කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

යහපත් දේ කිසි දින කල් ඉකුත් නොවේ සිත් පීඩාව සැම විට ආයුෂ කෙටි කරයි

යහපත් දේ කිසි දින කල් ඉකුත් නොවේ සිත් පීඩාව සැම විට ආයුෂ කෙටි කරයි

මහා ධර්මපාල ජාතකය

හොඳ සහ නරක අපගේ ජීවිතයට ඇති කරන බලපෑම කෙබඳු ද? පුද්ගලයකු ගේ ජීවිත කාලය තීරණය කරන්නට තරම් එය බලවත් වන බව ඔබ දන්නවා ද? ධර්මය රකින පුද්ගලයා එසේ තමා රක්නා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව බුදු දහමේ සඳහන් ය. අප අත දරාගෙන යන කුඩය, වැටෙන වැසි දියෙන් අප ආරක්ෂා කරන්නාක් මෙනි.

‘ධම්මො හවේ රක්ඛති ධම්ම චාරී’ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ මේ ධර්මතාවයයි. ‘ධර්මපාල ජාතක’ කතා වස්තුව එය අපුර්ව ලෙස අවබෝධ කරවන කතාංගයකි.

බුදුරජාණන් වහන්සේ හා පියරජු සුදොවුන් මහ රජුගේ පිළිසඳර කතාවක දී අතීත කතාවක් ලෙස එය විස්තර කැ‍රේ.

“දුෂ්කර ක්‍රියා කරන කාලයේ ඔබ වහන්සේ නිරාහාරයෙන් ම මිය ගියායි, දෙවියෙක් මට කීවා” යි සුදොවුන් රජු භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය.

“ඔබ එය විශ්වාස කළා ද?” යි බුදුරජාණන් වහන්සේ විමසූ හ. රජු නැතැයි පිළිතුරු දුන් කල,

‘පෙරත් ඔබ මෙසේම ය. මා මළ බව කී පුවත් විශ්වාස නොකළේ ය. දැනුදු එය කෙසේ විශ්වාස කරන්න ද?’ යි වදාරා එම අතීත කතාව විස්තර කළහ.

ධර්මපාල නම් බමුණා සිල්වත් ය. ඔහු පුතු ද ධර්මපාල නමින් ම විය. මේ පුත් කුමරු ශිල්ප උගැන්ම සඳහා දිසාපාමොක් ඇදුරු වෙත යන්නේ ය හොඳින් ශිල්ප උගත්තේ ය. ටික දිනකින් ඇදුරු තුමාගේ කුඩා පුතු මිය ගියේය.

මිතුරන් වෙතින් මේ පුවත ඇසු ධර්මපාල කුමරු මහත් පුදුමව ‘ළපටි අයත් මැරෙනවා ද? එසේ වන්නේ කෙසේ ද?’ යි ඇසීය.

‘ඇයි? මරණයට වයස් භේදයක් නැති බව නොදන්නේ ද?’ යි කුමරුගේ මිතුරෙක් ඇසුවේ ය.

‘මැරෙන බව නම් දනිමි. එහෙත් බාල කාලයේ මැරෙන බව නොදනිමි. අපේ පරම්පරාවේ නම් බාල කාලයේ කිසිවෙක් මිය යන්නේ නැතැ'යි කුමරු කීය. ධර්මපාල කුමරු හා මිතුරන් අතර ඇති වූ මේ කතාබහ දිසාපාමොක් ඇදුරු තුමාට ද සැල විය. කුමරු කැඳවා,

‘ඔබ කියන්නේ සැබෑ ද? ඔබගේ පරම්පරාවේ කිසිවෙක් බාල වයසේ දී මියයන්නේ නැති ද?’ යි ඇසී ය.

‘එසේ ය ඇදුරුතුමනි, අප ගම්වල අය මහලු වී මිස බාල වයසේ දී නොමැරෙති’ යි කුමරු කීවේ ය.

මේ කතා පුවත අනුව දිසාපාමොක් ඇදුරුට කිසිසේත් ම විශ්වාස කළ නොහැකි විය. මේ නම් සොයා බලන්නට වටී යැයි සිතා මිය ගිය එළුවකු ගේ ඇට කැබැල්ලක් ගෙන සෝදා පසුම්බියක ලා අතවැසියකු සමඟ කුමරු ගේ ගමට ගියේ ය. ධර්මපාල බමුණා ගේ ගෙට පැමිණ පිළිසඳර කතා කොට

‘පින්වත් බමුණ, ඔබ ගේ පුතු මනා ලෙස සිප් සතර උගත්තේ ය. එහෙත් අප නොසිතූ ලෙස ඔහු මෙලොව හැර ගියේ ය’ යි ශෝකාකූල හඬින් කීවේ ය. ඒ ඇසූ ධර්මපාල බමුණා අත්පුඩි ගසා මහ හඬින් සිනාසෙන්නට විය. පුදුමයට පත් ඇදුරු තෙමේ

‘ඔබ ගේ දරුවා මියගිය පුවත අසා ඔබ සිනාසෙන්නේ ඇයි ද?’ යි විමසීය.

‘අපගේ දරුවෝ කිසි කලෙකත් බාල කාලයේ නොමියෙති. මෙය කෙසේ වූ දෙයක් ද?’ යි කීවේ ය. එවිට ඇදුරු තමා ගෙන ආ ඇට කැබැල්ල පෙන්වා ‘දරුවෙක් මියගිය පුවත පියෙකුට ඇදහිය නොහැකි බව සැබෑය. එහෙත් මා කියන්නේ සත්‍යයකි. මේ ඇට කැබැල්ල දැකලාවත් එය පිළිගන්න’ යි එළු ඇට කැබැල්ල පෙන්වමින් කීවේය. එවිට ධර්මපාල බමුණා,

‘මේ මාගේ පුතුගේ ඇට කැබැල්ලක් නොවේ. බල්ලෙකුගේ හෝ එළුවෙකුගේ ඇට කැබැල්ලකි.’ යි කීවේය. දිසාපාමොක් ඇදුරු ඒ අසා සත්‍ය පවසා, බොරු කීම ගැන බමුණාගෙන් සමාව අයැද,

‘කවර හේතුවක් නිසා ඔබගේ පරම්පරාවේ අය බාල කල නොමැරෙන්නේ ද?’ යි ඇසුවේය.

ඇදුරු තුමනි, අප පරම්පරාවේ අය කුසල් කරති. සෙල්ලමටවත් බොරු නොකියති. කිසි පවක් නොකරති. කවර හෝ දුසිරිත් පුරුදු නොකරති. අපි හැකි හැම විටම දන් දෙමු. දන් දෙන්නට පෙර සතුටු වෙමු. දන් දෙන මොහොතේත් සතුටු වෙමු. දන් දුන් පසුව ද සතුටු වෙමු. මහණ බමුණන්ට, දුගී මගී යාචකයන්ට හැකි තරම් සත්කාර කරමු. අන්‍ය ස්ත්‍රීන්ට ලොල් නොවෙමු. අපගේ භාර්යාවන් ද අන් පුරුෂයන්ට ඇල්ම නොවේ. මේ නිසා අප ගෙවල්වල උපදින දරුවෝ නුවණ ඇති අය වෙති. නිරෝගී වෙති,

අප පමණක් ද නොවේ. අපගේ ගෙවල වැඩපළ කරදෙන මෙහෙකරුවෝ ද අප සේ ම ගුණ දම් රකිති. කිසි පවක් නොකරති.

ඉදින් අපි ධර්මයෙහි හැසිරෙන්නෝ වෙමු. අප ආරක්ෂා කරන්නේ එසේ රක්නා ධර්මය විසින් ම ය. මෙසේ හෙයින් අප පරම්පරාවේ කිසිවකු අකල්හි නොමියෙති. මා පුතු නිදුක්ව නිරෝගීව ඉන්නා බව මම හොඳින් දනිමි. මේ කතාව ඇසු ඇදුරු තුමා බොහෝ සතුටට පත්විය. ධර්මපාල බමුණා ඇතුළු පිරිස ආරක්ෂා කරන ධර්ම සිය දැනුම පිණිස පත්‍රයක සටහන් කරගෙන ආපසු තක්සලා නුවරට ගියේය. ධර්මපාල කුමරුට වඩාත් හොඳින් සිප් සතර දුන්නේ ය.

මෙම කතා පුවතට අනුව ධර්මපාල බමුණු චරිතය විමසන්න. ඉගෙනුම ලැබීම පිණිස දුර බැහැර ගිය සිය දරුවා මළ පුවත, ආචාර්යවරයා ගේ ම මුවින් පිට වුවද ඔහු එය පිළිගත්තේ නැත. දරුවාට ශිල්ප දෙන ගුරුවරයා, එනම් දිසාපාමොක් ඇදුරු විශ්වාසවන්ත චරිතයකි. අනෙක් අතට මියගිය දරුවාගේ යැයි කියන ඇට කැබැල්ලක් ද ඔහු ගෙනැවිත් තිබේ. එහෙත් ඊටත් වඩා ඔහුට තමන් ආරක්ෂා කරන ධර්මය විශ්වාසවන්ත විය. ජීවිතයේ ඕනෑම අවස්ථාවකට නොබියව, විශ්වාසයෙන් යුතුව මුහුණ දීමේ හැකියාවක් ඔහුට තිබුණි. තම දරුවකුට විය හැකි අන්තරායක් ගැන ඔහුගේ සිත කිසිඳු සැකයක් හෝ චකිතයක් නොවුණි. ඒ ඔහු රක්නා ධර්මතාවයන් නිසා ලද අපූර්ව පෞරුෂත්වයයි. යහපත් දේ යහපත් ලෙසින් ආරක්ෂා කිරීමෙහි ප්‍රතිඵලය යහපතක් ම මිස අයහපතක් නොවන බවට පැවැති විශ්වාසය ගුරුවරයාගේ ප්‍රකාශය ද ඉක්මවන්නට සමත් විය.

මෙහි දී අප අවබෝධ කරගත යුත්තේ කුමක් ද? හොඳ දෙයක් කළේ නම් හොඳ ප්‍රතිඵලත්, නරක දෙයක් කළේ නම් නරක ප්‍රතිඵලත් ලැබෙන බව ය. එනම්, කර්මය, කර්ම ඵලය අදහන නුවණ ඇති කර ගැනීමය. ඒ විශ්වාසය පිහිටන්නේ හොඳ දේ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල විමසීමෙනි. ඒ තුළ අප කෙරෙහි එඩිතර බවක් ඇතිවේ. හොඳ පෞරුෂයක් ගොඩ නැ‍ඟේ. එහෙත් පව් කරන, අයහපත පුරුදු කරන පුද්ගලයාට එසේ සමාජයට, තමන් හමුවට එන ගැටලුවලට මුහුණ දිය නො හැකිය. ඔහු හීන පුද්ගලයෙක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය.

හොඳ දේ ක්‍රියාත්මක කරන්නට නොදන්නේ නම්, හොඳ නරක තෝරා ගන්නට අවබෝධයක් නොවේ නම් ඒ පුද්ගලයාට අත්වන ඉරණම එයයි. අප නිවැරැදිව ජීවත් වනවානම් කිසිවකු සමඟ අපට තරගයක් නොවේ. එදා අන්‍ය මතධාරීන්ගෙන් පිරී පැවැති භාරතීය සමාජයේ කිසිවකු සමඟ තථාගතයන් වහන්සේට තරගයක් නොවුණේ උන්වහන්සේ නිවැරැදි දේ ප්‍රකාශ කළ හෙයිනි. නිවැරැදි දේ ක්‍රියාත්මක කළ හෙයිනි. මෙසේ අප ද ධර්මානුකූල පැවැත්මකට හුරු ‍වනවා නම් අප වෙත එන විපත් ආයාසයකින් තොරවම යටපත් කළ හැකිය.

හොඳ දේ කල් ඉකුත් වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මපාල ජාතකය තුළ තිබෙන්නේ පංච දුෂ්චරිතයෙන් ඈත්වූ බවය. දස අකුසල් දුරු කළ බව ය. දීර්ඝායුෂ ලැබීමේ රහස එතැන ය. එය අද සමාජයට ද පොදුය. මිනිසා දුරාචාරයන්ට ඇබ්බැහි වනවා යනු නරක සිතිවිලි සමඟ ජීවත්වන්නට සිදුවීමය. වර්තමානයේ මිනිස් ආයුෂ අඩුවන්නට බලපාන ප්‍රබල හේතුවක් වන්නේ ද එයය.

අප හැමදාමත් වළකින බවට ප්‍රතිඥා දෙන සතුන් මැරීමේ අකුසලය පිළිබඳ සිහිපත් කරන්න. අප යම් කෙනෙකු ගේ හෝ සතෙකු ගේ හෝ දිවි තොර කරන්නේ සතුටු සිතින් නොවේ. ඒ සඳහා තරහව, ක්‍රෝධය බලවත් විය යුතුය. හිත පිරෙන්නේම නරක සිතිවිලිවලිනි. ජීවත් වන්නට සිදු වන්නේ ද ඒ හැඟීමෙනි. එහි ප්‍රතිඵලය යහපත් නැත. මෙලොවත් දුක ය. පරලොවත් දුක ය.

සොරකම ද එවැනි ය. යමෙකු ගේ දෙයක් අත්පත් කර ගැනීම තුළ සුළු මොහොතකට සතුටක් දැනුණ ද විඳව විඳවා ජීවත්වන්නට සිදුවන අකුසලයකි. සොරකම් කරන තැන සැනසුමක් නොලැබේ. හැම විටෙකම සිත තිගැස්සේ. ප්‍රතිවාදීන් ගොඩනැ‍ඟේ. සමාජයේ අප්‍රිය පුද්ගලයෙක් වේ. ‘සොරා’ යන හංවඩුව ඇති වේ. එවිට සිත අවුල් ය. පෞරුෂයක් නැත. අවුල් ජාලාවක් වූ සිත ගෙන දෙන්නේ පීඩාවකි. එම පීඩාව ආයුෂ කෙටි කරයි. සියලු පංච දුෂ්චරිතයන් මෙලෙසය. දස අකුසල්හි ඵල ද එබඳු ය. යමෙක් මේ සියලු පාප කර්මයන්හි නිරත ව, දුර්ගුණ සඟවා ගනිමින් සුදනෙක් ලෙස පෙනී සිටියත් ඔහු ගේ අභ්‍යන්තරය එකම කසළ ගොඩකි. තමන් පිළිබඳව යටි සිත කිසිසේත් ම සතුටු නොවේ. එවැනි සිතක හොඳ දේ තැන්පත් නොවේ. එහි ප්‍රතිඵලය නරක ය. දීර්ඝායුෂ කෙටි ය.

මෙම ජාතක කතාවේ ධර්මපාල බමුණාගේ විවරණය සිහිපත් කරන්න. බමුණා පවුලේ ප්‍රධානියාය. සිය පරම්පරාව ඉදිරියට ගෙන යන්නට නායකත්වය දෙන පුද්ගලයාය. ඔහුගේ ගමන් මඟ පිරිසුදු ය. කිසි විටෙක පවක් නොකෙරේ. සැබෑ පියෙක් වන ඔහුගේ භාර්යාව ද ස්ත්‍රී රත්නයකි. උතුම් මවකි. ඇය ස්වාමි පුරුෂයාට අවංක ය. කිසිඳු දුෂ්චරිතයක් නොකරන්නී ය. දියණිවරුන්ට ඒ මව ආදර්ශයක් ය.

ඉදින් මෙවැනි මවුපියන් සෙවණේ වැඩෙන දූ පුතුන් ඒ මඟ මිස වැරැදි මඟ යන්නේ නැත. නායකත්වය පිළිබඳ අපූර්ව පාඩමක් ධර්මපාල ජාතකය අපට උගන්වයි. දැසි දස්සන් පවා ධර්ම මාවතෙහි ගෙන යන්නට ඒ නායකත්වය ප්‍රබල වී තිබේ. අප උගත යුතු වන්නේ අපේ පවුලට, සමාජයට එවැනි නායකත්වයක් දෙන්නට ය. එවිට ජීවිතය සොඳුරු ය. ආශිර්වාදාත්මක ය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්