දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්:

එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

1943 වසරේ දී චිත්‍රකලා ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරමින් සංවිධාන ගත වූ හා ක්‍රියාකාරී වූ ’43 කණ්ඩායම’ මෙරට දෘශ්‍ය කලාවේ පමණක් නොව පොදුවේ සංස්කෘතිකමය වශයෙන් ද තබන ලද වැදගත් පියවරකි. එම කලා ශිල්පීහු නවීකාරක වූවා සේම අතීත කලාව වෙත හරයාත්මක ගෞරවයක් ද දැක්වූහ. ඔවුහු ඉදිරිගාමී දෘෂ්ටියකින් කටයුතු කළා සේම සාම්ප්‍රදායික සිතුවම් කලාවේ ගැඹුරු හා පෘථුල බව ද වටහා ගත්හ. එම කලා ව්‍යාපාරය ශ්‍රී ලාංකේය නූතනවාදී කලාවේ දී දේශීයත්වය නූතනවාදීව ගළපා ගැනීමට උත්සාහ ගත් පදනම් අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ ද එබැවිනි. දේශීයත්වය යනු අතීත සම්ප්‍රදායන් දෙස හුදු ජනප්‍රිය ආකාරයෙන් බැලීම හෝ එහි අංග මෝස්තරාකාරව එක් කිරීම හෝ නොවේ. එය වර්තමාන මොහොතක ගැබ්ව පවතින එහි ඓතිහාසිකමය අර්ථය නවීකාරකව තේරුම් ගැනීමකි. එල්. ටී. පී. මංජු ශ්‍රී නමැති ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පී චරිතය සමීපව කියවීම තුළ අද දවසේ ද කලාව පිළිබඳව උදාකර ගත යුතු අදහස් සමුදාය පිරිපහදු කර ගැනීමට අවස්ථාව සැලැසේ.

එක් අතකින් දෘෂ්ටිමය ලෙස ඉදිරිගාමී කලා ක්‍රියාකාරිත්වයක පදනම් සාමාජිකයකු වශයෙන් ඊට එකතු වෙමින් ලයනල් වෙන්ඩ්ට්, අයිවන් පීරිස්, ජස්ටින් දැරණියගල ආදින් සමඟ මිත්‍රත්වයේ අන්‍යෝන්‍ය වටහා ගැනීම් දරමින් තවත් අතකින් භික්ෂුවකගේ උරුමය ද, අතීත කලා උරුම සංරක්ෂණය ද එකම ජීවිතයක් තුළ රඳවා ගනිමින් අවසන චිත්‍ර ශිල්පිය භූමිකාව ස්වකීය ජීවිතාත්මය බවට පත්කර ගනු ලැබූ සංකීර්ණ ජීවිතයක්, ඔහු අධ්‍යයනය තුළින් හඳුනාගත හැක. මංජු ශ්‍රී යනු ’43 කණ්ඩායම’ නව මානයකින් හඳුනා ගැනීමට මඟ සලසන චිත්‍ර ශිල්පී මතුපිට සෞන්දර්ය ඉක්මවා එහි ගැඹුරු මානයෙන් ස්පර්ශ කළ චිත්‍ර ශිල්පි චරිතය වශයෙන් ද ඔහු හඳුනාගත හැක.

ඔහුගේ නෙත නොගැටුණු මහනුවර අවදියට අයත් බිතු සිතුවමක් නොවූ තරම්ය. කඩදාසියක් මත ඔහුගේ පැන්සල් රේඛාවෙන් පිටපත් නොවූ සාම්ප්‍රදායික බිතු සිතුවමක් ද නොවූ තරම්ය. මහනුවර සම්ප්‍රදායට අයත් විහාර සිතුවම්වල රූපිත අංග වෙන වෙනම සවිස්තරාත්මකව ඔහු විසින් චිත්‍රමය සටහන්වලට ගෙන ඇත. ස්පර්ශ සංස්කෘතික උරුමය, උරුම සංරක්ෂණය ආදි විෂයයන් යුනෙස්කෝ ආයතනයට අනුව මෑත දී වඩාත් සාකච්ඡාවට බඳුන් වන අතර මංජු ශ්‍රී තනි පුද්ගල චරිතයක් ලෙස ආත්මීය බැඳීමෙන් ක්‍රියාකාරී වූයේ එකී ක්‍රියාවන් සම්බන්ධවය. මංජු ශ්‍රී විසින් චිත්‍රමය ලෙස පිටපත් කරන ලද බිතුසිතුවම් රේඛා සටහන් සංගෘහිත ග්‍රන්ථයක් ඔහුගේ හැත්තෑ පස් වැනි ජන්ම දිනය සැමරීම වස් ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම ග්‍රන්ථයේ හැඳින්වීම තුළ දී මංජු ශ්‍රීව සඳහන් කරනුයේ ඊට වසර හැටකට පළමුව එම සිතුවම් වෙතට ඔහුගේ සිත ඇදී ගිය බවකි. එනම් ඔහු දහතුන් හැවිරිදි විය ගෙවූ 1915 දී පැවිදි වියට ඇතුළු වූ පසු ඒ සඳහා සිත් යොමු වූ බවයි.

1932 වසරේ දී තමා චීන භාෂාව හා මහායාන දර්ශනය ඉගෙන ගැනීම සඳහා රවීන්ද්‍රනාථ තාගෝරයන්ගේ ශාන්ති නිකේතනයට ගිය නමුත් එහිදී සිත්තරුන් හා ඔවුන්ගේ වැඩ දුටු විට තමා ද චිත්‍ර කලාවට පෙලඹුණු බව ඔහු සඳහන් කරයි. 1934 දී කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අතර එම අවස්ථාවේදී බිතුසිතුවම් කීපයක් පිටපත් කළ බවක් එම සිතුවම් ශාන්ති නිකේතනයේ දී ප්‍රදර්ශනය කළ බවත් එහි එක් බිත්තියක තාගෝර්ගේ සිතුවම් හා අනෙක් බිත්තියේ ඔහුගේ සිතුවම් පමණක් එල්ලා තිබූ බවත් ඉහත “හැඳින්වීමේදී” ඔහු සඳහන් කරයි.

බිතු සිතුවම් පිටපත් කිරීම, එම සිතුවම් තාගෝර් සමඟ එකම ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීම, ශාන්ති නිකේතන ස්වර්ණමය අවදියේ දී නන්දලාල් බෝස් ආදි චිත්‍ර ශිල්පීන්ගෙන් චිත්‍ර කලාව හැදෑරීමට අවස්ථාව ලැබීම, ආදි අත්දැකීම්වලින් පිරිපුන් වූ ඔහු ක්‍රියාකාරි වූයේ තාගෝර්ගේ දෘෂ්ටියට ද දිශාගත වූ 43 කණ්ඩායම වෙතයි. තාගෝර්ගේ ක්‍රියාකාරිත්වය පෘථුල හා ගැඹුරු අරුතින් ඔහු විසින් වටහා ගෙන තිබූ ආකාරය පසුකාලීනව ඔහුගේ ලේඛන මඟින් පැහැදිලි වේ. මෙම කරුණ වැදගත් වූවකි, මෙතෙක් 43 කණ්ඩායම දෙස අවධානයට පාත්‍රව ඇත්තේ ජෝර්ජ් කීට්, අයිවන් පීරිස් ආදි සිත්තරුන් කේන්ද්‍රියවය. මංජු ශ්‍රී කේන්ද්‍රියව ද එම කලා කණ්ඩායම දෙස බැලීම කාලෝචිත වූවකි.

1950 දී ඔහුගේ ජීවිතයේ රූපාන්තරමය වෙනසකට බඳුන් විය. එනම් චිත්‍ර ශිල්පියෙකු ලෙස උපැවිදි ජීවිතයට එළඹීමයි. 43 කණ්ඩායමේ සිත්තරුන්ගේ එකතුව නිරූපණය කරමින් ඔබ්‍රි කොලට් (1920 - 1992) සිත්තරා විසින් දිය සායම් මාධ්‍යයෙන් අඳින ලද සිතුවමේ දී මංජු ශ්‍රී දැක්වෙනුයේ භික්ෂු චරිතයක් වශයෙනි. ඔහුට ඔහුගේම ජීවිත භූමිකා දෙස පිටස්තරව දැකීමේ ‘ඇස’ චිත්‍ර කලාව විසින් උදාකර දී තිබිණි.

මංජු ශ්‍රී විසින් කඩදාසිය මත දියසායම් මාධ්‍යයෙන් නිමකර ඇති කාන්තා ශරීරය නිරූපිත චිත්‍රය පිරිමි සිත්තර ආත්මයක “යළි ඉපදීමක” සංඥාවක් දරා සිටින්නකි. ඒ අරුතින් එය අවංක වූ ආත්ම ප්‍රකාශනයක් ලෙස හඳුනාගත හැක. ඉතා සියුම් වූ පින්සල් තුඩු මතින් සනිටුහන් වූ වර්ණ සලකුණු ලෙස සිතුවම ගොඩනැඟී ඇත. එය පුද්ගල අභ්‍යන්තරයේ සැඟවුණු මාතෘ ශරීරය අහිමි වීමේ හිස් බව සඳහා පිළිතුරු සොයා යෑමක් වැනිය. සිත්තරාගේ පෞද්ගලික ජීවිතයේ ජීවන අත්දැකීම්හි ව්‍යුහාත්මක වෙනස්කම් මත තබා මෙම සිතුවම කියවීමේ දී එහි අර්ථ ජනනමය ගුණය ඉමහත් වූවකි.

බොරැල්ල ගෝතමි විහාරයේ බිතුසිතුවම් ජෝර්ජ් කීට් විසින් සිදුකරන අතර තුර එහි සැරසිලි කලා මංජු ශ්‍රී විසින් සිදු කරනු ලැබීය. 1945 දී මුල්ම ඒක පුද්ගල චිත්‍රකලා ප්‍රදර්ශනය ඉදිරිපත් කළ මංජු ශ්‍රී විසින් 1947 සිට 1949 දක්වා ලන්ඩන්, වියානා ආදි යුරෝපීය නගරවල චිත්‍ර ප්‍රදර්ශන පවත්වන ලදී.

1979 වසරේ දී මැග්සේසයි සම්මානය මංජු ශ්‍රී සිත්තරාට හිමි වූ අතර 1981 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන ලදී.

හතළිහ දශකය අග දී යුරෝපීය කලා ප්‍රදර්ශනවලින් ඉක්බිතිව ඔහුගේ ජිවිතය යොමු වනුයේ පුවත්පත් කලාව වෙනුවෙනි. ඒ අතරතුර දී විටින් විට අග නගරයේ දී චිත්‍ර ප්‍රදර්ශන ඉදිරිපත් කරන ලදී. ඔහුගේ දියණිය මණ්ඩලිකා මංජු ශ්‍රී සහ පුත් කුෂාන් මංජු ශ්‍රී ද චිත්‍ර කලාවේ නියැළී සිටිති.

ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මැතිදුන්ගේ ආරාධනයෙන් ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ ඔහු විසින් මෙරට චිත්‍ර කලාව අරබයා හරවත් ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් මෙම පුවත්පත මඟින් ම ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙරට දෘශ්‍ය කලාවේ පෝෂණය උදෙසා ‘සිළුමිණ’ මඟින් ඉටුකරන ලද ‘ඉතිහාසමය’ මෙහෙවර ද මෙරට නූතනවාදී කලාව සමඟ මෙම පුවත්පත පැවති සබඳතාවය ද පසක් වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්