දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»

නියං තත්ත්වය උග්‍රවෙයි

නියං තත්ත්වය උග්‍රවෙයි

මහවැලි මහ ජලාශ සිව් මහා ගංගා හිඳෙන ලකුණු

වැස්ස නැත, සුළං නැත, උෂ්ණය ඇත. ඒත් ජලය අඩු ය. වසර ගණනාවකට පසු අපේ රටේ කාලගුණය අමුතුම වෙනසකට ‍ලක්වී තිබේ. ජලය අඩුවී නියං සායක ලක්ෂණ මතු වෙමින් පවතින අතර මෙරට වසර ගණනාවකට පසු වැඩිම උෂ්ණත්වය පසුගිය දින 3 – 4 දී වාර්තා විය. මහවැලි, කළු, කැලණි, වළවේ, ගිං යන මහ ගංගාවල ද ජල මට්ටම වේගයෙන් අඩුවෙමින් ඇත.

අද පවතින මේ තත්ත්වය ඉදිරියට මොන අයුරින් වෙනස් වෙයිද? අපි ඒ පිළිබඳව විද්වතුන් හා අදාළ ආයතන සමඟ මෙසේ කරුණු සාකච්ඡා කළෙමු.

පසුගිය මාර්තු 24 – 25 දිනවල මෙරට වැඩිම උෂ්ණත්වය වාර්තා වූයේ අනුරාධපුරයෙහි ඒ ප්‍රමාණය සෙන්ටිග්‍රේඩ් 39 කි. ඊට අමතරව කුරුණෑගලින් 24,25 දිනවල දී වාර්තා වූ උෂ්ණත්වය සෙ. 38 කි. නමුත් 2015 වස‍රේ මාර්තු 24 වැනිදා වාර්තා වී ඇති උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 28 කි.

පසුගිය 24, 25 දිනවලදී ත්‍රිකුණාමලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 31 කි. නමුත් කොළඹ, ගම්පහ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 33 කි. එමෙන් ම මහනුවර උෂ්ණත්වය ද වසර ගණනාවකට පසු මේ දිනවල වැඩි වී ඇත. එය 23, 24, 25 දිනවල සෙන්ටිග්‍රේඩ් 36 ට ඉහළ නැඟ තිබිණි. සාමාන්‍යයෙන් නුවරඑළියේ ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තාවන්නේ සෙන්ටිග්‍රේඩ් 17 ය.

නමුත් 23, 24, 25 දිනවල නුවරඑළියේ උපරිම උෂ්ණත්වය සෙ. 26 – 25 අතර විය. ඊට අමතරව වවුනියාවේ හා පුත්තලමේ උෂ්ණත්වය ද පුදුම ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව වවුනියාවේ සෙ. 38 ක් ද පුත්තලමේ සෙ. 36 ක් පසුගිය 24 – 25 දිනවල වාර්තා විය.

මේ පිළිබඳව අපි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ එල්නිනෝ තත්ත්වය පසුගිය දෙසැම්බර් සිට ම සක්‍රීය වීම අරුම පුදුම උෂ්ණත්වය වැඩි වීමට හේතු වී ඇති බවයි. නමුත් මීට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ එල්නිනෝ මඟින් ලොකු බලපෑමක් අපේ රටට ඒමට ඉඩ නැති බවයි.

මේ දිනවල පවතින අධික රස්නයට තවත් හේතුවක් වන්නේ සුළං හැමීම අඩු වීම බව ද අධික උෂ්ණත්වය නිසා මුහුදෙන් හා ජලාශවලින් ජල වාෂ්ප වැඩියෙන් සංවහනය වී අප අවට වායුගෝලය ජල වාෂ්පවලින් සංතෘප්ත වී තිබීම නිසා ශරීරයෙන් දහදිය පිටවීම අඩු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

“අපි ඉන්නේ ඊසාන දිග මෝසමේ අවසාන භාගය හා අන්තර් මෝසම් කාලයේ ආරම්භක අවදිය අතර සංක්‍රාන්ති සමයේයි. අන්තර් මෝසම් සමය අප්‍රේල් මාසේ ආරම්භ වෙන්න ඉඩ තිබෙනවා. එවිට වසන්ත අන්තර් මෝසම් මඟින් වැසි වැසීම ආරම්භ වෙයි. අප්‍රේල් 10 පස්සේ සහ බක් මහ අකුණු සහිතව වැස්ස පතිතවීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා.

කෙසේ වුවත් ලබන මාසේ 4 – 14 අතර ශ්‍රී ලංකා‍වට ඉර මුදුන්වෙන නිසා මේ රස්නය ගතිය නම් අප්‍රේල් මාසය පුරාත් යම් තරමකට පවතියි.” ලලිත් චන්ද්‍රපාල මහතා, පවසයි. මේ අතර ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතා පවසන්නේ අප්‍රේල් 10 න් පසු ගිගුරුම් සහිත වැසි හා ටොනේඩෝ පවා ඇතිවීමට ඉඩ ඇති බවයි.

පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඒ.ඩබ්ලිව්.එල්. සුමතිපාල මහතා පවසන්නේ මේ අයුරින් අරුම පුදුම ලෙස අපේ රටේ උෂ්ණත්වය වැඩිවීමට හේතුව දේශගුණ විපර්යාස, එල්නිනෝ තත්ත්වය හා හරිතාගාර ආචරණය වැනි ගෝලීය වෙනස්කම් අපේ රටට බලපෑම බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට මහවැලි මහ ජලාශවලින් තරමක් හෝ පිරී තිබුණේ රන්දෙනිගල පමණි. එහි ජලය එසේ සුරකින්නේ පානීය විෂ ජලය හා කෘෂිකාර්මික කටයුතු සඳහා ය. රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව 50% ක් පමණ අඩු වී තිබේ. එහි ජල ධාරිතාව අඩු නිසා එහි ජල විදුලිය නිපදවීමට නොහැකි ය‍. එහි සක්‍රීය ධාරිතාවක් නැත. ඉන් දවසකට අපට අහිමි වූ විදුලි ධාරිතාව මෙගා වොට් 52 කි. ඊට අමතරව මෙගා වොට් 210 ක් නිපදවන වික්‍ටෝරියා ජලාශයේ සක්‍රීය ධාරිතාව සියයට 50 ක් දක්වා අඩු වී ඇත. එහි ජල ධාරිතාව සියයට 50 කින් අඩු වී ඇති අතර විදුලි නිපැයුම ද සියයට 50 – 60 ක් අතර අඩුවෙමින් පවතී. කොත්මලේ ජලාශයේ පිරුණු මට්ටම වනවිට ජලය ඝන මීටර් මිලියන 173 ක් දරා සිටිනු ලැබේ. නමුත් 23 වැනිදා එහි තිබුණේ ජලය ඝන මීටර් මිලියන 61 කි. එහි ජලය ඇත්තේ සියයට 25 ක් පවතී. සක්‍රිය ජල ධාරිතාව ඝන මීටර් මිලියන 38.8 කි.

ඒ කොත්මලේ විදුලි නිපැයුම ද සියයට 75 කින් අඩු වී තිබේ.

ඒ සමඟම බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව ද 24 වැනිදා වනවිට සියයට 61 ක් දක්වා අඩු වී තිබේ‍. එහි උපරිම ධාරිතාව ඝන මීටර් මිලියන 23.5 ක් වන අතර 24 වැනිදා වනවිට සක්‍රීය ධාරිතාව ඝන මීටර් මිලියන 13.1 කි.

මේ මහවැලි ජලාශවල තත්ත්වයයි. නමුත් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව ද සියයට 22 ක් දක්වා 23 වැනිදා වනවිට අඩු වී තිබිණි. මාවුස්සාකැලේ ජල ධාරිතාවය සියයට 33 කි. මීට අමතරව ජල විදුලිය නිපදවන සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ද සියයට 26 ක් දක්වා 24 වැනිදා වනවිට අඩු වී තිබිණි.

මේ අයුරින් බලනවිට ජල විදුලිය නිපදවන ජලාශ සියල්ලගේ ම වාගේ ජල ධාරිතාව දරුණු ලෙස අඩුවෙමින් පවතී.

පසුගිය මාස 2 – 3 දී හොඳ වැස්සක් නොලැබීම නිසා ජල විදුලිය නිපදවීම අභියෝගයක් වී ඇතැයි විදුලි බල ඉංජිනේරුවෝ පවසති.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ දැනට තිබෙන තත්ත්වය අනුව අපේ විදුලිබල ආශ්‍රිත ජලාශවල ජලය ඇත්තේ විදුලි බලය ගිගා වොට් පැය 534 ක් නිපදවීමට පමණක් බවයි.

මේ අනුව දැනට ජල විදුලි ආශ්‍රිත බලාගාර මඟින් විදුලිය නිපදවනු ලබන්නේ එහි උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් සියයට 42 ක් පමණක් බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මේ මාසයේ පවතින අධික උෂ්ණත්වය නිසා වායුසමීකරණ විදුලි පංකා පාවිච්චිය වැඩිවී ඇති බවත් ඒ නිසා විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. මේ එසේ අපේ රටේ වැඩිම ඉල්ලුම පසුගිය සතියේ සිදුවූ බවත් එය මෙගා වොට් පැය 40 ක් පමණ බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

මේ අනුව විදුලි ඉල්ලුම තරම් සැපයීම ලබාදීමට අපට අපහසු වන අතර ඒ සඳහා විදුලිය පිරිමසිමින් සියලුම ජනතාව විදුලි බල මණ්ඩලයට උදව් කළ යුතු බව ද ජයවර්ධන මහතා පවසයි. විදුලි ඉල්ලුම සැපයීමට වඩා වැඩි වූ විට පද්ධතිය ඉබේම කඩා වැටෙන බවක් මේ තත්ත්වය වැළැක්වීමට ජනතා සහාය අත්‍යවශ්‍ය බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිබල නිපැයුම් සංඛ්‍යා ලේඛන අනුව බ්‍රහස්පතින්දා වන විට අපේ රටේ සමස්ත විදුලි බල නිපැයුම ගිගා වොට් පැය 36කි. නමුත් පසුගිය සතියේ අපේ රටේ සම්පූර්ණ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 40 දක්වා ඉහළ ගිය අවස්ථා ද තිබුණි. විදුලිබල නිෂ්පාදනයට වඩා විදුලිබල ඉල්ලුම වැඩි නිසා කිහිප වරක් විදුලිය විසන්ධි වීම ද සිදු විය.

පසුගිය සතියේ මෙරට විදුලිය වැඩිපුර නිපදවූයේ තාප බලාගාරවලිනි. මේ අනුව ගල් අඟුරු බලාගාරවලින් මෙගා වොට් 582ක් ද, මහවැලි ජල විදුලි බලාගාරවලින් මෙගා වොට් 336ක් ද සමනළ වැව විදුලි බලාගාර පද්ධතියෙන් මෙගා වොට් 156ක් ද, ලක්ෂපාන ජල විදුලි බලාගාර පද්ධතියෙන් මෙගා වොට් 305ක් ද නිපදවනු ලැබේ. තාප විදුලිය වශයෙන් රජයෙන් හා පෞද්ගලික සමාගම් මඟින් මෙගා වොට් 750ක් පමණ ද ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ලැබේ. මුළු නිපැයුම මෙගා වොට් 2107කි. නමුත් විදුලිබල මණ්ඩලයේම සංඛ්‍යා ලේඛන අනුව පැවසෙන්නේ 23, 24 දිනවල මෙරට විදුලිබල ඉල්ලුම මෙගා වොට් 2237ක් වූ බවයි.

සමස්ත ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට පසුගිය මාස 2 ඇතුළත හරියට වැස්සක් නොලැබීම නිසා එම ජලාශ දැන් සිඳී යමින් පවතින බවත් වැස්ස නොලැබුණහොත් තව සති 3 - 4කට වඩා ජල විදුලිය නිපදවීමට අපහසු බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු අපට පෙන්වා දුන්හ. කෙසේ වුවත් විදුලිය පිරිමැසීම හා කාලගුණ අංශ පවසන පරිදි අප්‍රේල් 10 - 12 වන විට වැස්ස ලැබීම සිදු වුව හොත් ජල විදුලිය නිපදවීමට දිගටම සිදුකළ හැකි වනු ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුරක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය පවසන පරිදි මෙරට මුළු විදුලි නිපැයුමෙන් දැන් වැඩිපුරම භාවිත කරන්නේ ගල් අඟුරුය. එය මුළු විදුලිබල නිපැයුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 32.8 කි. ඊළඟට තෙල් මඟින් විදුලිය නිපදවනු ලැබේ. ඒ ප්‍රමාණය සියයට 27.5කි. පෞද්ගලික තාප විදුලි බලාගාරවලින් මෙරට විදුලිබල නිපැයුමෙන් සියයට 7ක් නිපදවනු ලැබේ. මාර්තු 23 වන විට මෙරට විදුලිබල නිපැයුමට ජල විදුලි බලය දායක වුණේ සියයට 22ක් පමණි. මේ නියඟ තත්ත්වය දිගටම තිබුණ හොත් තවත් පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට සිදු වනු ඇති බවත් ජල විදුලිය නිපැයුම අඩු විය හැකි බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර අපේ රටේ ප්‍රධාන ගංගා සියල්ලම දැන් දරුණු ලෙස සිඳී යමින් පවතී. මහවැලි, කළු, කැලණි, ගිං හා වලවේ ගංගා ඒ අතර ප්‍රධාන වේ.

ඒ අනුව තවලම ප්‍රදේශයේදී ගිං ගඟ උපරීම ලෙස පිරුණු විට මීටර් 4.27ක් උසට ජලය තිබිය යුතු වුවත් දැන් එහි ඇත්තේ මීටර් 0.7ක උස ජල ප්‍රමාණයකි.

කළු ගඟ රත්නපුරයේදී පිරුණු විට මීටර් 3.6ක් උසට ජලය තිබිය යුතුය. නමුත් දැන් එහි ඇත්තේ මීටර් 0.32ක් උස ජල ප්‍රමාණයක් පමණි. සියඹලාණ්ඩුවේ හැඩ ඔය ජලය පිරුණු විට මීටර් 4ක් උසට ජලය තිබේ. නමුත් දැන් එහි ජලය ඇත්තේ ඔයේ පහත්ම ජල මට්ටමටත් වඩා අඩු ඍණ අගයකිනි.

කැලණි ගඟ කොළඹට ද බොන ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයයි. එය ද දැන් දරුණු ලෙස සිඳී යමින් පවතී. දැරණියගලදී එයට ජලය පිරුණු විට මීටර් 4.88ක් උසට ජලය තිබිය යුතුය. නමුත් එහි 23 දා තිබුණේ මීටර් 0.06ක් උස ජල ප්‍රමාණයක් පමණි. කැලණි ගඟ හංවැල්ලේදී පිරුණු විට මීටර් 7ක් උසට ජලය තිබේ. නමුත් එහි දැන් ඇත්තේ මීටර් 0.4ක් උස ජල ප්‍රමාණයක් පමණි.

මහවැලි ගඟ වේරගංතොට දී පිරුණු විට මීටර් 5ක් උසට ජලය තිබිය යුතුය. නමුත් දැන් එහි ඇත්තේ අවම ජල මට්ටමෙන් මීටර් 2.66ක් පහළ මට්ටමකිනි (ඍණ 2.66). මහවැලි ගඟ පේරාදෙණියේදී පිරුණු විට මීටර් 5ක් ජලය තිබිය යුතුය. නමුත් එහි දැන් ඇත්තේ මීටර් 0.88ක් පමණක් උස ජල ප්‍රමාණයක් පමණි. මල්වතු ඔයේ ද ජල මට්ටම බැස ඇත. එය තන්තිරිමලේදී පිරුණු විට මීටර් 6.75ක් උසට ජලය තිබිය යුතුය. නමුත් එහි ජලය දැන් ඇත්තේ මීටර් 0.5ක් උසට පමණි. වයඹ පළාතේ ප්‍රධාන ජල ප්‍රභවයක් වන මා ඔය ගල්ගමුවේදී පිරුණු විට ජල මට්ටම මීටර් 4.8ක් වේ. නමුත් එහි අද ජලය ඇත්තේ මීටර් ඍණ 0.02ක් පමණි.

නිල්වලා ගඟ දකුණේ ප්‍රධාන ගඟකි. පිටබැද්දරදී නිල්වලා ගඟ පිරුණු විට මීටර් 3ක් උසට ජලය තිබිය යුතුය. නමුත් එහි ජල මට්ටම මේ වන විට බිංදුවටත් වඩා අඩු මට්ටමින් (ඍණ 0.05) බැස ඇත.

යාන් ඔය හොරොව්පතානේදී පිරුණු විට මීටර් 6ක් උසට ජලය තිබේ. නමුත් එහි දැන් ජලය ඇත්තේ මීටර් 1.3ක් උසට පමණි.

මේ තත්ත්වය අනුව මහවැලි කැලණි ගංගා ආශ්‍රිතව ඇති ජල විදුලි බලාගාරවල ජල විදුලිය නිපදවීමට ඉමහත් බාධා පැමිණ ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසයි. ඉදිරි සති 2 - 3 ඇතුළත හරියට වැස්ස නොලැබුණහොත් එම ජල විදුලි බලාගාර වසා දමන්නට සිදුවෙන බව ද විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් අංශ පෙන්වා දෙයි.

මේ අතර මහවැලි කළු කැලණි නිල්වලා ගංගාවල ජල මට්ටම අඩුවීම නිසා පානීය ජල ව්‍යාපෘතිවලට මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ජලය මුදා හැරීමට ද ප්‍රශ්න මතු වී ඇත.

කෙසේ වුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පවසන පරිදි මේ නියං තත්ත්වයේදී ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ජනතාවට පානීය ජලය ලබාදීමටයි. විදුලි බලය නිපදවන ජලාශවලින් ද විදුලි බලාගාර සඳහා ජලය දෙන්නේ පානීය ජලයට ජලය මුදා හැරීමෙන් අනතුරුවය. ඊළඟට ජලය මුදා හරින්නේ කෘෂිකාර්මික කටයුතුවලටය. විදුලිය නිපදවීම හා වෙනත් වාණිජ කටයුතුවලට ජලය මුදා හරින්නේ තුන්වැනි පියවරටය.

මේ අනුව රටපුරාම මේ දිනවල පවතින නියං තත්ත්වය තවත් වැඩිදියුණු වුවහොත් කෘෂිකාර්මික කටයුතුවලට ජලය මුදා හැරිම ප්‍රශ්නයක් වීමට හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තු ඉංජිනේරුවෝ පවසති.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම තවමත් සියයට 80ක් පමණ පවතින බවත් නමුත් ඉදිරි නියං තත්ත්වයකට මුහුණ දීමට හා යල කන්නය අස්වැද්දීමට එම ජලය පිරිමැසීමෙන් පාවිච්චි කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ හා පුහුණු අංශය බාර අධ්‍යක්ෂ එස්. මෝහන රාජා මහතා පවසන්නේ ඉදිරි යල කන්නයේදී වී නොව වෙනත් ජලය අඩුවෙන් පාවිච්චි කරන මාංස බෝග වර්ග වැඩිපුර වගා කිරීමෙන් ජලය පිරිමැසීමට හැකි බවයි.

ඒ සමඟම මෙවර යල කන්නය වී වපුරන ගොවීන්ගෙන් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින්නේ සිංහල අලුත් අවුරුද්දට පෙර තම වගා කටයුතු අවසන් කරන ලෙසයි.

ඒ අනුව අලුත් අවුරුද්දට පෙර වාරි ජලය ලබා දී එම වැපිරිම් කටයුතු අවසන් කළ හැකි බවත්, මහ කන්නය පරක්කු වූ අයට අවුරුදු සතියෙන් පසුව වී වැපිරීමේ කටයුතු සඳහා ජලය ලබා දෙන බවත් මෝහන රාජා මහතා පවසයි.

කෙසේ වුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවලින් වෙන්ඩ්‍රායන්, දැදුරුඔය, බතලගොඩ වැව, තබ්බෝව, ඉඟිණිමිටිය, යෝධ වැව, අකත්තමුරුප්පු වැනි ජලාශවල ජල මට්ටම මුළු ධාරිතාවෙන් සියයට 60කට වඩා අඩු වී ඇති බව ද වාරිමාර්ග අමාත්‍යාංශයේ ජල කළමනාකරණ අංශය පවසයි.

මේ සියලු කරුණු අනුව අපට පැහැදිලි වන්නේ මෙරට දැඩි නියඟයක් ඇති වෙමින් පවතින බවත් ඊට මුහුණ දීමට රටේ සියලු දෙනා එක් විය යුතු බවත්ය.

මෙහිදී විශේෂයෙන් රටේ දැඩි උෂ්ණත්වයට මුහුණ දීම පිණිස සියලු දෙනාම වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. මේ අනතුරුදායක තත්ත්වය මත රටේ සියලු ජනතාව ජල සංරක්ෂණයට හා විදුලි බලය සුරැකීමට යම් ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවද අවධාරණය කළ යුතුය. ඒ සඳහා ජාති ආගම් දේශපාලන පක්ෂ බේදවලින් තොරව සියලු දෙනා උපරිම සහාය ලබාදීම අපේත් රටේත් ප්‍රවර්ධනයට හේතු වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්