අනාවරණය විය.

අනෙක් අතට මේ වතු කම්කරු ජනතාවගේ සියලු අවශ්‍යතා ඉටු කර දෙන බව කියමින් ඔවුන්ගේ වැටුපෙන් මසකට රුපියල් 35 ක් බැගින් අයකර ගන්නා වතු වෘත්තිය සමිති මේ සම්බන්ධයෙන් කිසිවක් සිදුකර නැත‍. ඔවුන් මේ අවදානම පිළිබඳව දැන සිටියත් මේ ජනතාවගේ ආරක්ෂාව සලසන ලෙස වතු පාලකයින්ට හෝ රාජ්‍ය පාර්ශ්වයන්ට‍ කිසිදු බලපෑමක් කළ බවක් පෙනෙන්නට නැත.

මේ නාය යෑමේ සිද්ධිය දෙස‍ බැලීමේදී මාගේ සිහියට නැඟුණේ 1988 වසරේදී පමණ නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජර්මන් භූ විද්‍යා විශේෂඥයෙක් කොස් ලන්ද නගරයේදී මා සමඟ කළ කථාවකි. ඔහු කියා සිටියේ කොස්ලන්ද නගරය වටා ඇති කඳු අතරින් දිය පහරවල් ගලා එන බැවින් ඒ කඳු නිත්‍ය වශයෙන් ම නායයෑමට ලක්විය හැකි බව ය.

ඒ කඳු පාමුල නිවාස ඉදිකිරීමෙන් නුදුරු අනාගතයේදී භයානක විනාශයක් සිදුවිය හැකි බව ය. එම විශේෂඥයා එදාපෙන්වූ කදු වැටියේ කොටසකි මෙසේ නාය යෑමට ලක්ව ඇත්තේ. මේ නාය යෑම පිළිබඳව අදහස් දැක්වූ කොස්ලන්ද මිරියබැද්ද දෙමළ විදුහලේ විදුහල්පති ජී. කරුණානිධි මහතා මෙසේ කීය.

“අවුරුදු පහකට කලින් මේ ස්ථානයේ නාය යෑමක් වුණා. ඉන්පසු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් ඇවිත් භූමිය පරීක්ෂා කරලා මේ ස්ථානයේ දිගටම නාය යනවා කියලා ප්‍රාදේශීය ලේකමට හා වතු අධිකාරිට දැනුම් දීලා පදිංචිකරුවන් ඉවත් කළා. පස්සේ වැස්ස නතර වුණාම මේ මිනිස්සු ආයිත් මෙහාටම ඇවිල්ලා පදිංචි වුණා.

ඊට පස්සේ මේ අයට ඉවත් වෙන්න කිව්වා. සමහරු නම් ගෙවල් හදාගෙන ගියා. අනෙක් අය ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ විදියට පදිංචිය අත්හැර ගිය සමහරක් රෑට විතරයි ඒ ගෙදර හිටියේ. උදේට මේ ගෙදරට එනවා. එහෙම අයත් මේ නායයෑමට අහුවෙලා මැරිලා.

මේ නායයෑම සිදුවූ දාට කලින් දවසේ මේ ස්ථානයේ හෙක්ටයාර් දෙකක විතර කොටසක් ගිලාබැස්සා. ඒ තුළට වතුර යන්න පටන්ගත්තා. ඒ වතුර එළියට එන තැනක් තිබුණේ නැහැ. ඒ අවදානම් තත්ත්වය ගැන ජනතාවට වැඩි අවබෝධයක් තිබුණේ නැහැ. මේ තරම් විශාල නායයෑමකට හේතු වුණේ ඒ ගිලාබැස්මයි. ඒ මොහොතේම ජනතාව ඉවත් කර තිබුණා නම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ.”

මේ නායයෑම කිලෝමීටරයක් විතර දුරට විහිදී ඇති අතර යටවූ නිවාසවලට ඉහළින් උසට පස් තට්ටු තිබෙන නිසා ඒවා ඉවත් කිරීම පවතින වැහිබර කාලගුණික තත්ත්වය සමඟ අසීරු කරුණක් බවට පත්ව තිබේ.

මේ අතර නායයෑමට ලක්වූ මීරියබැද්ද වතුයායට ඉහළින් පිහිටි එස්.කේ. වත්තේ කොට‍ෙස් ද පවුල් සිය ගණනක් පදිංචිව සිටිති. එම ප්‍රදේශයේ දී පොළව ඉරිලා ගොස් විශාල කඳු පර්වතයක කොටසක් කඩාවැටෙන ලකුණු පහළවී ඇත. අද කඩිනමින් එම පවුල් ද එම ස්ථානයෙන් ඉවත් කළ යුතුව ඇත.

මීට අමතරව කොස්ලන්ද පූනාගල මාර්ගයේ නාවුල්ල කොටස නායයෑමට ලක්ව තිබීම නිසා එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබේ. මේ අතර පූනාගල ඉහළ කොටසේ විශාල භූමි ප්‍රදේශයක් ඉරිතලා ගොස් ඇති අතර එහිද නායයෑමේ අවදානම් තත්ත්වය හටගෙන තිබේ.

එම ප්‍ර‍දේශය නායයෑමට ලක්වුවහොත් පූනාගල තේ කර්මාන්තශාලාව ඇතුළුව වතු නිවාස පේළි ගණනාවක් ඊට ගොදුරු විය හැකිය. මේ පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බව ජනතාව පවසති. නායයෑමට ලක්වූ මීරියබැද්ද ප්‍රදේශය හා සම්බන්ධව කොස්ලන්ද වතුයා‍ය ද නම්කර ඇති අතර ඊට ලයින් කාමර ගණනාවක් හා කොස්ලන්ද තේ කර්මාන්තශාලාව ද ඇතුළත්ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්