96 ලෝක ශූරයෝ යළි ජය ගනිති
96 ලෝක ශූරයෝ
යළි ජය ගනිති
1996 ලෝක කුසලානය ජයගෙන වසර 20 ක් පිරීම නිමිත්තෙන් හරි අපූරු ක්‍රිකට්
තරගයක් පසුගිය දා සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 96 ලෝක කුසලාන
අවසන් මහා තරගය මතකයට නඟමින් ලෝක ශූර කණ්ඩායම හා රෝයි ඩයස්ගේ නායකත්වයෙන්
යුත් ‘ඕල් ස්ටාර්ස්’ කණ්ඩායම ලෙස නම් කළ 1983න් පසු බිහිවූ කණ්ඩායමක් සමඟ තරගය
පැවැත්විණි.
ලෝක ශූර කණ්ඩායමට 96දී කණ්ඩායම නියෝජනය කළ සියලුම ක්‍රීඩකයන් පාහේ එක්ව
සිටි අතර ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අසංක ගුරුසිංහ ද එක්ව සිටීම කැපී පෙනුණි. ඕල්
ස්ටාර්ස් කණ්ඩායම සඳහා පසුගිය දා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය ක්‍රිකට්
තරුවක් වන කුමාර් සංගක්කාර ද එක්ව සිටීම වර්තමාන ක්‍රීඩාලෝලීන්ට ඉමහත්
ආස්වාදයක් ගෙන දුන්නේය.
අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් 96 ලෝක ශූර කණ්ඩායම පාකිස්ථානයේ
ලාහෝරයේදී ලබාගත් ජයග්‍රහණය සේම මෙදින ද පැවැති 20 යි 20 තරගය ජයගත්තේ එක්
ලකුණක තියුණු තරගයකින් පසුවය.
එහිදී 96 ලෝක ශූර කණ්ඩායම ලකුණු 195 ක් ලබාගත් අතර ඊට අගනා ඉනිම් දෙකක් දක්නට
ලැබිණි. එදා තිබුණු ජවය ශක්තිය අපූරුවට පෙන්වූ රොමේෂ් කළුවිතාරණ හා
අග්‍රගණ්‍ය පිතිකරු අරවින්ද ද සිල්වා අර්ධ ශතක දෙකකින් ඉනිම වර්ණවත් කළහ.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය පැවැති
අතර එහිදී තරගයේ වීරයා ලෙස රොමේෂ් කළුවිතාරණ ජය සංකේත ලැබීය. ක්‍රීඩා ඇමැති
දයාසිරි ජයසේකර හා එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව සිටි ආනා පුංචිහේවා
මහත්වරු ද සහභාගි වූ මේ තරගය සංවිධානයෙන් ලැබෙන සියලු මුදල් පැරැණි ක්‍රිකට්
ක්‍රීඩකයන්ගේ සුබසාධනයට හා උතුරු නැඟෙනහිර වකුගඩු රෝගීන්ගේ සුබසාධනය
සඳහා පිරිනැමීම ද විශේෂත්වයක් විය. 96 ලෝක ශූර කණ්ඩායමේ රොෂාන් මහානාම සහ
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු ක්‍රීඩකයන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්
ලෙස මෙය සංවිධානය කෙරුණු බව සියලු දෙනා පැවැසූහ.
සටහන සහ ඡායාරූප
අමිල මලවිසූරිය
 
 
|