විවාහයෙන් පසුවත් මම චිත්‍රසේනගෙන් නැටුම් ඉගෙන ගත්තා
මතක සුවඳ
විවාහයෙන් පසුවත් මම
චිත්‍රසේනගෙන් නැටුම් ඉගෙන ගත්තා
ප්‍රවීණ
නර්තන ශිල්පිනී
වජිරා
චිත්‍රසේනගේ
84 ජන්ම දිනය නිමිත්තෙනි

ලංකාවේ නර්තන ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන විට ‘චිත්‍රසේන - වජිරා” නාමය
පළමුවෙන් ම කියැවෙන බව පැහැදිලිය. ඒ එම ප්‍රවීණයින් දෙපළ අපේ නර්තනයට එක්
කළ අගය නිසාය. චිත්‍රසේනයන් මේ වන විට අප අතර නැති වුවද වජිරා චිත්‍රසේන අදටත්
ඉතා ක්‍රියාශීලීව ඉදිරි පරපුර වෙත තම නර්තන දැනුම බෙදා දෙමින් සිටින්නීය. මීට
දින කීපයකට පෙර තම 84 වැනි උපන්දිනය සැමරූ වජිරා චිත්‍රසේන මහත්මිය, රසඳුන
වෙනුවෙන් අප හමුවූයේ ඇයගේ නර්තන දිවියේ සුන්දර මතකයන් ඔබ වෙත ගෙන එන්නටය.
“මම මුලින් ම පාසල් ගියේ කළුතර බාලිකා විද්‍යාලයට. ඉන්පසුවයි හොරණ
ශ්‍රීපාලියට ගියේ. පුංචි කාලෙ ඉඳලම මම නර්තනයට ආසයි. ඒ ගැන හැකියාවකුත්
තිබුණා. මගේ අම්මත් නර්තනයට මාව උනන්දු කළා. පාසලේදි මගේ නැටුම් ගුරුවරයා වුණේ
සුප්‍රකට
කලාකරුවකු වූ අනංගලාල් අතුකෝරල මහතායි. පාසලේදී විවිධ ප්‍රසංගවලට මගේ
නර්තනයක් සැමවිමට ම පාහේ ඇතුළත් වුණා.”
“චිත්‍රසේනගේ නර්තනයන් ගැන විශාල පැහැදීමක් මට මගේ කුඩා කාලයේ පටන්ම තිබුණා.
ඔය අතරේතමයි විදුර ජාතකය ඇසුරින් චිත්‍රසේන නිර්මාණය කළ ගීත නාටකයක්
කළුතර පුරහලේදී නරඹන්න මට අවස්ථාවක් ලැබුණේ. ඒ; 1941 අවුරුද්දේ. එම ගීත
නාටකය බලන්න මම ගියේ අම්මා එක්ක. මම වේදිකාවක් මත රඟදැක්වෙන ගීත නාටකයක්
දුටු පළමු අවස්ථාව එය.
එය නැරඹුවායින් පසුව චිත්‍රසේන ගැන විශාල ගෞරවයකුත්
ඔහුගෙන් නර්තනය ඉගෙන ගැනීමේ ආශාවකුත් මට ඇතිවුණා. මගේ මවත් ඒකට බොහොම කැමැති
වුණා. ඒ විදියටයි මම චිත්‍රසේනගෙන් නැටුම් ඉගෙන ගන්න ඔහුගේ කලායතනයට
බැඳුණේ. එතකොට මට වයස අවුරුදු 15යි. ඒ දවස්වල චිත්‍රසේනගේ හොඳම ගෝලයා වුණේ මම.
කෙසේ හෝ අවුරුදු කීපයකට පසුව චිත්‍රසේනයන්ගේ ජීවන සහකාරිය බවට මම පත්වුණා.”
“අපි විවාහ වෙලත් බොහෝ කලක් යනතෙක් ම මම චිත්‍රසේනගෙන් නැටුම් ඉගෙන ගත්තා.
හැමදාම උදේ පාන්දර 5ට අවදිවෙලා පැය කීපයක්ම නැටුම් පුරුදු වෙනවා. ඒ නැටුම්
වැරැද්දුවොත් එහෙම චිත්‍රසේනගෙන් දඬුවම් පවා ලැබුවා.
ඒ දවස්වල අපි හිටියේ කොල්ලුපිටියේ නිවෙසක. උඩතට්ටුවේ චිත්‍රසේනගේ අම්මයි
අක්කලයි අපියි ජීවත් වුණා. පහළ තට්ටුවේ නැටුම් පුහුණුවීම් සිදුවුණා. සුනිල්
ශාන්ත, අමරදේව, ආනන්ද සමරකෝන්, සෝම බන්දු විද්‍යාපති වැනි ප්‍රවීණ
කලාකරුවන් ඒ දවස්වල අපේ ගෙදර නිතර ආවා ගියා. ඔවුන් චිත්‍රසේනගේ නිර්මාණවලට
දායක වුණා.”
“චිත්‍රසේන මට හොඳින් නර්තනය ඉගැන්වුවා වගේ ම අලුත් නිර්මාණ කරන්න මාව දිරිමත්
කළා. මහා විශාල සෙවණැල්ලක් සේ මා පසුපස සැමවිටම හිටියා. මම මගේ පළමු
මුද්‍රානාට්‍ය වන
“කුමුදිනී” නිර්මාණය කළේ චිත්‍රසේනයන් මාව ඒ සඳහා දිරිමත් කළ නිසයි. එතකොට
මට වයස අවුරුදු 19යි. මම ඒ සඳහා තේමාව කරගත්තේ රාත්‍රියේදී පිපිලා හිරු නැග එන
විට පරවෙලා යන ‘කුමුදු’ මල. ආනන්ද සමරකෝන් සංගීතඥයාගේ ගීතයකට අනුවයි එම
නිර්මාණය කළේ. සෝම බන්දු විද්‍යාපති අපේ නාට්‍ය නිර්මාණ සඳහා නිර්මාණය කර දුන්
ඇඳුම් අපේ නාට්‍ය නිර්මාණවලට විශාල ආලෝකයක් ගෙන දුන්නා.”
“ළමයින් වෙනුවෙන් මුද්‍රා නාට්‍ය 12ක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේ ම තවත්
නිර්මාණ කීපයක් ම කළා. ඒ සෑම නිර්මාණයක් ම සාර්ථක කරගන්න චිත්‍ර සේනයන්ගේ
උපදෙස් ලැබුණා. මා කළ පළමු ළමා මුද්‍රා නාට්‍ය “ගිනි හොරා”. එයින් පසුව විවිධ
අත්හදා බැලීම් කරමින් ළමා මුද්‍රා නාට්‍ය නිර්මාණය කළා. රූකඩ උපයෝගී කර ගනිමින්
නිර්මාණය කළ ළමා මුද්‍රානාට්‍ය ඉන් විශේෂයි.”
“මම නර්තනයට පිවිසෙන විට කාන්තාවන් නැටුම් ඉගෙන ගැනීමට පෙළඹී සිටියත් වෘත්තීය
නර්තන ශිල්පිනියක් ලෙස මුලින් ම
ඉදිරියට ආවේ මම. ඒ කාලේ චන්ද්‍රලේඛා ප්‍රසිද්ධ වේදිකාවල නර්තනයන් ඉදිරිපත්
කළා. නමුත් ඇය වෘත්තීය නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළේ නෑ.”
“1948 ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් පවත්වන ලද ‘පැජන්ට් ඔෆ් ශ්‍රී ලංකා’,
වැඩසටහනට මුද්‍රානාට්‍ය දෙකක් ඇතුළත් වුණා. ඒ ‘රාවණා’ සහ ‘විජය කුවේණි’ නාටක
දෙකයි. එහි රාවණා නාටකයේ මුවකු ලෙස මම රඟපෑවා. ඒක හරිම සුන්දර මතකයක්.”
“ඒ දවස්වල අපේ නර්තන ප්‍රසංග නරඹන්න විශාල පිරිස් ආවා. ඔවුන්ගෙන් ලැබුණේ ඉතා ම
උණුසුම් ප්‍රතිචාර. රට පුරාම මිනිස්සු අපට ආදරය කරන්න පටන් ගත්තා. ඒ දවස්වල අපට
දැක්වූ සෙනෙහස කරුණාව අදටත් එහෙමම තියෙනවා.”
“චිත්‍රසේනටත් මටත් ලංකාව තුළ වගේ ම ලෝකයේ රටවල් ගණනාවකම නර්තන ප්‍රසංගයක්
සඳහා ආරාධනා ලැබුණා. රුසියාවට ගොස් ඉදිරිපත් කළ නර්තන ප්‍රසංගය මගේ ජීවිතයේ
ඉතාම සුන්දර මතකයක්. ඒ වගේ ම එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල ඉතා
ජනප්‍රිය නර්තන ශාලාවල නර්තනයන් ඉදිරිපත් කරන්න චිත්‍රසේනටත් මටත්
අවස්ථාව ලැබුණා. ඒවා අපේ නර්තන ජීවිතයේ ඉතාම සුන්දර මතක සටහන්.”
“දැන් මට වයස අවුරුදු 84ක්. මගේ මුනුපුරු මිනිබිරියන් තමයි මමත් චිත්‍රසේනත්
නිර්මාණය කළ දේවල් අප රැකගත් දේවල් ඉදිරියට ගෙන යන්නේ. අදත් මම හොඳින් නිරෝගීව
ඉන්නේ දිගට ම නර්තනයේ යෙදුණු නිසා කියලයි මම විශ්වාස කරන්නේ. ඉස්සර කාලෙට වඩා අද
තමන්ගේ දරුවන්ව නර්තනයට යොමු කරන්න දෙමවුපියන් පෙළඹී සිටිනවා.
නැටුම් වැනි
දෙයක් අකුරු ඉගෙන ගන්නවා වගේ කරන්න බැහැ. ඒකට හොඳ විනයක් ඇතිව දිගින් දිගට ම
පුහුණු වෙන්න ඕන. ඒ වගේ ම නැටුම් වැනි විෂයක් ඉගෙන ගන්නා විට පුහුණු වන විට සිත
සියුම් වෙනවා. ආදරය කරුණාව වැනි හැඟීම් සිතේ උපදිනවා. හොඳ මනුස්සයෙක් ලෙස
ජීවත් වෙන්න නැටුම් වැනි සියුම් කලාවන් උපකාරී වෙනවා. ඒ නිසා වෙනත් කුමන
ක්ෂේත්‍රයක සිටියත් නැටුම් වැනි විෂයක යෙදීම ජීවිතයට ඉතා වැදගත්.
ගාමිණී සුසන්ත
ඡායාරූප - නිරෝෂ් බඩේපොල
|