බෙල්වුඩය යළි නඟාසිටුවීම ප්‍රශංසනීය වැඩක්
බෙල්වුඩය
යළි නඟාසිටුවීම
ප්‍රශංසනීය වැඩක්
ජාතික තරුණ සේවා
සභාවේ මුල් ම
සංගීත උපදේශක
සංගීතඥ ෂර්ලි වෛජයන්ත
අතීත මතකය
යළි අවදි කරයි ෂර්ලි වෛජයන්ත යනු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ නව යුගයක් මෙන්ම නව
පරපුරක් ද බිහි කළ සංගීතඥයෙකි. මීට දශක දෙක තුනකට පෙර ජාතික තරුණ සේවා සභාව
හරහා දක්ෂ ගායක ගායිකාවන්, වාදන ශිල්පීන් රැසක් ම සමාජගත වූයේ ෂර්ලි
වෛජයන්තයන්ගේ සෙවණේ සංගීතය පිළිබඳව අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුවය. ජාතික
තරුණ සේවා සභාවට අනුබද්ධ බෙල්වුඩ් සංගීත ගම්මානය අද ජනප්‍රියත්වයට පත්වී
සිටින ගායක ගායිකාවන් සංගීත ශිල්පීන් රැසකගේ නිවහන විය. පසුගිය වසර කීපය
බෙල්වුඩ් ගම්මානය පැවැතියේ හුදෙකලාව යැයි පැවසීම නිවැරැදිය. එම කලා
ගම්මානයට නව පණක් ලබාදීමට ජාතික තරුණ සේවා සභාව යළි ඉදිරිපත්ව සිටී.
සංගීතවේදී ෂර්ල වෛජයන්තයන් අප හමුවූයේ ජාතික තරුණසේවා සභාවේ සංගීත අංශයෙන්
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට වූ මෙහෙය පිළිබඳව ආවර්ජනයක යෙදෙන්නටය.
ඔබට මතකද ජාතික තරුණ සේවා සභාවට ඔබ සම්බන්ධ වූ හැටි?
ඔව්; 1980 වන විට මම කැලණිය මහා විද්‍යාලයේ සංගීත උපදේශකවරයා ලෙස සේවය කළා.
දිනක් පුවත්පතක දැන්වීමක් තිබුණා, ජාතික තරුණ සේවා සභාව මඟින් ආරම්භ කිරීමට යන
සංගීත පාඨමාලාවකට උපදේශකවරු අවශ්‍යයි කියා. ඒ සඳහා එකසිය පනහකට අධික
සංඛ්‍යාවක් අයදුම්පත් යොමුකර තිබුණා. එහිදී පැවැති පරීක්ෂණයෙන් තෝරා ගත්තේ
මාව. ඔවුන්ට අවශ්‍ය වුණේ සංගීත ක්ෂේත්‍රයේ සෑම අංශයක් ම (ගීත රචනා කිරීම, සංගීත
නිර්මාණය, ගායනය, වාදනය, සංගීතය ඉගැන්වීම වැනි) පිළිබඳව දැනුමක් තිබෙන
කෙනෙක් ඒ සඳහා තෝරා ගන්න. ඒ අනුවයි මාව ජාතික තරුණ සේවා සභාවේ සංගීත
උපදේශකවරයා ලෙස තෝරා ගත්තේ.
මා පත්වන විට සංගීත පුහුණු ආයතනය තිබුණේ බටපොල.
එම පුහුණු පාඨමාලාවට සිසු සිසුවියන් තෝරා ගත්තේ දිස්ත්‍රික්ක මට්ටමින්
පැවැත්වුණු පරීක්ෂණවලින් පසුවයි. මුලදී එය හයමාසයක පාඨමාලාවක්. හැබැයි
මම එය දැනගෙන හිටියේ නෑ. මම මගේ සිසුන්ට මාස හයක් ඉගැන්නුවාට පස්සේ ආයතනයෙන්
මට දැනුම් දුන්නා “මේ ළමයින්ගේ කාලය අවසන් ඊළඟ කණ්ඩායම ගැනීමට අවශ්‍යයි”
කියලා. ඒකට මම තදින්ම විරුද්ධ වෙලා ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා තවත් කාලයක් ඒ
ළමයින්ට ඉගෙනගන්න අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ ඉල්ලීමට ඔවුන් ඇහුන්කන් දුන්නා.
ඒ අනුවයි ඔය සංගීත පාඨමාලාව වසර කීපයක පාඨමාලාවක් බවට පත් වුණේ.
ජාතික තරුණ සේවා සභාවේ සංගීත ඒකකය උසස් මට්ටමකට ගන්න ඔබ මොන වගේ කැප කිරීමක් ද
කළේ?
ඇත්තෙන් ම විශාල වශයෙන් මම මගේ කාලය දැනුම ශක්තිය ඒ සඳහා යෙදෙව්වා. උදේ පාන්දර 4ට
තමයි අපි පුහුණුවීම් පටන් ගන්නේ. එකදිගට පැය කීපයක් පුහුණුවීම් වල යෙදෙව්වා.
ඒ සිසු සිසුවියන් ඉතාම ආශාවෙන් ආදරයෙන් පුහුණුවීම්වල නිරත වුණා. එහි
ප්‍රතිඵලයක් හැටියට ටික දිනකින් ම ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශය ලංකාවේ
ඉතාම ජනප්‍රිය වුණා. එතැනින් බිහිවුණු ගීත සමාජය ඉතාම ආදරයෙන් වැළඳගත්තා.
මේ සංගීත කණ්ඩායමට ගායක ගායිකාවන්ට ලොකු ඉල්ලුමක් රටපුරාම ඇතිවුණා.
ඔබට මතකද ඔබේ මුල්ම ගෝලයින් පිරිස?
චන්ද්‍රලේඛා පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, ධම්මිකා
කරුණාරත්න, තේජා වැනි අය හිටියා. එම පිරිස ගායනා කළ බොහෝ ජනප්‍රිය ගීතවල තනු
නිර්මාණය කළේ මම. ඒ කාලේ මමවත් මගෙන් ඉගෙනගත් පිරිසත් ජනප්‍රියත්වය ගැන
එතරම් උනන්දුවක් දැක්වූවේ නෑ. විෂය දැනුම ලබාගන්නයි, වැඩ කරන්නයි තමයි අපි
වෙහෙසුණේ, ඒ කාලේ නැටුම් අංශය භාරව සිටියේ කුලසිරි බුධවත්ත මහතා. අපි දෙන්නා හොඳ
යාළුවෝ. අපි උපරිම කැපවීමෙන් සංගීත අංශය සහ නැටුම් අංශය නගා සිටුවන්න උත්සාහ
ගත්තා. එහි ප්‍රතිඵල පැහැදිලි ලෙසම ලැබුණා. හොඳ සංගීත පරපුරක් ජාතික තරුණ සේවා
සභාව තුළින් බිහිවුණා. ඒ දවස්වල එක දවසකට සංගීත සංදර්ශන තුනක පමණ අපි සංගීතය
සැපයුවා. ඒ තරමට ඉල්ලුමක් තිබුණා. මම දකින විදියට ඒ කාලය අපේ රටේ සංගීත
ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක්.
නමුත් කලක් ගතවන විට එයත් වාණිජමය පැත්තට පෙරලුණා. ඒකට ප්‍රධානම හේතුව ලෙස මම
දකින්නේ රටේ මාධ්‍ය ආයතන සංඛ්‍යාව වැඩිවීම සහ ඒවායේ ඇතිවුණු තරගාරීබව. ඉස්සර
සින්දු අහන්න අපට තිබුණේ ගුවන් විදුලි සංස්ථවේ නාළිකා පමණයි. පසුව ජාතික
රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහනිය ආවා. නිවී සැනසිල්ලේ ගීතයක් රස විඳීමේ
හැකියාව ඒවායින් ලැබුණා. නමුත් පසුකාලීනව ඒ තත්ත්වය වෙනස් වුණා.
බෙල්වුඩ් සංගීත ගම්මානය තරුණ තරුණියන්ට සංගීත ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන්
හිමි කරගන්නත් උදව් වුණා නේද?
ඇත්තෙන් ම ඔව්; ජනප්‍රිය වූ ගායක ගායිකාන්ට අමතරව සංගීත කණ්ඩායම්වල වාද්‍ය
ශිල්පීන් වශයෙන්, සංගීත ගුරුවරු වශයෙන්, ත්‍රිවිධ හමුදා තූර්ය වාදන කණ්ඩායම්
වැනි ඒවායේ වාද්‍ය ශිල්පීන් වශයෙනුත් රැකියා අවස්ථාවන් සොයා ගැනීමේ හැකියාව
ඔවුන්ට පහසුවෙන් ම ලැබුණා. මෙවැනි ප්‍රතිඵල ලැබීම ගැන මට අදටත් දැනෙන්නේ විශාල
සතුටක්; ආත්ම තෘප්තියක්. ඒකට මූලික වශයෙන් ම හේතු වූයේ රැයක් දවාලක් නැතිව
කැපවී අප කළ පුහුණුවීම්. හැබැයි ඒ දවස්වල අපි දැනගෙන හිටියේ නෑ අපි ජනප්‍රිය ද
කියලාවත්. අපි එක දිගට වැඩ කළා. ඒ වැඩ කිරීමම තුළින් තමයි අපි ඉහළට ආවේ. ජාතික
තරුණ සේවා සංගීත කණ්ඩායමෙන් බිහිවුණු ‘සුපිරි තරු’ බලෙන් මතු කළ, SMS වලින් මතු
කළ තරු නෙමෙයි. ඔවුන් තම හැකියාව නිසාම මතු වූ තරු. ඒ නිසයි අදටත් ඔවුන් තරු
ලෙසම වැජඹෙන්නේ.
බෙල්වුඩ් ගම්මානයේ ඔබ ගත කළ කාලය පිළිබඳව සිහිපත් කළොත්?
ඒක හරිම සුන්දර මතකයක්. ඒ කාලේ මගෙත් තරුණ කාලය. තරුණ තරුණියන් පිරිසක් එක්කයි
මම වැඩ කළේ. හරිම විනෝදෙන් අපි හිටියා. හැබැයි ඉතාම හොඳ විනයක් එතැන තිබුණා. අපේ
සංගීත කණ්ඩායමට සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබීමට, විනයානුකූලව කටයුතු
කිරීම, කලට වේලාවට, කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන අයුරින් කටයුතු කිරීම ඉතාම
උපකාරී වුණා.
ජාතික තරුණ සේවා සංගීත අංශය, බෙල්වුඩ් සංගීත ගම්මානය නැවත නගා සිටුවන්න පියවර
ගෙන තිබෙනවා නේද?
ඔව්; එය ඉතාම ප්‍රසංශනීය වැඩක්. ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිතුමාට
නැවත එය පෙර තත්ත්වයට ගෙන ඒමේ දැඩි වුවමනාවක් තියෙනවා. ඒකට හැමෝගෙම සහයෝගය
ලැබිය යුතුයි. සංගීත අංශයේ වගකීම පැවරිලා තියෙන්නේ නුවන් සමරසිංහට. ඔහු මගේ
ශිෂ්‍යයෙක්. ඒ ගැන මට සතුටුයි.
ඔබට ඒ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනයක් ලැබුණාද?
එම වැඩසටහනේ ආරම්භක උත්සවයට අමුත්තෙක් හැටියට සහභාගි වෙන්න මට ආරාධනයක්
ලැබුණා. නමුත් ඒ සඳහා ක්‍රියාකාරීව මැදිහත් වෙන්න ඇරයුමක් ලැබුණේ නෑ.
මොනවද ඔබගේ සංගීත දිවියේ අලුත් තොරතුරු?
අපි අලුත් නිර්මාණ කළත් ඒවාට අද එළියට එන්න විදියක් නෑ. අද අපේ රටේ සංගීතය සහ
ගීතය තියෙන්නේ අමුතුම තැනක. එයින් මිදිලා නිවී සැනසිල්ලේ ගීත රසවිඳීමේ
පරිසරයක් ඇති වුනොත් අපේ නිර්මාණ නැවත එළියට ඒවි. හැබැයි මම සංගීත අධ්‍යාපනය
ලබාදීමේ කටයුතු දිගට ම කරගෙන යනවා.
ගාමිණී සුසන්ත
|